JDS Sinhala

බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා III: අවි ජාවාරම් සහ බුද්ධානුස්සති භාවනා


පළමු කොටස: බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා
දෙවන කොටස: ගෝඨාභයගේ භූමිකාව කුමක්ද?

ගෝඨාභය රාජපක්ෂ යටතේ පිහිටුවන ලද රක්නා ලංකා සමාගම ඇවන්ට්ගාඩ් මුහුදු ආරක්ෂණ සේවය (Avantgard Maritime Services) හරහා සිදු වූ අවි ජාවාරම් ද එක්සත් ජනපදයේ අවශ්‍යතාව මත සිදු වී ඇතැයි සැක කිරීමට තරම් සාධක තිබේ. ඒ ගැන සැකෙවින් හෝ විමසා බැලීම වැදගත් වන්නේ ඒ නිසා ය.

රක්නා ලංකා සහ ඇවන්ට්ගාර්ඩ් රහසිගත මෙහෙයුම්

එක්සත් ජනපදය ලෝකය පුරා දක්ෂිණාංශික සහ ආගමික අන්තවාදී කණ්ඩායම් ගොඩ නගමින් ඒවාට පුහුණුව සහ අවි ආයුධ සපයයි. බොහෝ විට මෙම මෙහෙයුම් සිදු කෙරෙනුයේ එක්සත් ජනපද නිල රාජ්‍ය ආරක්ෂක අංශ මගින් නොව, බ්ලැක් වෝටර්ස් වැනි පුද්ගලික ආරක්ෂක සමාගම් මාර්ගයෙනි. එහෙයින් මෙම සමාගම‍ෙවල ක්‍රියාකාරිත්වයන් සම්බන්ධව එක්සත් ජනපද රජය නිල වශයෙන් වග කීමට බැඳී නැත. එහෙත් ඔවුන්ට නිසැකවම වෙනත් එක්සත් ජනපද හිතවාදී රාජ්‍යයන්ට ප්‍රවේශ වන විට එක්සත් ජනපද ආරක්ෂක අංශවලට ලැබෙන වරප්‍රසාද හිමි වේ. ඉරාකයේ පමණක් බ්‍රිතාන්‍ය කුලී හමුදා සමාගම් 61ක් දැනටත් ක්‍රියාත්මක වේ. යේමනයේ සෞදි හමුදාවන් පසු බසින විට යේමනයේ හූති කැරැලිකරුවන් මර්දනය කිරීම සඳහා සවුදි අරාබිය වෙත ඇමෙරිකානු රජය විසින් මෙම පුද්ගලික ආරක්ෂක සමාගම්වල සෙබළුන් යැවීමට කටයුතු කරනු ලැබිණි. ඔවුන්ට ගෙවීම් සිදු කරනුයේ සෞදි රජය විසිනි. එමෙන්ම වර්තමාන ඇමෙරිකානු හිතවාදී යුක්රේන් රජයේ රුසියන් විරෝධී මිලිටරි ක්‍රියාමාර්ගයන්ට සහාය වනු පිණිස බ්ලැක් වෝටර්ස් නම් ඇමෙරිකන් කුලී සේනාංක එහි යවා තිබේ.

බොහෝ විට මෙම පුද්ගලික ආරක්ෂක සමාගම් තමන් විසින් භාරගනු ලබන කොන්ත්‍රා, අනු කොන්ත්‍රාත් ලෙස වෙනත් සමාගම්වලට හෝ පුද්ගලයන් වෙත පවරයි. රක්නා ලංකා සමාගම හෝ ඇවන්ට්ගාර්ඩ් අවි ජාවාරම පිටුපස එවැනි ඇමෙරිකානු පුද්ගලික සමාගම් සිටීමට බොහෝ දුරට ඉඩ තිබේ. නයිජීරියාවේ බෝකෝ හරාම් නම්  ඉස්ලාම් අන්තවාදී සංවිධානයට ඇවන්ට් ගාඩ් සමාගම විසින් ආයුධ සපයා ඇතැයි යන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹන බව ලංකා රජය ප්‍රකාශ කළ ද එය කිසියම් ප්‍රබල බලවේගයක බලපෑම මත යටපත් විය. බොකෝ හරාම් යනු එක්සත් ජනපදයේ මධ්‍යම රහස් ඔත්තු සංවිධානයේ (සීඅයිඒ) විසින් ගොඩ නගන ලද්දක් බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන් කරුණු ඉදිරිපත් කර ඇත. හිටපු අධිකරණ ඇමැති තිලක් මාරපනගේ උපදෙස් මත  රනිල් වික්‍රමසිංහ විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පරීක්ෂණ නවතා දමන ලෙස නියෝග දී ඇති බවට වාර්තා පළ වූ අතර ඇවන්ට් ගාඩ් සමාගම විසින් බොකෝ හරාම් කල්ලියට ආයුධ සැපයූ බවට තොරතුරු නැතැයි පවසමින් රහස් පොලිසිය ඒ සම්බන්ධ පරීක්ෂණ නතර කර දමන ලදි.

උදයංග වීරතුංගගේ අවි ජාවාරම්

රුසියාව සහ යුක්‍රේනය සඳහා හිටපු ශ්‍රී ලංකා තානාපති  උදයංග වීරතුංග සම්බන්ධ වූ අවි ජාවාරම් සිදුවීම ශ්‍රී ලංකා රජය මහින්ද සහ ගෝඨාභය යටතේ කොතෙක් දුරට ජාත්‍යන්තර රහසිගත මෙහෙයුම්වලට සම්බන්ධවී ඇත්දැයි යන්නට උදාහරණයකි. ගෝඨාභය රාජපක්ෂගේ යුක්‍රේන් මිග් ගනුදෙණු දූෂණයට ද උදයංග වීරතුංග සම්බන්ධ අතර ඔහු ජනාධිපති රාජපක්ෂගේ ඥාති සහෝදරයෙකු වෙයි. 2015 මාර්තුවේදී උදයංග වීරතුංගගේ මෙම අවි ජාවාරම ගැන පළමුවරට හෙළිදරවු කළේ එවකට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර විසිනි. ශ්‍රී ලංකා තානාපති  උදයංග වීරතුංග විසින් නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු හිතවාදී කැරළිකරුවන්ට අවි ආයුධ සපයා ඇතැයි  යුක්‍රේන ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දී ඇති බව මංගල සමරවීර ප්‍රකාශ කළේය.

කෙසේ වුවද 2015 ජූනි 3 වැනි දින විදේශ අමාත්‍යංශය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකදී  මාධ්‍යවේදීන් වෙත පවසා ඇත්තේ උදයංග වීරතුංග විසින් යුක්‍රේන ජාතිකයන් වෙත අවි සැපයීම පිළිබඳව යුක්‍රේන් රජය පරීක්ෂණ සිදු කරන බවට නවදිල්ලියේ යුක්‍රේන තානාපති කාර්යාලයේ සිට ශ්‍රී ලංකාව භාරව ක්‍රියාකරන  යුක්‍රේන තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත දැනුම් දී ඇති බවයි. නමුත් පසුව කරන ලද විමසුමකදී ඉහත නවදිල්ලියේ යුක්‍රේන තානාපති කාර්යාලය එවැනි පරීක්ෂණයක් ගැන තමන්ට වාර්තා වී නොමැති බව පවසමින් ඉහත වාර්තාව ප්‍රතික්ෂේප කරන ලදී. එමෙන්ම රුසියානු තානාපති කාර්යාලය  ද  රුසියාව තුළ නීතිය කඩකිරීමක් ගැන උදයංග වීරතුංගට එරෙහිව පරීක්ෂණයක් නැති බව ප්‍රකාශ කර තිබේ. රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ "රුසියාව තුළ" නීතිය කඩ කිරීමක් ගැන පරීක්ෂණ නොමැති බව මෙහිදී අවධානයට යොමු කිරීම වැදගත්ය . රාජ්‍ය තාන්ත්‍රික අර්බුද මතුවිය හැකි ගැටළුවලදී  රුසියානුවන් වචන හසුරුවන්නේ ඉතා ප්‍රවේසම්කාරි ලෙස ය. අනෙක් අතට උදයංග වීරතුංග මෙම අවි ජාවාරම කර ඇත්තේ යුක්‍රේනය තුළ බව  සැළකිල්ලට ගත් කළ රුසියානුවන් විසින් සිය වචන තුළ සඟවා ඉදිරිපත් කරන කරුණ වටහාගත හැකි ය. අවසානයේදී ඉහත ඇවන්ගාඩ් සිදුවීමේදී මෙන්ම විදේශ ඇමැතිවරයා ඇතුළු මෛත්‍රිපාල-රනිල් ආණ්ඩුව මේ පිළිබඳව මුනිවත රකින තැනකට යොමුවිය.

එසේ නම් මේ කලබැගෑනියට හේතුව කුමක්ද? සැබැවින්ම සිදු ව ඇත්තේ කුමක්ද? උදයංග වීරතුංග පවසන අන්දමට ඔහු නිර්දෝෂි පුද්ගලයෙක්ද?

එක්සත් ජනපද මයිදාන් මෙහෙයුම

මේ තත්ත්වය වටහාගැනීමට යුක්‍රේනයේ 2014 වසරේ සිදුවූයේ කුමක් දැයි වැටහීමක් තිබිය යුතුය. යුක්රේනයේ හිටපු ජනපති වික්ටර් යනුකොවිච්ගේ ආණ්ඩුව 2013 දී රුසියාවට නැඹූරු දේශපාලන ස්ථාවරයක් ගනිමින් යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට එක්වීම ප්‍රත්ක්ෂේප කළේය. ඒත් සමගම  යුරෝපාවාදී බලවේග විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර එයට ඇමෙරිකාවේ සහ බටහිර යුරෝපයේ පූර්ණ සහාය හිමි විය. ඇමෙරිකාව සෘජුව ම මැදිහත් වී මෙම උද්ඝෝෂණ උත්සන්න කිරීමට කටයුතු කළ අතර රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ සහකාර ලේකම් වික්ටෝරියා නුලාන්ඩ් උද්ඝෝෂණ පැවැත්වුණු මයිදාන් චතුරස්‍රය වෙත ගොස් උද්ඝෝෂණකරුවන් වෙත රස කැවිලි බෙදා දෙමින් උද්ඝෝෂණෙකරුවන් දිරිමත් කරන ලදි.

කෙටි කලක් තුළ මෙම උද්ඝෝෂණ ඇමෙරිකාව විසින් පුහුණු කරන ලද නව නාසිවාදින් විසින් සිය ග්‍රහණයට ගනු ලැබූ අතර නිරායුධ පොලිස් භටයන් ගිනි තබා මරාදමන්නට ඔවුන් විසින් පටන්ගන්නා ලදි. මෙම නාසිවාදී කණ්ඩායම් අතරට  දිමිත්‍රි යාරෝෂ් ගේ "දක්ෂිණාංශය" (Right Sector), අන්ද්‍රෙ පරුබියිගේ ෆැසිස්ට්වාදී ස්වෝබෝදා (Svoboda) පක්ෂය සහ තවත් සෙසු නව නාසිවාදි සංවිධානද ඇතුළත් වේ. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් විසින් සෝවියට් සංගමය ආක්‍රමණය කළ විට (එකල යුක්‍රේනය සෝවියට් සංගමයට අයත් සමූහාණ්ඩුවක් විය.)  හිට්ලර්ගේ නාසි හමුදාවන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් යුක්‍රේනයේත්, පෝලන්තයේත් කොමියුනිස්ට්වාදීන් සහ යුදෙව්වන් ඇතුළු ලක්ෂ ගණනාවක් මරා දැමීමකටයුතු කළ ස්ටෙෆාන් බන්දේරා  මේ සියළු නවනාසිවාදීහු සිය ජාතික වීරයෙකු ලෙස සළකනු ලබති. උද්ඝෝෂණ තීව්‍ර වන විට වික්ටර් යනුකොවිච් විපක්ෂය සමග සම්මුතියකට එළැඹීමට කටයුතු කළ අතර එක්සත් ජනපදය මෙය කඩාකප්පල් කිරීමට ස්නයිපර් තුවක්කුකරුවන් යොදවමින් පොලිසිය විසින් සිදු කළ බව හැඟවෙන පරිදි උද්ඝෝෂණ කරුවන් වෙතට වෙඩි තැබූ බවට සාක්‍ෂි පසුව මතුවිණ. සිදුවීම වී විනාඩි ගණනකින්  බටහිර ජනමාධ්‍ය විසින් අපරාධයේ වගකීම යනුකොවිච් වෙත පටවමින් දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත් කළ අතර යනුකොවිච්ට බලය අතහැර පලා යාමට සිදු විය. යනුකොවිච් කවර දූෂිත දේශපාලකයෙකු වුව ද ඔහු උද්ඝෝෂණකරුවන්ට වෙඩි තැබීමට සිය කැරැළි මර්දන පොලිසියට කිසිවිටෙකත් නියෝග නුදුන් බව පසුව තහවුරු විය. එමෙන්ම සෝවියට් රතු හමුදාවේ ශේෂයක් ලෙස එහි සම්ප්‍රදායන් මත  ක්‍රියාත්මක වුණු යුක්‍රේන හමුදාව කිසි විටෙක උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට මැදිහත් නොවීය.

මෙම ස්නයිපර් ප්‍රහාරය යනුකොවිච්ගේ රජය විසින් සිදුකළ බවට ඇති චෝදනා පිළිගත නොහැකි යැයි එවකට එස්තෝනියානු  විදේශ ඇමැති උර්මාස් පයෙට් සහ යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් කැත්රින් ඈෂ්ටන් අතර වූ දුරකතන සංවාදයක් මාධ්‍යවලට නිකුත්වීමෙන් පසුව හෙළිදරවු විය. පයෙට් විස්තර කරනුයේ මයිදාන් උද්ඝෝෂණ මෙහෙයවන පක්ෂ සන්ධානයේ  නායකත්වයේ සිටින කිසිවෙකු විසින් යොදවන ලද ස්නයිපර්කරුවෙකු විසින් මෙම වෙඩි තැබීම කර ඇති බව ය. මෙම  උද්ඝෝෂණ මෙහෙයවූ නව නාසිවාදි සංවිධාන සහ ඇමෙරිකන් ඔත්තු සේවා අතර සමීප සබඳතාවක් වූ බව මහාචාර්ය මයිකල් චොසුදොව්ස්කි පවසයි.

යනුකොවිච්ගේ පලා යාමෙන් පසුව ඉහත නවනාසිවාදින් රාජ්‍යයේ ආරක්ෂක කටයුතු සහ වෙනත් බලගතු තනතුරු අත්පත් කර ගත් අතර මාස කීපයකට පසුව පැවැත්වුනු ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති පෙත්‍රෝ පොරෂෙන්කෝ ජනාධිපති ලෙස පත් විය. මෙම නව නාසිවාදි පාලනය යුක්‍රේනයේ කොමියුනිස්ට් පක්ෂය තහනම් කරමින් ද රුසියානු භාෂාව කතාකිරීම තහනම් කරමින් ද සිය මර්දන කටයුතු ආරම්භ කරන ලදි. නාසිවාදින්ට එරෙහි වූ ඔඩෙස්සා හි  කම්කරුවන් සිය ගණනක් ඔවුන්ගේ වෘත්තිය සමිති කාර්යාලය තුළ කොටුකර එයට  ගිනි තබා පුළුස්සා මරා දමන ලදි. ශේෂ වූවන් වධබන්ධන පමුණුවා මරා දැමිණි. මෙම මර්දනකාරීත්වයට එරෙහිව නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් ප්‍රාන්තවල ජනතාව සන්නද්ධ නැගිසිටීමක් ආරම්භ කරන ලදි. රුසියානු බහුතරයක් සහිත ක්‍රිමියානු ප්‍රාන්තයේ  ජනතාව ජනමත විචාරණයක් පවත්වා එහි ප්‍රතිඵල අනුව රුසියානු සමුහාණ්ඩුව සමග එක් විය. නව ඇමෙරිකන් හිතවාදි ජනාධිපති පොරෂෙන්කෝ  නැගෙනහිර යුක්‍රේනයේ රුසියන් හිතවාදි කැරැල්ල මැඩ පැවැත්වීමට හමුදාව යැවූ අතර හමුදාවේ කොටසක් ජනතාව මර්දනය කිරීම ප්‍රතික්ෂේප කරමින් කැරැලිකරුවන් සමග එක් වූහ. සෙසු පිරිස් නාසිවාදින්ගේ සන්නද්ධ බලකායන් යටතේ  මර්දනය පටන් ගත් නමුත් ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් හි කැරැලිකාර හමුදාවන් විසින් නාසිවාදි හමුදා පරාජය කර එම පෙදෙස් කීයෙව් පාලනයෙන් නිදහස් කරගනු ලැබිණි.

දැන් අප හමුවේ මතුවන ගැටළුව රුසියාවේ සහ යුක්‍රේනයේ තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග  විසින් අවි සපයා ඇත්තේ රුසියන් හිතවාදි යනුකොවිච් ගේ පාලනයට එරෙහිව  කැරැළි ගසන ලද සහ  ඇමෙරිකාව  විසින් මෙහෙයවන නව නාසිවාදි කණ්ඩායම්වලට ද නැතහොත් ඇමෙරිකන් ගැති කීයෙව් පාලනයට එරෙහි  නැගෙනහිර යුක්‍රේනයේ රුසියන් හිතවාදි කැරැළිකරුවන්ට ද යන්න ය.

ඔහු රුසියන් හිතවාදි කැරැලිකරුවන්ට අවි සැපයුවේ නම් ඔහු රැකවරණ ලැබිය යුත්තේ රුසියාවේ මිසක යුක්‍රේනයේ නොවේ. එමෙන් ම එවිට ඔහු යුක්‍රේනයේ සිටින්නේ නම් සිටි යුත්තේ කීයෙව් රජයේ ආරක්ෂක අංශවල අත් අඩංගුවේ ය. අනෙක් අතට නැගෙනහිර යුක්රේනයේ රුසියන් හිතවාදි කැරැළිකරුවන්ට අවි සැපයීමට උදයංග වීරතුංග වැන්නෙකුගේ සහාය රුසියාවට අවශ්‍ය වෙතැයි සිතීම විහිළුවකි. රුසියාවේ රොස්තොව් සහ නැගෙනහිර යුක්‍රේනයේ  සහ ලුගාන්ස්ක් අතර අතර දේශසීමාව වූ කළී සැතැපුම් දහස් ගණනක් දිග විවෘත භූමි භාගයකි. සෝවියට් සංගමය බිඳී විසිරි ගිය පසුවද මෙම ප්‍රදේශවල දේශසීමා ආරක්ෂක කටයුතු සිදු නොවූ අතර නැගෙනහිර යුක්‍රේනයේ කැරැලි ඇරඹුනු පසුව එම දේශසීමාවේ පාලනය සම්පූර්ණයෙන්ම පවතිනුයේ රුසියන් හිතවාදි කැරැළිකරුවන් අත ය. ඔවුන්ට අවශ්‍ය ඕනෑම මොහොතක මිසයිල විදිනයන් පවා එහා මෙහා ගෙන යාමට වුවද බාධා කරන කිසිවෙකු එකී දේශසීමාවේ නැත.

උදයංග වීරතුංගම පවසන පරිදි ඔහුට පොරෂෙන්කෝගේ පාලනයෙන් කිසිදු ගැටළුවක් නැති අතර දැනට ඔහු ජීවත්වන්නේ යුක්‍රේනයේ කීයෙව් අගනුවර ය. ඔහුට යුක්‍රේන ආරක්ෂක අංශවලින්ද කිසිදු ගැටළුවක් නැති බව ඔහු පවසයි. එසේ නම් ඔහු අවි සැපයීම සිදුකර ඇත්තේ 2014 දක්වා පැවැති යනුකොවිච් පාලනයට එරෙහිව කැරැළි ගැසූ මයිදාන් හි නව නාසි වාදී කැරැලිකරුවන්ට විය යුතු ය. දැන් මේ කැරැලිකරුවන් ඇමෙරිකානු හිතවාදි පොරෂෙන්කෝගේ නව රජයේ ආරක්ෂක ආමාත්‍යාංශයේ සහ හමුදාවන්ගේ වගකිවයුතු තනතුරු දරන්නන් ය. තමන්ට බලය ලබාගැනීමට අවි ආයුධ සැපයූ උදයංග වීරතුංගට ඔවුන් විසින් ආරක්ෂාව සැපයීම ස්වාභාවික දෙයකි. ඉහත සඳහන් කළ ස්නයිපර් ඝාතනය සහ තවත් එවැනි ඝාතන සඳහා භාවිතා කළ ගිනි අවි සපයා ඇත්තේ ඇමෙරිකානු කුලී ආරක්ෂක සමාගම් විසින් බව වාර්තා වී තිබිණි. මෙවැනි මෙහෙයුම්වලදී තමන්ගේ සම්බන්ධය මකා දමන්නට වෙනත් අතරමැදියන් යොදාගැනීම ඇමෙරිකානු කුලී ආරක්ෂක සමාගම්වල සිරිතයි. ඒ අනුව උදයංග වීරතුංග ඉටු කළේ එවැනි සමාගමක අනුකොන්ත්‍රාත්තුවක් විය යුතු ය.

මිග් ගනුදෙනුවේදී උදයංග කටයුතු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීම යටතේ බව දැන් රහසක් නොවේ. එසේ නම්  ගෝඨාභය නොදැනුවත්ව මෙවැනි අවි ජාවාරමකට උදයංග වීරතුංග යොමු නොවනු ඇත. මෙම යුක්‍රේන අවි ජාවාරම්වලට ඇවන්ඩ්ගාර්ඩ් හෝ රක්නා ලංකා සම්බන්ධ දැයි අපි නොදනිමු. නමුත් එක් දෙයක් පැහැදිලි ය. එනම්  ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සගයන් රාජ්‍යතාන්ත්‍රික බලතල සහ රජයේ සම්පත් යොදාගනිමින් එක්සත් ජනපදයේ  රහසිගත ජාත්‍යන්තර මෙහෙයුම්වලට දායක වී ඇති ආකාරයයි. එහෙයින් ආසියාව තුළ එක්සත් ජනපද මූලෝපායික අවශ්‍යතාවන් වෙනුවෙන් ISIS  භීෂණය පැතිරවීමෙහි ලා ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ අපරාධකාරි මාෆියාව එක්සත් ජනපදය සතු වැදගත් උපකරණයක් බවට පත්වීමට ඕනෑ තරම් ඉඩ තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර ඇමෙරිකාව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ මැතිවරණයෙන් පසුව ආපසු පැමිණියේය. ඔහුට විදේශගතවීමට අවශ්‍ය අවසර ලබාදීම සදහා ජනාධිපතිවරයා මැදිහත් වූ බව කියැවිණි. ඇමෙරිකාවේදී ගෝඨාභය හමුවීම සදහා ගිය උදයංග වීරතුංග ඩුබායිහිදී ආගමන විගමන නිලධාරීන් විසින් රඳවා ගනු ලැබිණි. ශ්‍රී ලංකා රජය ඔහුව අත් අඩංගුවට ගැනීමට නිලධාරීන් පිරිසක් යවන ලදැයි පළ වූ අතර ඒ වන විට කිසියම් බලගතු මැදිහත් වීමක් මත ඔහුව නිදහස් කර තිබිණි. ඔහුව අත් අඩංගුවට ගැනීමට ගියා යැයි පැවසෙන පොලිස් නිලධාරීන් පවසා තිබුනේ තමන්ට එල්ල වූ මරණීය තර්ජන හේතුවෙන් තමන් ඉක්මණින්ම ආපසු පැමිණි බව ය. ඇමෙරිකානු හිතවාදී යුක්රේන රජය උදයංග වීරතුංග තම පුරවැසියෙකු බැවින් වහාම මුදා හරින ලෙසට ඉල්ලා සිටි බවට ද වාර්තා පළ විය. කෙසේ වුවද ඩුබායි රජය යටතේ අත් අඩංගුවේ පසුවන අයෙකු  ප්‍රබල ගෝලීය බලවතෙකුගේ මැදිමත් වීමකින් තොරව නිදහස් කර හැරීමක් සිදු කළ නොහැකි ය.  ගෝඨාභය එක්සත් ජනපදයේ සිට ආපසු පැමිණියේ මේ නාටකයෙන් පසු ය.

එයින් සති කීපයකට පසුව මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූ බව සටහන් කිරීම වැදගත් ය.

බොදු බල සේනාව සහ බුද්ධි අංශ

මේ දක්වා අනාවරණය වී ඇති සීමිත තොරතුරු විධිමත්ව පෙළගස්වා ගත් විට පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් මෙම සංවිධානය නොනිල බුද්ධි අංශ මෙහෙයුමක් ලෙස සංවිධානය කර ඇති බව ය.  මෙම සංවිධානය මෙහෙයවීමේ මූලික කටයුතු ගෝඨාභය රාජපක්ෂ විසින් භාර දී ඇත්තේ හමුදා බුද්ධි අංශයේ කර්නල් සුරේෂ් සලේ වෙත ය. මැලේ ජාතිකයෙකු වන ඔහුගේ මව සිංහල ජාතික කාන්තාවක් වන අතර ඔහු විවාහ වී සිටිනුයේ ද සිංහල ජාතික කාන්තාවක් සමග ය. 2014 ජූලි මාසයේදී එවකට එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියාව සිටි මංගල සමරවීර විසින් කර්නල් සුරේෂ් සලේ බොදු බලසේනා සංවිධානයට ආධාර කරන බවට හෙළිදරවු කළ පසුව එවකට හමුදා ප්‍රධානි ලුතිනන් ජෙනරාල් දයා  රත්නායක විසින් කර්නල් සලේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ පුහුණුවකට යවන ලදි.  එමෙන්ම මේ සමගම ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ  “මුස්ලිම් ඒකකයේ “ප්‍රධානියා වන මේජර් මොහොමඩ්ද තාවකාලිකව මාරු කර තිබේ.

බොදු බල සේනා සංවිධානය බෞද්ධ භික්ෂූන්ගෙන් සමන්විත සංවිධානයක් ලෙස ජන මාධ්‍ය මගින් රටට පෙන්නුම් කිරීමට තැත් කළ ද සත්‍ය වශයෙන්ම  එය හමුදා බුද්ධි අංශ විසින් මෙහෙයවන කණ්ඩායමක් බව ඔප්පු කිරීමට මීටත් වඩා සාක්ෂි අවශ්‍ය වේද? මෙමගින් හෙළිදරවු වන තවත් කරුණක් තිබේ. එනම් බොදු බල සේනාව විසින් සමාජය පුරා මුස්ලිම් විරෝධී වෛරී ව්‍යාපාරයක් ගෙන ගිය ද සැබැවින්ම ඔවුන්ව මෙහෙයවීමට ගෝඨාභය රාජපක්ෂ විසින් යොදවා ඇත්තේ මැලේ මුස්ලිම් ජාතික බුද්ධි අංශ නිලධාරියෙකු වීම ය. එමෙන් ම අනෙක් අතට හමුදා බුද්ධි අංශයේ මුස්ලිම් ඒකකයේ නිලධාරින් යොදවා ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ ගිණුමට බැරවන පරිදි ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවීමට සැලසුම් කර තිබේදැයි යන්න ද අවධානයට ලක් කළ යුතු කරුණකි.

මංගල සමරවීරගේ හෙළිදරව්වත් සමගම සුරේෂ් සලේ  තවදුරටත් අවධානයට ලක්වීම වැළැක්වීම සඳහා ඔහුව ඇමෙරිකාවේ විශේෂ පුහුණුවකට යවන ලදි. මේ වනවිට බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර විසින් සිය දෙවන ඇමෙරිකානු සංචාරය සඳහා නිකුත් කර තිබූ වීසා අවලංගු කර තිබිණි. එම තත්ත්වය යටතේ එම සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ බවට චෝදනා එල්ලව තිබූ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට කිසිදු ගැටළුවකින් තොරව ඇමෙරිකාව විසින් විශේෂ හමුදාව පුහුණුවක් ලබාදීමත්, ඒ සඳහා වීසා නිකුත් කිරීමත් ගැටළු සහගත තත්ත්වයක් වන අතර ඒමගින් නැවතත් තහවුරු වනුයේ බොදු බල සේනා නැමැති මුස්ලිම් විරෝධී රහසිගත මෙහෙයුම සමග ඇති ඇමෙරිකානු සම්බන්ධයයි.

මෙවර එනම් 2017 මැයි සහ ජූනි මාසවල දී ගලගොඩඅත්තේ ඥානසාර පොලිසියෙන් "කට්ටි පනිමින්" සිටියදී  පොලිසියෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම වළකා ඔහුව  රහසිගතව සඟවා තබාගනිමින් පසුව උසාවියට ඉදිරිපත් කර "ඇප මත" නිදහස් කරගැනීමේ මෙහෙයුම දියත් කර ඇත්තේ ද හමුදා බුද්ධි අංශ විසින් බව පුවත්පත් සහ වෙබ් අඩවිවල පළ විය. ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථීර ලේකම් ලෙස තමන් භුක්ති විඳි බලතල අහිමි වී ඇති හෙයින් ගෝඨාභය රාජපක්ෂ මතුපිටින් මෙම මෙහෙයුමේ පෙනෙන්නට නැතත් තවමත් මෙම මෙහෙයුම මෙහෙයවන්නේ බුද්ධි අංශ විසින් බව  ඥානසාරගේ හොරා පොලිස් ක්‍රීඩාවට බුද්ධි අංශවල සහභාගිත්වයෙන් පැහැදිලි වේ. තමන් පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් තමන් දන්නා සියළු දෙය හෙළිදරවු කරන බවට ඥානසාර විසින් කරන ලද තර්ජනයක් හේතුවෙන් ඥානසාර “ඇල්ලීමේ මෙහෙයුමේ“ සියලු සැලසුම් උඩු යටි කුරු වූ බවත් එම තර්ජනය විසින් මෙරට ප්‍රධාන පෙලේ දේශපාලනඥයන්, හමුදා සහ පොලිස් නිලධාරින්, තිගැස්මකට ලක් වූ බවත් අවසානයේ අස්ගිරි මහනායක මාර්ගයෙන් ඥානසාර සමග කිසියම් සම්මුතියක් ඇති කර ගැනීමට බුද්ධි අංශ සහ ඇතැම් දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් කටයුතු සිදු කළ බවටත් තොරතුරු පවතී. ඔහු සැඟවී සිටියදී ඉහත විවිධ පිරිස් පැමිණ ඔහු හමු වී ඇති බවටද  ඉහත වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත. තමන් දන්නා තොරතුරු වසන් කිරීම පිණිස තමන් ඝාතනය කරනු ඇතැයි යන සැකයද ඥානසාර තුළ වූ බව ඔහු විසින් සැඟවී සිටියදී බොදු බල සේනාව විසින් නිකුත් කරන ලද ප්‍රකාශවලින් හෙළි වේ.

බොදු බලසේනාවේ රැස්වීම්වලට එහි ගිහි අනුගාමිකයන් සහ ආරක්ෂකයන් ලෙස සහභාගිවන කොටස අතර සිටින නිල ඇඳුමක ස්වරූපය ගත් අත්කොට කමිස හැඳි තරුණ පිරිස් කිසියම් විධිමත් හමුදා පුහුණුවක් ලද අය බව නීරීක්ෂණය කළ හැකි ය.    

බොදු බල සේනාවේ විදෙස් චාරිකා සහ “දානපතියන්ගේ“ ආධාර

2011 ඔක්තෝබර් 20 සහ 26 අතර  අතරදී ඩිලන්ත විතානගේ සමග  ගලගොඩඅත්තේ ඥාණසාර, විතාරන්දෙණියේ නන්ද, අලූත්වැව ආනන්ද, දපනේ සුමනවංස, වැලිමඩ ශාන්ත යන භික්ෂූන් ද  පූජිත විජේසිංහ හා මාක් ඇන්තනී පෙරේරා යන  පුද්ගලයන්ද නොර්වේ සංචාරයක නිරතවූහ. මෙම සංචාරය සංවිධානය කර තිබුණේ NOREF නම් නොර්වේජියානු සංවිධානය විසිනි. මෙම සංචාරය සම්බන්ධීකරණය කළ එවකට නොර්වේ සදහා ශ්‍රී ලංකා තානාපති ග්‍රේට ලුෂන් (Grete Løchen)  මෙම සංචාරය ගැන මෙසේ පවසයි:

“2011 අප්‍රේලයේදී ගරු ගලගොඩඅත්තේ ඥානසාර තෙර ශ්‍රී ලංකාවේ වර්ල්ඩ් වීව් ජාත්‍යන්තර පදනමෙන් ,  ජනවාර්ගික අභියෝගතා විසින් මතුකරන දේශපාලනික අර්බුදයන් පිළිබඳව පොදු ප්‍රතිපත්තියක් ගොඩනගා ගැනීම සදහා  නොර්වේ සිටින දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් හමුවීමට ඇති හැකියාව ගැන විමසා සිටින ලදි.  පුළුල් ලෙස කරන ලද සැලසුම්වල ප්‍රතිඵලයක් ලෙස ඔක්තොබර් 20 සහ 26 අතර දිනවලදී සංහිඳියාව පිළිබඳ සම්මන්ත්‍රණයක් NOREF සංවිධානයේ සහභාගිත්වය ඇතිව සංවිධානය කිරීමට එකඟවනු ලැබිණි.“ බලන්න: Genesis of Bodu Bala Sena

මෙම සංචාරය සදහා සිදුකරන ලද ගෙවීම් එක්වරකට සීමා වූ බවද ඇය පවසයි. තමා මෙම සංචාරය  නොර්වේජියන් ජාතික දේශපාලනඥයෙකු සහ මාධ්‍යව්දීයෙකු වූ ආර්න ෆියෝටොෆ්ට්  (Arne Fjortoft) සමග සංවිධානය කළ බව ඩිලන්ත විතානගේ පිළිගනියි. ආර්න ෆියෝටොෆ්ට් යනු වර්ල්ඩි වීව් සංවිධානයේ විවිධ ව්‍යාපෘතීන් ලංකාව තුළ දියත් කිරීමට මැදිහත් වූ අයෙකි. ඔහු එහිදී එරික් සොල්හයිම් ද හමුවී තිබේ.

2013 අප්‍රේල් වලදී ‍ගලගොඩඅත්තේ ඥානසාර සහ තවත් බොදු බල සේනා සාමාජිකයන් පිරිසකට  ඇමෙරිකානු සංචාරයක් සඳහා එක්සත් ජනපදය විසින් වීසා නිකුත් කරන ලදි. මේ වනවිට 2012  ඔක්තොබර් 04 දින ඔවුහු බංග්ලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වා එයට අලාභ හානි කිරීම, 2012 ඔක්තෝබර් 14 දින පිළියන්දල ක්‍රිස්තියානි ආගමික නිකායක පාස්ටර්වරයෙකු සහ තවත් කීපදෙනෙකු පැහැරගෙන යාම, 2013 ජනවාරි 07 දින නීති විද්‍යාලයට කඩා පැන මුස්ලිම් සිසුන්ට වාසි සහගත ලෙස විභාගය පැවැත්වී යැයි අසත්‍ය චෝදනා කරමින් නවක සිසුන් ලියා පදිංචිය වැළැක්වීම ආදි මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් රැසක් සිදු කර තිබිණි. ඔවුන්ට එරෙහිව නඩු ගණනාවක් පැවැරී තිබිණි. මේ සියළු ප්‍රචණ්ඩ ක්‍රියාවන් ලංකාවේ සියළු ඉංග්‍රිසි ජනමාධ්‍යන්හි මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද විකාශනය විය. එක්සත් ජනපදය බොදු බල සේනා සාමාජිකයන්ට වීසා නිකුත් කරන ලද්දේ මේ සියලු සිදුවීම්වලිනුත් පසුව යන කරුණ අවධානයට ලක් විය යුතු ය.

මෙම සංචාරයේ අරමුණ තම සංවිධානය ගැන පැතිර ඇති වැරදි මතයන් නිවැරදි කිරීම, සංවිධානයේ කාර්ය භාරය ගැන ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම ආදිය බව ඩිලන්ත විතානගේ පවසා තිබේ. ඊට අමතරව ගලගොඩඅත්තේ ඥානසාර ගේ “බුද්ධානුස්සති  භාවනාවට“ ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතින බවත් ඒ සඳහා ඇමෙරිකාවේ පන්සලකින් ඇරයුමක් ලැබී ඇති බවත් ඔහු පවසා තිබේ. මේ සංචාරය සිදු වූයේ බොදු බල සේනා විසින් මේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් අරඹා බොහෝ කලකට පසුවය. මේ ගැන මතු වූ විරෝධය හේතුවෙන් දෙවන වර වීසා අයැදුම්පත ප්‍රතික්ෂේප කරන්නට ඇමෙරිකන් තානාපති කාර්යාලය කටයුතු කරන්නට ඇත. ඇමෙරිකාවේදී මෙලෙස  තමන් පිළිබඳව වූ  වැරදි චිත්‍රය නිවැරදි කර ජත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරමින්  “බුද්ධානුස්සති භාවනාවේ“ යෙදුණ බොදු බල සේනා මැරයෝ ලංකාවට පෙරළා පැමිණි පසු සිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් නව වටයකින් අරඹමින් 2014 දී ජූනි මාසයේදී අලුත්ගම, බේරුවල මුස්ලිම් ජනයාගේ නිවාස දේපොළවලට ගිනි තබමින් 04 දෙනෙකු මරා දැමූ අතර 84 කට තුවාළ සිදු කළහ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගලගොඩඅත්තේ ඥානසාර ට නිකුත් කර තිබූ වීසා අහෝසි කරන ලද්දේ බොහෝ පිරිස් වෙතින් පැන නැගි විරෝධය තවදුරටත් නොතකා හැරිය නොහැකි විට ය. එසේ වුවද මෙම සංවිධානය මෙහෙයවන්නේ යැයි මංගල සමරවීර විසින් චෝදනා කරනු ලැබූ හමුදා බුද්ධි අංශ කර්නල් සුරේෂ් සලේට එක්සත් ජනපද මිලිටරි ඇකඩමියක විශේෂ පුහුණුවක් ලබා දීමට මේ කිසිදු සිදුවීමකින් බාධා නොවීම වැදගත් කරුණකි.

මෙම නෝර්වේ සහ ඇමෙරිකන් සංචාරවලදී බොදු බල සේනාවට  ආවරණය සපයන බෞද්ධ රාජ්‍ය  නොවන සංවිධාන ගොඩ නැගීම, බෞද්ධ පන්සල්වලට මුල්‍ය ආධාර පිරිනමමින් බොදු බල සේනාව වටා ඔවුන් එක්රැස් කරගැනීම ආදියට අදාළ ව්‍යාපෘති යෝජනා  ඩිලන්ත විතානගේ විසින් සකස් කර ඉදිරිපත් කර තිබේ. ඩිලන්ත විතානගේ ව්‍යාපෘති යෝජනා සැකසීමේ විශේෂඥයෙක් බව රහසක් නොවේ. බොදු බල සේනාව සිය “වැඩකටයුතු“ සඳහා අරමුදල් සපයාගන්නේ ගලගොඩඅත්තේ ඥානසාරගේ “බුද්ධානුස්සති භාවනාව“ ගැන පැහැදුනු  විදේශික දානපතියන්ගෙනි. මෙම ක්‍රමය හරහා  නීතිය හමුවේ අභියෝග කළ නොහැකි ක්‍රමයකට මුදල් සංසරණය වේ.

අප විසින් මතක තබා ගත යුතු කරුණක් නම් මේ  දාමරික හික්ෂූන්ගේ පන්සල් සහ ආරාමවල  “පිං කැට“ විගණනය කිරීමට තරම් එඩිතර රාජ්‍ය ආයතනයක් මෙරට නැති බව ය.☐

(මතු සම්බන්ධයි)

සිව්වැනි කොටස: 'මුස්ලිම් බිල්ලා' පිටුපසින් ඇමරිකානු සේනා?

අජිත් සී. හේරත්


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.