JDS Sinhala

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සහ සිංහල යුද විජයෝන්මාදය

ය හුදෙක් පාරේ ගෝරියකි! මධ්‍යම ශ්‍රී ලංකාවේ පටු මාවතක එකක් පරයා ධාවනය කරන්නට තවෙ'කකට ඉඩ නොලද වාහන දෙකක ගමන ඉන්ධන පිරවුම් හලකින් කෙළවර වේ. බහින් බස් වීම ශාරීරික ගැටුමක් දක්වා වර්ධනය වන්නේ වේගයෙනි. මෙවැනි මතභේද බොහෝමයක් සාමකාමීව කෙළවර වන අතර තවත් සමහරක් එකිනෙකා වෙත එල්ල කෙරෙන වාචික තර්ජනයන්ගෙන් නිමාව දකියි. ඉන් අල්පයක් ගුටි බැට හුවමාරුවකින් අවසන් වේ. මේ ප්‍රස්තුත මාර්ග කලහය ඉන් තුන්වැනි ප්‍රවර්ගයට අයත් වන්නේ ගැටුමෙන් බරපතල තුවාල ලද එක් අයෙක් මහනුවර ශික්ෂණ රෝහලේ සතියක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් හිඳ මරණයට පත් වූ හෙයිනි. සිව් දෙනෙක් පොලිස් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණි.

තුවාල ලද පුද්ගලයාගේ මරණය නිවේදනය වූ සැණින් මෙකී, සාමාන්‍ය මුත්, ඛේදනීය සිදුවීමට වාර්ගික හා ආගමික හැඩයක්  ආරෝපණය විය. මරණයට පත් පුද්ගලයා සිංහලෙයකු වූ අතර අවශේෂ සිවු දෙනා මුසල්මානුවෝ වූහ. ඔවුන්ගේ ආගමික පසුබිම්, සිංහල වර්ගෝත්තමවාදී ආඛ්‍යානයට මනාව ගැළපුණි: 'මුස්ලිමුන් විසින් සිංහල බෞද්ධයෙකු ඝාතනය කර තිබේ!' බහුතර සිංහල ජනයා අතර මුස්ලිම් ජනයා සංඛ්‍යාත්මක සුළුතරයක් වශයෙන් ජීවත්වන එම ප්‍රදේශය පුරාත්, ඉන් ඔබ්බටත් මේ පුවත ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය.

අවමඟුල් සැළසුම්වල කොටසක් ලෙස මියගිය පුද්ගලයා දිවි ගෙවූ ගම්මානයේ සිට කිලෝ මීටර් කිහිපයක් දක්වා සුදු කොඩිවලින් සැරසීමට ගම්වාසීහු කටයුතු කළහ. බෞද්ධ භික්‍ෂූන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශයට රොද බැඳ ආ නා නා ප්‍රකාර අන්ත ජාතිකවාදී කණ්ඩායම් මංකොල්ල කමින් ද, මුස්ලිම් ජනයාගේ නිවාස, වෙළඳ සැල් හා දේවස්ථාන ගිනිබත් කරමින් ද, මාවත් වනසමින් වාහනවල ගමන් ගන්නා මුසල්මානුවන් සෙවූහ. ගිනිබත් කරන ලද වෙළඳ සැළක කොටු වූ තරුණයකු මිය ගිය අතර කම්පනයෙන් හටගත් හෘදයාබාධයකින් තවත් අයෙක් මරණයට පත් විය.

ඉහත කී සියල්ල සිදුවූයේ ශ්‍රී ලංකාවේ විශේෂ පොලිස් කොමාන්ඩෝ හා යුද හමුදා සේනාවන් රැකවල් ලා තිබියදී ය. හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ ආණ්ඩුව, අදාළ ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා, දහස් ගණනක් හමුදා සෙබළුන් ප්‍රදේශයට යොදවමින් සමාජ මාධ්‍ය වාරණය කළේය. නමුත්, නිවාස සහ වෙළඳ සැල් ආශ්‍රිතව සවි කර තිබූ ආවේක්‍ෂණ කැමරාවලින් ලබාගත් දර්ශන ද ඇතුළු ප්‍රදේශයෙන් ලැබෙන වාර්තාවලින් හෙළිකරන ලද්දේ බොහෝ දුරට බෞද්ධ භික්ෂූන් විසින් මෙහෙයවන ලද සිංහල මැර කල්ලි දිවා රෑ සැරිසරමින් මුස්ලිම් ගමින් ගමට සිය ප්‍රහාරයන් ව්‍යාප්ත කළ බව ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු බොහෝ දෙනා, අකර්මණ්‍යභාවය ගැනත්, නීතිය හා පර්යාය වහා පිහිටුවීමට අසමත් වීම ගැනත් රනිල් - මෛත්‍රී පාලන තන්ත්‍රයට චෝදනා කළෝය. සිංහල ලිබරල් බුද්ධිජීවීහු, 'අන්තවාදීන්' මැඩලීමට ක්‍රිියා නොකිරීම ගැන ආණ්ඩුවට දෝෂාරෝපණය කළහ. එය ජාතීන් දෙකක් අතර හටගත් ජාතිභේදවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන් සේ ද චිත්‍රණය කෙරුණි; දෙමළ විරෝධී සංහාරය 'සිංහල - දෙමළ කෝලාහලයක්' ලෙස නම්කළ පරිද්දෙන්ම, මේ වනාහී මුස්ලිම් - සිංහල කෝලාහලයක් වශයෙනි.

නීතිය හා පර්යාය නිසි ලෙස ක්‍රියාවට නැංවූයේ නම් දිවයිනේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ගේ තවත් පරිච්ඡේදයක් වැළැක්විය හැකිව තිබුණේද? එය ඇත්තක් නම්, ඇඳිරි නීතිය පනවා, පොලිස් සහ හමුදාවන් යොදවා තිබියදී සිංහල කල්ලි ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නිරත වූයේ කෙසේද? මෙකී ක්‍රියා සිදුවන්නේ 'ආකර්යක්ෂම' මුත් 'මධ්‍යස්ථ'ව ක්‍රියාකරන රජයකට සම්බන්ධයක් නොමැති යම්  හුුදු අන්තවාදීන් පිරිසක් නිසා ද?

සංස්ථාපිත ජාතිවාදය

බලයේ සිටි ආණ්ඩු පාක්ෂික දේශපාලකයන්ගේත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලත් විවෘත සහ ආවෘත ආධාරය ඇතිව සිංහල නොවන ජාතික ප්‍රජාවකට එරෙහි ඉතිහාසයේ වඩාත් භයංකාර හා පැතිරුණු සංහාරය සිදුවූයේ 1983 ජූලි මාසයේදී ය. පුළුල් වශයෙන් පිළිගනු ලැබ ඇති සංඛ්‍යා ලේඛන අනුව එමගින්, සතියක් ඇතුළත දී 3,000කට වැඩි දෙමළ ජනයා ඝාතනය කර මිලියන භාගයක් ජනයා  අවතැන් කරන ලදී. අද වනතුරුත් ඒ සම්බන්ධයෙන් එකදු පුද්ගලයකුට එරෙහිව හෝ නඩු පැවරීමක් සිදුව නැත. 1983 දෙමළ විරෝධී සංහාරයන්ගෙන් පසු උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වූ ඊළම් දෙමළ ජනයා අතර ප්‍රබල දේශපාලන බලවේගයක් වශයෙන් නැගී ආ දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය අභිබවා හිටපු ජනාධිපති රාජපක්ෂගේ නායකත්වයෙන් ලද යුදමය ජය 35 වසරක යුද්ධයේ අවසානය සළකුණු කරන ලදී. මෙකී යුදමය ජය සඳහා එක්සත් ජනපදයත්, එක්සත් රාජධානියත්, ඉන්දියාවත් අති මහත් පිටුබලයක් සැපයූහ.

එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව එම අවසාන යුද්ධය විසින් අවම වශයෙන් දෙමළ ජනයා 70,000කගේ ජීවිත බිලිගත් අතර දිවයින පුරා සිංහල වර්ගෝත්තමවාදී දේශපාලනය පෙර නොවූ විරූ ලෙස තහවුරු කරනු  ලැබිණ. යුද්ධයට ආධාර සැපයූ කලාපීය සහ ගෝලීය බලවතුන්ගේ අවශ්‍යතාව වූයේ එල්ටීටීඊ සංවිධානයේ නායකත්වයෙන් ස්ථාපිත කර තිබූ අනු-රාජ්‍යයට එරෙහිව ඒකීය ශ්‍රී ලංකා රාජ්‍යය සුරක්ෂා කිරීම ය. දෙමළ ජනයාට එරෙහිව සිදුකළ සුවිශාල අපරාධයන් ගැන විමර්ශනය කරන 'කිසිදු විනිශ්චය සභාවක් හමුවේ ආරක්ෂක හමුදාවන් පාවා නොදෙමු' යැයි සිංහල ජනයාට පොරොන්දු දීමට වත්මන් සහ කලින් බලයේ සිටි පාලන තන්ත්‍රයන් දෙකෙහිම නායකයෝ එකිනෙකා හා තරඟ වදිමින් සිටිති. එක්සත් ජනපදයේ නායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ගෙන ආ අභියෝජනාව ලංකාවේ 'ස්වාධීනත්වය, ස්වෛරීභාවය, එක්සත් භාවය හා භෞමික අඛණ්ඩතාව' ආරක්ෂා කිරීමට ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය අවධාරණය කෙරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය තව දුරටත් තහවුරු කරනු ලැබූ අතර, අවම වශයෙන් 'දෙමළ' ජනයා වින්දිතයන් ලෙස නම් කිරීමට පවා එය අසමත් වේ.  එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මීටත් වඩා දුර යමින් කියා සිටියේ සංක්‍රාන්තික යුක්තිය ළඟා කරගත යුත්තේ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ගේ 'වීරෝධාරත්වය සහ වෘත්තීයභාවය' ආරක්‍ෂා කරමින් බව ය.

දිවයිනේ මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ වත්මන් අවදිය යමෙකු විසින් වටහාගත යුත්තේ යථෝක්ත පසුබිම තුළ ය. 'සිංහල - බෞද්ධ නොවන ප්‍රජාවන්ට ප්‍රහාර එල්ල කිරීම අපරාධයක් නොව, සිංහල වීරත්වයකි'! මේ මනෝභාවය වනාහී ආන්තික ස්ථාවරයක් නොව, සංස්ථාපිත එකකි. මෙම වර්ගෝත්තමවාදී දෘෂ්ටිවාදය නොමැතිව ඒකීය රාජ්‍යය පවත්වාගෙන යා නොහැක. එවැනි වටපිටාවක් තුළ නීතිය හා පර්යාය ඇත්තේ සිංහල වර්ගෝත්තමවාදීන්ගේ පැත්තේ මිස දෙමළ හෝ මුස්ලිම් වින්දිතයන්ගේ පැත්තේ නොවේ. 'අපි සියල්ලෝ ශ්‍රී ලාංකිකයන් වම්හ'යි කියැවෙන බොල් උද්‍යෝග පාඨය වනාහී ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා ස්වභාවය සඟවනු වස් යොදාගන්නා හුදු දේශපාලන අලංකාරියක් පමණි.

බොදු බල සේනාව හා ඉස්ලාම් භීතිකාව

නොබෝදා සිදු වූ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා වනාහී දෙමළ කොටි සංවිධානය පරයා 2009 දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය හමුදා අත්කරගත් යුද ජයග්‍රහණයෙන් පසු වකාවනුව තුළ මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් සිදුකළ තුන්වැනි ප්‍රධාන ප්‍රහාරයයි. 2005 සිට 2009 දක්වා දෙමළ ජනයාට එරෙහි යුද ව්‍යාපාරය ගෙනගිය සමයේදීත්,  මුස්ලිම් ජනයා නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමය 'කෙළෙසමින් වාඩි ලා සිටින' බවට අපවාදයන් සිංහල අන්ත ජාතිකවාදී ජාතික හෙළ උරුමය පක්ෂය විසින් නගන ලදී. එම පක්ෂය, කලින් පැවති සහ බලයේ සිටින පාලන තන්ත්‍රයන් දෙකෙහිම සන්ධාන පාර්ශ්වකරුවන්ව සිටියේය. කෙසේ වුවද, යුද්ධය ගෙනයාමේදී ප්‍රධාන සතුරා වූයේ ඊළම් දෙමළ ජනයා වීම නිසා උපක්‍රමික ගණන් බැලීම් හේතුවෙන් මුස්ලිම් ජනයා නිශ්චිත වශයෙන් ඉලක්ක කර නොගැනුණි.

බුරුමයේ සහ තායිලන්තයේ අන්ත ජාතිකවාදී බෞද්ධ කණ්ඩායම් සමග සමීප සබඳතා සහිත තවත් ජාතිවාදී බෞද්ධ කණ්ඩායමක් වූ බොදු බල සේනාව, පාලන තන්ත්‍රයේ රහස් ආධාර ඇතුව පශ්චාත් යුද වකවානුවේදී ගොඩනඟනු ලැබුණි. බොදු බල සේනාව විසින් බටහිර ඉස්ලාම් භීතිකාව මහත් අභිරුචියෙන් වැළඳගත් අතර යුරෝපයේ සහ එක්සත් ජනපදයේ දක්‍ෂිණාංශික කණ්ඩායම් විසින් ඉස්ලාමය සහ සරණාගතයන්ට එරෙහිව ළෙලවන ෆැසිස්ට් තර්කයන් ඔවුන් ද අනුයයි. හලාල් ආහාර හා මුස්ලිම් වෙළඳ සැල් වර්ජනය කිරීමට සිංහල ජනයා බලමුළු ගන්වමින් බොදු බල සේනාව විසින් දීප ව්‍යාප්තව දැවැන්ත මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගෙනයන ලදී. ඊළම් දෙමළ ජනයා අභිබවා ලද යුද ජයග්‍රහණයේම අංගයක් ලෙස උතුරු නැගෙනහිර සිංහල බෞද්ධකරණයත්, හමුදාකරණයත්, ඉඩම් කොල්ලයත් සඳහා රජය විසින් මහා පරිමාණයෙන් අනුග්‍රහ සපයන අතරවාරයේ දී, ඉස්ලාම්භීතිකාව දකුණේ සාමූහික සිංහල මනෝභාවය ගැඹුරටම කා වැදුණි. සීතල යුද්ධය අවසානයේ 'කොමියුනිස්ට් නපුර' වෙනුවට ඉස්ලාමයෙන් නව සතුරෙකු සොයාගත් බටහිර අධිරාජ්‍යවාදී බල සංකීර්ණය සමග ශ්‍රී ලංකා රාජ්‍යය තවදුරටත් බද්ධ කිරීම මෙමගින් සිදුවිය.

මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවල වත්මන් අධියර වනාහී, බ්‍රිතාන්‍ය විජිත සමයේ පටන් ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනංවනු ලැබ ඇති සිංහල වර්ගෝත්තමවාදී දේශපාලන තර්කනයේම පංගුවකි.  1948 ඊනියා නිදහසින් පසු ප්‍රතිබලගන්වන ලද එම අධිපතිවාදය, 2009දී  'දෙවැනි නිදහස' ලෙස නාමකරණය කළ, එල්ටීටීඊයට එරෙහි යුද ජයග්‍රහණයෙන් තව දුරටත් තහවුරු කරගනු ලැබුණි. ලංකාව යටත් කරගත් පළමු බටහිර විජිතවාදී බලවේගය වූ පෘතුගීසීන්ට එරෙහිව 16 වැනි සියවසේදී බෞද්ධ සහ මුස්ලිම් ජනයා එක්ව සටන් කළහ. බ්‍රිතාන්‍ය විජිත පාලනය ඇරඹුණු 19 වැනි සියවස මුල් භාගයේදී සිංහල සහ දෙමළ ජනයා සිය විජිතවාදියාට එරෙහිව එක්වත්, ඔවුනොවුන්ගේ  වෙනස් ප්‍රදේශවල පදනම්ව වෙන් වෙන්වත් නැගී සිට සටන් කළහ. කෙසේ වුවද, පසුව බ්‍රිතානීන් විසින් දිවයින තුළ තනි ඒකීය දේශපාලන ව්‍යුහයක් ගොඩනැංවීමෙන් අනතුරුව, සංඛ්‍යාත්මක බහුතරය වූ සිංහල ජනයා 'තෝරාගත් වර්ගයා' ලෙස සැළකුම් ලැබූ අතර දෙමළ සහ මුස්ලිම් ජනයා ආක්‍රමණිකයන් වශයෙන් චිත්‍රණය කරනු ලැබුණි. ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රමුද්‍රාව බවට දැන් පත්ව ඇත්තේ විජිතවාදය විසින් ගොඩනංවන ලද මෙකී වර්ගෝත්තමවාදී මනෝභාවයයි.

'නොහික්මුණු මැරයන්'ට එරෙහිව 'ශික්ෂිත හමුදා'

මා නිගමනය කරන්නේ මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාරයන් ජාතිභේදවාදී ප්‍රචණ්ඩත්වයක පංගුවක් ලෙස දැකිය නොහැකි බව ය. එමෙන්ම, මෙකී ප්‍රහාරයන් නීතිය බිඳවැටීමේ ඵලයක් හෝ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාමාර්ගයක් යැයි කිව නොහැකි ය. 'ස්වයං නීර්ණය ඉල්ලා සිටි ඊළම් දෙමළුන් යුදමය වශයෙන් පරාජය කර තිබේ. දැන් අපි මුස්ලිමුන්ට පාඩමක් උගන්වමු' යන්න බෞද්ධ අන්තවාදී සුළුතරයක මනෝභාවය නොවේ. මේ වනාහී ඒකීයවාදී අනුලක්‍ෂණයෙන් ද, බහිෂ්කාරක ජාතිවාදී දෘෂ්ටිවාදයෙන් ද, ගෝලීය බලවතුන්ගෙන් ලැබෙන සහානුබලයෙන් ද යුතු ශ්‍රී ලංකා රාජ්‍යය ව්‍යුහගත වී ඇති ආකාරයේ පිළිබිඹුවකි. රාජ්‍යයේ බල පදනම සකස් කරන්නා වූ ද, සිංහල මනෝභාවය සකසන්නා වූ ද මුඛ්‍ය සංඝටක වන්නේ මේවා ය. ඒ අනුව, අසිංහලයන්ට එදිරිව රාජ්‍යය තමන්ගේ පැත්තේ සිටිය යුතු බව සිංහල ජනයා පෙරළා අපේක්ෂා කරති. උතුරු හා නැගෙනහිර සිංහල ජනාවාසකරණය වනාහී ස්වකීය අයිතියක් යැයි කියන පරිද්දෙන්ම, මධ්‍යම පළාතේ මුස්ලිම් ජනයාට ප්‍රහාර එල්ල කිරීම නිසා අත් අඩංගුවට ගනු ලැබූ අය වහා නිදහස් කරන්නැයි අන්ත ජාතිකවාදී සිංහල කණ්ඩායම් ඉල්ලා සිටින්නේ ඒ නිසා ය.

ඇත්ත වශයෙන්ම, මධ්‍යම පළාතේ මුස්ලිම් ජනයාට එල්ල කරන ලද ප්‍රහාරයන්ට නායකත්වය සපයන ලද්දේ නැගෙනහිර පළාතේ දෙමළ සහ මුස්ලිම් ජනයාගේ ඉඩම් කොල්ල කෑමේ නිරත භික්ෂූන් විසින්ම ය. මුලින් දෙමළ ජනයා මිලිටරි වශයෙන් යටත් කොට ඔවුන්ගේ ජාතිකභාවය නිශේධ කරනු ලැබුණි. වර්ගවාදී සාපරාධයන් සිදුකළ අපරාධකරුවන්ට පූර්ණ දණ්ඩ මුක්තිය ප්‍රදානය කර ඇත. දැන්, මුස්ලිම් ජනයා ගර්හාවට ලක්කොට, පහර දී ඔවුනට යුක්තිය ප්‍රතික්‍ෂේප කර තිබේ. මෙම පීඩනයේ පොදු ඉරණම විසින් රාජ්‍යයට එරෙහිව ප්‍රතිරෝධය දක්වන්නට ඇවැසි පොදු භූමියක් දෙමළ සහ මුස්ලිම් ජනයාට නිර්මාණය කර ඇත. සිංහල ජනයාගේ වහල් හිමියන් විසින් නිර්මාණය කරදුන් දාස බන්ධනයෙන් සිංහල ජනයා මුදාගැනීමට සමත් විභවයක් ද එවන් දෙමළ - මුස්ලිම් එක්සත් ප්‍රතිරෝධයක අඩංගු වේ.

පාලන තන්ත්‍රයන් වෙනස් කළ හැකි ය. නමුත් ස්ථාපිත වාර්ගික ධූරාවලින් හා පීඩාකාරී ව්‍යුහයන් නිරුපද්‍රිතව ඇති තාක් කල් ඕනෑම නව පාලන තන්ත්‍රයක් සිංහල අධිපතිත්වය සහිත ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කරනු වස් ප්‍රචණ්ඩ අපරාධකරුවන්ගේ පැත්තේ සිටගනු ඇත. එම නිසා, කඳුරට මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාලීමට විශේෂ කාර්ය බලකා සෙබළුන් දැක් වූ සක්‍රීය සහභාගීත්වය වනාහී අපගමනයක් හෝ නීතිය හා පර්යාය පවත්වාගෙන යාමට අසමත්වීමක් හෝ නොව, දෙමළ ජනයාගේ ප්‍රතිරෝධය තලා දැමීමෙන් පසු නව ජවයක් අත්කරගත් සංස්ථාපිත ජාතිවාදී මනෝභාවයේ චර්යානුගත ම්ලේච්ඡ පිළිබිඹුවකි. 'නොහික්මුණු මැරයන්'ට එරෙහිව 'ශික්ෂිත හමුදාව' වනාහී ව්‍යාජ ප්‍රතිපක්ෂයන් ය. ඇත්ත වශයෙන්ම, සිංහල - බෞද්ධ නොවන ප්‍රජාවන් ප්‍රචණ්ඩ ලෙස යටපත් කිරීම සුජාත කරන්නා වූ පොදු දෘෂ්ටිමය රැහැනකින් ඒ දෙපිරිසම බැඳී සිටිති.

ශ්‍රී ලංකා රාජ්‍ය වූ කලී භාෂාවෙන් සිංහල ද, ආගමෙන් බෞද්ධ ද, දේශපාලන ව්‍යුහයෙන් හා දෘෂ්ටිවාදයෙන් යටත් විජිතවාදී ද වූ එකකි. ගෝලීය සන්ධානයක් විසින් එල්ටීටීඊ සංවිධානයේ තර්ජනයෙන් බේරා ගන්නා ලද්දේ මෙම රාජ්‍යය වන අතර දිවයින තුළ ජීවත්වන අවශේෂ ප්‍රජාවන් අභිබවා ස්වකීය වර්ගාගමික උත්තමභාවය ගැන සිංහල බෞද්ධ විශ්වාසයන්ට පුනර්ජීවනයක් ගෙන එන ලද්දේ එය මගිනි. 2009 යුද ජයග්‍රහණයෙන් පසු ඒකීය රාජ්‍යය පෙර නොවූ විරූ ලෙස තහවුරුව ඇති අතර සිංහල වර්ගෝත්තමවාදය එහි කූඨ ප්‍රාප්තියට ළඟා වී තිබේ.

එ් අනුව බලතොත්, මුස්ලිම් විරෝධී ප්‍රහාර වූ කලී යුද ජයග්‍රහණය හෝ 'අමාරුවෙන් දිනාගත් සාමය' පාවා දීමක් නොවේ. ඒ වනාහී එකී වර්ග සංහාරක විජයෝන්මාදයේම නොවැළැක්විය හැකි ප්‍රතිඵලයකි.☐

අන්තර් සංස්කෘතික දේවධර්මවේදය හා අන්තර් සාමයික අධ්‍යයනයන් පිළිබඳ සහකාර මහාචාර්යවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු ඩබ්ලින් සරසවියේ පශ්චාත් ගැටුම් යුක්තිය පිළිබඳ කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් ක්‍රියා කරයි. රෝමයේ නිත්‍ය මහජන විනිශ්චය සභාව විසින් සැසිවාර දෙකකින් පවත්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාවේ සම්බන්ධීකාරක වශයෙන් ද ඔහු කටයුතු කළේය.

ජූඩ් ලාල් ප්‍රනාන්දු


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.