JDS Sinhala

ත්‍රී'මලේ සිසු ඝාතනය: 'වෙඩි හඬ ඇසුණු විට මම ගාන්ධි ප්‍රතිමාව පැත්ත බැලුවෙමි'

1988 මාර්තු මස 23වෙනිදා රාත්‍රියේ තංගල්ල මැදි මහ විදුහල් උසස් පෙළ පන්තියේ උගත් මිතුරන් වූ වසන්ත වීරසිංහ සහ ප්‍රසන්න වනිගසිංහ, සිය මිතුරෙකු හමුව ආපසු එමින් සිටිය දී  පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් පැහැර ගන්නා ලදී. වධ බන්ධනයන්ට ලක්කොට වෙඩි තබා මරා දැමුණු ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු පසුදා තංගල්ල - තිස්ස ප්‍රධාන මාර්ගයේ කිවුල හන්දියට නුදුරින් දමා ගොස් තිබියදී හමු විය. දකුණු ලංකාව වසා පැතිර ගිය නොනවතින ආණ්ඩු විරෝධී විරෝධතාවන්ට මග විවර කළ 'තංගල්ල සිසු ඝාතනය' ගැන සංවේගය අවුළුවාලන දෑ අනතුරුව එළඹි සතියේදී මාධ්‍යකරුවෝ ද දේශපාලනඥයෝ ද ලියූහ - කිවූහ. එයින් දහ අට අවුරුද්දක් ගෙවී ගිය පසු එළඹි ජනවාරියක සන්ධ්‍යාවක දී ත්‍රීකුණාමලයේ ෆෙඩ්‍රික් කොටුව ප්‍රත්‍යන්තයේ විඩා නිවමින් මිතුරු සාමිචියේ යෙදී සිටි සිසුන් පස් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බෝම්බ ගසා - වෙඩි තබා මරා දමන ලදී.  දකුණ සසළ කළ තංගල්ල සිසු ඝාතනය සම්බන්ධයෙන් ලියැවුණු අනුවේදනීය දෑ වෙනුවට, 'ත්‍රීකුණාමලයේ අත් බෝම්බ පිපිරීමකින් කොටි සංවිධානයට අයත් ජනතා බලකා‍යේ පස් දෙනෙකු මියගොස් ඇතැයි' 2006 ජනවාරි 05 වෙනිදා 'දිවයින' පත්‍රය වාර්තා කළේය. 'ආයුධ සන්නද්ධව සිටියදී 'මියගිය තරුණයින් පස් දෙනෙකුගේ අවමඟුල් දා ත්‍රී'මලේ විරෝධතා හර්තාල්වලින් ඇවිළ යන ආකාරය ගැන සංත්‍රාසජනක ප්‍රවෘත්ති ඉන් අනතුරුව එළඹි දින කිහිපයේදී දකුණේ සිංහල මාධ්‍ය අරක්ගෙන තිබුණි. සියල්ල අවසානයේ සිව් වසරක යුද විරාමය මැඩලා නැග එන 'රණකාමී දේශප්‍රේමී බලවේගයන්ගේ' සා පවස නිවනු වස් අවුලවාලිය යුතු වර්ග සංහාරක අග්නිය මොළවගන්නා ලද්දේ ත්‍රී'මලේ දී ත්‍රස්තයින් බවට පෙරළන ලද ඒ යෞවනයින්ගේ ජීවිතවලිනි. නමුත් ඉක්බිති එළඹි නම අවුරුද්දක් තිස්සේ, එක්තරා පියෙක් සිය මරා දැමුණු දරුවාට යුක්තිය ඉටුකරගනු පිණිස ත්‍රීමලේ අත්හැර ලොව පුරා යමින් හුදකලා සටනක් ගෙන ගිය බව සිංහල ජනයා නොදනිති.  ඒ වෙදැදුරු කාසිපිල්ලෛ මනෝහරන් ය. ත්‍රීමලේ සිසු ඝාතනය කාලයේ වැලි තලාවෙන් වැසී නොයන්නට හේතු වූයේ නොතිත් දාරක ප්‍රේමයෙන් මෙළවුණු එක් පියෙකුගේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙනි.

එම ඝාතනයන්ට නම වසක් සම්පූර්ණව ඇති මේ මොහොතේ එම සිදුවීම් යළි විධිමත්ව ගවේෂණය කොට විමසා බැලිය යුත්තේ හුදෙක් මරණයට පත් දෙමළ ජාතික යෞවනයින් පස් දෙනෙකුගේ ජීවිතවලට යුක්තිය ඉටු කරනු පිණිස පමණක් නොවේ. ශ්‍රී ලංකා රාජ්‍යය විසින් ඉකුත් දශක ගණනාව තිස්සේ සිදුකරන ලද සාහසික හා සමූල සංහාරක අපරාධයන් අනාවරණය කිරීමේ ප්‍රයත්නයන් තුළ මග හැර යා නොහැකි පරිච්ඡේදයක් බවට ත්‍රීමලේ සිසු ඝාතනය පත්ව ඇති හෙයිනි.

සටහන: කිත්සිරි විජේසිංහ


2006 ජනවාරි මස දෙවන දින සවස 7ට පමණ ත්‍රිකුණාමල ෆෙඩ්‍රික් කොටුව පෙදෙසට ආසන්නව  පිහිටි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිට වූ තුංමං හන්දියේ ගාන්ධි පිළිරුව අසළ වූ සිමෙන්ති බංකුවක වාඩි වී පාරෙන් එහා පැත්තේ වූ වෙරළට මුහුණලා වාඩිවුණ යෞවනයන් කිහිප දෙනෙකු  පිළිසඳරක යෙදෙමින් සිටින අයුරු ඒ අසල වූ කෝවිලට පැමිණි අසල්වැසියන්ට ද එතැන පසුකරමින් ගමන් කළවුන්ට ද දකින්නට ලැබිණි. එය ඔවුන් කිසිවෙකුට අමුත්තක් නොවූයේ බොහෝ විට එය මේ අසල්වැසි තරුණයන්ගේ සන්ධ්‍යා චර්යාවේ කොටසක් බව ඔවුහු දැන සිටි හෙයිනි. මේ තරුණයන්ගෙන් ඇතැමෙකු උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට හෝ වෙනත් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටියවුන් වූහ. මෙම ප්‍රදේශයට ප්‍රවේශ වන සියළු මාවත්  පුරා නාවික හමුදාවේ සහ පොලිසියේ මාර්ග කපොළු සහ මුරපොලවලින් ආවරණය වී තිබූ අතර ඔවුන්ගේ අනුදැනුමකින් තොරව කිසිවෙකුට මෙම ප්‍රදේශයට ඇතුළු වීමට හෝ පිටවීමට ඉඩක් නොමැති විය.

කොළ පැහැති ත්‍රීවිල් රථය

රාත්‍රී 7.35ට පමණ  ජැටිය පාරේ සිට වේගයෙන් පැමිණි කොළ පැහැති ත්‍රීවිල් රථයක් ක්‍ෂණිකව ෆෙඩ්‍රික් කොටුව පාර වෙතට හරවන අතරවාරයේ ඒ තුළ සිටි යමෙකු ගාන්ධි පිළිරුව අසල සිටි සිසුන් දෙසට අත් බෝම්බයක්  විසි කරනු ලැබිණි. අනතුරුව එය හමුදා මූලස්ථානය පිහිටා තිබූ ෆෙඩ්‍රික් කොටුව තුළට  ධාවනය වූයේ  ඔරලෝසු අසල පිහිටා තිබූ හමුදා මුරපොල (පන්සල චෙක් පොයින්ට්) ද කිසිදු බාධාවකින් තොරව පසුකරමිනි.

පුපුරා ගිය බෝම්බයෙන්  සිසුන් පස් දෙනෙකුට තුවාල වූ අතර මනෝහරන් රජිහර් සහ යෝගරාජා හේමචන්ද්‍රන්ට තුවාල සිදු නොවීය. ඔවුහු සිය තුවාල ලද සගයන් රෝහල කරා රැගෙනයාමට ඒ අසල වූ  රථ ගාලේ ත්‍රිවීල් රියක් හෝ වෙනත් වාහනයක් එකඟකරවා ගැනීමට උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක විය. බෝම්බය පුපුරා ගිය වහාම ප්‍රදේශයේ ආරක්‍ෂාව භාරව සිටි නාවික හමුදාව ප්‍රදේශයට ඇතුල්වන සහ පිටවන සියළු මං වසා දමන ලදි. නාවික සෙබළුන් තුවාල ලද සිසුන්ව  රෝහල් කරා රැගෙන යාමට හෝ ඔවුන්ට උදවු කිරීමට කිසිවක් නොකළ අතර නිසොල්මන්ව ඒ  අසළට වී බලා සිටියහ.

'මුං සේරම කොටි, මුංට වෙඩි තියලා දාන්න ඕනේ'

අවට පරිසරය දෙදරුම් කවමින් පිපිරී ගිය බෝම්බ ශබ්දයෙන් අසල්වැසියන් භීතියට පත්විය. සවස් භාගයේ නිවෙසින් බැහැර වූ සිය බාල පුතු හේමචන්ද්‍රන් තවමත් නිවෙසට නොපැමිණි හෙයින් කලබලයට පත් ඔහුගේ මව සෙස්සන්ට කතා කොට හේමචන්ද්‍රන් ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියාය. හේමචන්ද්‍රන්ගේ පියා වූ පොන්නතුරෛ යෝගරාජා  සිය පුතු සෙවීම සඳහා නිවෙසින් පිටත් විය. ප්‍රාදේශීය සභා කාර්යාලය අසළට ඔහු පිවිසෙත්ම ඔහුව විශේෂ කාර්ය බලකායේ (එස්ටීඑෆ්) යුනිෆෝම් වලින් සැරසී සිටි පිරිසක් විසින් නතර කරන ලදි. අනතුරුව ඔහුට පහරදුන් ඔවුහු ඔහුට බිම දිගාවෙන ලෙස අණ කළහ. තවත් ගැහැණු සහ මිනිසුන් විසිපස් දෙනෙකු පමණ තමන් මෙන් ම එස්ටීඑෆ් ග්‍රහණයට අසුව ඇති බව යෝගරාජාට දැකගන්නට ලැබිණි. වියරු වැටුණෙකු මෙන් හැසිරුණු එක් එස්ටීඑෆ් නිලධාරියෙකු සෙනඟ දෙසට සිය ගිනි අවිය එල්ලකොට "මුං සේරම කොටි, මුංට වෙඩි තියලා දාන්න ඕනේ" යැයි කෑගැසීය. බියට පත් ඇතැම් ස්ත්‍රීන්ගේ විලාප හඬ ඔහුට ඇසිණි. බෝම්බය පුපුරා ගිය ස්ථානයට මුලින්ම පැමිණි නාවික භටයන්, එස්ටීඑෆ් සෙබළුන්ගේ පැමිණිමත් සමගම ඔවුනට ඉඩ දී පසෙකට වූ අතර ඔවුන් සිදුවීමට මැදිහත්වීමට උත්සාහ නොකළහ. එස්ටීඑෆ් සෙබළුන් පැමිණීමට ප්‍රථම ඔවුහු සිය මූලස්ථානයට සිය පණිවුඩ හුවමාරු යන්ත්‍ර මගින් සිදුවීම දැනුම් දෙමින් උපදෙස් පැතූ ආකාරය එතැනට මුලින්ම පැමිණි ප්‍රදේශ වාසින්ට දක්නට ලැබුන බවට පසුව ඔවුන් දුන් සාක්‍ෂිවල සඳහන් වේ. මොහොතකින් එස්ටීඑෆ් භටයන් ඒ අසළ වූ පහන්කණුවේ විදුලි එළිය නිවා දමන ලදී. තවත් විනාඩි කීපයකින් අනතුරුව “අයියෝ අම්මා“ යැයි තරුණයින් නගන විලාප හඬක් ඇසුණි. අනතුරුව නැගුණ වෙඩිහඬත් සමගම ඒ විලාපය නතර විය. එවිට වෙලාව රාත්‍රි 7.52 වූ බව සාක්ෂිවල සඳහන් වේ. තවත්  මොහොතකට පසුව ඔවුනට නැගිටින ලෙස අණ කළ එස්ටීඑෆ් භටයන් ආ අතක් බලා ගෙන ආපසු යන ලෙස අණ කළහ.

ඒ මොහොත වන විටත් වෙඩි වැදීමෙන් ප්‍රාණය නිරුද්ධ වු යෝගරාජා ගේ පුතුගේ සහ තවත් දරුවන් සිව් දෙනෙකුගේ සිරුරෙන් ගලා ගිය රුධිරයෙන් ගාන්ධි ප්‍රතිමාව අසළ මහ පොළොව පෙඟී ගොස් අවසන් ය. තම දරුවාගේ ද ඔහුගේ මිතුරන්ගේ ද විලාප හඬින් බියපත්ව ඔවුනට කුමක් සිදුවුයේ දැයි සොයා බැලීමට ඒ වෙත යා ගත නොහැකිව තම හිසට ඉහළින් ගිනි අවියක් එල්ල කොට ගෙන සිටින හමුදා සෙබලෙකු අසල මුනින් තලාවි සිටින්නට සිදුවන යෝගරාජාට  එයින් පැය කිහිපයකට පසුව දක්නට ලැබෙනුයේ හිස පසාරු වන්නට වෙඩි පහරවල් කිහිපයක් එල්ල වීමෙන් ලෙයින් නැහැවී තිබූ තම පුතුගේ නිසල සිරුර ය.

තම පුතුට යම් විපතක් වන්නට ඇතැයි යන සිතුවිල්ලෙන් පීඩා විඳි යෝගරාජා අතුරු මාර්ගයක් ඔස්සේ රෝහල කරා ගිය විට ඔහුට දක්නට ලැබෙන්නේ රෝහලේ ප්‍රධාන පිවිසුම අසළ නොඉවසිලිමත්ව සිටින වෛද්‍යවරුන්  සහ සුළු සේවකයන් කිහිප දෙනෙකි.

“මමත්  රෝහලේ දොරටුව ලඟට වෙලා බලාගෙන හිටියා. රෑ 8 ට විතර  ජීප් එකක් ඇවිත් නතර කලා. ඒකේ මළ සිරුරු දෙකක් තිබුණා. මම ලේ පෙරෙන මුහුණු අනෙක් පැත්තට  හරවලා බැලුවත් එතන මගේ පුතා හිටියේ නැහැ. විනාඩි 10 කට විතර පස්සේ තවත් ජීප් දෙකක් ආවා. එයින් පළමු ජීප් එකේ මළ සිරුරු තුනක් තිබෙනවා මම දුටුවා. ඒ මළ සිරුරුත් මම හරවලා බැලුවා. එතනත් මගේ පුතා හිටියේ නැහැ. නමුත් අනෙක් ජීප් එකේ තිබුණු  සිරුරු දෙකෙන් එකක්  මගේ පුතාගේ  බව හඳුනාගත්තා . මම කෑගහල ඇඬුවා. ජීප් රථවලින් ගෙනාපු සිරුරු හතම පෝලිමට බිම තබා තිබුණා. එයින් දෙකක මුහුණේ හකු සෙලවෙන බැවින් ඔවුන්ව වහාම රෝහල් ශෛල්‍යාගාරයට රැගෙන යන ලෙස වෛද්‍යවරුන් කියා සිටියා. නමුත් මගේ පුතාව මෝචරියට දැම්මා.“

මෙහි දී ඝාතනයට ලක් වූ  ෂන්මුගරාජා ගජේන්ද්‍රන්, ලෝගිදරාජා රෝහන්, තංගදුරෙයි සිවානන්දා, යෝගරාජා හේමචන්ද්‍රන් හා මනෝහරන් රජිහර්  යන සියළු ශිෂ්‍යයන්  1985 වසරේ විවිධ දිනයන්හිදී උපත ලැබ ත්‍රිකුණාමලය ශාන්ත ජෝසප් සහ ශ්‍රි කෝනේස්වරම් හින්දු විද්‍යාලයන් හි අධ්‍යාපනය ලබා එකම වර උසස් පෙළට පෙනී සිටියවුන් වූහ. සිදුවීමෙන් බරපතල ලෙස  තුවාල ලත් සිසුන් වූයේ යෝගනාදන් පූනංගුලාලන් සහ පරරාජසිංහම් ගෝකුල්රාජ් ය.

තුවාල ලැබූ නමුත් දිවි ගලවාගත් යෝගනාදන් පූංගුලාලන් විසින් මහේස්ත්‍රාත්වරයා වෙත  රෝහලේ සිට  ඉදිරිපත් කරන ලද ප්‍රකාශයට අනුව බෝම්බය පුපුරා යාමෙන් පසුව තුවාල ලද ඔවුහු උදව් ඉල්ලා ආයාචනා කළ නමුත් කිසිවෙකු උදව්වට පැමිණ නැත. විනාඩි 5-10 අතර කාලයක් ගතවන විට යම් පිරිසක් තමා වෙත පැමිණෙනු දුටු ඔහු ඒ උදව් පිණිස පැමිණ අය යැයි සිතූ නමුත් ඒ පැමිණි පිරිස සිංහල බසින් කෑගසමින්  ඒ මොහොතේ එතැනට පැමිණි ජීප් රියක  පිටුපසට තුවාල ලත් සිව්දෙනා  පටවා ඔවුනට තුවක්කුවලින් සහ අතින් පයින් පහර දී  ඉන් අනතුරුව ඔවුහු ඔවුන්ව එළියට ඇද දමා වෙඩි තබා ඇත. ඒ බොම්බ ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් විනාඩි 20කට පමණ පසුව යැයි ද  තමා වෙඩි පහරින් ලද  තුවාල සහිතව ඇද වැටුණු පසු මළාක් මෙන් වැතිර සිටීම හේතුවෙන් ඔහුගේ දිවි ගැලවුණු බව ද පසුව  මෙම ජීප් රිය ෆෙඩ්‍රික් කොටුව තුළට ගිය  බව ද පුංගුලාලන් සිය ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

වෛද්‍ය කාසිපිල්ලෛ මනෝහරන්

රජිහර්ගේ පියා වූ වෛද්‍ය කාසිපිල්ලෛ මනෝහරන් 2010 වසරේ ජනවාරි මස අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ පැවැති මහජන විනිශ්චය සභාව වෙත ඉදිරිපත් කරන ලද සාක්ෂි ප්‍රකාශනයේ මෙසේ සඳහන් වෙයි.

“රාත්‍රි 7.35ට පමණ මගේ නිවසට ආසන්නව බෝම්බයක් පුපුරා යන හඬ මට ඇසුණි.... පිපිරුම් හඬින් විනාඩි 10 කට පමණ පසු මගේ අනික් පුතුන් දෙදෙනා නිවසට පැමිණි නමුත්  රජිහර් පැමිණියේ නැත. රජිහර්ට තමන්ගේම ජංගම දුරකතනයක් තිබුණි. මගේ දරුවන්ට කුමක් හෝ ප්‍රශ්නයන් මතු වූ විට ඔවුහු මට ඇමතුමක් දීමට පුරුදුව සිටියහ. විනාඩි කීපයකින් මගේ ජංගම දුරකතනයට රජිහර් කතා කළේය. “ තාත්තේ, හමුදාව මාව වටකරලා“ යැයි ඔහු විසින් පවසන ලදි... ඔහු මාව දුරකතනය මගින් සම්බන්ධ කරගැනීමට තෙවරක් ම උත්සාහ ගෙන තිබිණි. ඝාතන සිදුවීමෙන් පසුව මම මගේ දුරකතනය පරීක්‍ෂා කළ විට රජිහර් විසින් ගනු ලැබ මට මගහැරුන ඇමතුමක් ඇමතුම් ලැයිස්තුවේ දක්නට ලැබිණි. එහි සඳහන් වූ කාලය ඝාතන සිදුවීමට පෙර වේලාවකි. එමෙන් ම ඔහුගෙන් ලද පණිවිඩයක් ද එහි විය. එහි වූයේ “තාත්තේ“ යනුවෙන් පමණකි. එය මගේ පුතුගෙන් මා ලද අවසන් පණිවිඩයයි.

"මම වහාම කොටුව පාර සහ ජැටිය පාර සම්බන්ධ කරන හන්දියේ ඉදිකර ඇති ගාන්ධි ප්‍රතිමාව පැත්තට යාමට පිටත් වූයෙමි. මෙම ස්ථානය සහ ඒ අවට තරුණයන් හා ශිෂ්‍යයන් නිතර ගැවසෙන ස්ථානයක් බව මම දැන සිටියෙමි. ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ල ඒ අසල කොටුව පාර ඉදිරිපිට පිහිටා තිබිණි. එතැනට මගේ නිවසේ සිට ඇති දුර මීටර් 300-350ක් පමණි.  මම එතැනට පිටත් වූයේ මගේ ස්කූටරයෙනි. මාව සමරු ශාලාව අසල නාවික හමුදා මුරපළේ දී නවතන ලදී. මෙහි කොමාන්ඩෝ ඇඳුමින් සැරසුන නාවික භටයන් තිදෙනෙකු විය. ඔවුහු මගේ ස්කුටරයේ ඇති රතු කුරුස ලකුණෙන් මා වෛද්‍යවරයෙකු බවට හඳුනා ගන්නා ලදී. කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස ඔවුන්ට නියෝග ලැබී ඇති බවත් යන්නට අවශ්‍ය නම් එතැන සිට පයින් යාමට ඉඩ දිය  හැකි බවත් ඔවුහු පැවසූහ.

මම ඉක්මන් කළ යුතු බව මම දැන සිටියෙමි. රජිහර්ගේ දුරකතනයට මා දුන් එකම ඇමතුමකටවත් පිළිතුරක් නැත. මා එතැනට යන විට ගාන්ධි ප්‍රතිමාව අසළ වූ විදුලි පහන් නිවා දමා තිබුණි. එය ප්‍රදේශයේ විදුලි බලය ඇණහිටීමෙන් සිදු වූවක් නොවන බව මම දැන සිටියෙමි. ඒ මගේ නිවසේ සහ ඒ අවට නිවස්වල විදුලි පහන් දැල්වෙමින් තිබූ බැවිනි. ඒ මේ අත ඇවිදින සෙබළුන් මිසක සිවිල් වැසියන් මට දක්නට නොලැබිණි. එවිටම වාගේ මම කොටුව පැත්තේ සිට පැමිණෙන ජීප් රථයක් දුටුවෙමි. එය ලෑන්ඩ් රෝවරයක් බඳු අඳුරු දිගු වාහනයකි. රථයේ ප්‍රධාන ලාම්පු දල්වා නොතිබුණ අතර කුඩා ලාම්පු පමණක් දැල්විණි. කොටුව දෙස සිට පහළට පැමිණි ජීප්රිය ආපසු හරවා ගාන්ධි පිළිරුව අසළ නවත්වන ලදි. එය නවත්වනවාත් සමගම ඒ දෙසින්, උදව් ඉල්ලා කෑගසන තරුණ කට හඬවල් ඇසිණි. එමෙන්ම තරමක් වැඩිහිටි කටහඬක් ද ඒ අතර ඇසුන නමුත් ඔහු පැවසු වදන් මට හරියට තේරුම් ගත නොහැකි විණි.

".....මට එතැනට ගොස් මගේ පුතා සිටින්නේ දැයි බැලීමට අවශ්‍ය විය. නමුත් නාවික භටයන් විසින් මට යාමට ඉඩ නොදෙන ලදී. මම නාවික භටයන් සමග වාද කරමින් එතැන සිටින අතර ඊට තරමක් නුදුරින් වූ වල්ලුවර් පිළිමය අසල අළු පැහැති පික්-අප් රථයක් නවතා තිබෙන බව ඒ අවට පාර දෙපස දැල්වෙමින් තිබූ විදුලි පහන් එළියෙන් මම දුටුවෙමි.

"..එක්වරම වෙඩි හඬ ඇසිණි. මම ගාන්ධි ප්‍රතිමාව පැත්ත බැලුවෙමි. මම මගේ දෑසින්ම ඒ වෙඩි තැබීමේදී නිකුත් වූ ගිනි එළි දුටුවෙමි. ඒවා නිකුත්වූයේ පොළොව දෙසට එල්ලවෙමිනි. ඒ ස්වයංක්‍රීය තුවක්කුවකින් නිකුත් වූ වෙඩි මුර කීපයකි. මට මේ එළි පැහැදිලිව දැකගත හැකි වූයේ ගාන්ධි පිළිමය අසළ විදුලි පහන් නිවා දමා තිබූ බැවිනි.

"...වෙඩි තැබීමෙන් අනතුරුව එතැනට කලින් පැමිණි නවතා තිබූ ජීප්රිය යළි කොටුව පාර දිගේ යළිත් ෆෙඩ්‍රික් කොටුව දෙසට යනු මම දුටුවෙමි. ඒත් සමගම තවත් ජීප්රථ දෙකක් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල දෙසින් පැමිණ තැපැල් කාර්යාලය සහ ගාන්ධි ප්‍රතිමාව අසළ නතර කෙරිණි.

"..එතැනට පැමිණි රථවලින් එකක් පික් අප් රථයක් බවද මම ටිකවේලාවකින් හඳුනා ගතිමි. එය පොලිස් අධිකාරි කපිල ජයසේකරට අයත් එකක් බව මම පසුව දැනගතිමි....

"....පසුව  මෙම පික්-අප් රථය නැවතත් මා සිටින තැන පසුකර ආපසු පිටත්ව ගිය පසුව මුරපොළේ සිටි නාවික භටයන් එකිනෙකා අමතමින් 'ජයසේකර ගියා. දැන් අපිට එතැනට යන්න පුළුවන්' යැයි පවසනු මට ඇසුණි.

"...අනතුරුව හෙදියක් පවසා සිටියේ මා මෘත ශරීරාගාරයට ගොස් බැලිය යුතු බවත් එහි තවත් ළමුන්ගේ මළ සිරුරු ඇති බවත් ය. මම ඉක්මණින් ම මෘත ශරීරාගාරය වෙත ගියෙමි. එහි ඇතුළුවන විට මා දුටු පළමු දසුන වූයේ මාගේ ආදරණීය පුතු, රජිහර් ලේ විලක් මැද වැතිර සිටින අන්දමයි. ඔහු මරා දමා ඇත්තේ වෙඩි තැබීමෙන් බවට පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

"...කම්පනයට පත් මා හදිසි ප්‍රතිකාර අංශය අසළ සිටින විට එහි පැමිණි පොලිස් නිලධාරියෙකු මගේ පුතු කොටි සංවිධානයේ සාමාජිකයෙකු බවට මා පිළිගන්නා බවට සකස් කළ ප්‍රකාශනයකට අත්සන් තබන ලෙස මට බල කළේය. මා එලෙස කරන්නේ නම් මළ සිරුර ඉක්මණින් ම නිදහස් කළ හැකි බව ද ඔහු පැවසීය. කෝපයට පත් මම ඔහුගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළෙමි." (Ragihar’s Father, Dr. Manoharan’s Affidavit /Evidence Submitted to  The People’s Tribunal on Sri Lanka - Dublin, Ireland Janunary 14-15, 2010)

මරා දැමුණු සිසුන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සකස් කරන ලද ලියැවිල්ලකට අත්සන් කරන ලෙසත් එසේ නැත්නම් අවසන් කටයුතු සඳහා මළ සිරුරු නිදහස් නොකරන බවටත් පොලිස් නිලධාරීන් විසින් තර්ජනය කරන ලද්දේ වෛද්‍ය මනෝහරන්ට පමණක් නොවේ. මිය ගිය සියලු සිසුන්ගේ දෙමව් පියන්ට ඔවුහු එලෙස තර්ජනය කළහ. නමුත් ඔවුහු එම සාහසික ඉල්ලීම දැඩි පිළිකුළෙන් යුතුව බැහැර කළහ.

"උඹලා මට ළමයාගේ මිනිය දෙන්නේ නැත්නම් මම හිස් පෙට්ටියකට පුතාගේ පින්තූරයක් අලවලා අවසන් කටයුතු කරනවා. ඒත්  මගේ දරුවා ත්‍රස්තවාදියෙක් කියලා උඹලා කියන බොරු පිළිගන්න මම ලෑස්ති නැහැ. මට ළමයා නැතිවුනා. ඒත් දරුවාගේ ගෞරවයත් නැති කරන්න දෙන්න බැහැ," කෝපයට සහ දුකට පත් එක් පියෙකුගේ ප්‍රතිචාරය විය.

මරණ පරීක්‍ෂණය

ශ්‍රී ලංකා රජයේ නිල ප්‍රකාශයන් සහ ආරක්‍ෂක හමුදාවන්ගේ ප්‍රකාශයන්හි කිසිදු වෙනසක් දක්නට නොලැබුණු අතර රජය පළමු අවස්ථාවෙහිදිම ප්‍රහාරයට ආරක්‍ෂක හමුදාවන්ගේ මැදිහත් විමක් හෝ දායකත්වයක් නැතැයි කියා සිටින ලදී. එසේම මිය ගිය වුවන් ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාරයන් එල්ල කිරීමට සුදානමින් සිටි අය බවත්, ඔවුන් මියගියේ ඒ සඳහා රැගෙන විත් තිබුණු අත් බෝම්බයක් පිපිරී යාමෙන් බවත් ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර යුද හමුදා අණ දෙන නිලධාරියා කියා සිටියේය. එහෙත් ප්‍රහාරයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබු ත්‍රිකුණාමලය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ගාමිණි ගුණතුංග ගේ නිගමනයන්ට අනුව සිසුන් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීම හේතුවෙනි. එසේම වෙඩි පහරවල් වලට අමතරව සිරුරුවල දක්නට ඇති  අනෙකුත් තුවාලවලට හේතුව වෙඩි වැදීම් නිසා සිදු වු ඒවා නොවන බවටද අධිකරණ වෛද්‍යවරයා විසින් නිගමනය කර ඇත. කෙසේ වෙතත් සිසුන් මියගොස් ඇත්තේ වෙඩි පහරවල් හේතුවෙන් නිසා බවත් එම වෙඩි පහරවල් මරණකරුවන්ට ඉතා ආසන්නයේ සිටිමින් තබන ලද ඒවා බවත් අධිකරණ වෛද්‍යවරයා විසින් නිගමනය කරන ලදී. තුවාල ලත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පපු පෙදෙසටත්, අනෙක් තැනත්තාගේ උදරයටත් වෙඩි වැදී තිබුණු බව සඳහන් වේ.☐

(මතු සම්බන්ධයි.)

දෙවෙනි කොටස: 'වෙඩි තිබ්බේ STF සෙබළු බව අපි දන්නවා' - බැසිල් රාජපක්‍ෂ

©  JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.