JDS Sinhala

වාම ප්‍රත‍්‍යාවලෝකන: ගල්නෑවේ ගොවි සටන - IV කොටස

පළමු කොටස: 'ඉක්බිති දෙසැම්බරයේදී අපි ජනතා සංගමය ආරම්භ කළෙමු'
දෙවන කොටස:  ‘පාර්සන්ස් පාර සිංහල දෙමළ සටන් පාඨවලින් ඇළලී ගියේය’
තෙවන කොටස: නිව්ටන් ගුණසිංහගෙන් පංති විශ්ලේෂණයක්

ල්නෑවේ ගොවි අරගලය, බාහිරින් ඇති වූ සිදුවීමක් මත මතු වූ ගොවි අරගලයකි. 1982 බ්‍රිතාන්‍ය රැජිණගේ ලංකා සංචාරය වෙනුවෙන් අනුරාධපුරයේ වැව්වලට ජලය පිරවීම සඳහා ගල්නෑවේදී කලා වැවේ දකුණු ඇලේ ජලය වසා දැමීම නිසා  අක්කර දහස් ගණනක් වගා කළ ගොවීන්ට ජලය නොමැති වීමෙන් විරෝධය වැඩී ආවේය. ගොවීන් දහස් ගණනක් වහා ජලය ලබාදෙන ලෙස ඉල්ලා උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු, ජලය ලබා නොදීමට කැබිනට් මණ්ඩලය මගින් ගෙන තිබූ තීරණය වෙනස් කර වසා තිබූ ඇලේ ජලය විවෘත කෙරිණි. ඉන්පසු මැරුණු ගොයම වෙනුවෙන් වන්දි ඉල්ලා ගොවීන් විශාල පෙලපාලියක් ද පැවැත්වූහ. මේ සිදුවීමත් සමග පළාතේ ගම්මාන 30-40 ක පමණ ගොවීන් සංවිධානය වී ‘මහැවලි ගොවි සංගමය’ නමින් විශාල ගොවි සංවිධානයක් පිහිටුවා ගනු ලැබීය. උපවාසයට හරස් වූ එවකට කැබිනට් ඇමතිවරයෙකු වූ ඒ එම් එස් අධිකාරී මහතා ඊළඟ මැතිවරණයෙන් පරාජය වීමට ද මේ සිදුවීම හේතු වූ අතර, ගොවි සංවිධාන හා ගොවි නායකයින්ට එරෙහිව විශාල මර්දනයක් දියත් කිරීමටද ඔහු කි‍්‍රයා කළේය.

මේ සිදුවීමට හේතු පාදක වූ මතුපිට සිදුවීම එසේ වුවත්, ඊට යටින් ප‍්‍රදේශයේ දුගී ගොවීන් හා ධනවත් ගොවීන්ගේ විවිධ වූ කි‍්‍රයාකාරීත්වයන් දක්නට ලැබුණි. අවසානයේ ගොවි අරගලයේ අනාගතය රැඳී පැවතියේ විවිධ ගොවි පන්තීන්ගේ කි‍්‍රයාකාරීත්වය මත ය.

අඛණ්ඩ උපවාසයක්

ගල්නෑව ප‍්‍රදේශයේ ගොවීන්ට ජලය නොමැති වීම නිසා ගොවීන් අතර තිබූ නොසන්සුන්කම වැඩිවූයේ ඒ එම් එස් අධිකාරී ඇමතිවරයාත් සමග කොළඹ ගිය ගොවි පිරිසගේ බලාපොරොත්තු කඩවීමත් සමග ය. ඒ පිරිස අතර සිටි තරුණ සටන්කාමීන් පිරිසක් අනුරාධපුරයේ සමස්ත ලංකා ගොවි සම්මේලන කාර්යාලයට ගොස්, එහි සංවිධායක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මෙම ලියුම්කරු හමු වී ගල්නෑවේ ඇති වී තිබෙන නොසන්සුන්තාවය පිළිබඳ වාර්තා කර, එහි පැමිණෙන ලෙස ආරාධනා කළහ.

ගොවි සම්මේලනයේ මැදිහත්වීමත් සමඟ සටන්කාමීන් පිරිස අතර යම් සැලසුමක් සාකච්ඡා විය. ජලය ලබාදෙන තුරු නොනැගිටින උපවාසයකට සියලූ ගොවීන් ද, විහාරස්ථානවල ප්‍ර‍ධාන භික්‍ෂූන් ද වාඩිකරවීමට තීරණය වූ අතර, ඒ සඳහා සෑම ගමකටමත්, විහාරස්ථානයකටමත් පණිවිඩ යවා පසුදා උදේ ගල්නෑව මහවැලි කාර්යාලය ඉදිරිපිටට ගොවීන් දහස් ගණනින් රැස්කරවීමට තීරණය විය.

පසුදා උදේ 8 - 9 වන විට මහවැලි කාර්යාලය ඉදිරිපිටට ක‍්‍රමයෙන් ගොවීන් හා ගොවි කාන්තාවන් ද, බෞද්ධ භික්‍ෂූන් ද ඒකරාශී වන්නට විය. දහස් ගණනක් එක් රැස් වූ පසු සභාව අමතා සම්මේලනයේ සංවිධායක ලේකම් කතා කළ අතර, ජලය ලබා ගැනීම සඳහා ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳ ඒ ඒ ගම් නියෝජනය කළ ගොවි නියෝජිතයකු බැගින් කතා කර දැනුම් දෙන ලෙස ඉල්ලීය. ගම් 30-40ක නියෝජිතයන් කතා කළ අතර, ජලය ලබාදෙන තුරු නොනැගිටින උපවාසයක් ආරම්භ කළ යුතු බවට යෝජනා කර ස්ථිර කරන ලදී.

අධිකාරීගෙන් තර්ජන

හවස් වන විට ගොවීහු හා ගොවි කාන්තාවෝ 3000 ඉක්ම වූ පිරිසක් ද, ප්‍ර‍ත්‍යන්ත විහාරස්ථානවල භික්‍ෂූන් 25 නමක් පමණ ද උපවාසයට එක් වී සිටියහ. ලෑන්ඩ් මාස්ටර්වල නැගී අවුකන බුදු පිළිමය අසළට පූජා පැවැත්වීම සඳහා ගිය ප‍්‍රදේශයේ ඇතැම් ගොවි පිරිස් ද මේ උපවාසයට එක්වෙමින් සිටියහ. හවස 5-6 පමණ වූ පසු ඒ එම් එස් අධිකාරී ඇමතිවරයා මැරවර පිරිසක් ලොරියක පටවා ගෙන මෙම ස්ථානයට ළඟා විය. ‘‘කවුද මෙතනට පිටින් ඇවිත් ඉන්න කෙනා,’ යි ඔහු කෑ ගසා ඇසීය. ‘කොමියුනිස්ට්කාරයෝ බැරැහින් පැමිණ ගොවීන් කුලපිත කරන බවත්, තමන් ගොවීන් කැටුව කොළඹ ගිය නමුත්, අදාළ කැබිනට් තීරණය වෙනස් කර ගැනීම දුෂ්කර වූ බවත් කී ඔහු  උපවාස කොට වතුර ලබාගත නොහැකි යැයි තර්ජනාත්මකව කියා සිටියේය.

එවිට සමස්ත ලංකා ගොවි සම්මේලනයේ නියෝජිතයා කතා කරමින් මෙසේ කීය. ‘‘මම සමස්ත ලංකා ගොවි සම්මේලනයෙන්. අපි ගොවීන් කුපිත කළේ නැහැ. අපි කළේ කුපිතව සිටි ගොවීන් සන්සුන් කර ගොවීන්ගේම යෝජනාවක් අනුව සාමකාමී උපවාසයකට යොමු කිරීමයි. අපි ඉල්ලන්නේ වතුර ලබාදෙන්න කියලයි.’’

‘‘තමුසේ පිට කෙනෙක්. තමුසෙට අයිතියක් නැහැ මෙතන කතා කරන්න. තමුසේ පිටවෙලා යනවා. නැත්නං ගොවි මහත්වරු මෙයාටම කියලා වතුර ගන්න වේවි’’ යි අධිකාරී පෙරළා තර්ජනය කළේය.

'‘මම ආවේ ගොවි මහත්වරු අනුරාධපුරයේ අපේ කාර්යාලයට ගිහිල්ලා එන්න කියපු නිසයි. අපි ඇවිල්ලා කළේත් ගොවීන්ට උදව් කරපු එකයි. ගොවි මහත්වරු කතා කරලා කියන්න, අපි යන්න  ඕනෑද? නැද්ද? ගොවි මහත්වරු ඉන්න කියනවා නම් මම ඉන්නවා. යන්න කියනවා නම් මම යනවා’’ සම්මේලනයේ නියෝජිතයා කීය.

ඒ වනවිටත් කැඳවා සිටි පොලිස් නිලධාරීන් ගොවි සම්මේලනයේ නියෝජිතයා වෙත පැමිණ ‘ඔහේ යන්න, මෙතන හිටියොත් කරදර වේවි’ යි කියමින් ඔහුව අල්ලාගෙන ඉවතට ගෙන යාමට උත්සාහ දැරීය. එවිට ගොවි තරුණ පිරිස් පොලිස් නිලධාරීන් පසෙකට තල්ලූ කර දමා, ගොවි සම්මේලන නියෝජිත ඉවතට ඇදගෙන මෙම ස්ථානයෙන් වහා පිටවීමට කටයතු කළහ. ඒ වන විට කළුවර වැටීගෙන එමින් තිබූ බැවින් කලබලය මැද ඇමතිවරයා ද වාහනයකට ගොඩ වී එතනින් පිටව ගියේය.

ස්වාමීන් වහන්සේලා රැස්ව සිටි ගොවීන් අමතා එදින රාතී‍්‍ර පිට වී යාමටත්, පසුදා උදේ වන විට වතුර නොලැබුණහොත් නැවත එම ස්ථානයටම රැස්වී උපවාසය ආරම්භ කිරීමටත් කතිකා කරගෙන පිටව ගොස් තිබුණි. එදින රාතී‍්‍ර එළිවන තුරු පොලිස් ජීප් රථ ප‍්‍රදේශය පුරා එහා මෙහා යමින් සංවිධායක ලේකම් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගත්ත ද එය අසාර්ථක විය. පසුදා පාන්දර පා පැදිවලින් රැගෙන ගොස් ඔහුව ආරක්‍ෂිතව බස් රථයකට ගොඩ කර පිට කිරීමට ගොවි තරුණයෝ කි‍්‍රයා කළහ.

පසුදා උදේ වන විට වෙනස් කිරීමට බෑ කිවූ කැබිනට් තීන්දු වෙනස් වී ඇළ මාර්ග විවෘත කර මැලවෙමින් තිබූ ගොයම තෙමාගෙන ජලය ගලා බැස යමින් තිබුණි.

නව ගොවි සංගමයක්

දින කිහිපයකට පසු ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ගොවීන් රැස්කර ගම්මාන 30-40 ක් නියෝජනය වන පරිදි මහවැලි ගොවි සංගමය නමින් නව ගොවි සංවිධානයක් පිහිටුවා ගනු ලැබීය. සමස්ත ලංකා ගොවි සම්මේලනයේ මග පෙන්වීම ලබමින් පිහිට වූ මෙම සංවිධානයේ පළමු තීරණය වූයේ ‘ජලය ලැබුණද බොහෝ කුඹුරු මිය යෑම ආරම්භ වී තිබූ බැවින් රජය මිය ගිය සියලූ කුඹුරුවලට වන්දි ගෙවිය යුතුය’ යන්නයි. මේ ඉල්ලීම මුල්කර ගනිමින් මහවැලි ගොවි සංවිධානය මගින් විශාල ගොවි පෙළපාලියක් පවත්වා, මහවැලි කී‍්‍රඩාංගනයේ ගොවි රැළියක්ද පවත්වන ලදී.

මෙම නව ගොවි සංවිධානය ගොඩ නඟන ලද්දේ විධිමත් හා නිශ්චිත සැලසුමක් ඇතිව නොවූවද, නව සභාපති වූයේ පළාතේ ධනවත් ගොවියෙකි. ඔහු අත් ට්‍රැක්ටරයකට ද හිමිකම් කී, වෙනත් කුඹුරු අඳයට ගෙන ගොවි කම්කරුවන්ගේ ශ‍්‍රමය යොදවා වැඩ කරන අයෙකි. ‘සභාපති මහත්තයා’ නමින් හැඳින්වුණු මොහු ගොවි සංවිධානය නියෝජනය කරමින් නිලධාරීන් හමුවීමට ගියේය. ඔහුට නිලධාරීන් අතර යම් පිළිගැනීමක් ද ලැබුණි. ගොවීන් අතර අඳ ගොවීන්, කෘෂිකාර්මික කම්කරුවන් වැනි දිළිඳු ගොවීන්ගේ ප‍්‍රශ්න නිරන්තරයෙන් මතු වූ නමුත් ඒවාට නිලධාරීන්ගේ කවර හෝ සහායක් නොලැබිණ. එම ප‍්‍රශ්න විසදා ගැනීම සඳහා ‘සභාපතිගේ’ද එතරම් උනන්දුවක් දක්නට ලැබුණේ නැත.

ටික කාලයකින් සභාපති නිලධාරීන්ගේ හොඳ හිත රඳවා ගැනීම සඳහා නිලධාරීන්ව විවේචනය කිරීම අත්හිටුවා ඇති බවක් පෙනෙන්නට තිබුණි. මේ අතර ඇමති අධිකාරී විසින් ගොවි සංවිධානයේ කි‍්‍රයාකාරීන් වෙත එල්ල කළ තර්ජන උත්සන්න කෙරෙමින් පැවතුණි. විශේෂයෙන් ගොවි අරගලයේ සටන්කාමී පාර්ශවය නියෝජනය කළ එක් තරුණ භික්ෂුවක් ඔහු නැවතී සිටි විහාරස්ථානයෙන් එළවා දැමීමට අධිකාරී ඇමතිවරයා කටයුතු කළේය. එයට විරුද්ධව මහවැලි ගොවි සංවිධානය පියවර ගත යුතු යැයි යෝජනාවක් මතු වුවද, සංගමයේ සභාපතිවරයා ඒ සම්බන්ධව කටයුතු කිරීම මඟ හැරියේය. ඔහුට අවශ්‍ය වූයේ අධිකාරී ඇමතිවරයාගේත්, නිලධාරීන්ගේත් හොඳ හිත රඳවා ගැනීමට ය.

දිළිඳු ගොවීන්ගේ දැවෙන ප‍්‍රශ්න ගැන ද සභාපතිවරයා නොසළකා හැරියේය. මෙලෙස මහවැලි ගොවි සංගමය ප‍්‍රදේශයේ ධනවත් භික්‍ෂූන්ගේ හා ගොවීන්ගේ උවමනාවන්ට අනුව කටයුතු කරන සංවිධානයක් බවට පත් විය. එහි නොවැළැක්විය හැකි ප්‍ර‍තිඵලයක් ලෙස ක‍්‍රමයෙන් දිළිඳු ගොවීන් ගොවි සංගමයෙන් ඈත් වන බව පෙනෙන්නට තිබුණි.

ගොවි සම්මේලනය මර්දනය

උපවාසයෙන් තුන් මාසයකට පමණ පසුව රාත්‍රියක දී ගොවි සම්මේලනයේ සංවිධායක ලේකම් තම මිත‍්‍රයෙක් හමුවීමට ගොස් සිටි අතරවාරයේ  අධිකාරී ඇමතිවරයාගේ මැර කණ්ඩායමක් එම නිවස වටකර පහර දී ඔහුව බලහත්කාරයෙන් වාහනයකට දමා අධිකාරීගේ නිවසට ගෙන ගොස් තිබුණි. ඉන් පසුව එහි දී ද ඔහුට පහර දෙන ලදුව පසුදා පාන්දර පළාතේ පොලිස් ස්ථානාධිපති ගෙන්වා බොරු චෝදනාවක් මත රිමාන්ඩ් භාරයට පත් කරවන ලදී. මේ සිදුවීමෙන් පසු පළාතේ භික්‍ෂූන් සියලූ දෙනා භීතියට පත් වූ අතර ගොවි සංවිධාන වැඩවලට සහභාගි වීමට පවා බිය වූහ. මර්දනය ක්‍ර‍මානුකූලව උත්සන්න කර පළාතේ ගොවි ක‍්‍රියාකාරීහු එක් එක් අයට පොලීසිය ලවා තර්ජනය කෙරිණි. පොහොසත් ගොවීන් වූ ඔවුන් බොහෝදෙනා මේ තත්ත්වය මත අක‍්‍රීය වූහ.

ගොවි අරගලයේදී මූලිකත්වය ගත් සටන්කාමී තරුණ පිරිස් මේ තත්ත්වය මත ජනතා විමුක්ති පෙරමුණ දෙසට තල්ලූ වී ගියහ. ඔවුන් කීප දෙනෙකුම පසුකාලීනව ජවිපෙ කි‍්‍රයාකාරීත්වයන්ට දායක වී පොලිස් වෙඩි පහරට ලක්ව මිය ගිය බව දැනගන්නට ලැබුණි.

මහවැලි ගොවි සංගමය ගොඩ නැඟුණේ දිළිඳු ගොවීන්ගේ මූලිකත්වයෙන් නොවූ බැවින් එය වේගයෙන් අඩපණ විය. මේ සිදුවීම තුළ පැහැදිලි වූයේ පොදු ගොවිජන අරගලයන් තුළ නොවැළැක්විය හැකි ලෙස මතුවන ධනවත් ගොවීන්ගේ සීමාවන් ය. පාලකයන්ගේ තර්ජන හමුවේ පොහොසත් ගොවි කොටස් ඉදිරියට යෑමට මැලි වූ අතර, යම් සීමාවන් ඇතිව ප‍්‍රතිසංස්කරණයන් සඳහා ඔවුන් පක්‍ෂ වුවත්, දිළිඳු ගොවීන්ගේ උවමනාවන් සඳහා පෙනී නොසිටින බව ගල්නෑවේ අරගලය මනාව අනාවරණය කළේය.

එළඹෙන වකාවනුවේ ගොවි ජනයා අතර කැරළිකාරීත්වය තව තවත් තීව්‍ර‍වීමට නියමිතව තිබුණි.  නමුත් සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ක්‍රියාකාරීත්වයන්ට සීමා පැන වූ අභ්‍යන්තර හා බාහිර සාධක පිළිබඳ ග්‍ර‍හණය කරගැනීමට තවත් කල් අවශ්‍යව තිබුණි.☐

(මතු සම්බන්ධයි)

පැටි‍්‍රක් ප‍්‍රනාන්දු


© JDS


V වන කොටස: වෙල්ලස්සේ ගොවි අරගලයේ නැගීම

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.