JDS Sinhala

'අප්‍රසන්න අතීතය ආවර්ජනය කිරීම සුදුසු නෑ' - රිචඩ් ගැන චිත්‍රපටයට පොලිස් තහංචියක්

ප‍්‍රසන්න අතීතයක් නැවත ආවර්ජනය කිරීම යෝග්‍ය නොවන බව’ පොලිස්පතිවරයා වාර්තා කර ඇති හෙයින්, රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගෙන නිපදවීමට සැලසුම් කර ඇති චිත‍්‍රපටය රූ ගත කිරීම අනුමත කළ නොහැකි බව, අදාළ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ලිඛිතව දැනුම් දී තිබේ.

‘මෙම චිත‍්‍රපටය පාදක කරගෙන ඇති වෘත්තාන්තය අනුව පසුගිය කාලවකවානුවේ රට තුළ පැවැති කලබලකාරී වාතාවරණය නැවත ඉස්මතු වීමට ඉඩඇති බව’ ද පොලිස්පතිවරයා වාර්තා කර ඇතැ’යි, ආරක්ෂක අමාත්‍යාංශය ඉහත තීරණය දැනුම් දෙමින් ‘දේ ඩාන්ස් අලෝන්’ (They Dance Alone) චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ නිලේන්ද්‍ර දේශප‍්‍රියට යවන ලද ලිපියෙන් කියා සිටී.

එසේම ‘මෙම චිත‍්‍රපටයෙහි පොලිස් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ චරිත, රංගන, දෙබස් රූගත කරීම සිදුකරනු ලබන බැවින්, මෙම චිත‍්‍රපටය රූගත කිරීම’ පොලිස් දෙපාර්තමේන්තුව ‘නිර්දේශ කර නොමැති’ බව ද, ආරක්‍ෂක ලේකම් වෙනුවට උක්ත ලිපියට අත්සන් කර ඇති නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බි‍්‍රගේඩියර් ඒ එස් ආරියසිංහ පවසා තිබේ.

වෛද්‍ය මනෝරාණි සරවණමුත්තු

1990 පෙබරවාරි මස 18 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ රාජගිරිය වැලිකඩවත්තේ නිවසට ආයුධ සන්නද්ධව කඩාවැදුණු සිවිල් ඇඳුම් හැඳගත් ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් ප‍්‍රවීන මාධ්‍යවේදී හා කලාකරු රිචඩ් ද සොයිසා පැහැරගෙන ගිය අතර, වද බන්ධනයන්ට ලක්වූ රිචඩ්ගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුර පසුදා මොරටුව කොරළවැල්ලේ වෙරළ තීරයට ගොඩගසා තිබී සොයාගන්නා ලදී.

සිය පුත‍්‍රයා පැහැරගෙන ගොස් මරාදැමීමෙන් අනතුරුව, එසේ දරුවන් අතුරුදහන් වූ මව්වරුන් සම්බන්ධ කරගනිමින් ‘මව් පෙරමුණ’ ගොඩනැඟීමට මුල්වූ රිචඩ් ද සොයිසාගේ මව වූ වෛද්‍ය මනෝරානී සරවනමුත්තු ගෙනගිය අරගලය තේමා කරගනිමින් ‘දේ ඩාන්ස් අලෝන්’ චිත‍්‍රපටයේ තිරනාටකය ලියැවී ඇතැයි එහි නිෂ්පාදකයෝ කියා සිටිති.

1996 වසරේ තිරනාටකය රචනා කිරීම අරඹා ඇති ‘දේ ඩාන්ස් අලෝන්’ චිත‍්‍රපටයේ රූපගතකිරීම්, විවිධ හේතු නිසා වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ සිදු වී නැත. පසුගිය වසරේ ඔක්තෝබර් 01 වැනිදා හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලිපියක් ලියමින් චිත‍්‍රපටයේ නිෂ්පාදක හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ඉල්ලා සිටියේ චිත‍්‍රපටයේ රූගත කිරීම් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය අවසරය හා පහසුකම් ලබාදෙන ලෙස ය. ඒ සඳහා ඔහු චිත‍්‍රපටයේ තිර පිටපත හා කතා සාරාංශය ද, අවශ්‍ය  කර තිබෙන පහසුකම් පිළිබඳ ලේඛනයක් ද ඒ සමඟ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යවා ඇත.

'හමුදාව ම්ලේච්ඡ යැයි හැඟවීම'

2014 ඔක්තෝබර් 23 වැනිදා මීට පිළිතුරක් සපයන රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියාසිටියේ තිර පටපතේ පිටු තුනක අඩංගු දෙබස් හා කරුණු ‘හමුදාවේ අභිමානයට, කීර්තියට හා ප‍්‍රතිරූපයට හානියක්’ බවත්, එය ‘විරෝදාර රණවිරුවන් අවතක්සේරුවට ලක්කිරීමක්’ බවත් යුද හමුදාව නිරීක්ෂණය කර ඇති බව ය. එසේම එහි අඩංගු ඇතැම් කරුණුවලින් හමුදා සෙබලූන් හා නිලධාරීන් ‘එම කාලසීමාවන් තුළ ඉතාමත් පහත්, කෲර, ම්ලේච්ඡ තත්ත්වයෙන් කටයුතු කර ඇති බව පේ‍්‍රක්‍ෂකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ දැරීමක්’ ඇති බවත් දක්වා තිබේ.

මීට ප‍්‍රතිචාර වශයෙන් තිර රචනයෙහි අදාළ පිටු තුනේ සංශෝධන සිදුකර නව පිටපතක් 2014 නොවැම්බර් 12 වැනිදා ආමාත්‍යාංශයට බාරදෙනු ලැබ ඇත. එතැන් පටන් මාස තුනකට ආසන්න කාලයක් මේ පිළිබඳ තොරතුරක් නොලද නිෂ්පාදකයෝ පසුගිය පෙබරවාරි 09 වැනිදා අලූතෙන් පත් වූ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මේ පිළිබඳ විමසීමක් කර තිබේ.

'අප්‍රසන්න අතීතය'

‘‘මෙම චිත‍්‍රපටයට පාදක කරගෙන ඇති වෘතාන්තය අනුව පසුගිය කාලයේ රට තුළ පැවැති කලබලකාරී වාතාවරණය නැවත ඉස්මතු වීමට ඉඩකඩ ඇති බවටත්, අප‍්‍රසන්න අතීතයක් නැවත ආවර්ජනය කිරීම යෝග්‍ය නොවන බවටත් පොලිස්පති විසින් වාර්තා කොට ඇත. .....ඒ අනුව මෙම චිත‍්‍රපටය රූගත කිරීම මෙම අමාත්‍යාංශය විසින් අනුමත නොකරන බැව් කාරුණිකව දන්වා සිටිනු ලැබේ’’ යනුවෙන් සඳහන් ඉහත ලිපිය අධ්‍යක්‍ෂ දේශපි‍්‍රයට ලැබී ඇත්තේ ඊට පිළිතුරක් වශයෙනි.

මෙම ලිපිය හා මීට ඉහත ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ හුවමාරු වූ ලිපිවල පිටපත් සහිතව, උද්ගත වී ඇති ගැටලූව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා අධ්‍යක්‍ෂවරයා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලකට ඊ මේල් ලිපියක් යවා ඇත්තේ පෙබරවාරි 21 වැනිදා ය. එහෙත් ඔහු කියන පරිදි මේ දක්වා ඔහුට ඇමතිවරයාගෙන් පිළිතුරක් ලැබී නැත. තමන් මේ ලිපි සියල්ල ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතානට ද ඊමේල් මඟින් යැවූ බව ඔහු පවසයි. 

ලසන්ත, සිවරාම් හා ප්‍රගීත්

මේ සම්බන්ධයෙන් JDS කළ විමසීමකට පිළිතුරු දුන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන කියා සිටියේ මේ ගැටලූව නිරාකරණය කරදීමට තමන් සූදානම් නමුත්, චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට අවසර නොදෙමින් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් එවන ලදැ’යි කියන ලිපිය තමන් අතට මේ තාක් පත්වී නොමැති බවයි. එහෙත් පසුගිය පෙබරවාරි 21 වැනිදා නිලේන්ද්‍ර දේශපි‍්‍රය විසින් උක්ත ලිපිය සේම ඊට අදාළ ලිපි සියල්ලත් ඇමුණුම් වශයෙන් කරුණාතිලක ඇමැතිවරයාටත්, පරණවිතාන ලේකම්වරයාටත් ඊ මේල් මඟින් එවා ඇති බව JDS සඳහන් කළ විට ලේකම්වරයා කියා සිටියේ ඊ මේල් මඟින් එවන මෙවැනි දෑ එතරම් අවධානයට ලක් නොවන බැවින් තමන් මේ කියන ලිපියේ මුද්‍රිත පිටපතක් ඉල්ලා සිටි බවත්, එය මෙතෙක් නොලැබුණු බවත් ය.

දශක දෙකකට ආසන්න කාලයක් තමන් මේ චිත‍්‍රපට ව්‍යාපෘතිය සමඟ අත් නොහැර වැඩ කරමින් පැමිණි බව පවසන අධ්‍යක්‍ෂ නිලේන්ද්‍ර දේශප‍්‍රිය JDS සමඟ කියා සිටියේ තමන් මේ චිත‍්‍රපටය කෙසේ හෝ නිමකරන බව ය.

‘‘මා මේ චිත‍්‍රපටය කළ යුතුමයි. මෙය රූපගත කරන්නවත් ඉඩ නොදී වාරණය කරන්න කාටවත් ඉඩදෙන්න බෑ. මේ කියන තීරණයට හිස නැමුවොත් අපට කවදාවත් ඝාතනයට ලක් වූ ලසන්ත වික‍්‍රමතුංග ගැන, ධර්මරත්නම් සිවරාම් ගැන, අතුරුදහන් කළ ප‍්‍රගීත් එක්නැලිගොඩ ගැන චිත‍්‍රපට කරන්න පුළුවන්ද? ඒ නිසා මීට හිස නොනමා චිත‍්‍රපටය කිරීමේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් මා හැම පියවරක්ම ගන්න සූදානම්’’ ඔහු වැඩිදුරටත් පැවසීය.

අපරාධ ගැන දේශීය පරීක්‍ෂණ

රිචඩ් ඝාතනයෙන් 15 වසරකට පසු, 2005 නොවැම්බරයේ දී එම ඝාතනයේ සියලූ චූදිතයන් කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

‘අප‍්‍රසන්න අතීතයක් නැවත ආවර්ජනය කිරීම යෝග්‍ය නොවන බව’ කියමින් මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය පිළිබඳ චිත‍්‍රපටයේ රූගත කිරීම් වාරණයට ලක්කරන රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අමාත්‍යධූර වගකීම් දරන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ය.

මේ අතර බි‍්‍රතාන්‍යයේ සංචාරයක නියැලී සිටින ජනාධිපති සිරිසේන ඉකුත් බදාදා (12)  බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් වශයෙන් විශේෂ පරීක්‍ෂණ කමිටුවක් මසක් ඇතුළත පත්කිරීමට තමන් කටයුතු කරන බවත්, එහිදී වැරදිකරුවන් වශයෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට රටේ නීති ප‍්‍රකාරව දඬුවම් දෙන බවත් ය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.