JDS Sinhala

වාම ප්‍රත‍්‍යාවලෝකන: නිව්ටන් ගුණසිංහගෙන් පංති විශ්ලේෂණයක් - III කොටස


පළමු කොටස: 'ඉක්බිති දෙසැම්බරයේදී අපි ජනතා සංගමය ආරම්භ කළෙමු'
දෙවන කොටස:  පාර්සන්ස් පාර සිංහල දෙමළ සටන් පාඨවලින් ඇළලී ගියේය’

මස්ත ලංකා ගොවි සම්මේලනය තුළ නිරන්තරව මතු වූ ප‍්‍රශ්නයක් වූයේ, ගොවි සංවිධාන කලින් කලට මතුවන ප‍්‍රශ්න උඩ විවිධ පළාත්වලට පැතිරී ගිය ද ඒවා තහවුරු නොවීමයි. ඒ අනුව ගොවි සම්මේලනය හැඳින්විය හැක්කේ මතුවන ප‍්‍රශ්න උඩ වැඩකළ සංවිධානයක් (issue oriented) ලෙස මිස යම් කි‍්‍රයාමාර්ගයක් උඩ වැඩ කළ සංවිධානයක් (cause oriented) ලෙස නොවේ. අද දක්වාම ගොවීන් සංවිධානය කරන බලවේගවල කි‍්‍රයාකාරීත්වය පවතින්නේද එක් එක් අවස්ථාවේ විවිධ පළාත්වල මතුවන ප‍්‍රශ්න උඩ වැඩ කරන සංවිධානයන් ලෙස ය. ගොවිජන වැඩපිළිවෙලක් හා කි‍්‍රයාමාර්ගයක් සැකසීම සඳහා ගොවීන් අතර පංති විභේදනයන් සැලකිල්ලට ගත් වැඩපිළිවෙලක් තිබිය යුතු ය. අද වන තෙක්ම ගොවීන් අතර පංති විභේදනයන් පිළිබඳ හැදෑරීමේ බරපතල උත්සාහයක් දක්නට නැත.

සමස්ත ලංකා ගොවි සම්මේලනය මුලින්ම බිහිවූයේ 1950 ගණන්වල කළුතර දිස්ත්‍රික්කයේ අරකාවිල ප‍්‍රදේශයේ ඉඩම් ඇල්ලිමේ අරගලයක් තුළින් ය. ධර්මපි‍්‍රය ජයකොඩි සහ ආරියවංශ ගුණසේකර ශී‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් ලෙස එයට නායකත්වය සැපයූ අතර, එවකට එම දිස්ති‍්‍රක්කය තුළ ගොවි සංවිධාන පැතිරී ගියේය. ඉන්පසු ආරියවංශ ගුණසේකර වෘත්තීය සමිති ව්‍යාපාරයේ කි‍්‍රයාකාරිකයෙකු ලෙස ‘53 හර්තාලයට සම්බන්ධ වීම නිසා එල්ලවූ මර්දනයෙන් ගැලවීම සඳහා අනුරාධපුරයට යාමත් සමග, අනුරාධපුරයේ බූලංකුලම වලව්වේ රදල ඉඩම් අයිතියට විරුද්ධව එම දිස්ති‍්‍රක්කයේ ගොවීන් සංවිධානය කිරීමට ඔහු උනන්දු විය. එසේම රජරට ගොවි ජනපදවල ප‍්‍රශ්නවලට මැදිහත් වීමද සිදු විය. කුලරත්න වික‍්‍රමසිංහ පොලොන්නරු දිස්ති‍්‍රක්කයේ ගොවි ජනපදවල කි‍්‍රයාකාරී වෙමින් ආරියවංශ ගුණසේකරට සහාය විය.

ජල බදු විරෝධී සටන්

1979 දි පමණ සමස්ත ලංකා ගොවි සම්මේලනය විවිධ දේශපාලන කණ්ඩායම්වලට එක් විය හැකි ලෙස පුළුල් කිරීමෙන් අනතුරුවද මේ තත්ත්වයේ වෙනසක් නොවීය. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ටී බී  විජේසූරියගේ මූලිකත්වයෙන් කි‍්‍රයාත්මක භාවයක් ඇති වූ කාලයේ අනවසර ගොවීන් එලවා දැමීමේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ සැලසුම් කි‍්‍රයාත්මක වන විට කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පල්ලේකැලේ ආශි‍්‍රත අනවසර ගොවි ප‍්‍රදේශවල ද ගොවි සංවිධාන පැතිරුණි. 1984 දී පමණ වාරි යෝජනා ක‍්‍රමවල ගොවීන් මත අක්කරයකට රු.100 ක ජල බද්දක් පැන වූ විට එයට එරෙහිව එම ගොවීන් අතර ද ගොවි සංවිධාන වේගයෙන් පැතිරුනි. ඒ වන විට පල්ලේකැලේ ගොවීන් අතර කි‍්‍රයාකරීත්වය දුර්වල වී තිබුණි. මහවැලියේ ගල්නෑව ප‍්‍රදේශයේ කලාවැව වම් ඉවුරේ ජලය බෙදා හැරීම නැවතූ විට ගොවීන්ගේ විශාල උපවාසයක් ජය ගැනීමෙන් අනතුරුව දින 4-5 කදී මහවැලි ගම්මාන තිස් ගණනක ගොවි සංවිධාන හතු පිපෙන්නාක් මෙන් ගොඩ නැඟුනි. ජලය නැතිව කුඹුරු වියලී යාම මත වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ගොවීහු විශාල පෙළපාලියක් ද පැවැත්වූහ. එජාප ආණ්ඩුවේ ඇමති ධූරයක් හෙබ වූ කලාවැව ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ එම් එස් අධිකාරිගේ මෙහෙයවීමෙන් උපවාසයට මූලික වූ ගොවි  සම්මේලනයේ සංවිධායක ලේකම්වරයා වශයෙන් එවකදී ක්‍රියා කළ මෙම ලියුම්කරු රාති‍්‍රයකදී මැර කණ්ඩායමක් යොදවා පැහැරගෙන ගොස් පහර දී රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධියත් සමග ගොවි සංවිධාන ගොඩනැගීමට මුල් වූ ස්වාමීන් වහන්සේලා බිය වූ අතර, ගොඩනැගුනු වේගයටත් වඩා වැඩි වේගයකින් ගොවි සංවිධාන ඇද වැටුනි.

1984 දී මොණරාගල දිස්ත‍්‍රික්කයට උක් වගා කරන බහුජාතික සමාගම් පැමිණ ගොවීන්ගේ ඉඩම් උදුරාගැනීමට ගිය අවස්ථාවේ දී එම දිස්ති‍්‍රක්කය තුළ, විශේෂයෙන් සියඹලාණ්ඩුව අවට ප‍්‍රදේශවල ගොවි සංවිධාන වේගයෙන් පැතිරුණු අතර, හැම ගමකම පාහේ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සංවිධාන ගොඩ නැගුනි. ගොවි උපවාස, පෙළපාලි, කාර්යාල වටකිරීම් හා බහුජාතික සමාගමේ උක් පැල තවාන් විනාශ කිරීම ඇතුළු සටන්කාමී පියවර ගනු ලැබූව ද, ගොවි අරගලයේ කි‍්‍රයාකාරී වැඩ කොටස් ඉටු නොකළ ජවිපෙ කි‍්‍රයාකාරීන් විසින් සමාගමේ නිලධාරීන් පිරිසක් ඝාතනය කර දැමීමේ සිද්ධිය මුල්කරගෙන ප‍්‍රදේශයේ ගොවි නායකයන්ට රජයේ මරණීය තර්ජන එල්ල විය. ගොවි අරගලයේ ප‍්‍රධාන නායකයා වූ ආනන්ද වීරකෝන් හමුදාව විසින් ඝාතනය කිරීමත් සමග ගොවි අරගලය අඩපණ විය. ගොවි සංවිධාන ද ඒ සමග අඩපණ වී ගියේය.

මේ ආදී වශයෙන් වරෙක ඇලහැර ජනපදයේ ද, තවත් වරෙක ගාලූ දිස්ති‍්‍රක්කයේ ගිං ගඟ යෝජනා ක‍්‍රමය ඉදි කිරීම නිසා ඇති වූ ප‍්‍රශ්නවලදි බද්දේගම ප‍්‍රදේශයේ ද ආදී වශයෙන් වරින් වර ගොවි සංවිධාන විවිධ පළාත්වලට පැතිරී ගියත් ඒ කිසි තැනෙක ගොවි සංවිධාන මුල් ඇද තහවුරු වූයේ නැති තරම් ය. ඉතිරි වූයේ ඒ ගොවි ජනතාව අතර වැඩකළ විවිධ කණ්ඩායම්වල දේශපාලන කි‍්‍රයාකාරීන් පමණි.

නිව්ටන් ගුණසිංහගේ මැදිහත් වීම

මේ කාලය තුළ ආචාර්ය නිව්ටන් ගුණසිංහ සමාජ විද්‍යායෙකු ලෙස උඩරට ගම්මානයක පංති විභේදනය පිළිබඳ ක්‍ෂේත්‍ර‍ අධ්‍යයනයන් ඔස්සේ හදාරා ඒ පිළිබඳ ලිපියක් පොත් පිංචක් ලෙස පළ කර තිබුණි. මීට අමතරව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය පියසිරි වික‍්‍රමසේකර, ආචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය නඩරාජා ශන්මුගරත්නම් වැනි වාමාංශික බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් සමාජ විද්‍යාඥයන්ගේ සංගමය යටතේ ‘ප‍්‍රාග්ධනය හා ගොවි නිෂ්පාදනය’ (Capital and Peasant Production: 1985) නැමති කෘතිය සමීක්ෂණ කණ්ඩායම් ගණනාවක හැදෑරීම් ප‍්‍රතිඵල කැටිකර චාල්ස් අබේසේකරගේ සංස්කරණයෙන් පළ කරන ලදී.

එම කෘතියේ එක් හැදෑරීමක් වූයේ ලංකාවේ ගොවි පද්ධති හයක පංති විභේදනයන් පිළිබඳව ය. ලංකාවේ පවතින තත්ත්වය මත රට හැමතැනටම වලංගු වූ ඒකාකාර පංති විභේදනයක් සිදුකළ නොහැකි බවට තර්ක කළ නිව්ටන් ගුණසිංහ ඒ අනුව ලංකාවේ පවතින ගොවි පද්ධති හයක් පිළිබඳ වෙන වෙනම හැදෑරීම් කර ඒවායේ පංති විභේදනයන් වෙන් වෙන්ව දක්වා තිබුණි. එනම්,

1. යාපනයේ කෘෂිකාර්මික කම්කරුවන්ගේ ශ‍්‍රමය විශාල වශයෙන් යොදා ගන්නා විශාල ඉඩම් හිමියන් සහිත පද්ධතිය.
2. රජරට පැරණි ගම්මානයක්
3. මහනුවර එනසාල්, කරාබුනැටි ආදී ආර්ථික භෝග වගා කරන ගම්මානයක්
4. බහු ජාතික සමාගම් විසින් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට ගොවිතැන් කරවන ගම්මානයක්
5. හම්බන්තොට පැරණි ගම්භාර ක‍්‍රමය පවතින ගම්මානයක්
6. ජල යෝජනා ක‍්‍රම යටතේ පවතින ගොවි ජනපදයක්.

මෙම ප‍්‍රදේශයන්ගේ පවතින පංති විභේදනයන් එකිනෙකට වෙනස් බව මෙම හැදෑරීම අනුව පැහදිලිව පෙන්නුම් කරන්නට ඔහු සමත් විය.

එසේම වසර 10 කට වරක් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනය  (ARTI) මගින් කරනු ලැබූ හැදෑරීමකට අනුව 1982 ශී‍්‍ර ලංකාවේ ගොවි ජනයාගෙන් 48.5% ක් කෘෂිකාර්මික කම්කරුවන් බව පෙනී ගොස් තිබියදී, මේ කෘෂිකාර්මික කම්කරුවන් වෙනුවෙන් සමස්ත ලංකා ගොවි සම්මේලනය කර ඇත්තේ කුමක්ද යන ප‍්‍රශ්නය නිව්ටන් ගුණසිංහ විසින් ගොවි සම්මේලනයේ කි‍්‍රයාකාරීන්ගේ රැස්වීමක දී මතු කරනු ලැබීය. සමාජය වෙනස් කිරීමේ පරමාර්ථය සහිත සමස්ත ලංකා ගොවි සම්මේලනය, ගොවි ජනතාව අතරින් වඩාම දිළිදු ගොවීන් කෙරෙහි අවධානය යොමු කර නැති බව ඔහු විසින් කරුණු සහිතව පෙන්වා දෙන ලදී. අනෙක් අතින් ගොවි ජනතාව අතරින් වැඩිම පංගුව සමන්විත වන්නේ මෙකී කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් නිසා මේ ප‍්‍රශ්නය වෙත අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බවද ඔහු අවධාරණය කර සිටියේය. සමස්ත ලංකා ගොවි සම්මේලනය, ගොවි ජනතාව අතර පංති විභේදනය පිළිබඳ බරපතල අවධානයක් යොමු කරනු ලැබුවේ මේ සංවාදයෙන් පසුව ය.

ගොවි කි‍්‍රයාකාරීන් මේ පිළිබඳ පැවසුවේ, කෘෂිකාර්මික කම්කරුවන් පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වන නමුත්, ග‍්‍රාමීය ප‍්‍රදේශවල සමාජ කි‍්‍රයාකාරීත්වයේ අද ඉදිරියෙන් සිටින්නේ සුළු ඉඩම් අයිතියක් ඇති ගොවීන් බව ය. දැනුවත්භාවය අතින් ද ඔවුන් ඉදිරියෙන් සිටින බව පිළිගැනෙයි. ඊට සාපේක්‍ෂව කෘෂිකාර්මික කම්කරුවන්ගේ දැනුවත් භාවය අඩු නිසා ද, සමාජ කි‍්‍රයාකාරීත්වයේදී ඔවුන්ට පිළිගැනීමක් නොලැබෙන නිසා ද ඔවුන් ග‍්‍රාමීය ගොවි සංවිධානවල නායකත්වයට පත් නොවේ. ඇත්ත වශයෙන්ම ඔවුන්ට පොදු ප‍්‍රශ්නවලට මැදිහත්වීමට කාලයක් නොමැති තරම් වන අතර ජීවත් වීම සඳහා එදිනෙදා වැඩට යාමට ඔවුන්ට සිදුව තිබේ. අනෙක් අතින් මෙකී කෘෂිකාර්මික කම්කරුවන් වැඩකරන්නේ ප‍්‍රදේශයේ මැද පාන්තික ගොවීන් යටතේ ය. එක් අතකින් කෘෂි කම්කරුවන් වැඩි වැටුපක් ඉල්ලීම හා ආහාර වේල සැපයීම ඇතුළු රැකියාවේ පහසුකම් ඉල්ලීමේ දී මැද පාන්තික ගොවීන් විරුද්ධ වීමට ද ඉඩ තිබේ. මේ අනුව මෙකී මැද පාන්තික ගොවීන් බහුජාතික සමාගම්වල සූරාකෑමට එදිරිව මිතුරන් වන අතරම, කෘෂිකාර්මික කම්කරුවන්ගේ වැඩි වැටුප් ඉල්ලීමේ දී විරුද්ධ වීමට ද ඉඩ තිබේ. මේ පිළිබඳ 'පොතේ සංඛ්‍යා ලේඛන' කෙසේ වුවත්, සුළු හා මධ්‍යම ගොවීන් විශාල ප‍්‍රමාණයක්මේ මගින් සතුරු කර ගැනීමට බැරි බව කි‍්‍රයාකාරීහු පෙන්වා දෙනු ලැබූහ.

පංති විශ්ලේෂණය සඳහා පුහුණුවක්

මේ සංකීර්ණ තත්ත්වය තේරුම් ගැනීම සඳහා ඒ ඒ ගම් ප‍්‍රදේශවල පංති විභේදනය හැඳුනාගැනීමේන්, ඒ මත පදනම් වී ඒ ප‍්‍රදේශයට ගැලපෙන වැඩපිළිවෙලක් සකසා ගත යුතු බවට තීරණය විය.

ඒ අනුව අත් හදාබැලීමක් ලෙස කි‍්‍රයාකාරීන් 50ක් පමණ රැස්කර දින හතරක පුහුණු වැඩපිළිවෙලක් පවත්වන ලදී. මූලික ග‍්‍රාමීය සමීක්‍ෂණයක් පවත්වන ආකාරය මෙහිදී පැහැදිලි කරනු ලැබිණ. මා ඕ සේතුංගේ ‘පොතට වහල්වීමට විරුද්ධවන්න’ නම් පොත් පිංච මෙහිදී උපකාරී විය. ගමේ පිරිස් රැස්කර සාකච්ඡාවක් මගින් ගම පිළිබඳ තොරතුරු රැස්කර ගන්නා ආකාරය, ඒ සඳහා අප විසින් ඇසිය යුතු ප‍්‍රශ්න මාලාව පිළිබඳ විස්තර යනාදිය එහි පැහැදිලි කොට තිබුණි. ගමේ විශාල පිරිසක් රැස්කිරීම මගින් තොරතුරු පිළිබඳ සත්‍යතාව නිශ්චිත කරගත හැකි වේ. මේ අනුව ගමේ පවතින පවුල් සංඛ්‍යාව, අක්කර පහට අඩු අක්කර  ½ - ¼ දක්වා වූ ඉඩම් හිමි ප‍්‍රමාණය, ඉඩම් නොමැති පවුල් හෙවත් කෘෂිකාර්මික කම්කරුවන් ප‍්‍රමාණය, ඉඩම් කැබැල්ලක් තිබුණද ආදායම ප්‍ර‍මාණවත් නොවීම නිසා ශ‍්‍රමය විකිණීමටත් සහභාගිවන ප‍්‍රමාණය ආදී වශයෙන් තොරතුරු එක්රැස් කිරීමට මෙහිදී යොමු කරවන ලදී. වෙනස් ක්‍ෂේත්‍ර‍යක රැකියාවලට යන අයට අමතර ආදායමක් තම ඉඩම්වලින් ලැබෙන අය ද සිටිති. මේ විවිධ පංතිවලට අයත් අයගේ මූලික ප‍්‍රශ්න මොනවාද යන්නත් මේ කියන තොරතුරු එකතු කිරීම්වලට ඇතුළත්ව තිබිණ. මෙවැනි තොරතුරු රැස් කිරීම සඳහා අනවසර ගොවි ප‍්‍රදේශයක්, ජනපදයක්, පැරණි ගම්මානයක් ආදී වශයෙන් වූ එකිනෙකට වෙනස් ගම්වලට  පුහුණු කි‍්‍රයාකාරීන් යවනු ලැබිණ. ඉක්බිති මෙසේ රැස්කරන ලද තොරතුරු ආශ‍්‍රයෙන් ගමට උචිත මූලික වැඩපිලිවෙලක්, එකී ග‍්‍රාමීය සමීක්‍ෂණය පදනම් කරගෙන ඔවුන් විසින්ම සකසන ලදී. මේ වැඩපිළිවෙලවල් ඉන්පසු සාමූහික සාකච්ඡාවට පාත්‍ර ‍කිරීමටද කටුයුතු යොදනු ලැබුණි. මේ අනුව ඇත්තෙන්ම බලාපොරොත්තු වූයේ මතුවන ප‍්‍රශ්න උඩ වැඩ කිරීමට අමතරව, ගමේ නිරන්තර පවතින ප‍්‍රශ්න මුල්කරගෙන වැඩ කිරීමේ ආරම්භයක් ගැනීමට ය.

මේ වැඩපිළිවෙල ගොවි සම්මේලනයේ නිත්‍ය වැඩපිළිවෙල බවට පත් කිරීමට ගොවි සම්මේලනයේ සමහර කොටස් බලාපොරොත්තුව වුවද, වැඩි කොටසක් පෙර පුරුදු පරිදි විවිධ ප‍්‍රශ්න උඩ උද්ඝෝෂණය කිරීමේ ක‍්‍රමය තම වැඩ ක‍්‍රමය බවට තව දුරටත් පත්කරගෙන තිබුණි.

පිලිපීන ගොවි ව්‍යාපාරයේ අත්දැකීම

පිලිපීන ජාතික ගොවි ව්‍යාපාරයේ නායකයන් දෙපලක් මාසයක් පමණ කාලයක් අප හා නැවතී අත්දැකීම් බෙදා හදා ගැනීමට පැමිණියේ මේ කාලයේ දී ය. ඔවුන් හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර ආදී ප‍්‍රදේශවලට සංචාරය කරමින් ඒ ප‍්‍රදේශවල වැඩ කිරීම පිළිබඳ හදාරා අවසානයේ දී සාමාලෝචන සාකච්ඡාවක් පවත්වන ලදී.

සමස්ත ලංකා ගොවි සම්මේලනය ඉතා දක්‍ෂ ලෙස මතුවන ප‍්‍රශ්න උඩ පැතුරුනු ගොවි සංවිධාන (sweeping organization) ගොඩ නගා ඇති නමුත්, ඒවා තහවුරු කර ස්ථිර සංවිධාන (solid organization) ගොඩනගා නැති නිසා ඒවා ටික කලක් යන විට දිය වී යන ආකාරය නොවැළැක්විය හැකි බව ඔවුහු විස්තර කළහ. තහවුරු කිරීම කළ හැක්කේ සමාජය වෙනස් කිරීමේ උවමනාවකින් පෙලෙන දියුණු මතවාදයකින් යුක්ත හා බොහෝ විට පහළ පංතිවල කොටස් මගින් පමණි. පොහොසත් ගොවීන් මතුවන ප‍්‍රශ්න උඩ කි‍්‍රයාකාරී වුවත්, ඒ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් යම් ප‍්‍රතිසංස්කරණ විසඳුමක් ලැබුණු පසු අකි‍්‍රය වීමට ඉඩ තිබේ. ඒ නිසා මතුවන ප‍්‍රශ්න උඩ ප‍්‍රදේශයක වැඩ ආරම්භ කර, ප‍්‍රදේශයේ ග‍්‍රාමීය සමීක්‍ෂණයක් කර, වඩා පහල පංතිවල ප‍්‍රශ්න කෙරෙහි වැඩි අවධානයක් යොදා, තහවුරු සංවිධාන ගොඩනැගීම කළ යුතු බව ඔවුහු පෙන්වා දුන්හ. එකී පහළ පංතීන්ගේ මූලිකත්වයෙන් සුළු ගොවීන් හා මධ්‍යම පංතික ගොවීන් ඒ වටා ඒකාරාශී කළ යුතු වේ. තහවුරු වූ සංවිධාන සමස්ත ගොවි ජනතාවත් සමග ගොඩනැගීම දුෂ්කර වේ. ඒ සඳහා පළල් ගොවි සංවිධාන තුළ කි‍්‍රයාකාරී වන දියුණු කොටස් තෝරාගෙන ඔවුන්ගේ කුඩා කණ්ඩායම් ගොඩනැගීම කළ යුතුය යන මතය ඔවුන්ට වටහා දිය යුතුය. මෙලෙස පළල් ගොවි සංවිධාන තුළ දියුණු දේශපාලන කළලයන් ගොඩනැගීම කළ යුතු වේ. පැතුරුනු ගොවි සංවිධාන තුළ තහවුරු සංවිධාන ගොඩ නැගීම නොකරන තාක්කල් ගොවි සංවිධාන දියවීමේ ප‍්‍රශ්නයට මුහුණ පෑමට සිදුවන බව පිලිපීන ජාතික ගොවි සංවිධානයේ අත්දැකීම් ඇසුරු කරගෙන ඔවුහු මනා සේ පහදා දුන්හ.

අනෙක් අතින් ගොවි ජනතාව අතර දේශපාලන අදහසක් මතු කිරීම සඳහා වෙනත් බලවේගවල ප‍්‍රශ්න පිළිබඳව ද වැටහීමක් ලබාදිය යුතුව ඇති බව ඔවුන්ගේ අදහස විය. කම්කරු පංතියේ ප‍්‍රශ්න, ස්තී‍්‍රන්ගේ හා ශිෂ්‍යයන්ගේ ප‍්‍රශ්න, වෙනත් පීඩිත ජාතීන්ගේ ප‍්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබා නොදී ගොවීන්ට දේශපාලන වෙනසක් පිළිබඳ අදහස කා වැද්දිය නොහැකි බව ඔවුහු අවධාරණය කොට පෙන්වා දුන්හ.

පිලිපීනයේ අත්දැකීම් පිළිබඳ සාකච්ඡාවෙන් පසු සමස්ත ලංකා ගොවි සම්මේලනයේ අත්දැකීම් පිළිබඳ විමසීමට බොහෝ කොටස් තුළ පෙළඹීමක් ඇති වූ බව කිව යුතු ය.

ජලබදු අරගලයේ අත්දැකීම්

1984 දී පමණ ආණ්ඩුව ලෝක බැංකුවේ නියෝගයක් මත ජලාශ ව්‍යාපාර යටතේ පදිංචි ගොවීන්ගෙන් අක්කරයකට රු.100 ක ජල බද්දක් අය කිරීමටත්, එම බද්ද නොගෙවන ගොවීන්ට නඩු පැවරීමටත් තීරණය කරනු ලැබීය. මේ සම්බන්ධ පළමු අරගලය මතුවූයේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ බතලගොඩ ව්‍යාපාරයේ ය. ඇත්තෙන්ම එම ව්‍යාපාරය නව ගොවි ජනපදයක් නොවීය. පැරණි ඉඩම් අයිතිය එලෙසම පවතිද්දී බතලගොඩ වැව ගොඩනගා අක්කර 8000ක පමණ කුඹුරු ඉඩම් ප‍්‍රමාණයකට ජලය ලබාදී තිබුණේ 1950 ගණන්වලදී ය. ඉඩම් අයිතිය පැවතියේ පැරණි රදල ඉඩම් අයිතියට අනුකූලව ය. පැරණි වලව් ගණනාවක්ම ප‍්‍රදේශයේ පැවති අතර, ඒවාට විශාල ඉඩම් ප‍්‍රමාණයක් හිමිව තිබුණි. එසේම විහාරස්ථාන රාශියක් පැවති අතර, ඒවාට ද විශාල ඉඩම් ප‍්‍රමාණයක් හිමිව තිබුණි. මී ළඟට අක්කර 5 - 10ත් අතර ප්‍රමාණයකට හිමිකම් කී පොහොසත් ඉඩම් හිමියෝද සිටිහය. ඔවුන් සිය වැඩ කටයුතු කරන අතර, තවත් ඉඩම් ප‍්‍රමාණයක් අඳයට දී වැඩ කරවති. අඳ ගොවීන් විසින්ද කරු අඳයට තවත් ගොවීන්ට වැඩ කිරීමට බාර දී තිබුණි. ඉඩම් නොමැති විශාල ප‍්‍රමාණයක් කාෂිකාර්මික කම්කරු පිරිස් ලෙස ද වැඩ කළෝය. මේ අනුව වැඩිම ජල බද්දක් ගෙවීමට සිදු වූයේ පොහොසත් ගොවීන්ට හා විහාරස්ථානවලට ය. මේ නිසා ජලබද්දට එදිරිව ගොවින් සංවිධානය කිරීමේදී හිරිපිටියේ නායක භික්‍ෂූන්ගේ නායකත්වයෙන් සෑම විහාරස්ථානයකම වාසය කළ සංඝ ප්‍ර‍ජාව ඒ ඒ ගම්මානවල ගොවීන් ඒකාරාශී කිරීමට කටයුතු කළේය. ටී බී විජේසූරිය යතුරු පැදියක නැගී පන්සල් සියල්ලට යමින් දින කිහිපයක් තුළ ගම්මාන රාශියක ගොවීන් ඒකාරාශී කිරීමට සමත් විය‍.

මෙහිදී සමස්ත ලංකා ගොවි  සම්මේලනයේ අදහස වූයේ සියලූ ගොවීන් ජලබදු නොගෙවා සිරගතවීමට තමන් සූදානම් බව උසාවියේදී පැවසිය යුතු බව ය. හිරිපිටියේ නායක භික්‍ෂුව සෑම තැනකටම මැදිහත් වෙමින් ඉතා එඩිතර ලෙස 'පළමුව හිරේ යන්නේ තමන්' බව පැවසීම ගොවීන් අතර විශාල ධෛර්ය උපදවන්නක් විය. මේ අනුව දින කිහිපයකදී 2000 ක් පමණ උසාවියට පෙළපාලියෙන් යෑමට සූදානම් කිරීමට ටී බී විජේසූරිය ඇතුළු ගොවි කි‍්‍රයාකාරීහු සමත් වූහ.

පංති විභේදනය හා ගැඹුරු තහවුරු කිරීම වටහා ගත් කොටස් මෙම රැස්වීම්වලට සහභාගි වූයේ තත්ත්වය නිරීක්‍ෂණය කරමිනි. බෞද්ධ භික්‍ෂූන්ගේ හා පළාතේ පොහොසත් ගොවීන්ගේ මූලිකත්වයෙන් පැවති රැස්වීම්වල පිටුපසින්ම සිටියේ දිළිඳු අඳ ගොවීන් හා කරු අඳයට ගොවිතැන් කරන දිළිඳු ගොවීන් ය. ජල බද්ද ගෙවීමට ඔවුන්ට සිදු නොවූ අතර ගෙවන්නේ නම් ය ද ඉතා සුළු වශයෙන් වූවකි. මෙයටත් වඩා ඔවුන්ගේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වූයේ ඉඩම් හිමි පන්සල් විසින් හා පොහොසත් ඉඩම් හිමියන් විසින් දිළිඳු අඳ ගොවීන්ගේ පංගුව නොදී කරනලද සූරාකෑම ය. ඔවුන්ට මේ රැස්වීම්වලදී පිළිගැනීමක් නොලැබුණු අතර, තම ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ද ලැබුණේ නැත. ඔවුන් රැස්වීම්වල පිටුපසට වී කථාකරමින් සිටියේද මෙකී ධනවත් ගොවි නායකයන් විසින් තමන්ට කරන හිරිහැර පිළිබඳව ය. කෙසේ වුවද, 1956 සිටම ඉඩම් හිමියන්ගේ හා විහාරාධිපති හිමිවරුන්ගේ සහයෝගය හේතුවෙන් ජය ගැනීමට සමත්ව  තිබු පළාතේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරයාගේ නිවස වැටලීමටත්, ජල බද්දට පාර්ලිමේන්තුවේදී විරුද්ධ විය යුතු යැයි බලකිරීමටත් තීරණය වී තිබුණි.

මන්තී‍්‍රගේ නිවස වටලෑම සඳහා ලොරිවලින් විශාල සෙනඟක් යාමට තීන්දු කර තිබූ දිනට පෙර දින දී මන්තී‍්‍රවරයා කි‍්‍රයාත්මක විය. හිරිපිටියේ නායක හිමියන්ටත්, ප‍්‍රදේශයේ පොහොසත් ගොවීන්ටත් මන්තී‍්‍රවරයා විසින් කතා කර මෙය කොමියුනිස්ට්කාරයන්ගේ කුමන්ත‍්‍රණයක් බවත්, ඒ නිසා මෙම උද්ඝෝෂණය නැවැත්විය යුතු බවටත් තර්ජනය කර තිබුණි. එදා රාතී‍්‍ර හිරිපිටියේ හිමි, ටී බී විජේසූරියව විහාරස්ථානයට ගෙන්වා මේ තත්ත්වය දන්වා සිටීමෙන් පසු වැඩපිළිවෙල තරමක් වෙනස් කර ගොවීහු පන්සලට ඒකරාශී කිරීමට තීන්දු කරන ලදී. ලොරි හිමියන් ද මේ තත්ත්වය මත ලොරි දීම ප‍්‍රතික්‍ෂේප කර තිබුණි. අවසානයේදී පැමිණෙන පිරිස බෙහෙවින් අඩු විය. 1500-2000 ත් අතර පිරිසක් පන්සලට ඒකරාශී වූ අතර, එම ස්ථානයට මන්තී‍්‍රවරයා ද පැමිණියේය. එහිදී ඔහු ජලබද්දට විරුද්ධව මතය ප‍්‍රකාශ කරන බවට පොරොන්දු වී තිබුණි. එදිනම පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ප‍්‍රශ්නය සාකච්ඡාවට ගෙන තිබූ අතර, එය නැවැත්විය යුතු බවට මන්තී‍්‍රවරයා ඉල්ලා සිටියේය. පොහොසත් රදළ ඉඩම් හිමියන් ක‍්‍රමයෙන් අරගලයෙන් ඉවත් වූ අතර, අවසානයේ ඉතිරි වූයේ දුප්පත් ගොවීන් පමණි. භික්‍ෂූන් බොහො දෙනෙකු ද මේ ආකාරයටම අරගලයෙන් ඉවත් වූහ. අරගලයේ පෙරමුණ ගත්තවුන් පොලිසිය මගින් බියට පත් කර තිබීමද අරගලය දුබල වීමට හේතු විය. හිරිපිටියේ නායක හිමියන් ඒ වන විට එජාප ය සමග කළකිරී සිටි අතර, ඒ නිසාම අරගලය සමග අඛණ්ඩවම සම්බන්ධ වී කටයුතු කළේය. අනෙක් අතින් පොහොසත් ගොවීන්ගේ මූලිකත්වයෙන් දියත් කරන ලද අරගලය සේවය කළේ මේ අරගලය වටා රොක් වී සිටි මැතිවරණවාදී පක්‍ෂ හරහා ඊළඟ මැතිවරණයෙන් ජයගැනීමට බලා සිටි මන්තී‍්‍ර අපේක්ෂකයන්ගේ බල න්‍යාය පත්‍ර‍න්ට ය. ගොවීන් සංවිධානය කිරීමට කිසිදු වෙහෙසක් නොදැරූ ඔවුන් ඇත්ත වශයෙන්ම කළේ රැස්වීම්වලට පැමිණ කතා කිරීම පමණි.

ජල බද්ද හදිසියේ මතු වූ ප‍්‍රශ්නයක් හෙයින් එයට මැදිහත් වී පැතිරුණු සංවිධාන ගොඩනැගීම එක් අතකින් නිවැරදි ක්‍රියාමාර්ගයකි. ඒ තුළින් ගොවීන් අතර සමගියක් ගොඩනැගීමට අවශය අඩිතාලම දමනු ලැබිණ. නමුත් ඒ අතරම හැම ගමකම පංතීන් පිළිබඳ සමීක්‍ෂණයක් පවත්වා ඉඩම් හිමියන්ගේ පීඩනයට ගොදුරු වන අඳ ගොවීන් හා කෘෂි කම්කරුවන්ගේ ප‍්‍රශ්නය ද අවාධනයට ගත යුතුව තිබුණි. ඒ අනුව පළල් ගොවි සමිතියට අමතරව දිළිඳු ගොවීන්ගේ ගැඹුරු සංවිධානයක්ද ගොඩනැගිය යුතුව තිබුණි. සමහර විට ඔවුන්ගේ නායකත්වය එකවර ගොඩනැගීම දුෂ්කර විය හැකිව තිබුණ නමුත් මන්තී‍්‍රවරුන්ගේ බලපෑම් මත පොහොසත් ගොවීන් පසු බසින විට වඩාත් එඩිතරව කි‍්‍රයාකරන දිළිඳු ගොවීන්ට හා දැනුවත් කොටස්වලට නායකත්වය සඳහා ඉදිරියට ඒමට අවස්ථාව උදාවීමට අවකාශ තිබිණ. එසේ වී නම් මැතිවරණවාදී පක්‍ෂවලට අවස්ථාව උදාවන්නට ඉඩක් නොවූයේ මේ තුළ දේශපාලන අවබෝධයක් ඇති දියුණු කොටස්වල අරටුවක් ගොඩනැඟී තිබූ නිසා ය.

පංති විශ්ලේෂණය ගැන අවබෝධයක් ලබා නොගෙන, ඒ පිළිබඳ වැඩ පිළිවෙලක් නොයොදා, මතුවන ප‍්‍රශ්න උඩ වැඩ කිරීම නිසා සමස්ත ලංකා ගොවි සම්මේලනය බොහෝ ප‍්‍රදේශවල කළ වැඩ තුළින් අවසාන වශයෙන් පීඩිතයන්ගේ ව්‍යාපාරයකට වාසිදායක තත්ත්වයක් නිර්මාණය නොවිණ. ඒ වෙනුවට මෙකී උද්ඝෝෂණවලට මද වශයෙන් හෝ සම්බන්ධ වූ පළාතේ මන්තී‍්‍ර අපේක්ෂකයන්ට ඒ මගින් වාසි සළසාගෙන මැතිවරණ ජයග‍්‍රහණ ලබාගැනීමට හැකියාව ලැබුණි. අවසාන විග්‍ර‍හයේදී ඒ හරහා ධනපති පක්‍ෂවල බලය තහවුරු කර ගැනීමට අලුත් වටයකින් ඉඩකඩ විවර විය. ආරියවංශ ගුණසේකර සහෝදරයා මිය ගිය අවස්ථාවේ එහි පැමිණි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ කේ බී රත්නායක කථාවක් කරමින් තමන් අද බලයට පැමිණියේ ආරියවංශ සහෝදරයා විසින් අතීතයේ එජාපයට විරුද්ධව කළ සටන් නිසා යැයි විවෘතවම කළ ප‍්‍රකාශය මේ යථාර්ථය සනාථ කර සිටියේය. බොහෝ පළාත්වල වාමාංශිකයන් කළ සටන් තුළින් අවසානයේ බලයට පත්වූයේ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන් ය.☐

(මතු සම්බන්ධයි)

පැට්‍රික් ප්‍ර‍නාන්දු


© JDS


IV වන කොටස: ගල්නෑවේ ගොවි සටන


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.