JDS Sinhala

නිලාන්දන්: ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය හා දෙමළ ජනතාව

ව්‍යවස්ථා ප්‍ර‍තිසංස්කරණ පිළිබඳ සාකච්ඡා සභාවන් දිරිමත් කිරීම නව ආණ්ඩුව විසින් ප්‍රමුඛත්වයේ ලා සළකන බැව් පෙනී යන්නට පටන් ගත්තේ ඉකුත් වසරේදීම ය. සිංහල භාෂාවෙන් ඒ පිළිබ‍ඳ තැනින් තැන පළවන අදහස් හා ලිපි ලේඛන විසින් ඒ පිළිබඳ කොතරම් අව්‍යාජ බහුජන උද්යෝගයක් දකුණු ලංකාවේ ජනිත කොට ඇතිදැයි කීම තවමත් උගහට ය. අනෙක් අතින් දෙමළ ජනයා අතර වුව ද, ව්‍යවස්ථා ප්‍ර‍තිසංස්කරණ පිළිබඳ ගැඹුරු කතිකාවක් ගොඩනැඟී නැති බව පෙන්වා දෙන දේශපාලන විශ්ලේෂක නිලාන්දන් බිය හා සැකය සහමුලින් පහ නොවූ සමාජයක් තුළ ආණ්ඩු ක්‍ර‍ ව්‍යවස්ථා පිළිබඳ බැරෑරුම් කතිකාවක් පැන නැගෙතැයි අපේක්‍ෂා කිරීම යථාර්ථවාදී දැයි පෙරළා විමසා සිටියි.

පරිවර්තනය: ප්‍රියදර්ශිනි රත්නසාමි සහ අතුල විතානගේ


ණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද, නැතහොත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමක්ද ආදී වශයෙන් ආණ්ඩුව තුළ වෙනස් මතවාද කරලියට පැමිණ තිබේ. එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවක් ගැන අපේක්‍ෂා පළ කරන අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වී ඇති බව පෙනෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් ප්‍රමාණවත් බව ය. අග්‍රාමාත්‍ය කාර්යාල වෙබ් අඩවියේ සඳහන් වනුයේද ව්‍යවස්ථා සංශෝධනය ලෙස වුව ද මෑතක සිට සිදුවන සිදුවීම සියල්ල නව ව්‍යවස්ථාවක් පිළිබ‍ඳ පෙරනිමිති පහළ කර තිබේ.

පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට හැරවීමේ කෙටුම්පත පසුගිය දා සභාගත කෙරිණි. එය ඉදිරියේදී සම්මත කිරීමට සුදානම් ය. එහෙත් එම යෝජනා කෙටුම්පතේ ද සංශෝධන සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා තිබේ. එම නිසා යෝජනා කෙටුම්පත සම්මත කරන තෙක් එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වනු ඇත්ද, නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් වනු ඇත්ද යන්න පිළිබඳව පුර්ව නිගමනයකට එළඹිය නොහැකි තත්වයක් තව දුරටත් පවතී. මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් රට තුළ උදා වී ඇත්තේ  අවම වශයෙන් එක් මතයකට පැමිණීමට නොහැකි වටපිටාවකි.

දකුණු අප්‍රිකානු අත්දැකීම්

මේ අතර, ව්‍යවස්ථා වෙනසක් සම්බන්ධයෙන් එය ක්‍රියාවට නැගීමේ ක්‍රියාවලිය තුළ ජනතාවගේ අදහස් විමසන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. ඒ වෙනුවෙන් ලාල් විජේනායකගේ මුලිකත්වයෙන් කොමිසමක් ස්ථාපිත කර ඇති අතර අදාළ කොමිසම ඉකුත් 18 වැනිදා සිට ක්‍රියාත්මක ය. කොමිසමේ කටයුතු දින පහක් පුරා කොලඹ පැවැත් වීමෙන් අනතුරුව දින දෙක බැගින් උතුරේ සියලු දිස්ත්‍රික්කයන්හි ද රැස්වීමට නියමිත බව මුලින්ම ප්‍ර‍කාශ කොට තිබිණ. ව්‍යවස්ථා වෙනස් කිරීමේදී පොදු ජනයාගේ අදහස් විමසන මෙම රැස්වීම් හරහා පහළ මට්ටමේ සිට අදහස් ලබා ගැනීම මුලික ඉලක්කය බව ප්‍ර‍කාශිත ය. ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන් දියත් කෙරෙන මෙම කටයුත්තේදී රටේ ජනතාව ද සහභාගී කර ගැනීම යනු එම රටේ ප්‍රජාතන්ත්‍රවාදී බව පෙන්නුම් කිරීමේ ලක්‍ෂණයකි. එවැනි දේකට සිය අදහස් එක්කරමින් සහභාගි වීම ජනතාවගේ ද අයිතික ලෙස දැක්විය හැකි ය. 1976 දී සම්මත කෙරුණු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිය පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් ද මේ බව තහවුරු කර ඇති අතර ඒ අනුව අළුතින් රටවල් නිර්මාණය වීමේදී හා යුධ ගැටුම්වලට පසුව නව ව්‍යවස්ථාවන් කෙටුම්පත් කිරීමේදී ඉහත සඳහන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ ජනතාවගේ අදහස් විමසනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන් හි අඩංගු බොහෝ සාමුහික අයිතීන් හා දේශපාලන අයිතීන් සියල්ල පොත්වලට සීමා වී ඇතිවාක් මෙන් මෙම ක්‍රියාමාර්ගයද තවත් එක් රැවටිල්ලක් පමණි. විශේෂයෙන් දකුණු අප්‍රිකාව, ටියුනීසියාව හා කෙන්යාව වැනි රටවල මෙම ක්‍රියාමාර්ගය සාර්ථක වී ඇති බව පැවසුවද ඊට නිදසුන් ලෙස දැක්විය හැක්කේ දකුණු අප්‍රිකාව පමණි. දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජනතාවගේ අදහස් විමසීමේ කටයුතු වසරක් වැනි කාලයක් තිස්සේ පැවැත්විණි. මෙහිදී ව්‍යවස්ථාදායක සභාව හා ජනතාව අතර අදහස් විමසීමේ රැස්වීම් 17000 ක් පැවැත් වූ බැව් වාර්තා වී ඇති අතර එහිදී යෝජනා 13,443 ක් ඉදිරිපත් කෙරී තිබේ. ඉන් 90%ක්ම එක් එක් පුද්ගලයන් විසින් තනිවම ඉදිරිපත් කෙරුණු අදහස් හා යෝජනා වේ. සමස්තයක් වශයෙන් ලක්ෂ 20 පමණ දෙනා සිය අත්සන් සහිත පැමිණිලි ඉදිරිපත් කර තිබිණි. නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ජනතාවගේ අදහස් විමසීමේ ක්‍රියාදාමයට බලවත්ව දියත් කළ රටක් වශයෙන් දකුණු අප්‍රිකාව විශේෂයෙන් සදහන් කළ හැකි නිදසුනක් වන්නේ ඒ නිසා ය. ඔවුන්ගේ ප්‍ර‍තිසන්ධාන වැඩපිළිවෙලත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමත් වෙනස් වූ කියාමර්ගයන් ලෙස පැවතිණි. එසේම නැගෙනහිර ටිමෝරය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නිර්මාණය කෙරුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ද ජනතාවගේ අදහස් විමසිනු ලැබූ අතර ඊට ඔවුන්ගේ සහභාගිත්වයට ඉඩ සැලසිනි.එහෙත් ඊට එරෙහිව එල්ල වූ චෝදනාව වුයේ ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බවට ය. ලංකාවේදී ද ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් කිසිසේත් ලැබෙනු ඇතැයි සිතීම අසීරු ය.

තෙවැදෑරුම් ගැටළු

බොහෝ රටවල ව්‍යවස්ථා සකස්කිරීමේදී  සමාජ ධූරාවලියේ ඉහල ස්ථරය සහභාගි වන අතර සාමන්‍ය ජනතාව සැලකෙනුයේ සෙල්ලම් බෝනික්කන් සමූහයක් වශයෙන් පමණි.  ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී දෙමළ ජනයාගේ සහභාගිත්වය ඉතාමත් අවශ්‍ය සාධකයකි. මන්ද යත් ව්‍යවස්ථා වෙනසකට හේතුව ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ මුලික අරමුණ සාක්ෂාත් කර ගැනීම වන හෙයිනි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී මෙරට වෙසෙන සියලු ජාතීන්ගේ අයිතීන් ඊට ඇතුළත් කළ යුතු ය. නමුත් දැනට පවතින වටපිටාව අනුව ඒ සඳහා සාමාන්‍ය දෙමළ ජනයාගේ සහභාගිත්වය ඉතා සීමිත විය හැකි ය. එසේ වුවහොත් එහි අවසාන ඵලය තවත් රැවටිල්ලක් වනු ඇත. එවන් තත්වයක් නිර්මාණය වීමට බලපානු ලබන හේතු ලෙස ප්‍රධාන කරුණු තුනක් දැක්විය හැක.

1. දෙමළ ජනයාට බියෙන් හා සැකයෙන් තොරව නිදහස්ව  සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට හැකි වටපිටාවක් තවමත් නිර්මාණය වී නොතිබීම.

2. දෙමළ ජනයාට බියෙන් හා සැකෙන් තොරව සත්‍ය පැවසීමට හැකි දේශපාලන වාතාවරණයක් ඇති කිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය මෛත්‍රී- රනිල් ආණ්ඩුවට නොමැතිවීම.

3. දෙමළ ජනයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් හෝ අවබෝධයක් නොමැති වීම.

මෙම  කරුණු විමසා බැලීමේදී පළමුව කිව හැක්කේ  දෙමළ ජනයාට තමන්ගේ යථා ජීවිතය පිළිබඳ බියකින් තොරව ප්‍රකාශ කිරීමට අවශ්‍ය වාතාවරණයක් නිර්මාණය වී නොමැති බව ය. ඇතැම් විට මෙසේ පැවසීමේදී යම්කිසි ගැටළුකාරිත්වයක් මතු වීමට ඉඩ තිබේ. මක් නිසාද යත් එවැනි බියකරු වටපිටාවක් නොමැති බවට මාධ්‍ය හා දේශපාලකයන් මෙන්ම විශ්ලේෂකයන් ද නිරනත්රයෙන්ම පුනරුච්ඡාරණය කරබ බැවිනි. එසේ නම් නිදහසේ සත්‍ය කථා කිරීමට උචිත පරිසරයක් නැතැයි කීම නිවැරදිද? මා සිතන්නේ එය සහමුලින්ම නිවැරදි බව ය.

බිය හා සැකය

සමාජයේ දැන උගත් පිරිස්වලට  හා මාධ්‍යවේදීන්ට සිය අදහස් ඉදිරිපත් කිරීමට යම් ප්‍රමාණයක සාපේක්‍ෂ නිදහස් වාතාවරණයක්  ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් දේශපාලනඥයන්ට, මධ්‍යම පාංතික ප්‍රභූන්ට හා මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ වෘත්තීය  මට්ටමින් රැකවරණයක් සලසා ගත හැකි වුවද, සාමන්‍ය ජනතාවගේ තත්ත්වය මීට හාත්පසින් වෙනස් ස්වරුපයක් ගනී. ඔවුන් තවමත් දිවි ගෙවන්නේ අතුරුදහන් කරනු ලැබූ තම සමීපතමයන් සොයමින්, ඔවුන් දුටු  සාක්ෂිකරුවන්ගේ අදහස් පිළිගනිමින්, මරා දැමුවන්ගේ සංඛ්‍යාවක් පිළිබඳ කිසිදු ගණනය කිරීමක් ද නොමැතිව හා මරා දැමුවන්ට ගෞරව කිරීමට හා ඔවුන් සිහිපත් කිරීමට ඇති අයිතිය ද අහිමි කරන ලද වටපිටාවක ය. පරම්පරා ගණනක් ජීවත් වූ සිය නිවෙස් හා ඉඩම්වලට යාමට නොහැකිව ඔව්හු තවමත් අවතැන්ව කනස්සල්ලෙන්  පසුවෙති.

රජයේ ආරක්ෂක හමුදා මගින් අතුරුදහන් කරනු ලැබුවන් පිළිබඳ විමර්ශණයට පත් කළ කොමිසම් හමුවේ සාක්ෂි ලබා දෙන විට පවා බියපත්ව පසුබසින  තත්ත්වයක් මේ අසරණ දෙමළ ජනයා තුළ පවතී. “අපි අසන ප්‍රශ්ණ වලට පමණක් උත්තර දෙන්න. වෙන කතා එපා”යැයි කොමිසම් ප්‍රධානීන් පවසද්දී මේ බොහෝ  අසරණ ජනයා සහේතුකව බිය පත් වෙති. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ශක්තිය පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති තරම් ය. ඒ වෙනුවට අසත්‍ය ප්‍රචාර, මිත්‍ථ්‍යා විශ්වාස, බොරු ආකල්ප වලින්  ඔවුන්ගේ ජීවිත බැඳ දමා තිබේ. කිසිදු බියකින් හෝ සැකයකින් තොරව තමන් දන්නා සත්‍ය පැවසීමට නිදහස් පරිසරයක් ඔවුන්ට හිමිවී නොමැති යැයි මා ලීවේ එබැවිනි.

මෙම පසුබිම යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක්‍රියාවලියට දෙමළ ජනයාගේ අදහස් නිදහස්ව ප්‍රකාශ කිරීමට තරම් වාතාවරණයක් තවමත් නොමැති බැවින් එම ජනයා නියෝජනය කරන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ කමිටු, වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාධාරයන්ගේ සංවිධාන පොදු ජනයා වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරනු ඇත. මෙය කොපමණ දුරට පොදු ජනයාගේ අදහස් නියෝජනය කරන වැඩපිළිවෙලක් වනු ඇතිද? ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට ව්‍යපෘති වාර්තා සකසන පුද්ගලයන්  සාමාන්‍ය ජනයාගේ අදහස් කෙසේ නම් ප්‍රකාශ කරනු ඇතිද?

දේශපාලන අධිෂ්ටානයක්?

ඉකුත් මස යාපනයේ පැවති තෙදින සම්මන්ත්‍රණයක් ගැන මෙහිදී නිදසුනක් වශයෙන් සඳහන් කළ හැකි ය. මෙහිදී  සිංහල, දෙමළ හා මුස්ලිම් සිවිල් සමාජයේ පිරිස් රැස්කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔවුන්ගේ අදහස් විමසීමක් සිදු කෙරුණි. යාපනයේ තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ පැවති මෙම සම්මන්ත්‍රණයෙදී සිවිල් සමාජ නියෝජිතයන් හා ජාතීන් තුනටම අයත් විද්වත් මණ්ඩල සාමාජිකයන් අතර එකඟතාවයක් ගොඩනගා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් විය. සමාජයේ දැන උගත් විද්වතුන් හුවා දක්වනුයේ තමන් තුළ ඇති යහපත් දේ පමණි. තම ජනයා තුළ ඇති බිය හා සැක මෙන්ම ඔවුන් පෙළෙමින් සිටින ගැටළු පිළිබඳව ද ඔවුහු වැඩි තැකීමක් නොකරති.

මෙහිදී එක් දෙමළ සිවිල් සමාජ නියෝජිතයෙකු විසින් ප්‍රශ්නයක් නගමින් විමසා සිටියේ ‘අපෙන් ලබා ගන්නා අදහස් ව්‍යවස්ථාදායක සභාවට යාවිද? අපේ අදහස් වලට දේශපාලඥයින් හා විද්වතුන් කන් දෙනු ඇති ද?‘ යන්න ය. ඊට පිළිතුරු දුන් විද්වතුන් අතර සිටි මුස්ලිම් සරසවි කථිකාචාර්යවරයෙකු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් පොදු ජන සංවිධානවල අදහස් ලබා ගැනීමට සැකැස්මක් ඇති බවත් පොදු ජනතාව විසින් ලබා දෙන වාර්තා ඔවුන් විසින්  වාර්තාවක් ලෙස ඉදිරිපත් කෙරෙන බවත් ය. එම නිසාම ජනතා හඬට කන් දීමට ලෝක පරිමාණයෙන් සැකැස්මක් ඇති බවද ඔහු  අවධාරණය කළේය.

සත්‍ය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවකාශ ලැබීම යනු නිශ්චිත දේශපාලන වාතාවරණයකි. එවැනි වාතාවරණයක් නිර්මාණය කිරීම යනු දැනුවත්ව ගත යුතු දේශපාලන තීරණයකි. ගැටළුව නම්, එම තීරණයට එළඹීමට තරම් අදිටනක් මෛත්‍රී - රනිල් ආණ්ඩුවට තිබේද යන්න ය. ඉකුත් වසර පුරාවට ඔවුන් එම දේශපාලන කැමැත්ත පෙන්නුම් කළේ නැත.

නව ‘ජාතික වීරයන්ගේ‘ ඉරණම

දෙමළ ජනයා විසින් සත්‍ය බියෙන් හා සැකෙන් තොරව නිදහස්ව ප්‍රකාශ කරන්නේ නම් අධ්‍යතන දකුණු ලංකාවේ ‘බුහුමනට‘ පාත්‍ර‍වන බොහෝ ජාතික වීරයන් බරපතල වැරදි කළ අපරාධකරුවන් සේ නම් කෙරෙනු ඇත. මේ හේතුව නිසාම දෙමළ ජනයාට සත්‍ය ප්‍රකාශ කිරීම සඳහා පිටුබල සපයන වටපිටාවක් නිර්මාණය කිරීමට බලයට පත්  කිසිදු රජයක් උත්සුක නොවේ. විදේශ නිරීක්ෂකයන් ඉදිරිපිටදී නොබියව සත්‍ය ප්‍රකාශ කරන්නට අවස්ථාව දෙමළ ජනයාට උදාවෙන නිසා විදේශ නිරීක්ෂකයන් යටතේ පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳ යෝජනා යහපාලන ආණ්ඩුව දැනටමත් ඉවත දමා තිබේ. මෙසේ සත්‍ය ප්‍රකාශ කිරීමට නොහැකි ජනතාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට දායක වන්නේ කෙසේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු සාමන්‍ය ජනයාට පහසුවෙන් තේරුම් ගත හැකි සරළ ලියැවිල්ලක් නොවේ. නමුත් තමන්ගේ ඉරණම තීරණය කරන මෙම ලියැවිල්ල ගැන වාද - විවාද කිරීමට අවශ්‍ය දැනුම දෙමළ ජනයා අතර කී දෙනෙකුට තිබේද? මෙම දැනුම ලබා දෙන මාධ්‍ය කොපමණ තරමක්  දෙමළ ජනයා අතර තිබේද? ඇත්තෙන්ම නම් සිංහල හා මුස්ලිම් ජනයා අතර තත්ත්වයද මේ හා සමාන වනු ඇත.

මෙහිදී යළිත් දකුණු අප්‍රිකාව ගැන සඳහන් කළ යුතු ය. ඊළම් දෙමළ ජනයා හා සසඳන විට  දකුණු අප්‍රිකානු සමාජයේ අධ්‍යාපන මට්ටම ඉතාමත් පහළ අගයක් පෙන්නුම් කළ ද දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව පිළිබඳව කතිකාව මාධ්‍ය මගින් ජනතාව අතරට ගෙන යනු ලැබිණි. ඊට අමතරව, වසරක් තුළ පමණක් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ 1000 ක් පවත්වා ඇති බැව් ද ප්‍ර‍කාශිත ය. එහෙත් ලංකාවේ තත්ත්වය කුමක්ද? මෙහිදී ව්‍යවස්ථාව පිළිබඳ සාකච්චා පැවැත්වෙනුයේ සමාජයේ දැන උගත් ස්ථරයන් අතර ඉංග්‍රීසි මාධ්‍යයෙනි.

25 වැනි වගන්තිය

පසුගිය වකවානුවේ සහජීවනය  ඇති කිරීම හා දෙමුහුන් යාන්ත්‍රණය පිළිබඳ පැවති සාකච්ඡාවන්ට සහභාගි වූ ජනයාට ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලැබී නොමැති බව මේ වන විට දැක ගත හැකි ය.

ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කෙරෙන වැඩසටහන් වලදී තමන්ගේ  සමීපතමයන්ගේ අතුරුදහන් කිරීම් පිළිබඳ ශෝචනීය පුවත්, පැහැර ගත් ඉඩම් හා නිවාස ගැනත් , පැමිණිලි ලිපි ගැනත්,රජයෙන් එවා ඇති ලිපි ගැනත්  කථා බස් කරනවා මිස ව්‍යවස්ථා සංශෝධන ගැන ඔවුන් ඇත්ත වශයෙන්ම උනන්දු වන්නේ නැත. ඔවුන් පැමිණෙන්නේ  දුක් කදුළු, ප්‍රාර්ථනාවන්හා පැමිණිලි සමගිනි. සාමන්‍ය දෙමළ ජනයා  පසුවන්නේ ඔවුන්ටම ආවේනික හැඟීම් තුළ ය. නමුත් ඔවුන්ගේ දුක් ගැනවිලි, බලාපොරොත්තු, පැමිණිලි, ප්‍රාර්ථනාවන් යන සියල්ල ගැන මනා සේ දැනුවත් භාෂා පරිවර්තකයන්ගේ අවශ්‍යතාවය මෙහිදී දැඩිව පෙන්නුම් කරනු ඇත.

මෙහිදී පැන නඟින ගැටළුඅතර ප්‍ර‍මුඛ වන්නේ මෙසේ හැඟීම්බරව සිටින ජනයාගේ අභිලාෂයන් නියෝජනය කළ හැකි විද්වත්තු කොපමණ සංඛ්‍යාවක් සිටිත් ද, මාධ්‍ය කෙතරම් ප්‍රමාණයක් තිබේ ද, ක්‍රියාකාරී සංවිධාන කොපමණක් පවතීද යන ඒවා ය. මේ සියල්ල පිළිබඳ යථාර්ථවාදීව අවධානය යොමු කළහොත් පෙනී යන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේදී දෙමළ ජනතාවගේ සහභාගිත්වය යනු නිෂ්ඵල ක්‍රියාවකට වැඩිමනත් දෙයක් නොවන බව ය.

බියෙන් හා සැකයෙන් තොරව සත්‍ය ප්‍රකාශ කිරීම තවත් එක් මිනිස් අයිතියකි. එම අයිතිය ක්‍රියාවට නැගීය නොහැකි ජනතාවක්  කෙසේ නම්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් හා දේශපාලන අයිතීන් සඳහා වූ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 25 වන ඡේදය භාවිතයට නඟන්නද?

නිලාන්දන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.