JDS Sinhala

නිලාන්දන්: ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය හා සිංහල ජනයා

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යන දෙකින් එකක් අරමුණු කොටගත් ක්‍රියාවලිය සහ දෙමළ ජන ආකල්ප අතර ඇති සම්බන්ධතාව පිළිබඳ දේශපාලන ලේඛක නිලාන්දන් විසින් සිය අදහස් පළ කරන ලද්දේ ඉකුත් සතියේ ය. එම ක්‍රියාවලිය සහ සිංහල ජන අභිලාෂයන් අතර ඇති පරස්පරතාවන් විසින් මතු කරන සංකීර්ණතා ඔහු මෙවර සිය අවධානයට ගනියි. ප්‍ර‍ජාතාන්ත්‍රික බල බෙදීමක් සහතික කර සිටින නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පූර්වයෙන් විමසා දැනගැනීමට තරම් ගැඹුරු අදහස් වෙනසක් සිංහල සමාජය තුළ සිදුව ඇතිදැයි ඔහු ප්‍ර‍ශ්න කරයි. දෙමළ ජනයා අතර ස්වකීය අභිලාෂයන් පිළිබඳවත්, සිංහල සාමූහික ආකල්ප ගැනත් දෙමළ ජනයා අතර පවතින සහේතුක සංශයන් නිලාන්දන්ගේ ලිපිය පරාවර්ථනය කොට පෙන්වයි.

පරිවර්තනය:  ප්‍රියදර්ශිනි රත්නසාමි සහ අතුල විතානගේ


ණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට  ජනතා අදහස් විමසීම පිළිබඳ සාකච්ඡාවක්  ජාතික ක්‍රිස්තියානි සභාව මගින් ඉකුත් 11 වැනිදා කිලිනොච්චියේදී  සංවිධානය කර තිබුණි. දකුණින් එහි පැමිණි එක්තරා නියෝජිතයෙකු ආචාර්ය රොහාන් එදිරිසිංහගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සිය අදහස් ප්‍රකාශ කළේය. මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන  පිළිබඳව දකුණේ පැවැති සාකච්ඡාවකදී  කෙන්යාවේ නිදසුනක් දක්වමින් ආචාර්ය එදිරිසිංහ කියා තිබුණේ  එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා  ජනතා අදහස් විමසීමේදී වයස්ගත ගොවියකු තම එළුවන්ට දීමට තණකොළ නැති බව පෙන්වා දුන් බව ය. ඒ අනුව ඔහුගේ ඉල්ලීම  කෙරෙහි ද අවධානය යොමු කල කෙන්යාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදක මණ්ඩලය  තණ බිම් ඇති කිරීම ගැන ද නව වැඩපිළිවල් ව්‍යවස්ථාවට ඇතුළත් කළ බවද ඔහු ප්‍ර‍කාශ කළේය.

දුප්පත් ගොවියකුගේ  එළුවන්ට  තණකොළ අවශ්‍ය බව අවධානයට ගෙන  ව්‍යවස්ථා සංශෝධනය කර තිබෙන්නේ නම් ඒ මගින් පෙන්නුම් කරනුයේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ තරමටම සවිමත් බව ය. ඒ නිදසුන සිත් ගන්නා සුළු බව සැබෑ ය. නමුත්  ශ්‍රී ලංකාවේ ප්‍රයෝගිකත්වය කුමක් ද?

යහ පාලනයේ ‘ප්‍ර‍ර්ශන කුටියක්?‘

ඒ ගැන මා දන්නා කතාවක් කියන්නට තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කමිටුව නියෝජනය කරන  සිංහල විද්වතෙකු ඉකුත් වසරේ අවසන් කාර්තුවේ දී  සිය  සමීප සගයන් කිහිපදෙනෙකු සමඟ සාමන්‍ය මිත්‍රශීලි කථා බහකදී පළ කළ අදහස් මෙහිදී ගෙන හැර දැක්විය හැකි ය. දෙමළ ජනතා සභාව නියෝජනය කරනු ලබන පක්ෂයක දේශපාලනඥයෙකුද මෙම කතා බහට එක්වී සිටියේය. දෙමළ ජනතා සභාව ගැන අදහස් හුවමාරුවකදී මේ සිංහල විද්වතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මේ වන විටත් අවසන් තීරණ සියල්ල  තීන්දු කර ඇති බව ය.

මේ අයුරින්ම  ජාතික ප්‍රශ්නය ගැන ද තීරණ සියල්ල කලින්ම තීන්දු කර ඇති බවට ද දෙමළ ජනයා අතර සැකයක් පවතී. සැකයට තුඩු දෙන මෙම තීරණයට එළඹ ඇත්තේ  ආණ්ඩු මාරුවට පෙර සිංගප්පූරුවේ අප්‍ර‍සිද්ධියේ පැවැති සාකච්ඡා හමුවකදී බවට පැවසේ. සාමාන්‍යයෙන් සිදුවන පරිදි මුලින්ම ඉහළ මට්ටමින් තීන්දු තීරණ ගෙන පහළ මට්ටමින් අදහස් හා යෝජනා විමසමින් ව්‍යවස්ථා සංශෝධනය කර බව පවසා සිටීම නාටකයක් හෝ  ඈස් බන්දුමක් ද?  නැතිනම් ලංකාව යහපාලනයේ ‘ප්‍රදර්ශණ කුටියක්‘ ලෙස ගොඩනැගීමේ අවරගණයේ උපක්‍රමයක මෙයත් එක් පියවරක් ද?

ඉකුත් දශක කිහිපයේ අත්දැකීම්වලට යටත්ව, විශේෂයෙන්ම ගෙවී ගිය වසර හත තුළ අත්දැකීම්වලට අනුව මෙම කරුණු කෙරෙහි දැඩි අවධානයකින් යුතුව සොයා බැලීම වයටනේය. එනම්, ශ්‍රී ලංකාවට දැන් අවශ්‍යව ඇත්තේ ජනතාවගේ අදහස් විමසීමද, නැතිනම් ජනතාව අතර අදහසක් ඇති කිරීමද යන්න ය.

ඒකීය රාජ්‍ය සහ ෆෙඩරල් බලයක්

දෙමළ ජනයාගෙන් බහුතරයක් මේ වනවිට ඉල්ලා සිටිනුයේ ඒකීය රාජ්‍ය පාලනය වෙනස් කරමින්, ස්වයං පාලනයක් සහතික කරන ෆෙඩරල් ක්‍රමයකි. දෙමළ ජාතික සන්ධානය ද බොහෝ දුරට ඉල්ලා සිටින්නේ එයයි. දෙමළ ජාතික සහාවේ ඉල්ලීම වන්නේ ද එයම ය. එහෙත් බහුතර සිංහල ජනයා කල්පනා කරන්නේ කෙසේද?

සිංහල දෘෂ්ටි කෝණයෙන් ෆෙඩරල් ක්‍රමය දකින්නේ රට බෙදුම්වාදය කරා ගෙන යන බිල්ලෙකු ලෙස ය. එහෙත් ඔවුන් ඕනෑකමින් අමතක කර දමා ඇති වැදගත් කරුණ වන්නේ ලංකාවේ පළමුවරට ෆෙඩරල් ක්‍රමයක යෝග්‍යතාව විසිවන සියවසේ මුල් භාගයේදීම යෝජනා කර සිටියේ ප්‍රබලතම සිංහල නායකයෙකු වන බණ්ඩාරනායක බව ය.

එවැනි යථාර්ථයක් පහසුවෙන් අමතක කර දමන ලද කල්හි දෙමළ හා සිංහල ජනයා තෘප්තිමත් කරන විසඳුමක් සොයා ගන්නේ කෙසේද? සිංහල ජනයාට  ඒකීය පාලනයක් ලෙසත්  දෙමළ ජනයාට ෆෙඩරල් පාලනයක් ලෙසත් පෙනෙන විසඳුමක් සොයාගත යුතු ය. එනම් දෙපාර්ශවයටම බොරු කියමින් වචනවලින් සෙල්ලම් කළ යුතුව තිබේ.

එහෙත් බොරුවෙන්, මුලාවෙන් ඇති කළ හැක්කේ කවර නම් සහජීවනයක්ද? මුලාව මත පදනම්ව සාමය හා යුක්තිය ගොඩනැගීමට නොහැකි වන අතර අසත්‍යය මත පදනම් වූ කිසිදු විසඳුමක් සදාකල් නොපවතී. එම නිසා සිංහල හා දෙමළ ජනතාවට සත්‍යය පෙන්වා දීමත්, එම සත්‍යය උකහා ගත හැකි පොදු මානසිකත්වයක් ගොඩනැගීමත් වඩා වැදගත් වේ.

තමන් අත් විඳි ඛේදවාචකයන්ටත්,  සිදු වූ විනාශයන්ටත්, වර්තමානයේ මුහුණ පාමින්  සිටින  වේදනාවන්ටත්, සමූල ඝාතනයන්ටත් නිසි යුක්තියක් ඉල්ලා සිටින දෙමළ ජනයාට  අසත්‍යයක් දිය නොහැක. දශක තුනක අධික කාලයක් වෙන්වීමට ඉල්ලා සන්නද්ධ අරගලයක  නිරතව සිටි ජන කොටසක් දැන් ෆෙඩරල් විසඳුමකට සූදානමින් සිටියි. දෙමළ දේශපාලනයට  ඉතා මෑතකදී එක්වූ දෙමළ ජනතා සභාව ද ස්වකීය යෝජනා මාලාවේ ලිහිල් බවක් පෙන්නුම් කර තිබේ. ඒකීය රටක් ගැන සොයා බැලීම එහි විශේෂ කරුණක් ලෙස දැක්නට ලැබේ. එම සභාවේ යෝජනාව පූර්ණ ෆෙඩරල් ක්‍රමයක් ලෙස කිසිසේත් අර්ථ දැක්විය නොහැකි අතර අලුත් සාකච්ඡා මාවතක් විවෘත කර තිබේ. ජාතික ප්‍රශ්නයට විසඳුමක් කෙරෙහි දෙමළ ජන පාර්ශවයෙන් ඉදිරිපත් කළ නවතම සංඥාව එයයි.

විසඳුමක් නැති විසඳුමක්

සන්නද්ධ අරගලයෙන් අනතුරුව ඉකුත් වසර හතකදී දෙමළ ජනතා පාර්ශවයෙන් මෙවැනි සම්මුතිකාමී  සංඥාවන් රැසක් ඉදිරිපත් කෙරුණි. එය පරාජයේ ප්‍රතිඵලයක් ලෙස සිතා, නැවතත් ‘විසඳුමක් නැති විසඳුමකින්‘ ඔවුන්ව යළි යළිත් පරාජය කළ යුතු යැයි සිංහල නායකයන් සිතන්නේ නම් එය යුද ජයග්‍රාහකත්වයේ  අලුත්ම වර්ධනයකි. යුද විජයග්‍රාහීත්වය යනුවෙනු මෙහිදී හඳුන්වන්නේ 2009දී දැවැන්ත මිනිස් සංහාරයකින් දෙමළ විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු එම ජයග්‍රහණය මුල් කරගනිමින් රාජපක්‍ෂ සොහොයුරන් විසින් ස්ථාපිත කරනු ලැබූ මානසිකත්වයයි. එහි සැඟවුණු අභිප්‍රාය වන්නේ දෙමළ ජනයා තවදුරටත් පරාජිත ජනකොටසක් ලෙස තබා ගැනීම ය. එහෙත් රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසුත් දෙමළ ජනතාවට ඔවුන්ගේ අවම ඉල්ලීම් පවා අත් හරින ලෙස ඉල්ලා සිටීම එම යුද විජයග්‍රහකත්වයේම තවත් එක් දිගුවක් පමණි. එය  ඊට එරෙහිව  සටන් කිරීමට බලයක් නොමැති ජන කොටසකගේ  හිස  බිම් මට්ටමේදීම  බැඳ දැමීමේ උත්සාහයකි.

‘ෆෙඩරල් ක්‍රමය යනු බෙදුම්වාදය‘ යැයි නිර්වචනය කිරීම කිසිදු පිළිගත් ජාත්‍යන්තර දේශපාලන විද්‍යාර්ථියෙකු පිළිනොගනියි. නමුත් ෆෙඩරල් ක්‍රමය පිළිබඳව සකළ විධ ජාතීන්ට අයත් මානව වර්ගයා විසින් මෙතෙක් එක් රැස් කරගත් ප්‍රායෝගික දැනුමට එරෙහිව සිංහල ජනයා හා ඔවුන්ගේ දේශපාලනඥයන් සිතීමට හේතුව කුමක්ද?

ඒ සඳහා බලපාන මූලික කාරණා දෙකක් හඳුනාගත හැක. පළමුවැන්න, සිංහල ජනයා ෆෙඩරල් ක්‍රමය පිළිබඳව පසුවන්නේ ඉතාමත් වැරදි උපකල්පනයන් මත වීම ය. අනෙක් කරුණ,  දෙමළ ජනයා විසින් ඉදිරිපත් කරනු ලබන අවම ඉල්ලීම් පවා ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔවුන්ගේ ඉල්ලීම් තවදුරටත් අවම මට්ටමකට කපා හැරිය හැකිය යන අපේක්ෂාව ය. විශේෂයෙන්ම දෙමළ ජනයාගේ සන්නද්ධ අරගලය පරාජයට පත්කර තිබෙන මොහොතක  දෙමළ ජනයා ඉතා ‘අවම විසඳුමක්‘ තුළ කොටු කිරීම තුළින් ඔවුන්ව තවදුරටත් පරාජය වූ ජන කොටසක් ලෙස සැලකීමට දක්වන කැමැත්ත ය.

එහෙත් සැබෑ සාමයක්  තුළ ජයග්‍රාහකයෙක් හෝ පරාජිතයෙක් නොමැත. ‘ජාතික ප්‍රශ්නයට විසඳුම‘ යන්නෙන්  දෙමළ ජනයාව තවදුරටත් පරාජය කිරීමේ සැළසුම් සහගත ප්‍රයත්නයක් නොතිබිය යුතු ය. ඒ අනුව බලන විට දැනට විසඳුම් යෝජනාවක් සඳහා තිබෙන අවම පූර්ව කොන්දේසිය වන්නේ  දෙමළ ජනතාවගේ ‘අඩුම ඉල්ලීම‘ කෙරෙහි සංවේදී හා පක්‍ෂපාතී සිංහල පොදු මානසිකත්වයක් ගොඩනැගීම ය. යුක්තිය එහි සැබෑ අරුතෙන් ගොඩනැගීමට සුදුසුම වැඩපිළිවල ලෙස හැඳින්විය හැක්කේ එවැන්නක් පමණි.

බෙදුම්වාදී බිල්ලා

එමෙන් සිංහල ජනයාගේ පොදු මානසිකත්වය විසඳුමක් කරා මෙහෙයවීමට නම් ඊට ජනතාවගේ අදහස් යෝජනා විමසීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා, පැරණි යැයි සැළකෙන ප්‍ර‍ශ්න පිළිබඳ  ඔවුන් අතර නව අදහස් ඇති කළ යුතු ය. නමුත් එය හුදෙක් දේශපාලකයන්ට පමණක් සිදුකළ නොහැක. සමාජ ක්‍රියාධරයන්, ආගමික නායකයන්, බුද්ධිමතුන්, ජනමාධ්‍ය, නිපැයුම්කරුවන්, කලාකරුවන් ඇතුළු සියළු දෙනාම තමන්ට හිමි තැනින් එය කක්‍රියාවට නැංවිය යුතු ය.

මෙම කාරණාවේදී සිංහල දේශපාලකයන්ට  තම මූලික චර්යාවන්ම  වෙනස් කර ගැනීමට සිදුවනු ඇත. මක් නිසාද යත්, ඡන්ද දඩයම් කිරීමේ  දේශපාලනය වෙනුවෙන් ෆෙඩරල් ක්‍රමය බෙදුම්වාදී බිල්ලෙක්  ලෙස මවා පෙන්වා සිටින්නේ ඔවුන් ය.  ප්‍ර‍ශ්නය වන්නේ, පසුගිය දශක ගණනාවක් තිස්සේ  තමන් විසින්ම ඡන්ද දායකයන්ට  කවා පොවා වැඩූ විෂවලට ප්‍රතිකර්ම  බෙහෙත් ලබාදීමට ඔවුන් සූදානම් ද යන්න ය.

සිංහල ජනතාව අතර සාධාරණ හා යුක්ති සහගත විසඳුමක් සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කිරීම යනු සෑම අතින්ම සිංහල බෞද්ධ ජාතිවාදය පරාජය කිරීමකි. මහා ජාතිවාදය පරාජය නොකළේ නම් ඊට ප්‍ර‍තිචාරාත්මක පදනමකින් දෙමළ ජාතික දේශපාලනය ද බොහෝ විට වර්ධනය වෙනු ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන  සඳහා ජනතාවගේ අදහස් හා යෝජනා ඉල්ලා සිටින රටක් එයට පෙර ජනතාව අතර අදහසක්  ඇති කළ යුතුව ඇත්තේ ඒ නිසා ය. පොදු ජනයා  අතර පවතිනසදොස් අදහස්, උපකල්පන සහ  දුරවබෝධයන් තුරන් කළ යුතුය. ෆෙඩරල් ක්‍රමය යනු බෙදුම්වාදයක් නොවන බවත් , එය බෙදුම්වාදය තුරන් කරන ක්‍රමවේදයක් බවත්  සිංහල ජනයාට  පැහැදිළි කර දිය යුතු ය.  නමුත් මේ සියල්ලන්ටම පෙර සිංහල නායකයන් ෆෙඩරල් ක්‍රමය පිළිබදව සොයා බලා එය පිළිගැනීමට සූදානම් වීම අත්‍යවශ්‍ය කොන්දේසියකි.

රාජපක්ෂවාදය පීඩනයේ හේතුවද?

මෙම ලිපියෙහි ආරම්භයේ දී සඳහන් කළ කිලිනොච්චි සාකච්ඡාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතා  අදහස් විමසීමේ කමිටුව හමුවේ දෙමළ ජාතිකයෙක් ඇසූ ප්‍රශ්නයක් මෙහිදී උපුටා දැක්වීමට මම කැමැත්තෙමි. දකුණේ දේශපාලන යථාර්ථය කැටිකොට දක්වන ඒ ප්‍ර‍ශ්නය මෙසේ ය:  “දැන් ඉදිරිපත් කරන්නට යන ව්‍යවස්ථාව ඊළඟ මැතිවරණයෙන් පසු පැමිණෙන ආණ්ඩුව විසින් වෙනස් නොකරන බවට ඇති සහතිකය කුමක් ද? යම්කිසි විටක රාජපක්‍ෂවාදීන් යළි බලයට පැමිණිය හොත්  ඔවුන් මෙම ව්‍යවස්ථාව වෙනස් නොකරනු ඇතිද?” ඊට  එම කමිටුවේ සාමාජික නීතීඥවරයකු පිළිතුරු දෙමින් යෝජනා කර සිටියේ, “රාජපක්‍ෂවාදීන්  නැවැත එන්නේ නැහැ. ඔබලා කොහොමත් ඔවුන්ට එන්න දෙන්නේ නැහැ, ඔබලා සහ  අපි එක්වී ඔහුව පරාජය කළා වගේ  ඉදිරියටත් පරාජය කරමු” කියා ය.

නමුත් යුක්ති සහගත විසඳුමකට සිංහල  පොදු ජන මානසිකත්වය ගොඩනැගීම යනු රාජපක්‍ෂවාදීන්ව  පරාජය කිරීමෙන් ඔබ්බට ගිය අරමුණකි. අඩ සිය වසරකට වැඩි කලක් තිස්සේ දෙමළ ජනයා පෙළන ප්‍රශ්නය රාජපක්‍ෂවාදීන්  නොවේ. ඔවුන්ගේ ප්‍රාදූර්භූත වීම පවා ඒ දේශපාලන ක්‍රියාවලියේ  ප්‍රතිඵලයක් පමණි. අවශ්‍ය වෙතොත් රාජපක්‍ෂවාදීන්ගේ  පරාජය යනු සිංහල මහජාතික අධිකාරිවාදයේ පරාජය බව තහවුරු කිරීමේ වගකීම  ඇත්තේ මෛත්‍රී - රනිල්  ආණ්ඩුව සතුව ය. නමුත් ඉකුත් වසරක පාලනය යටතේ දෙමළ ජනයා ලැබූ  අත්දැකීම ඊට පටහැනි එකක් බව කිව යුතු ය.

‘දෙමළ ජනතාවගේ එළුවන්ට තණ කොළ දීම‘ පැත්තකින් තබා එම ජනතාවට බොරුවෙන් මුලා නොකරන බවට වන සහතිකය ලබාදීමට සිංහල නායකයන් සූදානම් ද?

නිලාන්දන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.