JDS Sinhala

උතුරේ හෝ දකුණේදී අපේ දරුවන් මරා දැමීමේ අයිතිය දුන්නේ කවුරුන් ද?

එක් දහස් නවසිය අනූවේ පෙබරවාරි 18 වැනිදා මැදියම් රැයෙහි රාජගිරිය වැලිකඩවත්තේ පිහිටි වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ නිවසට සන්නද්ධව කඩා වැදුණු සිවිල් හැඳගත් ආරක්‍ෂක අංශ සාමාජිකයෝ ඇගේ පුතු - ප්‍රවීණ මාධ්‍යවේදී හා කලාකරු රිචඩ් ද සොයිසා - පැහැරගෙන ගියහ. රැගෙන යන්නට පෙරාතුව තමන් සිය පුතු එක් වරක් වැරෙන් වැළඳ සිපගත් බව ඇය පසුව කීවාය. පෙබරවාරි 19 වැනිදා වධ බන්ධනයන්ට ලක්ව ප්‍රාණය නිරුද්ධ රිචඩ්ගේ සිරුර මොරටුව කොරළවැල්ලේ වෙරළ තීරයට ගොඩගසා තිබිණ.  දකුණේ දරුවන් අහිමි වූ සිය දහස් සංඛ්‍යාත මව්වරුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා අනුරාගීව සටන් කළ දෙමළ ජාතික මවකගේ අරගලය ඇරඹුණේ පෙබරවාරි 20 වෙනිදා කළුබෝවිල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ නිසොල්මන්ව වැතිර සිටි රිචඩ්ගේ දේහය අබියසදී ය.

ඉන් වසරක් ඇවෑ‍මෙන් 1991 පෙබරවාරි 19 වෙනිදා කොළඹදී මුළුදුන් 'මව් පෙරමුණේ' පළමු ජාතික සමුළුවට ඈත හද්දා පිටිසර ගම් නියම් ගම්වලින් සිය දරුවන්ගේ දුර්වර්ණ සේයා රූ රැගෙන ආ සොවින් පීඩිත මව්වරුන් තුරුළු කොට සනසා අස්වැසූ වෛද්‍ය සරවනමුත්තු අනතුරුව එළඹි වසර කීපය සිය ජීවිතය කැප කරන ලද්දේ ඔවුන් ආර්ථික වශයෙන් නගා සිටුවනු පිණිස ය. වැලිකඩවත්ත නිවස අතහැර කොල්ලූපිටියේ කර්නල් ටීජී ජයවර්ධන මාවතේ සිය මුල් නිවසේම කුඩා ඇනෙක්සියක සිය සුරතල් සුනඛයා හා හුදකලාවේ විසූ ඈ නව සියවසක් එළඹෙන මොහොතේදී සිහිමද ගතියකින් කොළඹ මැකාති රෝහලේ ඔත්පලව හිඳ 2001 පෙබරවාරි 14 වැනිදා නිහඬවම නික්ම ගියාය. ගෙවුණු සියවසෙන් ඉතිරි වූ වියෝ දුක් දරා වෙන්ව ගිය මවකගේ සන්සුන් ශෝකී දේහය කිසිවෙකුගේ විශේෂ බුහුමනට පාත්‍ර නොවී බොරැල්ලේ බානි රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කොට තිබූ  අතර එයින් සිව් වසරක් ඇවෑමෙන් 2005 නොවැම්බර් 09 වෙනිදා, රිචඩ් ඝාතනයේ චූදිතයන් සියල්ලෝ කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබිණ.

ඇගේ මරණයෙන් දශකයක් ගෙවුණු තැන, යළිත් උතුරු-නැගෙනහිර මව්වරු සිය දරුවන්ගේ වියැකුණු සේයා රූ රැගෙන නගර මං මාවත්වල වැළපෙති. උතුරේ හෝ දකුණේ දරුවන් මරා නොදැමෙන ලංකාවක් වෙනුවෙන් සටන් කරන්නට දශක දෙකකට පෙර සිංහල මව්වරුන් තුළ අනුරාගය අවුළුවා ලූ දෙමළ ජාතික මවක් වී යැයි ඒ දුකට පත් දෙමළ මව්වරුන් නොදනී.

1992 එක්තරා සන්ධ්‍යාවක, කොල්ලුපිටියේ නිවසෙහි කුඩා ආලින්දයේ වාඩි වී ඇය හා කළ කතාබහකින් පසු 'ලක්දිව' පුවත්පතෙහි පළවූ මේ සටහන අප පළ කරන්නේ අමතකව ගිය ඈ පිළිබඳ දුක්බර මතකය වෙනුවෙනි‍.

සටහන: රෝහිත භාෂණ අබේවර්ධන


ට මගේ පුතා නැති විණ. මගේ දරුවා මට නැති වූ විදිය මගේ රටේ ජනතාව දනියි. ඒ මතකය පාරන්නට මම අකමැත්තෙමි.

ම‍ට අරමුණක් තිබේ. ඒ මට බොහෝ වගකීම් ඉතිරි කොට තබා මගේ පුතා නතර වූ නිසා ය. ඔහු වෙනුවෙන් මෙන්ම රිචඩ් වැනි වූ බෙහෝ දරුවන් වෙනුවෙන් මම ඒ වගකීම් ඉටු කරමි.

ඇත්තෙන්ම මවුවරු නිහ‍‍ඬ නැත්තාහ. එහෙත් මවුවරුන් හුදෙක් දේශපාලන බලවේගයක් පමණක් ම විය යුතු යැයි මම පිළි නොගනිමි. මවු පෙරමුණ පුළුල් සමාජ බලවේගයක් විය යුතු ය. මවුවරුන්ගේ බලපෑම සමාජමය වශයෙන් බලපෑම් සහගතවූවක් විය යුතු ය. චිලියේත්, ආර්ජන්ටිනාවේත් ඒ හා සමාන වෙනත් බොහෝ රටවලත් මවුවරුන්ගේ ව්‍යාපාර පොදු දේශපාලන බලවේග හා බැඳී සිටියි. ඒත් ආර්ජන්ටිනියානු මවු පෙරමුණ පවා අද ශක්තිමත් ස්වාධීන සමාජ  බලවේගයකි. ඔවුන් සටන් කරන්නේ මිලිටරි ඒකාධිපති රජයකට එරෙහිව ය. ඔවුන් ඒ ශක්තිමත්භාවය ලබා ගත්තේ හුදු දේශපාලන ව්‍යාපාරයක් බවට පත් නොවී, සමාජ බලවේගයක ආකාරයෙන් සටන් කළ නිසා ය.

අපි මේ රජයෙන්, ‍‍‍'අපේ දරුවන් දෙන්නැයි' ඉල්ලා සිටින්නා සේ ම, මීළඟට පත්වන රජයකට වුවත් 'දරුවන් ඝාතනය කරන්න එපා' යැයි බලකිරීමේ ශක්තිය අපට තිබිය යුතු ය.

ඔවුන්ට අපේ දරුවන් නිර්දය ලෙස මරා දමන්නට කව දුරටත් ඉඩ දිය නොහැකිය. මවුන් අපේ දරුවන් මරා දමන්නේ කුමන සදාචාරයක් උඩ ද? නීති ප්‍රකාර එල්ලා මැරීම් තහනම් වූ දේශයක නීතියෙන් පිටස්තර ඝාතනයන්ට ඇත්තේ කවර නම් සාධාරණ පදනමක් ද? පැහැදිලිවම මේ රටේ සමාජ පරිවර්තනයක් විය යුත්තේ මේ නිසා ය. අපේ දරුවන් ගංඟාවල පා නොවන, පාරවල් අද්දර මරා නොදැමෙන දේශයක් සඳහා මේ රටේ සමාජ වෙනසක් සිදුවිය යුතුය. ආදරය සහ සුන්දරත්වය මේ රටේ හෙට දරුවන් විඳිය යුතු ය.

ලෝකයා සත්‍යය දනියි. එය කිසිවෙකුට යටපත් කරන්නට නොහැකි ය. ඔවුන් ඒ සත්‍යය වෙනුවෙන් කටයුතු කරනු  ඇත. අපටත් නිශ්චිත වැඩ පිළිවෙලක් තිබේ. ඒත් මම එය දැන්ම හෙළිදරව් නොකරමි. එය රජයට නිරාවරණය කරන්නට මා සූදානම් නැත. මා මුලින් පැවසූ අාකාරයට මට මගේ ජීවිතය පිළිබඳ කිසිදු බියක් නොමැත. ඔවුන් රිචඩ් ගෙන ගිය දා මගේ ජීවිතය නැවතිණ. ඒත් මා බියවන්නේ මේ අහිංසක මව්වරුන් පිළිබවඳව ය. අතරුදහන්ව ඇති ඔවුන්ගේ දරුවන් සොයා ගන්නට ඔවුන් ජීවත් විය යුතු ය. අද වනතුරුත් හමුනොවූ දරුවන්  නැති බවට ඇතැම් විට විශ්වාස කළ හැකි වුව ද, අපි අපේ දරුවන් ඉල්ලා සිටිය යුතු ය.

අපි අපේ දෑත් උතුරේ දුකට පත් මවුවරුන් වෙත දිගු කළ යුතුව ඇත්තෙමු. උතුරේදීත්, දකුණේදීත් ඔවුන් මරා දමන්නේ අපේ දරුවන් ය. ඔවුන් හෙළන කඳුළකත්, අපේ කඳුළකත් ඇත්තේ එක ම වේදනාව ය. එක ම උණුසුම ය. උතුරේදීවත්, දකුණේදීවත් මරණයට හෝ කඳුළට සීමාවන් ඇතැයි මා ‍නොඅදහමි. උතුරේදී හෝ දකුණේදී හෝ අපේ දරුවන් මරා දැමීමේ අයිතිය ඔවුන්ට පවරා දුන්නේ කවුරුන් ද?

ඇත්තෙන්ම නිල් අහස එහි සුන්දරත්වයෙන් යුතුව දකින්නට අපේ දරුවෝ ආසා කළහ. පියාපත් විදාගත් කුරුල්ලන් එහි නිදහසේ ඔබ මොබ පියාසර කරනු දකින්නට අපේ දරුවෝ ආසා කළහ. වෙරළ අද්දරට වී සාගරයේ නිහඬ චමත්කාරය විඳින්නට අපේ දරුවෝ ආසා කළහ. ඒත් මේ සියල්ල විඳගන්නට පෙරාතුව ඔවුන් දයා විරහිත ව මරා දැමුණි. අපි මේ ලෝකය යළි නිර්මාණය කළ යුතුව ඇත්තේ ඒ නිසා ය. එවිට හෙට දවසේ දරුවන් ඒ චමත්කාරය විඳගනු ඇත.

දුර ඈතක සිට රිචඩ් මා දෙස බලා සිටිතැයි මම සිතමි. මෘදු හදවතක් තිබූ මගේ පුතා බොහෝ විට මා හා කතා කරයි. ඔහු ඔහුගේ දේශයට එදා මෙන් ම ආදරය කරයි. ඔහු ඔහුගේ ‍රටෙහි ජනතාවටත් එදා මෙන් ම ආදරය කරයි. මිය ගිය බොහෝ දරුවන් ඔහු වැනි ම යැයි මම සිතමි.

ඇත්තෙන්ම වෙනස් වූ මතු යම් දිනයක් එළඹෙනු ඇතැයි මම දනිමි. එදිනට අප නොදන්නා යම් තැනක හිඳ ඔවුන් සියල්ලන් යළිත් මේ දේශයට පෙරළා පැමිණෙනු ඇත. රිචඩ් මෙන් ම මරා දැමුණු බොහෝ අහිංසක දරුවන් ඔවුන් ආදරය කළ දේශයට එනු ඇත.

'අම්මා..... අපි ඔබලාට නිදහස හා ආදරය ගෙන ආවා' යි කියන රිචඩ්ගේ කඩහඬ මට ඇසේවි යැයි මම අපේක්‍ෂා කරමි. රිචඩ් වැනි සියළු දරුවන්ගේ කටහඬ ඇසේවි යැයි මම අපේක්‍ෂා කරමි.

ඒ දිනය එනතුරු මම සටන් කරමි. ඒ දිනය එන තුරුම අපි සටන් කළ යුතු වෙමු.'☐

(වෛද්‍ය සරවනමුත්තු මහත්මිය‍ගේ සේයා රූ ලබා දුන් නිලේන්‍ද්‍ර දේශප්‍රිය ‍සොයුරාට ස්තූතියි.)

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.