JDS Sinhala

බොදු බලසේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා IV: 'මුස්ලිම් බිල්ලා' පිටුපසින් ඇමරිකානු සේනා?


පළමු කොටස: බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා
දෙවැනි කොටස: ගෝඨාභයගේ භූමිකාව කුමක්ද?
තුන්වැනි කොටස: අවි ජාවාරම් සහ බුද්ධානුස්සති භාවනා

බොදු බල සේනාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය බොහෝ විට දක්වන්නේ නිෂ්ක්‍රීය හෝ අනුග්‍රහාත්මක ආකල්පයකි.  ඉහළ දේශපාලනඥයන්ගේ හෝ ආරක්ෂක කටයුතු බාර ඉහළ නිලධාරින්ගේ හෝ බලපෑම ඊට හේතුවයි. ගලගොඩඅත්තේ ඥානසාරට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනුයේ ඔහුගේ අපරාධවලට එරෙහිව මහජන මතය උත්සන්නවන තත්ත්වයකදී එය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස පමණි. ඔහුට එරෙහිව වරෙන්තු ගණනාවකට ඔහුව අවශ්‍යව සිටියදී  සති ගණනාවක් පුරා පොලිසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට අසමත් විය. නමුත් මේ කාලය තුළ බුද්ධි අංශ නිලධාරින්, ඉහල පොලිස් නිලධාරින් සහ රජයේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් ඔහු සැඟවී සිටි ස්ථානයටම ගොස් ඔහුව හමු වී ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. ඔහු සිය අනෙකුත් භික්ෂු සගයන් සමග යම් ස්ථානවලට බලහත්කාරයෙන්  ෆැසිස්ට්  පන්නයේ කඩා වැදීම් කරන විට පහළ පොලිස් නිලධාරින්ට සිදුවනුයේ ඉහළ උපදෙස් මත ඔහුගේ ප්‍රචණ්ඩත්වයට ඉඩ දී පසු බැසීමට ය. ඇතැම් අවස්ථාවල බොදු බල සේනාවේ තර්ජනයට ලක්වන පුද්ගලයන්ට එරෙහිව ආරක්ෂාව සැපයීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. බොදු බලසේනාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයට එරෙහි වීම නිසා ඔවුන්ගේ අනවරත හිරිහැරයන්ට ලක්වීමට සිදු වූ වටරැක විජිත හිමියන්ගේ සිදුවීම එයට එක් උදාහරණයක් පමණි.

වාර්ගික සහ ආගමික වෛරය වැපිරවීම හේතුවෙන් පොලිසිය විසින් ඩෑන් ප්‍රියසාද් නැමැත්තා අත්අඩංගුවට ගැනීම පිළිබඳව කෝපාවිෂ්ටව විරෝධය පළ කළ ගලබොඩඅත්තේ ඥානසාර විසින් ඩෑන් ප්‍රියසාද්ව අත් අඩංගුවට ගන්නේ නම් ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ව ද අත්අඩංගුවට ගත යුතු යැයි ද, ඒ සඳහා පැය 24ක කාලසීමාවක් පොලිසියට ලබා දෙන  බව ද, පොලිසිය විසින් අබ්දුල් රාසික්ව අත් අඩංගුවට නොගන්නේ නම් මාලිගාවත්තේ සිට මුස්ලිම් ජනයාට පහර දෙමින් ලේ හලන බවට කරන බවට තර්ජනය කළේය.

මෙම තර්ජනයෙන් පසුව පොලිසිය විසින් වහාම ක්‍රියාත්මක වී 2016 නොවැම්බර් 18 දින අබ්දුල් රාසික්ව අත්අඩංගුවට ගෙන මාළිගාවත්ත පොලිසියේ රඳවනු ලැබිණි. මේ මගින් පෙන්නුම් කරන්නේ  බොදු බල සේනාවේ නියෝගවලට යටත් වී ඔවුන් විසින් නම් කරන පුද්ගලයන් අත් අඩංගුවට ගනිමින් හිරිහැර කිරීමට පවා පොලිසිය කටයුතු කර ඇති ආකාරයයි.

2014 ජූනි මස අලුත්ගම දී බොදු බල සේනා විසින් දියත් කළ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ පැමිණිලි 100කට ආසන්න සංඛ්‍යාවක් මානව හිමිකම් කොමිසම වෙත 2014 ජූලි 16 වන විට ලැබී තිබු අතර එම පැමිණිලිකරුවන් විසින් බොදු බල සේනාවේ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු නොකිරීම ගැන පොලිසියට චෝදනා කර තිබිණ.  විශේෂයෙන්ම පොලිස්පති එන්. කේ ඉලංගකොන් විසින් චෝදනා කර තිබුණේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට විපතට පත් මුස්ලිම් ජාතිකයන්ටම ය. පොලිස් සහ විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) භටයන් බලා සිටියදී මුස්ලිම් වැසියන්ට පහරදෙමින් ඔවුන්ගේ දේපොල ගිනිතබා විනාශ කළ බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. ඇතැම් තැනකදී එස්ටීඑෆ්  භටයන් පහර දී සහ වෙඩි තබා ඇත්තේ ආත්මාරක්ෂාව සඳහා සටන් කළ ප්‍රදේශවාසීන්ට ය. බොදු බල සේනාවේ ගලගොඩඅත්ත  ඇතුළු මැරයන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන් ජූනි 12 වැනිදා සිටම, එනම් පොසොන් පෝය දා සිටම සැලසුම් කරන ලද අතර ඔවුන් විසින් බිහිසුණු ක්‍රියාවකට සැරසෙන බව පොලිසියට රහසක් නොවීය. බොදු බල සේනාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ඉතිහාසය පිළිබඳව හොඳ වැටහීමක් තිබියදීත් ඔවුන්ට මෙම මුස්ලිම් ප්‍රදේශවලට සංවිධානාත්මකව ඇතුළු වීමට පොලිසිය විසින් ඉඩ හරින ලදි. බොදු බල සේනාවේ සමස්ත ප්‍රචණ්ඩ ඉතිහාසය වූ කලී පොලිසිය සහ අධිකරණය භාර බලධාරින් විසින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමේ  සහ අනුග්‍රහය දැක්වීමේ ද ඉතිහාසයයයි.

මෙම ලිපිය ලියන ලද්දේ ඉකුත් සතියේ මහනුවර ප්‍රදේශයේ දී දියත්වුණ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ සිදුවීම්වලට පෙරාතුව වන නමුත් එකී සිදුවීම්වලදී සිංහල ජාතිවාදී මැරයන්ට නිදැල්ලේ ක්‍රියාත්මක වීමට ඉඩ දෙමින් පොලිසියත්, විශේෂ කාර්ය බලකායත්, හමුදාවත් හැසිරුණු ආකාරය පිළිබඳ සැළකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ජේඩීඑස් වෙබ් අඩවිය මෙන්ම වෙනත් ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා මගින් මේ වනවිටත් අනාවරණය කර තිබේ. (බලන්න: ජාතිවාදී මැර කල්ලිවලට, රාජ්‍ය ආරක්ෂාවට සිටි ‘පොලීසිය හා STF’ තටු දුන්නාද? සහ STF Colludes With Goons Who Perpetrated Anti-Muslim Violence)    

එක් පැත්තකින් ආරක්ෂක ප්‍රධානීන් විසින් බොදු බල සේනා  සංවිධානයට ආරක්ෂාව දීමත්, අනෙක් අතින් මොවුන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ගවලට  එවකට සිටි අධිකරණ ඇමැතිවරයා විසින් ප්‍රසිද්ධියේම සිදු කරන අයථා බලපෑමත් හේතුවෙන් මොවුන්ගේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය පසිඳලීමේ ආයතනය වන අධිකරණය ද,  නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන වන පොලිසිය ද අකර්මණය වී තිබේ. මේ තත්ත්වය විසින් ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුළ අනාරක්ෂිත භාවය සහ අපේකෂා භංගත්වය පිළිබඳ මනෝභාවයන් උත්සන්න වීමට අවකාශ ඇති අතර එය මෙම මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ සංවිධාන මෙහෙයවන බලවේගයන් විසින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ඉලක්කයයි. එමගින් එක්සත් ජනපදයටත් සහ එහි හවුල්කාර රාජ්‍යයන් වන සෞදි අරාබියට සහ ඊශ්‍රායලයට සිය ඔත්තු සේවා ඒජන්සි මගින් දියත් කර ඇති ඉස්ලාම් අන්තවාදි කුළී හමුදාවන්ට මුස්ලිම් තරුණ පිරිස් බඳවාගැනීමේ මෙහෙයුම් පහසු කරයි.

බොදු බලසේනාව සහ දේශපාලනඥයන්

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා වුව ද ඔහු සාමාන්‍ය අමාත්‍යාංශයක ස්ථිර ලේකම්වරයෙකුට වඩා බලයක් භුක්ති වින්දේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස ත්‍රිවිධ හමුදාවන්ගේ සහ පොලිසියේ  ප්‍රධානියා වුව ද එම බලය භුක්ති වින්දේ ගෝඨාභය රාජපක්ෂ විසිනි. සාමාන්‍යයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා දේශපාලනඥයෙකු නොවුව ද ඔහු නිලධාරියෙකුට අමතරව දේශපාලනඥයෙකු ලෙස ද ආණ්ඩුව තුළ ආධිපත්‍යයක් ඉසිළීය. මේ අනුව බොදු බල සේනාව ගොඩ නැගීමේ දී සහ එය මෙහෙයවීමේ දී ඔහු ආරක්ෂක අංශවල “සැබෑ අණ දෙන නිලධාරියා" ලෙසත් රජය තුළ බලගතු දේශපාලනඥයෙකු ලෙසත් තමන් භුක්ති විඳි බලය භාවිතා කළ බව පැහැදැලි වනු ඇත. රාජපක්ෂ පවුල බලයෙන් ඉවත් වීමෙන් පසුව ඔහු වත්මන් රජය තුළ සිටින සිය නියෝජිතයන් මගින් සිය අනෙකුත් කටයුතු මෙන්ම බොදු බල සේනා මෙහෙයුම ද දිගටම ගෙන යන බව පැහැදිලි ය.

විජේදාස රාජපක්ෂ

මෑතකාලීනව බොදු බලසේනා දේශපාලනයට විවෘතවම ආධාර දෙමින් සිටි දේශපාලනඥයා වූයේ හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ය. වත්මන් විදේශ ඇමති තිලක් මාරපනගෙන් පසු ඇවන්ට්ගා ඩ් සහ රක්නා ලංකා සිදුවීම් යටපත් කරන්නට විජේදාස රාජපක්ෂ විවෘතවම කටයුතු කළේය. එමෙන්ම ඔහු ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලට එරෙහිව ගනු ලබන සෑම අධිකරණ ක්‍රියාදාමයක්ම දියාරු කිරීමට අධිකරණ ඇමැතිවරයා ලෙස තමන් සතු බලතල භාවිතා කළ බැව් පැහැදිලි ය.

විජේදාස රාජපක්ෂ, බොදු බල සේනා සංවිධානය  සහ ගෝඨාභය රාජපක්ෂ එකිනෙකා අතර පවත්වන සබඳතාවන් ගැන විජේදාස රාජපක්ෂගේ ආධාරකරුවෙකු මෙන් ම පුද්ගලික සහායකයෙකු ලෙස කටයුතු කළ මලිත් විජේනායක නැමැත්තා මෙසේ පවසයි:

“මම මලිත් විජේනායක. මම නීති උපාධිධාරියෙක්. මම අධිකරණ සහ බුද්ධ ශාසන ආමාත්‍යතුමාගේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයට සහභාගි වෙලා ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙලා වැඩ කරපු පුද්ගලයෙක්.  අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍යවරයා එක්සත් ජාතික පාක්ෂිකයෙකු වාගේ හිටියට ඔහු ආශ්‍රය කරන්නේ, ඔහු ඕනෑ එපාකම් ඉටු කරන්නේ අද එකාබද්ධ විපක්ෂයේ ඉන්න, අපේ මේ යහපාලන ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකරපු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වැනි රාජපක්ෂ පරම්පරාවේ සහ අනෙක් ඔවුන්ගේ හෙංචයියන්ගේ ඕනෑ එපාකම්. ඒ වාගේම අද බොදු බල සේනාව විශේෂයෙන්ම පෝෂණය කරන්නේ විජේදාස රාජපක්ෂ කියලා කියන කථාව සත්‍යයක්. ඒකට ප්‍රධාන සාක්ෂියක් තමයි මම. මොකද ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට ආපු පහුගිය ප්‍රශ්නවලදී විජේදාස රාජපක්ෂගේ ගෙදරට ආපු වෙලාවට ඔවුන්ව මම ඒ ඔෆිස් කාර්යාලයේ හින්දවලා මම ඒ වෙලාවේ විජේදාස රාජපක්ෂ මැති තුමාට දැනුවත් කළාට පසු.. ඔහු සාමාන්‍ය යෙන් හාමුදුරු කෙනෙක් ආවාට පස්සේ...ඔහු හිතන්නේ හරිම...ඔහු බුද්ධශාසන ඇමැතිවරයා වශයෙන් හිටියට ඔහු හිතන්නේ හරිම පිළිකුළෙන් තමයි. ඔහු උදේ පාන්දරට හාමුරු කෙනෙක් දකිනවා කියලා හිතන්නේ දවසම ඉවරයි කියන මූසලයි කියනවා වාගේ තත්ත්වෙක තමයි ඉන්නෙ. මම ගිහිල්ලා කිව්වම ඥනසාර හාමුරුවො ඇවිල්ලා ඉන්නවා කියලා කිව්ව අවස්ථාවල ඔහුට ඒක.. ඥානසාර හාමුරුවො කවුද කියලා ඔහු හිතාගෙන හිටියේ නැහැ. නමුත් ඔහු නිදාගෙන හිටියේ. උදේ 6.00ට පමණ ඥානසාර හාමුදුරුවො ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා කොහොම හරි නමය හමාර විතර වෙනකන් ඉඳලා මට කිව්වා කීප වතාවක්ම ගිහිල්ලා කතා කරන්න කියලා. මොහු ඒත් පල්ලෙහාට ආවේ නැහැ. නමුත් ඒ වෙලාවේ ... අධිකරණ සහ බුද්ධශාසන ඇමැති විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ දුරකතනය මගේ ළඟ තිබ්බේ. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ කියන නම්බර් එකකින් කෝල් එක ආවා. මම ආන්සර් කරාම ඇත්තටම මෙහෙම පැවසුවා “විජේදාස! මම ගෝඨාභය කියලා.“ මම කිව්වා 'සර් මම විජේදාස සර් නොවෙයි. සර් උඩ ඉන්නේ සර් ඔහොම ඉන්න, මම ගිහින් දෙන්නම්' කියලා ගෙනිහින් දුන්නම ඔහු අර එන්න බෑ කියපු පුද්ගලයා ඒ ක්ෂණයකින් පල්ලෙහාට ඇවිල්ලා ඔවුන්ට තිබිච්ච සෑම ප්‍රශ්නයකින්ම අධිකරණයේ තිබිච්ච වරෙන්තු වාගේම, පොලිස් බලපෑම් වාගේ සෑම දෙයකින්ම ඔවුන් මුදවාගත්තා.“

මේ අනුව වෙනත් තොරතුරුවලින්ද සනාථවන පරිදි මෙවර  ද ගලබොඩ අත්තේ ඥානසාරව නීතියෙන් මුදාගැනීමේ මෙහෙයුම දියත් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව පැහැදිලි ය. ඔහු ඒ සඳහා විජේදාස රාජපක්ෂව මෙහෙයවා ඇත. අස්ගිරිය නිකායේ නායක භික්ෂුව ලවා ඥානසාරට පක්ෂව නිකුත් කරවාගත්  නිවේදනය වූ කලී විජේදාස රාජපක්ෂ බුද්ධශාසන ඇමැතිවරයා ලෙස සිය සබඳතා සහ අධිකාරය භාවිතා කිරීමේ ප්‍රතිඵලයකි. මෙම මෙහෙයුම පිටුපස මුලසිටම ඩිලන්ත විතානගේ සිටියේය. අස්ගිරි නායක භික්ෂුවගේ නිවේදනය ඉතා හොඳින් දේශපාලනිකව සැලසුම් කර ලියන ලද්දක් බව නිරීක්ෂනය කළ හැකි ය. එමගින් බොදු බල සේනාවේ මුස්ලිම් විරෝධී වියරු ප්‍රචණ්ඩත්වයට එරෙහිව මතුවෙමින් ආ සමාජ විරෝධය ආපස්සට හැරවීමට සමත් විය.  ඒත් සමගම බොදු බලසේනා පිටුපස සිටින බලවේග ආරක්ෂණවාදයේ සිට ප්‍රහාරක ස්ථාවරයකට මාරු විය. ඒ නීතිඥ ලක්ෂාන් ඩයස් වෙනත් ආගම්වලට එරෙහිව සිදුවන වෛරී අපරාධ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයට එරෙහිව විජේදාස රාජපක්ෂ විසින් යුද ප්‍රකාශකිරීමත් සමග ය. පැය 24ක්   තුළ  සමාව නොගන්නේ නම්  නීතිඥ ලක්ෂාන් ඩයස් නීතිඥ වෘත්තියෙන් නෙරපා හරින බවට ඔහු තර්ජනය කලේ අධිකරණ ඇමැතිවරයා ලෙස තමන් සතුව පවතින බලතල පිළිකුල් සහගත ලෙස අවභාවිතාවේ යොදමිනි. මේ අනුව එළැඹිය හැකි නිගමනය වන්නේ විජේදාස රාජපක්ෂ එවකට අධිකරණ ඇමැතිවරයා ලෙස බොදු බල සේනාවට නීතිමය රැකවරණය ද බුද්ධ ශාසන ඇමැතිවරයා ලෙස දේශපාලනික සහ සාමාජීය රැකවරණයද සපයන ලද බව ය.

චම්පික රණවක

ගලගොඩඅත්තේ ඥානසාරගේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ කොන්ත්‍රාත් ඔහු වෙත භාර දී ඇත්තේ චම්පික රණවක සහ අතුරලියේ රතන විසින් බව ඩිලන්ත විතානගේ 2017 ජූනි මස පැවැත්වූ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. මෙයට පිළිතුරු දෙමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරන චම්පික රණවක,  ඥානසාරගේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට වගකිවයුත්තේ එම සංවිධානය ගොඩනැගීමට කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස බව ප්‍රතිචෝදනා කරයි. එමෙන්ම ඩිලන්ත විතානගේ නමැති කිසිවකුත් නොහඳුනන පුද්ගලයා සමග එක්වීමෙන් පසුව ගලගොඩ අත්තේ ඥානසාර ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යොමු වූ බව ද පවසයි. ඩිලන්ත විතානගේ විසින් චම්පිකට එරෙහිව එල්ල කරන ලද චෝදනාව පිළිබඳ ප්‍රවෘත්තිය ඉවත් කරන ලෙසට ඩේලි මිරර් පුවත්පතට චම්පික රණවක විසින් කරන ලද බලපෑමක් අනුව එය ඉවත් කර තිබිණි.

ඥානසාර අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඇරඹීමත් සමගම ඔහු විසින් සියල්ල හෙළිදරවු කරන බවට තර්ජනය කළ පසුව එකිනෙකා අනෙකාට චෝදනා කරගනිමින් ඥානසාරගේ අපරාධවල වගකීමෙන් දුරස්වන්නට උත්සාහ කළ බව පැහැදිලි ය. නමුත් අවසානයේදී මේ පාර්ශ්වික ගැටුම් සමනය කරගනිමින් තත්ත්වය පාලනය කිරීමට කිසියම් බාහිර බලවේගයක් විසින්  ඉක්මණින්ම කටයුතු කරන ලදි.  එමගින් එකිනෙකා චෝදනා කරගනිමින් බොදු බල සේනාව බිහිකිරීම සහ එහි පියවරුන් කවුරුන්ද යන වග සහ එහි ප්‍රචණ්ඩ අපරාධවල පසුබිම පිළිබඳව ඔවුන් තුළින්ම  රටට හෙළිදරවු වීමට තිබූ අවදානම මගහැරීමට එකී බලවේගය සමත් විය. ඩිලන්ත විතානගේගේ ප්‍රකාශය තුළ චම්පික රණවක සහ අතුරලියේ රතන විසින් ඥානසාරට කොන්ත්‍රාත් භාර දුන් බව ප්‍රකාශ කළ ද ඔහු නිශ්චිතව එම කොන්ත්‍රාත් මොනවාදැයි නොපැවසීමට ප්‍රවේසම් සහගත වූ බව ද කිව යුතු ය. අනෙක් අතට මෙමගින් පැහැදිලි වන්නේ  ඩිලන්ත විතානගේ ඥානසාරගේ අපරාධ පිළිබඳ දැනුවත් භාවයක සිටි බව ය. නමුත් මෙකී අපරාධ ගැන පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් මේ ගැන ඩිලන්ත විතානගේ ගෙන් ප්‍රශ්න කළ බවට මේ දක්වා වාර්තා වී නැත. එය ද මේ සියළු තොරතුරු එළියට ඒම වැළැක්වීමේ ක්‍රියාවලියේම පියවරකි.

2014 ජූලි මසදී  පලස්තීන සහයෝගිතා වැඩසටහනකට සහභාගි වූ දයාන් ජයතිලක ප්‍රකාශ කර සිටියේ  (බලන්න Gota, Israel responsible for creation of BBS: DayanGaza Issue - Speech by Dr. Dayan Jayatilleka 2008 හා 2009 වසරවල දී රාජ්‍ය ආරක්‍ෂක නියෝජිත පිරිස් ගණනාවක් ඊශ්‍රායෙල් චාරිකාවන්හි නියැලුණු බවත්, අමාත්‍ය චම්පික රණවක ද ඊට සම්බන්ධ වූ බවත් ය. එසේ ඊශ්‍රායෙලයේ චාරිකා කළ රාජ්‍ය දූත පිරිසට “පශ්චාත් යුදගැටුම් සමයේ සවදේශීය ආරක්ෂාව" පිළිබඳව උපදෙස් දීමට ඊශ්‍රායෙල් රජය කැමැත්ත පළ කළ බවත්, ශ්‍රී ලංකාව එය පිළිගත් බවත් ඔහු අනාවරණය කළේය. දයාන්ට අනුව දැනට උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන්නේ මෙම ඊශ්‍රායෙල් උපදෙස් මත ක්‍රියාත්මක වන වැඩ සටහනයි. මෙම වැඩ සටහන උතුරු නැගෙනහිර සිංහල ජනපදකරණය සහ මිලිටරිකරණය යන ව්‍යාපෘතිවලින් සමන්විත වන බව දැනට එහි සිදුවන දෙයින් පැහැදිලි ය. එහෙත් මෙම වැඩ සටහන තුළ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් සකස් කරන ලද පූර්ව යුද දේශපාලන සැලසුම් කුමක් දැයි අපි තවමත් නොදනිමු.

දයාන් ජයතිලක සිය කථාවේදී ඊශ්‍රායෙලය සමග කටයුතු කරන ලංකා රාජ්‍ය ව්‍යුහයේ “අක්ෂයක්“ ගැන සඳහන් කරයි. ඔහු සිය කථාවෙන් අඟවන පරිදි මෙම  අක්ෂයේ ප්‍රධානියා ගෝඨාභය රාජපක්ෂ වන අතර චම්පික රණවක මෙන්ම තවත් බොහෝ දේශපාලනඥයන් සහ හමුදා නිලධාරීන්ගෙන්ද එය සමන්විත ය.  චම්පික රණවකගේ මෙම ඊශ්‍රායෙල් සංචාරය සම්බන්ධව අවධානය යොමු කරන විට  ඩිලන්ත විතානගේ විසින් චෝදනා කරන චම්පික රණවක  විසින් ඥානසාරට භාරදුන් කොන්ත්‍රාත් ගැන චෝදනා පහසුවෙන් බැහැරකළ නොහැකි බව පෙනීයයි.

බොදු බල සේනාව සහ ලංකාවේ 'අභ්‍යන්තර රජය'

බොදු බල සේනාව සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය විසින් ඉල්ලා සිටිනුයේ  ශ්‍රී ලංකාවේ මතුපිට දේශපාලන සංදර්ශනවලදී  කුමක් සිදුවුව ද  අභ්‍යන්තරයේ සිට සියළු ක්‍රියාවලින් මෙහෙයවන “අභ්‍යන්තර රජයක්" (deep state) පවතින්නේ ද යන්න ගැන බරපතල ලෙස අපගේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයයි. මෙම අභ්‍යන්තර රාජ්‍යයේ ආරම්භක ව්‍යුහගතවීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් නිල වශයෙන් “නිදහස“ ප්‍රදානය කළ සමයේ සිටම ය. බ්‍රිතාන්‍ය මිලිටිරි ඇකඩමිවල පුහුණුව ලද හමුදා නිලධාරීන්, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල තුළ ශික්ෂණය කරවන ලද දේශපාලනඥයන්, බ්‍රිතාන්‍ය විසින් ස්ථාපනය කරන ලද වැවිලි සහ පතල් ආර්ථිකය මගින් ධනවත් වූ ප්‍රභූ පෙළැන්තියේ විශාල පිරිසක් සහ  සිවිල් නිලධාරීන්ගෙන් ආරම්භක යුගයේ මෙම අභ්‍යන්තර රාජ්‍යය සමන් විත විය. විමුක්ති කොටි සංවිධානයට එරෙහිව දියත් කරන ලද යුද්ධය තුළ මෙකී අභ්‍යන්තර රාජ්‍යයේ නූතන ව්‍යුහයන් ගොඩ නැංවී විකාශනය වූ අතර විමුක්ති කොටි සංවිධානයේ පරාජය කරමින් ශ්‍රී ලංකා රාජ්‍යය විසින් ලබන ලද ජයග්‍රහණය විසින් මෙම අභ්‍යන්තර රාජ්‍යය ස්ථාවර අංගයක් ලෙස සමස්ත දිවයින තුළම ස්ථාපිත  කරන ලදි. මතු පිටින් සිදුවන කිසිදු ආණ්ඩු වෙනසක් විසින් මෙම අභ්‍යන්තර රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවේ.  අභ්‍යන්තර රාජ්‍ය ව්‍යුහයක් පවතින බොහෝ රටවල් තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය ලෙස එම රටවල එම ව්‍යුහය විසින් ඉටු කරන කාර්යභාරය ඒවායේ ජාතික උවමනාවන් හෝ ව්‍යාප්තවාදී අරමුණු ආරක්ෂා කිරීම බව දැකිය හැකි ය. එහෙත් ලංකාවේ මෙම අභ්‍යන්තර රජයේ බිහිවීම සිදුවන්නේ ද, විකාශනය වන්නේ ද වරෙක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ද, පසුකාලීනව ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ද උවමනාවන් ඉටු කරන විජිතවාදී මෙවළමක් ලෙස ය.

ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නට මතුපිට ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණයට සිදු වූයේ ඔහුගේ බොදු බල සේනාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව මතුවෙමින් පැවැති  සමාජ විරෝධය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ය. එහෙත් අවසානයේදී “මෙම අභ්‍යන්තර රජය" විසින් නීතිමය සහ ප්‍රචාරක තලයන්හිදි දියත් කළ ප්‍රති-මෙහෙයුමක් තුළින් ඥානසාරට එරෙහි  මෙහෙයුම නිෂ්ක්‍රීය කරන ලදි. ඥානසාර ගලවා ගැනීමේ අභ්‍යන්තර රාජ්‍යයේ මෙම  මෙහෙයුමට හිටපු සහ දැන් සිටින ආරක්ෂක අංශ ප්‍රධානීන්, බුද්ධි අංශ, පොලිසිය,  ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයන්, විනිසුරන්, ආගමික නායකයන්,  නීතිඥයන්, ජනමාධ්‍යවේදීන් ක්‍රියාශිලීව දායක වූහ. අවසානයේදී මතු පිට ආණ්ඩුව සිය මෙහෙයුම් හකුළාගෙන නිහඬ විය.

ශ්‍රී ලංකාවේ හමුදාව අතිශය දැවැන්ත මර්දන යන්ත්‍රයක් වන අතර එය එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය  සහ ඊශ්‍රායෙල් ආරක්ෂක උපදේශකයන් වෙතින් සහ එම රටවල හමුදා ඇකඩමි විසින් පුහුණුව ලබයි.  හමුදා බුද්ධි අංශය ජන ජීවිතයේ සෑම අංශයක් තුළටම කිඳා බැස තිබේ. පුද්ගලික ඔත්තුකරුවන්ට අමතරව මෑතක සිට එය සමාජයේ සියළු සන්නිවේදන කටයුතු පිළිබඳ ඉලෙක්ට්‍රොනික දත්ත රැස්කිරීමේ හැකියාව ඉහත රටවල සහායෙන් වර්ධනය කරගෙන තිබේ. අභ්‍යන්තර රජය තුළ  ප්‍රධානම  සංඝටකය වන්නේ මෙම මිලිටරි යාන්ත්‍රණයයි. ලංකාවේ ජනයා විසින් ඡන්දය දී පත්කරනු ලබන පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරයාට වඩා  ලංකාවේ  මිලිටරි යන්ත්‍රය පාලනය කිරීමේ හැකියාව ඉහත කී රටවල හමුදා නිලධාරීන් සහ  ඔත්තු සේවා ඒජන්සි සතු වේ. ඔවුන් විසින් සෘජුවම හෝ නැතහොත් මෙරට සිටින තම ඒජන්තයන් මගින් කටයුතු මෙහෙයවයි.

මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම්, කළු සල්ලි ජාවාරම ආදි නීතිවිරෝධී ව්‍යාපාරවල යෙදෙන්නන්ද මෙම අභ්‍යන්තර රාජ්‍ය ව්‍යුහයේ වැදගත් සංඝටකයකි.  දූෂිත දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්, ඇතැමෙකු ඉතා දැනුවත්ව  ද, සමහරුන් නොදැනුවත්ව ද මෙම අභ්‍යන්තර රාජ්‍යයේ උවමනාවන් ඉටු කරනු ලබයි. වරදාන ප්‍රදානයන්, බ්ලැක් මේල් කිරීම්, සහ දේශපාලන පක්ෂපාතීත්වයන් හේතුවෙන් ඔවුහු මෙම අභ්‍යන්තර රාජ්‍ය ව්‍යුහයට අනුගත වී සිටිති. සිවිල් නිදහස අහිමි කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීතිය විසින් ආරක්ෂක අංශවලට පවරනු ලබන බලතල විසින් එය වඩාත් බලගතු කර තිබේ.

උතුරු නැගෙනහිර මිනිස් ඝාතන,  මාතලේ සමුහ මිනීවළ, ආදි මිනිස් අයිතීන් උල්ලංඝණයන් පිළිබඳ කවර ආකාරයක හෝ යුක්තියක ඉටු වීම වැළැක්වීමෙහිලා මෙම අභ්‍යන්තර රාජ්‍යය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඇවන්ට්ගාර්ඩ් සම්බන්ධ සියලු පරීක්ෂණ නතර වූයේ ද එහි බලපෑමෙනි. රාජ්‍යයේ සිදුවන කවර හෝ ප්‍රතිසංස්කරණයක් සිදුවීමට අභ්‍යන්තර රාජ්‍යය විසින් ඉඩ හරිනුයේ එය තම අවශ්‍යතා සමග සම්පාත වන්නේ නම් පමණි.

මෙම අභ්‍යන්තර රජය සිය ඉලක්ක සාධනයෙහි ලා බාධාවක් වන පුද්ගලයන් සහ සංවිධාන භෞතිකව හෝ දේශපාලනිකව විනාශ කිරීමේ මෙහෙයුම් මතුවන අවශ්‍යතාව පරිදි යෙදිය යුතු එහි සියලු අංශවල ඒකාබද්ධතාවයෙන් සැලසුම් කර දියත් කරයි. එමෙන්ම එහි එක් පුද්ගලයෙකු හෝ ව්‍යුහයක් අවදානමට ලක් වූ විට තම සෙසු සියළු ව්‍යුහයන් සහ පුද්ගලයන් යොදවා අවදානමට පත් වූ කොටස ගලවාගනී.  බොදු බල සේනාව සම්බන්ධයෙන් දැනට හෙළිදරවු වී ඇති සියළු තොරතුරුවලින් සනාථ වනුයේ විදේශීය බලවේගයන්ගේ අවශ්‍යතාව මත එය ලංකාවේ අභ්‍යන්තර රාජ්‍යය විසින් මෙහෙයවන සංවිධානයක් බව ය. මෙම බාහිර බලවේගයන් විසින් බොදු බල සේනාව හෝ වෙනත් එවැනි සිංහල ජාතිවාදි සංවිධාන හරහා සිදු කරන ක්‍රියාවලිය කොතරම් විනාශකාරී වුව ද එය වැළැක්වීමේ හැකියාවක් අගමැති, ජනපති, පාර්ලිමේන්තුව ඇතුළු ආයතන සතුව නැත. මහනුවර සිදු වූ සිදුවීම් අලුත් වටයකින් සනාථ කර ඇත්තේ ද මේ යථාර්ථයයි.

ජනමාධ්‍ය, ත්‍රස්ත ප්‍රහාර සහ මනෝ විද්‍යාත්මක මෙහෙයුම්

ඊශ්‍රායෙලය සහ සෞදි අරාබිය යනු එක්සත් ජනපදයේ මැද පෙරදිග සහ ගෝලීය ආධිපාත්‍යය පිණිස වන මූලෝපායික සැලසුම්වල සහායකයන් බව සිහි තබා ගැනීම වැදගත් ය. එක්සත් ජනපදය සිය සහායකයන්ගේ ආධාර ඇතිව තමන් විසින් ම නිර්මාණය කර පෝෂණය කර මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා යොදාගත්  ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව තමන් විසින්ම යුද ප්‍රකාශකර තිබේ. මෙමගින් “ඉස්ලාම් ත්‍රස්තවාදය පැන නගින“ ඕනෑම රටක ජාතික ස්වාධිපත්‍යය නොතකා හරිමින් එම රට අයත් භූමිය, සාගරය සහ අහස තුළ සිය යුද මෙහෙයුම් කිරීමට තමන් විසින්ම ලෝක පොලිස්කාරයා බවට පත්වෙමින් බලත්‍රයක් ලියාගැනීමට ඇමරිකාව ක්‍රියා කර ඇත. ඉරාකයේ, ඇෆ්ඝනිස්ථානයේ, සුඩානයේ, යේමනයේ, පකිස්ථානයේ හෝ සෝමාලියාවේ යන රටවල ඕනෑම පුද්ගලයෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවක සිය ඩ්‍රෝන යානා මගින් පහර දී මරා දැමීමේ හැකියාව සහ අයිතිය ඇමෙරිකාව විසින් තමන් වෙතම පවරාගෙන තිබේ. අවශ්‍ය වනු ඇත්තේ තමන්ගේ ඉලක්කය 'ත්‍රස්තවාදියෙකු' ලෙස නම් කිරීම පමණකි.

ජාත්‍යන්තර මට්ටමින් ISIS සංවිධානය ගොඩනැගීම පිටුපස සිටින්නේ ලෝකයේ වහාබි ඉස්ලාම් නිකාය පතුරුවන සවුදි අරාබිය හෝ කටාර් වැනි රටවල්ය යන්න අර්ධ සත්‍යයක් පමණි. සැබැවින්ම එම රටවල්ද ඒ සදහා මෙහෙයවන්නේ . “ක්‍රිස්තියානි සහ යුරෝපීය “ වටිනාකම් ගැන හුවා දක්වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු  බටහිර රටවල් සහ ඊශ්‍රායෙලය විසිනි. ඔවුන්ට යම් රටකට මැදිහත්වීමට අවශ්‍ය වන විට ඔවුන් කරනුයේ තමන් විසින් මෙහෙයවන මෙම ඊනියා ඉස්ලාම් අන්තවාදි සංවිධානවල  කුලී හේවායන් සමග  තම ඔත්තු සේවා හෝ විශේෂ මෙහෙයුම් කණ්ඩායම් යොදවමින්  එම රටවල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කරවීම ය. ශ්‍රී ලංකාවද දැන් මෙවැනි රහසිගත කුමන්ත්‍රණකාරී මෙහෙයුම්වල තෝතැන්නක් කිරීම සඳහා පසු බිම සකසමින් පවතීද යන්න තව දුරටත් විමර්ශනය කළ යුතුව තිබේ. මේ සඳහා ක්‍රමානුකූලව ජන විඥානය අනුගත කරවීමේ මනෝ විද්‍යාත්මක මෙහෙයුම් දැනටමත් දියත් කර ඇති බව පැහැදිලි ය. මීට උදාහරණයක් නම් ISIS සාමාජිකයන් විසින් රත්මලාන ගුවන් තොටුපලෙන් ගුවන් යානයක් පැහැරගෙන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීමට සැලසුමක් ඇතැයි ඇමෙරිකානු  බුද්ධි අංශය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි  පසුගිය වසරේ ජූලි 03 'ඉරිදා ලංකාදීප' විසින් වාර්තා කර තිබූ පුවතයි. මෙම පුවත සත්‍යයක් නම් එය අතිශය වැදගත් පුවතක් ලෙස සැළකිය හැකි නමුත් එම ආයතනයේම සති අග ඉංග්‍රිසි පුවත්පත වන “සන්ඩේ ටයිම්ස්“ පුවත්පත පවා එම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ නැත. එය සිංහල පාඨකයන්ගේ පරිභෝජනය පිණිස සැළසුම් සහගතව මුදාහළ පුවතක් බව පැහැදිලි ය. නමුත් එම පුවතට අදාළ පශ්චාත් විමර්ශන නම් ඉංග්‍රීසි භාෂාවෙන් පළ විය. තමන්ට නිල වශයෙන් එවැනි කිසිවක් වාර්තා වී නැතැයි නව හමුදාපති වශයෙන් වැඩ භාරගත් මහේෂ් සේනානායක පවසා තිබිණි.

මේ ගැන අදහස් දක්වමින්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  පවසා තිබුනේ මෙවැනි පහරදීමේ සැලැස්මක් ගැන පොලිසිය කිසිවක් නොදන්නා බව ය. ඇතැම් විට බුද්ධි අංශයට එවැනි තොරතුරු ලැබී තිබීමට ඉඩ ඇතැයිද ඔහු විසින් පවසා තිබේ.  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රකාශක ගෲප් කපිතාන්  ගිහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කර ඇත්තේ ඉහත මාධ්‍ය වාර්තා ගැන ඔවුන් දැනුවත් බව ය. එහෙත් ඒ ගැන කිසිවක් පැවසීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වුව ද රත්මලාන ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කර ඇති බව දැනගන්නට ඇතැයි ද 'ඩේලි මිරර්' පුවත්පත වාර්තා කර තිබිණ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් විසින් අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඇමෙරිකන් තානාපති කාර්යාලයට එල්ල වී ඇති තර්ජනයක් ගැන පළ වූ වාර්තාවල සත්‍යයක් ඇත් දැයි විමසන ලදුව රනිල් වික්‍රමසිංහ විසින් දී ඇති පිළිතුර වන්නේ  ඇමෙරිකන් තානාපති කාර්යාලයට එල්ල වී ඇති තර්ජන ගැන වාර්තා කළ පුවත්පතෙන් තොරතුරු විමසා ලබාගන්නා ලෙස  පොලිසියට උපදෙස් දී ඇති බව ය.  මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ අන්තවාදින් ගේ ඉලක්කය ජනතාව කුපිත කරවා වාර්ගික ගැටුම් ඇති කර රට අස්ථාවර කිරීම බවත් සමහර මාධ්‍යය ද ජාතිවාදය සහ ආගම්භේදය ඇවිස්සීමට උදවු කරන බවත් ය.

'ලංකාදීප'යේ පළවු වාර්තාව අනුව ISIS ප්‍රහාරයක් ගැන ඇමෙරිකන් බුද්ධි අංශ ලංකාවට දැනුම් දී ඇතැයි පැවසුව ද ඔවුන් ඒ ගැන දන්වා ඇත්තේ රටේ අගමැතිටවත්, හමුදාපතිවරයාටවත් පොලිසියටවත්, ගුවන් තොටුපලේ ආරක්ෂාව භාර ගුවන් හමුදාපතිවරයාටවත් නොව, ලංකාදීප පුවත්පතේ දයාසීලී ලියනගේට ය.  අගමතිවරයා පවසන ආකාරයට ඔහු විසින් පොලිසියට උපදෙස් දී ඇත්තේ අදාළ ඇමෙරිකන් බුද්ධි අංශවලින් හෝ ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් හෝ විමසා තොරතුරු ලබාගන්නා ලෙස නොව, අදාළ වාර්තාව පළකළ පුවත්පතෙන් විමසන ලෙස ය. එමෙන්ම ගුවන් හමුදා ප්‍රකාශකයා පවසා ඇත්තේ තමන් එම පුවත්පත් වාර්තා ගැන දැනුවත් බව ය. ඇමෙරිකාවේ හෝ කිසිදු රටක බුද්ධි අංශයක් හෝ ලංකාවේ බුද්ධි අංශ හෝ තමන්ට එවැනි තොරතුරු ලබා දුන් බවට ඔහු විසින් කිසිදු සඳහනක් කර නැත. එක්කෝ රජය තමන් දන්නා තොරතුරු සඟවනවා විය යුතු ය. නැතහොත් ඔවුන් එය බැරෑරුම් ලෙස භාර නොගනී. එසේත් නැතහොත් අදාළ ප්‍රවෘත්තීය අසත්‍යයකි. 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත මෙයට පෙර ද මෙවැනි ප්‍රහාරයක් ගැන රටවල් දෙකක් විසින් ලංකාවට අනතුරු අඟවා ඇතැයි වාර්තාවක් 2015 දී පල කර තිබිණි.

මෙවැනි පුවත් පළ කිරීමේ අරමුණු වන්නේ යම් බලවේගයකට අවශ්‍ය පරිදි ජනතාවගේ විඥානය හැඩගැස්වීමත් සහ ජනතා ප්‍රතිචාර නිරීක්ෂණය මගින්  බොදු බල සේනා වැනි සංවිධාන හරහා පසුගිය වකවානුව තුළ දියත් කරන ලද ක්‍රියාදාමයන් මේ වනවිට තමන්ගේ ඉලක්ක සාධනය සඳහා අවශ්‍ය තත්ත්වයන්  ගොඩ නැගීමෙහිලා කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි ඇගයීමට ලක් කිරීමත් ය.  මෙය නැවත නැවතත් ක්‍රමයෙන් තීව්‍ර කරමින් සිදු කරන  තත්ත්වානුගතකරණ ක්‍රියාවලියකි. සිංහල සමාජය තුළ මුස්ලිම් විරෝධී වෛරය වැපිරවීමට බොදු බල සේනාව සහ වෙනත් එවැනි සංවිධාන හරහා සිදු කළ මනෝ විද්‍යාත්මක මෙහෙයුම දැන් එහි සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තිබේ. මහනුවර දී මුස්ලිම් ජනයා ඉලක්ක කොට අලුත් වටයකින් මුදාහළ වඩා උත්සන්න කළ ප්‍රචණ්ඩත්වය වනාහී, ස්වයං සිද්ධ අහම්බයක් මෙන් පෙන්නුම් කළ ද, ඒ පිළිබඳ දැන් ක්‍රමානුකූලව අනාවරණය වෙමින් ඇති කරුණු විසින් පෙන්නුම් කරන්නේ එය මෙකී සැළැස්මේම දිගුවක් බව ය. මෙහි ඊළඟ අදියර වනු ඇත්තේ මුස්ලිම් ජනතාව මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට දක්වන ප්‍රතිචාර ලෙස හුවාදක්වමින් බුද්ධි අංශ විසින් රහසිගත ප්‍රචණ්ඩ මෙහෙයුම් (false flag) දියත් කිරීමයි. සිංහල බෞද්ධයන්ට සංවේදී ඉලක්ක මෙම ප්‍රහාරයන්ගේ ගොදුරු බවට පත්වීමට ඕනෑ තරම් ඉඩ තිබේ.  යළිත් වටයකින් මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියාවන් දියත් කිරීමට එැවන්නකින් මග පාදාගැනීම පහසු වනු ඇත. එක්සත් ජනපදය විසින් මෙහෙයවනු බන බවට දැන් වනවිට ඕනෑවටත් වඩා සාක්ෂි අනාවරණය වී ඇති ISIS වැනි  සංවිධාන හෝ ඒවායේ අතු ඉති ලෙස හඳුන්වා ගත් කණ්ඩායම් මතුවෙමින් පිලිපීනයේ දී මෙන් 'හදිසි යුද තත්ත්වයක්' නිර්මාණය වුවහොත් එය කිසිසේත්ම පුදුමයට කාරණාවක් නොවිය යුතු ය.

එවැනි 'අන්තවාදී සංවිධාන' මිලිටරිමය වශයෙන් පැරදවීමට එක්සත් ජනපද හමුදාවන්ට  ආරාධනා කිරීමට එවිට බොදු බල සේනා වැනි සංවිධාන කිසිසේත් නොපැකිලෙනු ඇත. 'ඔබේ ක්‍රියා කලාපය නිසා මුස්ලිම් රාජ්‍යයන් අමනාප වනවා නේදැයි' ඥානසාර හා 2014දී සම්මුඛ සාකච්ඡාවක් පැවැත් වූ මාධ්‍යවේදියෙක් විමසූ විට ඥානසාර මෙසේ පිළිතුරු දී තිබිණ: "මම ජනාධිපති නම් මම අනිවාර්යෙන් එකතුවෙන්නේ බටහිර බලවේගයත් එක්‌ක. මොකද මුස්‌ලිම් අන්තවාදය යටතේ තව අවුරුදු 15කින් විතර අපට ඇතිවිය හැකි අවදානම අපි පැහැදිලිව දකින නිසයි එහෙම කියන්නේ."

මෙම ප්‍රකාශය ගළපා ගත යුත්තේ 2013 පෙබරවාරි මාසයේ දී විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටිමින් මංගල සමරවීර බොදු බල සේනාව තලිබාන් සංවිධානයට සමාන කරමින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් බොදු බල සේනාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණක් සමගිනි. බොදු බල සේනාවේ ක්‍රියාමාර්ග විසින් මැද පෙරදිග ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා අනතුරට හෙළතැයි යන යන චෝදනාව ප්‍රතික්‍ෂේප කරමින් එම නිවේදනය මෙසේ කියයි:

"ඇත්තටම බොහෝ මැද පෙර දිග තෙල් රටවල්වලට අපටත් වඩා අන්තවාදය හිරිහැරයකි. ඔවුන් බොහෝමයක් තලේබාන් හා අල්කයිදා සමග සටන් කිරීමට සිය භූමි භාගයන්හි එක්සත් ජනපදයට හා යුරෝපයට ඉඩ දී ඇත්තේ එම නිසා ය." 

මීළඟ වසර 15දී මතුවීමට නියමිත 'මුස්ලිම් අන්තවාදය' ගැන ඥානසාරගේ පුරෝකථනය වැදගත් දේශපාලන හැඟවුමක් වන්නේ ඒ 'අන්තවාදය' පරාජය කිරීමේ මගක් ලෙස එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර මිලිටරි සැළසුම් තුළට ලංකාව අන්තර්ග්‍රහණය කිරීමේ අවශ්‍යතාව ද බොදු බල සේනාව විසින්ම අවධාරණය කරන නිසා ය. පස් වසරක් ඇතුළත හදා වඩාගත් "මුස්ලිම් බිල්ලා" පිටපසින් එළඹෙන සැබෑ ව්‍යසනයන් ගැන ඉඟියක් ඒ ප්‍රකාශයන් විසින් සපයයි. ඒ සඳහා අවශ්‍ය නෛතික පසුබිම කොළඹ එක්සත් ජනපද තානාපති රොබට් ඕ. බ්ලේක් සමග ගෝඨාභය රාජපක්ෂ විසින් රහසේම අත්සන් තැබූ 'පවරාගැනීමේ සහ සේවා හුවමාරු ගිවිසුම' (Acquisition and Cross-Servicing Agreement -ACSA) මගින් නිර්මාණය කරන ලද්දේ 2007 මාර්තුවේදී ය.

නමුත් සිංහල බෞද්ධ අධිපතිවාදී කුරුබිලියෙන් සහමුලින්ම පිටතට නොඑන තාක් මේ කිසිදු හැඟවුමක් බැරෑරුම්ව සළකා බලන්නට කිසිවකු සමත් නොවනු ඇත.☐

අජිත් සී. හේරත්


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.