JDS Sinhala

සුගීර්තරාජන් ආපදානය: වෙඩිසැර වැද වැටුණු එඩිතර මිනිසෙක්

මේ ජනවාරිය වන විට ‘රාජන්‘ හෙවත් සුබ්‍ර‍නියම් සුගීර්තරාජන් මරා දමා දස වසරක් ගෙවී ගොස් තිබේ. ඒ කතාව දකුණේ බහුතරයක් සිංහලයෝ නොදනිති. මේ කෙටි සටහන වෙන් වන්නේ ඒ ඉතිහාසය අසම්පූර්ණව හෝ ලියා තබනු පිණිස ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙතින් මහින්ද රාජපක්ෂ වෙත බලය මාරු වී ගතව තිබුනේ දෙමාසයකි. 2006 ජනවාරියේ  ත්‍රිකුණාමලය නගරයට හිරු නැඟෙන්නේ වෙඩි හඬත් සමගින් ය. දැඩි භීෂණකාරී වටපිටාවක් නිර්මාණය වී තිබුනද ෆෙඩ්රික් කොටුව අසළ ක්‍රීඩා පිටියටත්, ඉන් ඔබ්බෙහි වූ මුහුදු වෙරළටත් විවේකී සැන්දෑ වරුවල තව දුරටත් එකා දෙන්නා හෝ පැමිණීම සාමන්‍ය දෙයක්ව තිබිණ. ජනවාරි දෙවැනි දා රාත්‍රියේදී  ත්‍රිකුණාමල ෆෙඩ්රික් කොටුව පාසැල් සිසුන් පස් දෙනෙකුගේ ඝාතක බිමක් බවට පෙරළුණි. මුහුදු වෙරළට පමිණ කතා බස් කරමින් හිඳ පෙරළා ත්‍රිරෝද රථයකින් සිය නිවෙස් කරා යන්නට සූදානම්ව සිටියහ. ඒ ආසන්නයේ රජයේ හමුදා මුර පොළකි. සිසුන් සිටි තැනට බෝම්බයකින් ගසා අනතුරුව බිම දණ ගස්වා වෙඩි තබා මරා දමන ලද්දේ ඒ ජනවාරි දෙවැනිදා ය. අනතුරුව එළඹි දස වසර පුරා කුප්‍ර‍කට වූ ‘ත්‍රී‘මලේ ශිෂ්‍ය ඝාතනය‘ ඉතිහාසයට එක්වූයේ ඒ අනුව ය.

සුපුරුදු පරිදි කොළඹ පුවත් නිර්මාණය වුයේ මෙම සිසුන් දෙමළ විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ බවත්, කිසියම් ප්‍රහාරයක් සඳහා බෝම්බ ප්‍රවාහනය කරමින් සිටිය දී ඒවා පුපුරා යාමෙන් මියගොස් ඇති බවත් ය. කොළඹ මාධ්‍ය සිරස්තල සැරසුනේ ආරක්ෂක අංශ උපුටා දැක්වුණු මෙකී වාර්තාවලිනි.

ත්‍රී‘මලේ සිසු ඝාතනය

රාජන්ගේ මෙහෙයුම පටන්ගත්තේ ඉක්බිතිව ය. සුඩර් ඔලි හා උදයන් පුවත්පත්වල ත්‍රිකුණාමලය ප්‍රධාන වාර්තාකරු ලෙස කටයුතු කළ සුගීර්තරාජන්, ‘බෝම්බ පිපිරීමකින්‘ මියගියේ යැයි කී සිසුන්ගේ මළ සිරුරු තබා තිබු ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයට ගියේ සිය මාධ්‍ය සගයා වූ සුඩර් ඔලි පුවත්පතේ මොහොමඩ් සාලි ද කැටුව ය. එහිදී ඔවුන්ගේ නිරීක්ෂණයට හසු වූයේ ඉතා ආසන්නයේ සිට තබන ලද වෙඩි තැබීම්වලින් ඇති වූ තුවාල සහිතව මියගිය යෞවනයන් පස් දෙනෙකුගේ මෘත දේහයන් ය. සිසුන්ගේ සිරුරු තුළට කා වැදුණු වෙඩි උණ්ඩ පවා පැහැදිලිව දිස්විය. රාජන් වහා සිය කුඩා කැමරාවෙන් සියල්ල ඡායාරූප ගත කළේය. සුඩර් ඔලි පුවත්පතේ මුල් පිටුවේම ප්‍රමුඛත්වය දී පල කෙරුණු රාජන්ගේ ඡායාරූප, සදාකාලිකවම වැළලී යාමට තිබු සාපරාධී මිනිස් ඝාතනයකට දෙස් දෙන ප්‍ර‍ල සාක්‍ෂි සේ මතුව ආයේය. නමුත් කෙතරම් අවදානමක් යටතේ සිදුකළ ද ඒ සේයා රූ විසින් රාජන්ගේ මරණ වරෙන්තුව ලියනු ඇතැයි ඇතැම් විට සුඩර් ඔලි කාර්ය මණ්ඩලය පවා කල්පනා නොකරන්නට ඇත.

රාජන් විසින් හෙළිදරව් කරන ලද ඡායාරූපමය සාක්‍ෂි ත්‍රිකුණාමලය සිසුන් පස්දෙනාගේ ඝාතනය කෙරෙහි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයන්ගේ ද අවධානය යොමු කරන්නට බල පෑ කාරණා අතර ප්‍ර‍බල සාධකයක් වූ බව නිසැක ය. නිරායුධ සිසුන් පස් දෙනෙකු සාපරාධී ලෙස ඝාතනය කිරීම පිළිබඳව රාජපක්ෂ ආණ්ඩුවත්,  රාජ්‍ය ආරක්‍ෂක හමුදා ප්‍රකාශකයනුත්, කොළඹ වර්ගවාදී සිංහල මාධ්‍ය බල ඇණිත් ප්‍ර‍චාරය කළ සාහසික මුසා ප්‍ර‍චාරයන් එකවර පසුබැස්සවීමට සමත් වූ බලවත් සාක්කියක් බවට ඔහුගේ සේයා රූ හා වාර්තා පෙරළිණ. ආණ්ඩුව සිය ව්‍යාජ වාර්තා හකුලා ගනිමින් නාමිකව හෝ මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට පොළඹවන ලද සාධක අතර රාජන්ගේ නිර්භය අනාවරණයන් ද විය.

රාජන් දිවි දෙයි

වාර්තා පළ වී දෙසතියක් ඇතුළත සිය නිර්භීතභාවය වෙනුවෙන් හේ ස්වකීය ජීවිතයෙන්ම වන්දි ගෙවීය. 2006 ජනවාරි 24 වැනි අඟහරුවාදා, රැකියාවට යනු පිණිස උදෑසන නිවෙසින් නික්ම ගිය තිස් අට හැවිරිදි දෙදරු පියෙකු වූ සුබ්‍ර‍මනියම් සුගීර්තරාජන්, උදෑසන හය පසු වී සුළු මොහොතක් ගතව ගිය සැණින් සිය නිවෙසට නුදුරේදීම වෙඩි තබා ඝාතනය කරන ලදී.

“සුඩර් ඔලි  පත්තරේ මේ ෆොටෝ ගියාට පස්සේ  නොයෙකුත් කණ්ඩායම් අපි ගැන හොයන්න ගත්තා. නමුත් රාජන් තමයි ෆොටෝ යැව්වේ කියල හොයාගන්න ලෙහෙසියි. මොකද SSR කියල තමයි සාමාන්‍යයෙන් රාජන්ගේ බයි ලයින් දාලා තිබුනේ,” රාජන්ගේ වෘත්තීය සගයා වූ ත්‍රිකුණාමලය සුඩර් ඔලි ප්‍රාදේශීය මාධ්‍යවේදී මොහොමඩ් සාලි, ස්වකීය නිර්භීත මිතුරා පිළිබඳ මතකය JDS වෙනුවෙන් අවදි කරන ලද්දේ රාජන්ගේ මරණයට දස වසරක් පිරුණු මේ ජනවාරියේදී ය.

ත්‍රි‘මලේ සිසුන් පස්දෙනාගේ ඝාතනයේ වගකීමෙන් ආණ්ඩුවට ගැළ වී ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වීමත් සමග ඊට සම්බන්ධ කිසිදු සාක්‍ෂියක් ඉතිරි නොකිරීමේ වගකීම ආණ්ඩුවේ අනුග්‍රහය ලැබූ ඝාතක කණ්ඩායම් වෙත පැවරුණි. ඒ අනුව පළමුව සුගීර්තරාජන් බිලිගත් රාජ්‍ය අනුග්‍ර‍හ ලත් ඝාතක කල්ලිවල ඉක්බිති සාලි පසු පසද පැන්නුහ.

“රාජන් මරා දැම්මට පස්සෙ පොලීසිය මගෙන් ප්‍රශ්න කළා. නොයෙක් කණ්ඩායම් මගේ පස්සේ පැන්නුවා. එතකොට ත්‍රිකුණාමලය පුරාම නොයෙකුත් සන්නද්ධ කල්ලි ක්‍රියාත්මක වුණා. කොහොම නමුත් මම මාස ගණනාවක්ම ත්‍රිකුණාමලයෙන් පිටවෙලා, මාධ්‍ය කටයුතුත් අත්හැර දාලා හැංගිලා තමයි ජීවත් වුණේ.”

වීරමුනෛ සිට ඕර්ස් හිල් දක්වා

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ, වීරමුනෛ ඉපිද හැදී වැඩුණු සුබ්‍රමනියම් සුගීර්තරාජන් ත්‍රිකුණාමලයේ පදිංචියට පැමිණෙනුයේ  වරායේ රැකියාව හේතුවෙනි. සිය බිරිඳ මහේෂ්වරී හා දරු දෙදෙනා සමඟ ත්‍රිකුණාමලය ‘ඕර්ස් හිල්‘ හි කුඩා නිවසක් කුලියට ගත් රාජන්, චීන වරායේ සැසඳුම් හා සමීක්‍ෂණ ලිපිකරු රැකියාවට අමතර බාහිර කාර්යයක් වශයෙන් සුඩර් ඔලි හා උදයන් පුවත්පත් හා සම්බන්ධ ප්‍රාදේශීය  මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියා කිරීම අරඹන ලද්දේ ඒ කාලයේය.

නමුත් ඒ වනවිටත් කල්මුණේ ඇතුළු උතුරු නැගෙනහිර අනිකුත් පළාත් මෙන්ම ත්‍රිකුණාමලය ද මිනිස් ඝාතන, පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීම් බහුල ප්‍රදේශයක් බවට පෙරළී තිබුණි. දෛනික ජීවිතය වසාගත් භීෂණයේ ආවරණය ලබමින් රාජ්‍ය අනුග්‍රහ ලද නිල සන්නද්ධ ඝාතක කණ්ඩායම් ක්‍රියාත්මක වූයේ ඒ යටතේ ය. වර්ධනය වන එවන් යුද වටපිටාවක සිය මාධ්‍ය වෘත්තිය මරණ වරෙන්තුවක් විය හැකි බව හොඳින් දැන සිටි නමුත්, ජීවිත ආරක්‍ෂාව පතා නිහවන්නට රාජන් කැමැති නොවීය. සාවද්‍ය සමූහ මිනිස් ඝාතනයක් පිළිබඳ සාක්‍ෂි සොයා ත්‍රී‘මලේ මහ රෝහල් මෘත ශරීරාගාරය දක්වා යන්නට රාජන් පොළඹවන ලද්දේ ඒ නොකැමැත්ත විසිනි.

“රාජන් අපිට හිටිය හොඳම රිපෝටර් කෙනෙක්,“ සුගීර්දරාජන්ගේ මාධ්‍යකරණයට නිරන්තර පිටුබලයක් වූ උදයන් පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඥානසුන්දරම් කුගනාදන් අතීතවර්ජනය කරන්නේ තැවුලෙනි.

“එයා 2004 අවුරුද්දේ විතර වරායේ රස්සාවට ආවට පස්සේ තමයි, උදයන් එකට සම්බන්ධ වුනේ. ඒ එක්කම අපේ සහෝදර පුවත්පත වන සුඩර් ඔලි එකටත් වැඩ කළා. ඇත්තටම මේ අවුරුදු දෙකේ දී රාජන් හොඳට තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න කැප වුණේ කිසිම අවදානමක් නොතකායි. විශේෂ කාර්ය බලකායත්, හමුදාවත් හොඳටම දැනගෙන හිටියා සුගීර්තරාජන් තමයි මරා දැමුණු සිසුන්ගේ ෆොටෝ ගත්තේ කියලා”  ඔහු කියයි.

“ඒ නිර්භීතභාවය වෙනුවෙන් සුගීර්තරාජන් විතරක් නෙමේ අපිට නැති වණේ, නිමලරාජන්, රජීවර්මන් ඇතුළු දීප්තිමත් වෘත්තීය අනාගතයක් තිබුණු මාධ්‍යකරුවන් ගණනාවක්ම මරලා දැම්මා. කානමයිල්නාදන්ගේ ජීවිතය ගැළවුණේ අනුනවයෙන්. 2011 දී මගේ ජීවිතය පවා බේරුණේ අහම්බෙන්. ඒත් ඒ කිසිම අපරාධයක් ගැන මොනම පරීක්ෂණයක්වත් පටන් අරගෙන තියෙනවාද? අද වෙන තුරුත් නැහැනේ,” සිය ජීවිතයේ සනධ්‍යා සමයේ රටින් පිටුවහල්ව ජීවත්වන්නට සිදුව ඇති ඔහු කියන්නේ  කළකිරීමෙනි.

‘නිර්භීත මාධ්‍යකරුවෙක්‘

රාජන් සමාජශීලි මිතුරු සිත් ඇත්තෙක් බැව් ඔහු හඳුනන්නෝ දනිති. ඉතාමත් කෙටි කලකින් දෙමළ, මුස්ලිම් හා සිංහල වාර්ගිකත්වයන්ගෙන් සැදුම් ලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමයේ  ප්‍ර‍මුඛ ක්‍රියාධරයෙක් වන්නට බලපෑවේ රාජන් සතු වූ එකී ගුණයයි. ‘ඕර්ස් හිල්‘ හි ඔහුගේ කුලී නිවස මේ බොහෝ දෙනනෙකුට පොදු තැනක් වූයේ ඒ හේතුවෙනි.  මාධ්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට ගිය රාජන් මාධ්‍ය නිදහස මෙන්ම මාධ්‍යවේදීන්ගේ අයිතීන් වෙනුවෙන්ද, විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් ද අනෙකුත් මාධ්‍ය සංවිධාන සමඟ ක්‍රියාකාරීව කටයුතු කළේය.

රාජන් දැන හැඳින සිටි මිතුරෙකු වූ අම්පාර දිස්ත්‍රික් මාධ්‍යවේදී වසන්ත චන්ද්‍රපාල, ඒ වකවානුව පිළිබඳ සිය මතකය අවදි කරන්නේ හැඟුම්බරව ය.

“ මම රාජන් පෞද්ගලිකව දැන හඳුනාගත්තේ 2005 අවුරුද්දේ මැද භාගයේදී විතර. ඔහු හොඳ ගුණ යහපත් කෙනෙක් වගේම හොඳ මිතුරෙක්. නිර්භීත මාධ්‍යකරුවෙක්. මාධ්‍ය සංවිධාන පහ එකතුවෙලා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් මහජන සේවා ජනමාධ්‍ය වැඩසටහන නැගෙනහිර පළාතේ සංවිධානය කරන වගකීම පැවරිලා තිබුණේ මටයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඒ කටයුතු සම්බන්ධීකරණය කලේ රාජන්. ඒත් එයාට ඒ වැඩ වැඩිකලක් කරන්න බැරි වුණා. ඔහුව ඝාතනය කළේ ඔහුගේ නිර්භීත වාර්තාකරණ පිළිවෙත් නොඉවසූ බලවේග විසිනුයි.”

නිරුපද්‍රිත ඝාතකයෝ

රාජන්ගේ මරණය සිදුවූයේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරයාගේ කාර්යාලය පෙනෙන ඉමේදී ය. උදෑසන හයට පමණ සුපුරුදු පරිදි වරායේ සේවා මුරයට වාර්තා කරන්නට පිටව ගිය රාජන් චීන වරාය දක්වා ධාවනය වන බස්රියක් පැමිණෙන තුරු බස් නැවතුමේ රැඳී සිටියේ මිනිත්තු කිහිපයකි. ඔහුගේ ඝාතකයෝ සිය ඉලක්කය වෙනුවෙන් ඒ අසලම කල්මරමින් සිටියෝය. වේගයෙන් පැමිණි යතුරු පැදියක් රාජන් අසළ නතර කෙරිණි. ඊළඟ මොහොතේදී නිරායුධ රාජන්ගේ හිසට වෙඩි තැබූ ඝාතකයෝ රජයේ ආරක්ෂක හමුදා මුර කපොලු අතරින් නිරුපද්‍රිතව පලා ගියහ. රාජන්ගේ නිසල දේහය මහමග ඇද වැටුනේ ආණ්ඩුකාරයාගේ කාර්යාලය පිහිටි අධි ආරක්‍ෂිත කාර්යාල අඩවිය ලෙයින් තෙත් කරමිනි.

රාජන්ගේ දේහය ඔහුගේ උපන් ගම වන කල්මුනේ, වීරමුනෛ ඔහුගේ මහගෙදර තැන්පත් කර තිබුණි. අවසන් ගෞරව දක්වනු වස් පොල් අතු සෙවිළි කළ මැටි බිත්ති සහිත වීරමුනෛ කුඩා නිවසේ රාජන්ගේ නිසල දේහය වටා එක්ව සිටි ඔහුගේ සමීප මිතුරෝ කම්පිතව සිටියහ. රාජන්ගේ බිරිඳ මහේෂ්වරී, කිහිපවිටක්ම සිහිසුන්ව ඇද වැටුණාය. තම පුතුට සිදුවූ විපත ගැන කම්පාවට පත් රාජන්ගේ පියා වූ සෙල්වනායගම් නිහඬව නිසොල්මනේ බලා සිටියේය. සිදුව ඇති ව්‍යසනය වටහා ගත නොහෙන රාජන්ගේ කුඩා දියණිය විදූෂා හා පුතු සදුර්ෂන්, ගෙමිදුලේත්, රාජන්ගේ දේහය වටාත් සෙල්ලම් කළෝය.

කුමන්ත්‍ර‍ණකාරී ලෙස යටපත් කර දැමීමට පිඹුරුපත් සකස් කරමින් තිබූ ත්‍රිකුණාමලය සිසුන් පස් දෙනාගේ ඝාතනය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ ගවේෂණාත්මක මාධ්‍ය කාර්යයක් පිළිබඳ සදාතන මතකය පමණක් ඉතිරි කළ රාජන්ගේ දේහය ඔහුගේ නිජබිම වූ  වීරමුනෛ මහ පොළොවට පෙරළා පරිත්‍යාග කෙරුණි.

රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව දෙස් විදෙස් මාධ්‍ය හා මානව හිමිකම් සංවිධානවල විරෝධය මොළවන්නට සුගීර්තරාජන්ගේ මරණය ඉවහල් විය. නමුත් රාජන්ගේ මරණය විසින් ත්‍රීකුණාමලය භීතියට පත් කොට මරණීය නිහඬතාවක් කරා පසු බස්වන ලදී.

“රාජන් ඝාතනයට විරුද්ධව පෝස්ටර් කැම්පේන් එකක් කරලා විරෝධතාවයකුත් කරන්න අම්පාර දිස්ත්‍රික්කයේ වගේම නැගෙනහිර පළාතේ මාධ්‍යවේදීන් විදිහට අපි බය වුනේ නැහැ. කොළඹට අමතරව ඒ දේ සිද්ධ වුණේ අම්පාරේ විතරයි. නමුත් ඒ භීෂණය මැද්දේ රාජන්ගේ අවසන් කටයුතුවලට එක් වුණෙත් මාධ්‍යකරුවන් ටික දෙනයි” මාධ්‍යවේදී වසන්ත චන්ද්‍රපාල කියයි.

යුක්තිය රහිත දස වසක්

වර්තමානයේදී විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරනු ලබන මාධ්‍යවේදීන් ද නියෝජනය වන පරිදි ‘ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය‘ නමින් ප්‍ර‍තිසංවිධානය කොට ඇති  ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයත්, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයත්,  ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංසදයත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයත් එක්ව 2008දී සංවිධානය කරනු ලැබූ නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සම්මාන ප්‍රදානයේදී  සුගීර්තරාජන් වෙනුවෙන් උපහාර සම්මානයක් පිරිනමා ඔහුට ගෞරව දක්වනු ලැබිණ.  අම්පාරේ දී පැවති මෙම උත්සවයේදී රාජන් වෙනුවෙන් එම සම්මානය ලබා ලබා ගන්නා ලද්දේ මහේෂ්වරී සුගීර්තරාජන් විසිනි.

දැන් දස වසරක් පිරෙන රාජන්ගේ මරණයට යුක්තිය ඉටු නොවීමේ කතාව පටන්ගන්නේ ඉන් අනතුරුව ය. ඔහුගේ ඝාතකයෝ කවුරුන්දැයි සියල්ලෝ දැන සිටියහ. නමුත් ඝාතනය පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදුකෙරුණේ  අනෙකුත් ඝාතනයන් මෙන්ම මන්දගාමී හා උදාසීන ආකාරයෙනි.

“ත්‍රිකුණාමල සිසු ඝාතනය ගැන නඩුවක් තවමත් තියෙනවා ත්‍රිකුණාමලය උසාවියේ. ඒක පොලිසිය පවත්වාගෙන යන්නේ දියාරු විදිහට, හමුදා මුරපොළක හිටපු සෙබළු 12 දෙනෙක් මුලින් චෝදනා ලබලා තිබුණා. දැන් ඒ ගොල්ලන්ට ඇප දීලා. රාජන්ගේ මරා දැමීමත් මේකටම සම්බන්ධ බව නොදන්නා කෙනෙක් නැහැ. ඒ ගැන වැඩි කතා බහක් නැත්තෙත් ඒ නිසාමයි,” ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍ර‍වීණ මාධ්‍යවේදියෙකු වූ ආනන්ද සරත් ගාල්ලගේ පවසයි. මේ වනවිට අනාවරණය වෙමින් ඇති තොරතුරුවලට අනුව රාජන්ගේ ඝාතනයත් බැරවීමට නියමිතව ඇත්තේ පිල්ලයාන්ගේ ගිණුමට ය. රාජන්ගේ ලෙයින් අත් සෝදාගත් රාජ්‍යයේ නිල සන්නද්ධ සේනාංක යළිත් වතාවක් නිදොස් වී නිදහස් වන්නට ඉඩ ඇත්තේ ඒ අනුව ය.

රාජන්ගේ ඝාතනයෙන් පසු ඔහු රැකියාව කළ වරාය අධිකාරිය වෙතින් රාජන් වෙනුවෙන් කිසියම් වන්දි මුදලක් ලබා ගැනීමට හෝ අවම වශයෙන් ඔහුගේ වැටුප සකස් කර ගැනීම පිණිස මහේෂ්වරී සුගීදරාජන් දැඩි උත්සාහයක නිරත වුයේ  දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් පියවා ගැනීමේ අන් මඟක් නොවූ නිසා ය. එහෙත් එදා වරාය බාර ඇමතිවරයාව සිටි, වත්මන් යහපාලන ආණ්ඩුවේ ද ඇමතිවරයෙකු වන චමල් රාජපක්ෂ එවැනි සහනයක් පවා ලබා නොදීමට වග බලා ගත්තේ ය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඉල්ලීමකට අනුව ෆෝඩ් පදනම මගින් රාජන් වෙනුවෙන් ඔහුගේ දරු පවුලට අට වසරකට පෙර ලබාදුන් ප්‍ර‍තිපාදනය හැරෙන්නට අන් කිසිවෙකුගේ ආධාර උපකාර රාජන්ගේ අඹු දරුවන්ට නොලැබුණි.

ජාත්‍යන්තර අධීක්‍ෂණයෙන් විමර්ශනයක්

“අවුරුදු දහයකට පස්සේ රාජන් මතක් වුණු අලුත් ආණ්ඩුවට කඩේ යන කොළඹ රාජ්‍ය නොවන සංවිධානවලට දැන් රාජන්ගේ ඝාතනයත් සල්ලි ලැබෙන ව්‍යාපෘතියක් බවට පත්වෙලා. නමුත් මේ කවුරුත් රාජන් මරා දමා ගතවුණු දහ අවුරුද්දක් තිස්සේ ඔහු ගැන කිසිම මැදිහත්වීමක් කළේ නැහැ,” මාධ්‍යවේදී වසන්ත චන්ද්‍රපාල පවසන්නේ ආවේගයෙනි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දක්වා ගොස් ජාත්‍යන්තර අවධානයට පාත්‍ර‍ වූ ත්‍රී‘මලේ සිසු ඝාතන සිද්ධියට යුක්තිය ඉටුවන තෙක් සුගීර්තරාජන්ගේ ඝාතකයන් අනාවරණය කරගන්නට කිසිවෙකු උනන්දු නොවනු ඇත. රාජන්ගේ මාධ්‍ය සගයා වූ  මොහොමඩ් සාලි ට අනුව රාජන් විසින් සිය ජීවිතය කැපකොට සිදුකළ නිර්භීත හෙළිදරව්ව, මාධ්‍ය සංවිධානවල පවා නිසි ඇගයීමකට මේ දක්වා ලක්වී නොමැත.

“අවුරුදු දහයකට පස්සේ හරි සාධාරණ පරීක්ෂණයක් කෙරෙනවා නම් හොඳයි. ඒත් ඒක ජාත්‍යන්තර මාධ්‍ය හා මානව හිමිකම් සංවිධානවල නිරීක්ෂණය යටතේ වෙනවා නම් වඩාත් හොඳයි. කොළඹ මාධ්‍ය සංවිධාන ඒ ගොල්ලෝ අතර තියෙන පටු විරසකකම් නවත්වලා මේකට බලපෑම් කළ යුතුයි” මොහොමඩ් සාලි ඇතුළු නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ අපේක්ෂාව එයයි.

නොනැසුණු මතකය

දකුණේ සිංහල බහුතරයක් දෙනා නොදත් සුබ්‍ර‍නියම් සුගීර්තරාජන්ගේ දුෂ්කර වෘත්තීය දිවිය වනාහී සත්‍යගරුක හා එඩිතර මාධ්‍ය භාවිතාව පිළිබඳ දුලබ ජීවන පූර්වාදර්ශයකි. ඔහු වෙඩි තබා ඝාතනය කළ කුලී ඝාතකයන්ට වෙඩි වර්ෂාවකින් වුව මකාලිය නොහැක්කේ ඒ පූර්වාදර්ශය පිළිබඳ දස වසක් තිස්සේත් නොනැසුණු මතකයයි. 2007 වසරේ දිනෙක  මාධ්‍ය කටයුත්තක් වෙනුවෙන් අම්පාර හරහා ත්‍රිකුණාමලයට යන අතරවාරයේදී  මංජුල වෙඩිවර්ධන සහෝදරයා සමග වීරමුනෛ රාජන්ගේ නිවසට ගොඩවැදුණු මොහොතක, එවකට දෙහැවිරිදි වියේ පසු වූ රාජන්ගේ කුඩා පුතු සදුර්ෂන් ගැන මංජුල ලියූ “තිරිකෝණමලෛ සඳමඩල” කවිය, මරණ බිය හමුවේ යටත් නොවූ දුලබ මිනිසෙකු පිළිබඳ ඒ මතකයට අදත් දෙස් දෙයි.

“සදුර්ෂන්
රාජන්ගේ පොඩි කොල්ලා
හැමදාම හවසට
දෑසින් අහස අල්ලා
හඳට අඬගහනවා
අත්පොඩි හොල්ල හොල්ලා

නිලා නිලා ඕඩි වා
නිල්ලාමල් ඕඩි වා
මලෛ මීදු ඒරි වා
මල්ලිහෛ පූ කොන්ඩු වා

ඔන්න එතකොට
කෝනේෂ්වරන් දෙවොල මුදුනට
අත තියාගෙන
සඳ නැගී එනවා
තිරුකෝනමලෛ අහසට

දුරුතු සීතල දවසක
රැයට සඳ අමතකව
අහසේ දමා ගොස් තිබුණා
හිරු කබ කඩන මොහොතේ
පිච්ච මල් නෙතු බරව
රේණු අතරින් කඳුළු සැලුවා

යන එන මං නැතිව
චයිනා බේ පතුළට
නැංගුරම් ලෑ සඳවත
තුහින එක එක එකතු කෙරුවා
ට්‍රින්කෝ එක් මංසලක
රුහිරු බින්දු තැවරුණ
පිච්ච මලකින් සුවඳ ගැලුවා 

කුරුලු කූජන නැසෙන
තිරුකෝනමලෛ  උදෑසන
ගෙමිදුලට බට පුතුහට
සඳුගේ අසරණ දෙනෙත පෙනුනා
ලහිරු කිරණට නොපෙනෙන
සුමුදු  අතැඟිලි තුඩගින
පුතුගෙ හිස මත සෙමෙර සැලුණා

ඒ දුරුත්තේ සිට
හිරු වැඩ ඇරෙන හවසට
පුංචි දෑසක් අහස අල්ලා
සඳට අඩ ගහනවා
සිඟිති අත්පොඩි සොල්ල සොල්ලා“☐

අතුල විතානගේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.