JDS Sinhala

ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ පරාජය: අසම්පූර්ණ කටු සටහනක්


ප්‍ර‍ගීත් එක්නැලිගොඩ පැහැරගෙන යනු ලැබ මේ ජනවාරි 24 වැනිදාට සය වසරකි. ‘80 දශකය තුළ දකුණේ වාම සමාජ-දේශපාලන හා සංස්කෘතික ක්‍ෂේත්‍රය විධිමත්ව ඇසුරු කොට ඇති ඕනෑම අයෙකුට ප්‍රගීත් අමුත්තෙක් නොවේ. ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ජයරත්න මලියගොඩ, පියල් සෝමරත්න, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ඇතුළු දකුණේ වාම දේශපාලන හා සංස්කෘතික කථිකාවන් ප්‍ර‍වර්ධනයට දායක වූ බොහෝ දෙනෙක් ඇසුරේ ක්‍රියා කළ ප්‍ර‍ගීත්ගේ නිර්මාණාත්මක සහ විශ්ලේෂණ ශක්‍යතා අදටත්  සැඟව පවතී. 2010 ජනවාරියේදී  අතුරුදහන්වීමට පස් මාසයකට පෙර ප්‍ර‍ගීත් විසින් මුල්වරට ගොණු කරන ලද මෙම අසම්පූර්ණ කටුසටහන තවදුරටත් තියුණුව පරිපහදු කොට වර්ධනය කිරීමේ අභිලාෂයක් ඔහු සතුව තිබූ බව පෙනෙන්නට තිබේ. අවිවේකී ජීවිතයත්, දිවියේ ඉතිරිව තිබූ කෙටි කාලයත් ඔහු ඉන් වැළැක්වූවා විය හැක. නමුත් ඔහුගේ දේශපාලන සිතීම් පිළිබඳ වටහා ගැනීමේ අවංක ආධ්‍යාශයෙන් ‘ප්‍ර‍ගීත් යනු කවුදැයි‘ ප්‍ර‍ශ්න නගන්නන්ට ඇවැසි පිළිතුරු සපයා ගැනීමට මෙකී ලිපිය ද ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

වඩා වැදගත් කාරණාව වන්නේ, වර්තමානයේ ප්‍ර‍ගීත් එක්නැලිගොඩට එරෙහි වෛරී සහගතව වර්ධනය කෙරෙන දක්‍ෂිණාංශික ෆැසිස්ට් පන්නයේ කල්ලි කණ්ඩායම් වටා ගොණුවන සිංහල අතරමැදි  සමාජ පන්තීන්ගේ සම්භවය හා විකාශය වටහා ගැනීමට ප්‍ර‍ගීත් දැරූ ප්‍ර‍යත්නය ද මෙම ලිපිය මගින් විද්‍යාමාන වීමයි.

මෙම ලිපිය හා ප්‍ර‍ගීත්ගේ සේයා රුව සපයා දුන් සන්ධ්‍යා එක්නැලිගොඩ සහෝදරියට ස්තූතියි. - සංස්කාරක කමිටුව


මෙම සාකච්ඡාවේදී භාවිතා කෙරෙන සංකල්ප හෝ පද සඳහා විවිධ අර්ථ ඇත. මෙම සටහනට අදාලව යොදා ගැනෙන අර්ථය මුලින් ම සඳහන් කරමි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය

‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත‘ යැයි වඩාත් ප‍්‍රචලිත මුල් කාලීන සම්ම්ත අදහස විය. බහුතරයේ කැමැත්ත සුලූතරයට අසාධාරණයක් විය හැකි බැවින් මෙම අදහස දෝෂ සහිත ය. ‘ජනතාව පාලනය කිරීම සඳහා ජනතාව විසින් පත්කරගන්නා ජනතාවගේ පාලනය‘ යැයි කියන ඇමෙරිකානු ජනාධිපති ලින්කන් ගේ අදහස ලෝක සම්මතයට පසුව ඇතුළත් වී ඇත. එයද වැඩි දෙනාගේ කැමැත්ත යන මූලධර්මය ඉක්මවා ගොස් නැත. එනිසා එමගින් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන සංකල්පය මුලූමනින් ම අර්ථවත් වන්නේ නැත. ජනතාවගෙන් වැඩිදෙනාගේ කැමැත්ත වෙනුවට සැම දෙනාගේ සහභාගීත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනුවෙන් එම මුල් අදහස මේ වන විට පරිණාමය වී තිබේ. මූලික පදනමක් වශයෙන් එය යහපත් ය. එහෙත් සමස්ත ක‍්‍රමයක් තුළ පුද්ගලයාට තිබිය යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස දක්වා මෙම අදහස ද පරිණාමය විය යුතුය. සැම පුද්ගලයෙකුටම සිය ජීවන ශක්‍යතාවන් නිර්බාධිතව ප‍්‍රකාශ කිරීමේ සාමාජයීය අවශ්‍යතාවයක් ඇත. යටත් පිරිසෙයින් නව සොයා ගැනීම් හා නව දැනුම මානව සමාජයට ගලා එන්නේ ඒ මාර්ගයෙනි. මිනිස් ශිෂ්ටාචාරයේ නියමය හා පැවැත්මේ ආකාරය එය වේ. එබැවින්  ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඉහත ආකෘතීන්ට පුළුල් අරුතක් අවශ්‍ය ය.

සැම මානවයෙකුට ම ද උපතින් ම හිමි පරම ආයුෂ කාලයක් තිබේ. මෙය සැම සත්ත්වයෙටම පොදු ය. මානවයාට විශේෂ ය. සත්ත්වයන්ට මෙන් නොව, මිනිසාට සංස්කෘතික ජීවිතයකට අදාළ පරම ආයුෂ කාලයක් ද ඇත. ඒ අනුව මානවයාට ජීවිත දෙකක් තිබේ. ළදරු කාලය, ළමා කාලය, නව යොවුන් කාලය, යොවුන් කාලය, මැදිවිය හා පසු මැදිවිය ද වයෝවෘධ කාලය වශයෙන් මෙම පරම ආයුෂ කාලය බෙදී යයි. එම සෑම කාලයකදීම එම නිශ්චිත කාලයට අදාළව ඔහු ට ඇයට හිමිවිය යුතු දේ නිර්බාධිතව හිමිවිය යුතු ය. එසේ හිමි නොවීම ජීවිතය පැහැරගැනීමක් වෙයි. ආහාර-පාන ආදී මූලික දේ පමණක් නොව දැනුම, අධ්‍යාපනය, තීරණ ගැනීමේ නිදහස ආදියත් මෙම පරම ආයුෂ කාලයට ඇතුළත් ය. එය ඔහුගේ - ඇයගේ ජීවන අවකාශය නම් වේ. ඒවා ඍජුව හෝ වක‍්‍රව, කිසියම් පාලන ක‍්‍රමයකින් හෝ පුද්ගලයෙකු විසින් අයෙකුට අහිමි කිරීම ජීවිතය පැහැර ගැනීමක් වෙයි. එබැවින් සැම දෙනාගේ සහභාගීත්වය සහිතව ද පුද්ගල ජීවන අවකාශ අයිතිය පරම වශයෙන් ද සහතික වී ඇති පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස දැනට නම් කරමි. මෙය උපකල්පනයකි.

ඒ අනුව දැනට ලංකාවේ රජයන මතය වන, ඡන්ද පැවැත්වීම, වැඩි ඡන්ද බලය හා පාර්ලිමේන්තුව පැවැතීම හා උසාවි ද තවත් දෙපාර්තමේන්තු පැවැතීම ආදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය උපකරණ ද, රජය විසින් පාලනය කරනු ලබන ’පොදු’ දේපොල, පොදු අරමුදල් ආදී උපක‍්‍රම ද පවතින්නේ ‘ප‍්‍රජාතාන්ත‍්‍රීය සමාජයක ය‘ යන නිල මතය මෙම රචනයේ දී ප‍්‍රතික්ෂේප කෙරේ. එවැනි අංගෝපාංග මිලිටරි ජුන්ටා යටතේ ද ඇති හෙයිනි.

ලාංකික වැඩවසම් ක‍්‍රමය

විවිධ යුග වලට අනුව වැඩවසම්වාදයට විවිධ අර්ථ ඇත. වැඩවසම් ක‍්‍රමයද මහාද්වීපයෙන් මහාද්වීපයට පමණක් නොව, රටින් රටද, ඇතැම් විට එකම රටේ වුවද විවිධ ප‍්‍රදේශ ප‍්‍රදේශවලට අනුව වෙනස් වේ. මෙම රචනයේ දී පැරණි උඩරට රාජාණ්ඩු යුගයට අයත් වැඩවසම්වාදය යන පදය එම අර්ථයෙන් ම යොදා ගැනේ. අතීතයේ කුමන හැඩයක් සමාජයට තිබුණත් වර්තමානයේ අප ජීවත් වන යුගයේ සමාජයට සම්බන්ධතා ඇත්තේත් අප මත බලපාන්නේත් උඩරට රාජධානියට අදාළ වැඩවසම් ක‍්‍රමයයි. එය හුදකලා වැඩවසම් ක‍්‍රමයකි. ඊට අනුව රටේ අතිරික්තය රැස්වූයේ රජු අත ය. ඒ හැර රජමහ විහාර හා දේවාලවල ය. වැඩවසම් පරිපාලනයට සම්බන්ධ ප‍්‍රභූ පවුල් අත ද ඉතා කුඩා අතිරික්තයක් රැස්වුවද එය  ඕනෑම අවස්ථාවක අස්වාමික කිරීමට රජුට බලය තිබිණ. අතිරික්තය නිපදවීමට හා රැස්කිරීමට සිංහල රජුගෙන් සමාජයට තිබූ මෙම දැඩි සීමා නිසා රට තුළ මහත් අතිරික්තයක් රැස්වන්නට මගක් තිබුණේ ද නැත. ඒ හේතුව නිසාම ඉන්දියාව වැනි වෙනත් වැඩවසම් සමාජවලදී මෙන් වානිජ ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණ ක‍්‍රියාවලිය ලංකාවේ වැඩවසම් ක‍්‍රමය තුළ සිදු වූයේ නැත. එ මෙන්ම සැළකිය යුතු නිදහස් අතිරික්තයක් නොමැති වීමෙන් වෙනත් රටවල මෙන් කලාව, විද්‍යාව, නව දැනුම හා ශාස්ත‍්‍ර ඥාණය ද කර්මාන්ත ද නිදහසේ වර්ධනය වන්නට අවකාශයක් ද නොවීය. ඒවා පැවැතුණේ හුදෙක් ම තේවාවන් වශයෙන් ය. පොදුජන සමාජය පැවැතුණේ මෙම වැඩවසම් පාලනයේ අත්අඩංගුවේ ය. ඔවුන්ට තමන් කැමැති ඇඳුමක් ඇඳීමට හෝ තමන් කැමති පරිදි ගෙයක් තනා ගැනීමට හෝ නිදහසක් තිබුණේ නැත.

මෙම ක‍්‍රමය වෙනස් වන්නට වූයේ ලංකාව යටත් විජිතයක් බවට පත්වීමෙන් පසුව ය. පෘතුගීසීන් යටතේ වැදගත් වෙනසක් සිදු නොවූවත් ලන්දේසි පාලනය යටතේ කැපී පෙනෙන වෙනස්කම් සිදුවිය. වැවිලි කර්මාන්තය හා මුදල් භාවිතය ඒ අතර ප‍්‍රධාන ය. ඉංග‍්‍රීසි යටත් විජිත පාලනය යටතේ වඩ වඩාත් වෙනස්කම් සිදු වූ අතර ස්වදේශීය ජනතාවට අතිරික්තය නිපදවීමේත් රැස්කිරීමේත් නිදහස් අවකාශය තරමක් විවර වුණේ ඉන් පසුව ය.

එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ඔවුන්ගේ පරිපාලන ක‍්‍රමවේදයට අනුව ලංකාවේ පැවැති වැඩවසම් ක‍්‍රමය හා සන්ධාන ගත විය. වැඩවසම් ක‍්‍රමයේ මුදුන හෙවත් සමාජ පිරමිඩයේ මුදුන (රජු හා ප‍්‍රධාන රදල පවුල් බලය) ඉවත් කොට, ඊට බ්‍රිතාන්‍ය පරිපාලන ක‍්‍රමය බද්ධ කරනු ලැබිණ. ඉන් පසු වැඩවසම් ක‍්‍රමයේ අතිශයින් ම ක‍්‍රෑර ලක්ෂණ පමණක් සංස්කරණය කොට, තම යටත් විජිත පරිපාලනයට පහසු අලූත් වැඩවසම් ක‍්‍රමයක් බ්‍රිතානීන් නිර්මාණය කරන ලදී. මෙම රචනයේ දී එම අලූත් වැඩවසම් ක‍්‍රමය හැඳීන්වෙන්නේ ඇන්ග්ලෝ-ලංකා වැඩවසම් ක‍්‍රමය යනුවෙන් ය. එය දුර සිට බලනවිට බ්‍රිතාන්‍ය පරිපාලන ක‍්‍රමයක් ලෙස ද, අභ්‍යන්තරිකව බලන විට දේශීය වැඩවසම් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූ නපුරු කමකට නැති පාලන ක‍්‍රමයක් ලෙසද දැකිය හැක.

ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය

වාමාංශික සම්ප‍්‍රදායයේ විවිධ ප‍්‍රබේද ඇතත් ඒ සැම ප‍්‍රබේදයකටම අයත් කවුරුත් සිය සම්ප‍්‍රදායයේ මූලික ස්ථානය මාක්ස් ට පිරිනමති. මාක්ස් ගේ මූලික සිද්ධාන්ත අලූත් කිරීමකට හෝ වැඩි දියුණු කිරීමකට ඒ කවුරුත් ඉදිරිපත් වී නැත. එබැවින් ලංකාවේ සියළු වාමාංශික ගුරුකුල (මේ ගැන මහා තියුණු විවාද ඇතත්) මාක්ස්වාදීන් ලෙස හඳුන්වමි. එහෙත් ‘වාමාංශය‘ යන පදය මාක්ස්වාදයට වඩා පැරණි ය. අනෙක් අතට සාමාන්‍ය පංතියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම වාමාංශික යන පදයේ ශුද්ධ අර්ථය (ප‍්‍රංශ අර්ථය) ලෙස සලකතොත් මාක්ස්වාදියෙකු නොවූ රණසිංහ පේ‍්‍රමදාස ද එම වර්ගීකරණයට අයත් යැයි තර්ක කළ හැකි ය. එබැවින් ආසන්න සම වර්ගීකරණයකට අනුව මාක්ස්වාදීන් යන්න සුදුසුයැයි සිතමි.

ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ දෙවන පරපුර

ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ දෙවන පරපුර වශයෙන් මෙම රචනයේ හැඳින්වෙන්නේ 1960 දශකයේ දී ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණත් ඊට සමාන්තරව උපන් සමාජවාදය විශ්වාස කළ තවත් විප්ලවවාදී කණ්ඩායම් ය. ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ ප‍්‍රධාන ඓතිහාසික සංධිස්ථානයක් වූ 1964 සභාග ආණ්ඩුව ගොඩ නැගීම නිසා මාක්ස්වාදී ව්‍යාපාරයෙන් වෙන් වූ විශාල (තරුණ) පිරිස දෙවන පරපුර ලෙස ඇතැම් විට හැඳින්වේ. එහෙත් එම දෙවන පරපුර එහි මුල් පරපුරෙන් සුවිශේෂ න්‍යායික වෙනසක් පෙන්වන්නේ නැත. එමෙන්ම රුසියානු-චීන බෙදීම නිසා අලූත් ප‍්‍රවණතාවයක් හට ගත්තද එය ද දෙවන පරපුරක අතර මැද අවස්ථාවක් මිස ස්ථාවරව පැවැතුණේ නැත. ඒ අතර මුල් ව්‍යාපාරයෙන් යළිත් වෙන් වූ නව සමසමාජ පක්ෂය ද, පළමු සම්භාව්‍ය මාක්ස්වාදී ව්‍යාපාරයේම දිගුවක් මිස මුල් ව්‍යාපාරයෙන් බරපතල සිද්ධාන්තමය වෙනස්කම් නොපෙන්වයි.

හැඩයෙන් ද, පදනමින් ද දේශපාලන සංස්කෘතියෙන් හා ඥාණවිභාග මට්ටමින් ද මූලික වෙනස්කම් හඳුනා ගන්නට හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළින් ය. එය සිංහලෙන් මාක්ස්වාදී මතය හෝ විප්ලවවාදී මතය ප‍්‍රචාරය කළ ලංකාවේ පළමු පරපුර එයයි. රුසියාවේ නැරෝද්නික් ව්‍යාපාරය වැනි එය පදනම් වූයේත් වැඩවසම් පීඩාවට දැඩිව ගොදුරු වූ ග‍්‍රාමීය සමාජය මත ය. ශී‍්‍ර ලංකාවේ තත්ත්වයන් ආශී‍්‍රතව බලන කල ජීවන අවකාශය වඩාත් ම සීමා වූ, එනිසාම වඩාත් සටන්කාමී විභවයක් ඇති සමාජ පංති සමූහය හෝ සමාජය එයයි. එම ව්‍යාපාරයට මාක්ස්වාදී දර්ශනය ගැන පුලූල් දැනුමක් හෝ මූලික වැටහීමක් නොතබුණි. මෙම සංවිධානය ආරම්භක මාක්ස්වාදී ව්‍යාපාරයට කොතරම් වෙනස්දැයි කියන්නේනම් එය මාක්ස්වාදී පක්ෂයක් ලෙස හදුන්වනවාටත්  මුල් මාක්ස්වාදී ව්‍යාපාරයේ අය විරුද්ධ ය. කොයි හැටි වෙතත් එය වාමාංශික ගනයේ ලා සැළකීම මෙන්ම මාක්ස්වාදී ව්‍යාපාරයේ පුරුකක් සේ සැලකීම මග හැරිය නොහැකි ය. ඒ අනුව එනම් මුල් ව්‍යාපාරය හා බැරෑරුම් වෙනස්කම් ඇති බැවින් එය ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ දෙවන පරපුර ලෙස හඳුන්වමි.

දේශීය ධනේශ්වර පංතිය

මෙම පදය යොදා ගැනෙන්නේ එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන සංවිධානය ලෙස තෝරාගෙන ඒ වටා රැස් වූ ව්‍යවසායයික ප‍්‍රජාවයි. ලන්දේසි පාලන සමයේ ඡායාවක් මෙන් සටහන් වී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ ලද ව්‍යවසායික නිදහස තුළින් ඔවුහු උපන් හ. මෙම ළදරු ව්‍යාපාරික ප‍්‍රජාව මූලික ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණ ක‍්‍රියාවලියට ඇතුළත්වූයේත්, අතිරික්තය රැස් කළේත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ විවර වූ අවකාශය තුළ ය. රාජාණ්ඩු පාලනය නිසා යටත් විජිත පාලනය පැමිණෙන තෙක් ඔවුන්ගේ උපතට අවකාශයක් නොවීය. මහා කාර්මික ප‍්‍රාග්ධන පදනමක් නොතිබුණු ඔවුන් ධනවත් වූයේ, මිනිරන් කර්මාන්තය, පොල් වගාව, මත්පැන් පෙරීම, ප‍්‍රවාහන කොන්ත‍්‍රාත් හා තවත් කුඩා කර්මාන්ත ද නිසා ය. ඒ අනුව ඔවුහු බ්‍රිතාන්‍ය ප‍්‍රාග්ධනයේ සහායක බල ඇණියක් මිස ස්වාධීන ශක්තිමත් පංතියක් නොවූහ. තම දරුවන් ට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබා දුන් ඔවුහු සමාජයේ ඉහළ සංස්කෘතික වංශයට හෙවත් බූර්ෂුවා පංතියට ඇතුළත් වීමට ක‍්‍රියා කළහ. එය ස්වභාවිකව මනුෂ්‍යයා තුළ ඇති ගතිකත්වයක් මිස ඔවුන්ගේ වරදක් නොවේ. ප‍්‍රමුඛ පෙලේ උගතෙකු හා වැවිලි කරුවෙකු වූ සර් ජේම්ස් පීරිස් 1908 දී තරම කළ කතාවක දී “අප රට තුළට ප‍්‍රාග්ධනය ගෙන ඒම ගැනත් අප සැමට සමෘධිය ළඟා කරගැනීමට  මග පෙන්වීම ගැනත් බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට අපගේ ප‍්‍රශංසාව හිමිවිය යුතුයැයි ද, ඔවුන්ගේත්  - අපගේ වැවිලිකරුවන්ගේත්  අයිතිවාසිකම් හා උවමනාවන් එක සමානයැයි’’ද කියා සිටියේය. එය ඇත්තකි. දේශීය සිංහළ වැවිලිකරුවන් ද බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් මෙන් ම තම කම්කරු ශ‍්‍රම උවමනාව පිරිමසා ගත්තේ ඉන්දියාවෙන් ආනයනය කළ කම්කරුවන්ගෙන් ම වීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. බ්‍රිතාන්‍ය පාලකයන් මෙන්ම ලංකාවේ වැඩවසම් හුවමාරු සම්බන්ධතා බිඳීමට මෙම පංතිය ද අසමත් වූ බවට එය සාක්ෂියක් නිසා ය. එහි යට අර්ථය වන්නේ සමාජයේ පැවැති වැඩවසම් ව්‍යුහය බිඳීමට තරම් පරිණත බවක් ඊට නොතිබණු බවයි.

දේශීයවාදීන් හෙවත් වැඩවසම්වාදීන්

දේශීයවාදීන් හෙවත් වැඩවසම්වාදීන් වූ කලී, යටත් විජිතවාදී ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියට අඅතුළත්වීමට නො හැකි වූ හා අර්ධ වශයෙන් ඇතුළත් වූ එහෙත් වැඩවසම් චින්තනයෙන් විමුක්තිය නොලත් සමාජ ස්ථරවලින් සමන්විත මතවාදී සමූහයකි. මෙය පංතියක් වශයෙන් හඳුනා ගන්නවාට වඩා සංස්කෘතික සමූහයක් හෙවත් මතවාදී සමූහයක් ලෙස හඳුනාගැනීම පහසු ය. මන්ද කියනවා නම් ලෝකය විග‍්‍රහ කර ගැනීමට ආගමික දර්ශණයක් වැනි ඊටම විශේෂ වූ චින්තන සමස්තයක් එය සතු වීම නිසාය. ගැමි ප‍්‍රභූන් හා මධ්‍යම මට්ටමේ ගැමි ඉඩම් හිමියන්, සිංහල උගතුන්, නාගරික සිංහළ වෙළෙන්දන්, බෞද්ධ භික්ෂූන් ආදීන්ගෙන් එකල මෙම ජන සමූහය සමන්විත වූහ. යටත් විජිතවාදයත්, දේශීය වැඩවසම් ක‍්‍රමයත් තම තමන්ගේ ක්‍ෂේත්‍ර ගැන අවබෝධයක් ඇතිව පවත්වා ගෙන ගිය ඇංග්ලෝ-වැඩවසම් සන්ධානය හේතුවෙන් මෙම මතවාදී සමූහයට පැවැත්මේ අවකාශයක් නිර්මාණය විය. එහෙත් කාලයේ සංක‍්‍රාන්තියට අනුව මෙහි සමාජ අඩංගුව වෙනස් වුවත් එහි චින්තන සමස්ථයේ මූලික වෙනසක් සිදු වන බවක් පෙනෙන්නේ නැත. වටලනු ලැබූ මානසිකත්වයකින් යුතු බැවින් අතීත අනුස්මරණ වෙත පසුබසින එයට සතුරෙකු නැතිව තනිව පැවැතීමේ හැකියාවක් මේ දක්වා පෙන්වා නැත. මේ නිසා එය ප‍්‍රචණ්ඩ ගතිකත්වයක් සහිත කැරලිකාරී විභවයකින්  යුක්ත වෙයි. එහි කැරලිකාරීත්වය වරින් වර පුපුරා මතුවෙමින් ද යලි යටපත් වෙමින් ද කලින් කල වෙනස් වෙනස් රූප ගනිමින් ද අවිච්ඡින්නව අද දක්වාම පවතී.

1818 දී රදල ප‍්‍රභූන් වෙතින් ද, 1848 දී ගැමි නායකයන් වෙතින් ද යටත් විජිතවාදයට එරෙහි ව්‍යාපාරයක් ලෙස එය මතු විය. 1915 දී යළිත් එය මතු වූයේ ‘යටත් විජිතවාදීන්ගේ බළල් අත්‘ සේ හැඳින් වූ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව, එහෙත් ආගමික මුහුනුවරකිනි. ශිෂ්ටාචාර රිද්මයේ හැටියට එය ප‍්‍රතිගාමී ව්‍යාපාරයක් ය. එහි නායකත්වයට වීරයන් හෝ ගලවා ගන්නන් අවශ්‍ය ය. (1915 දී එය පැන නැගුණේ බෞද්ධාගමට ඉස්ලාම් ආගමෙන් සිදුවන අසාධාරණයට එරෙහිව මතු වූ ආගමික කැරැල්ලක මුහුණුවරිනි.  එහෙත් මුස්ලිම් ප‍්‍රජාවට අයත් කඩ සාප්පු 4075 ක් කැරලිකරුවන්ගේ කොල්ල කෑමට ලක් වූ බවත්, ඉස්ලාම් දේවස්ථාන 17 ක් එමගින් බත් කළ බවත් පොලිස් වාර්තාවේ සඳහන් ය.) එහෙත් අතීතයෙන් ගලා එන කැරලිකාරී වැඩවසම් චින්තනය, සහාය දිවීමේ දී ධාවකයාගෙන් ධාවකයාට යෂ්ටිය මාරු වන්නා සේ එලෙසම පරපුරෙන් පරපුරට මාරුවෙමින් කුමන හෝ දේශපාලන බල කණ්ඩායමකට ආවේශ වෙමින් ඉදිරියටම පැමිණියේය. 1956 දී එය ආවේශ වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ය. පසුව ජනතා විමුක්ති පෙරමුණටත්, නැවත ශ‍්‍රීලනිපයත් වශයෙන් එය සංක‍්‍රමණික ස්වභාවයක් ගත්තේය. එතැන් සිට මෙය සිය සතුරා ලෙස දෙමළ ජනවර්ගය තෝරා ගත් අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව නිදහස වෙනුවෙන් පෙනී සිටින, දේශීය විදේශීය සියල්ලන් සිය සතුරන් හැටියට වර්ග කර ගත්තේය. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමේදී ප‍්‍රධාන බාධකයක් වශයෙන් ක‍්‍රියා කරන්නේ මෙයයි.

මාක්ස්වාදී ව්‍යාපාරයේ පසුබිම

ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ නැත්නම් සමාජවාදී විප්ලවවාදී ව්‍යාපාරයේ ආරම්භක වසර ලෙස, මැලේරියා වසංගතය මැඩ පැවැත්වීමට ඔවුන් ක‍්‍රියාකළ 1933 වසර මම සලකමි. මැලේරියා වසංගතය මැඩපැවැත්වීම හා යුද විරෝධී සූරිය මල් ව්‍යාපාරය ආරම්භ කළ වසර, ලංකා සමසමාජ පක්ෂය පිහිටවූ 1935 වසර යොදාගන්නවාට වඩා නිවැරදියැයි සිතමි. ඒ මන්දැයි මෙහි පසුව සඳහන් කරමි. එසේ සිතුවහොත් 1917 සෝවියට් රුසියානු සමාජවාදී විප්ලවය සිදු වී දශක එකහමාරක් පමණ ගත වී ධනේශ්වර කඳවුරේ ද මහා පරිවර්තන හා කැළැඹීම් සිදු වූ විද්‍යාවේ හා මිනිස් දැනුමේ මහා සංවර්ධනයන් සිදු වී ලෝක පරිමාන මහා සංවාද සාකච්ඡා සිදු වූ සාරවත් කාලය පුරෝගාමී මාක්ස්වාදීන්ගේ ආරම්භක කාලය බව මුලින් ම සඳහන් කරමි.

එසේම මෙබඳු සාරවත් පසුබිමක් නොමැතිව 1960 දශකයේ බිහි වූ පසු පරම්පරාව වූ කලී ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ දෙවන පරම්පරාව මෙන්ම, පසුගාමී නොදියුණු මාක්ස්වාදී පරම්පරාව ලෙස හඳුන්වමි. ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය ඒ අනුව කොටස් (යුග) දෙකකට බෙදමි. මෙම දෙවන කොටස සිංහල හෝ දෙමළ බසින් මාක්ස්වාදය ග‍්‍රාමීය සමාජයට ගෙනගිය දේශපාලන වාහකයෝ වෙති. එසේම පළමු පරම්පරාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැන හඳුනාගෙන සිටියා මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමට ක‍්‍රියා කළ අතර අවාසනාවන්ත ලෙස දෙවන පරපුර හඳුනාගත හැකිවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳ දැමීමට ක‍්‍රියාකළ පරපුර වශයෙන් ය.

ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ  පුරෝගාමීන් මාක්ස්වාදීන් බවට පත්වූයේ 1917 සෝවියට් විප්ලවය සිදු වී එහි උණුසුමත්, ඊට ආවේණික ගැටලූත් ගැන ඉතා පොහොසත් මහා විවාද හට ගත් බටහිර සරසවි තුළදී බව මුලින් ද සඳහන් කළෙමි. සෝවියට් දේශය තුළ අලූත් විප්ලවීය රාජ්‍යය ගොඩ නැගෙන හැටි මෙන්ම, පිටට නොපෙනුණ එහි බොහෝ සාහසික දේ සියැසින්ම දුටු යුරෝපීය විප්ලවවාදී සහෝදරවරුන් ගේ ඇසුරත් ඔවුනට ලැබී තිබිණ. එපමණක් නොව, එවකටත් ජීවමානව සිටි කාල් ‍කෞට්ස්කි හා රෝසා ලක්සම්බර්ග් යන සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යායේ උරුමකරුවන් එම සම්ප‍්‍රදාය තුළ කළ කාලීන විවේචන ද ඔවුනට මුණ ගැසිණ. ඒ අනුව ඔවුන් මාක්ස්වාදීන් ලෙස උපත ලද්දේ එහි නිර්මල මහා සම්ප‍්‍රදායේ දේශපාලන සංස්කෘතිය හා දාර්ශනික වශයෙන් පොහොසත් පරිසරය තුළ බව මෙහි සඳහන් කිරීම වැදගත් ය.

එසේ ම ඔවුන් ලංකාවට සැපත් වන විට මෙහි කුමන අන්දමේ සමාජ පරිසරයක් පැවැතියේ ද යන්න ද එතරම්ම වැදගත් කාරණයක් වෙයි. ලංකාවේ වැඩවසම් ක‍්‍රමය සියවස් ගණනකින් පසුගාමී වුවත් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ සෙමින්, එහෙත් ආර්ථික මෙන් ම සමාජයීය වශයෙන් ද  කිසියම් සංක‍්‍රාන්තියකට ලක් වෙමින් තිබුණේය. නමුත් එම සංක‍්‍රාන්තියේ විශේෂ ලක්ෂණය නම් සාම්ප‍්‍රදායිකව පැවැති වැඩවසම් සමාජය ව්‍යුහාත්මක වශයෙන් හා විප්ලවීය වශයෙන් පරිවර්තනයකට ලක් නොවීමයි. එය යටත් විජිත පාලනය හා වැඩවසම් ක‍්‍රමය සමග අන්‍යොන්‍ය රඳා පැවැත්මක් ලෙස සැලකීම වඩාත් නිවැරදි ය. එම සංක‍්‍රාන්තිය යටතේ සමාජයේ වැදගත්ම අංශය වන නිෂ්පාදන හුවමාරු සබඳතා නො නැසිණ. එනම් නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී (කෘෂි කාර්මික) වැඩවසම් හුවමාරු සම්බන්ධතා නිර්බාධිතව ඉතිරි විය. නැත්නම්, ඒවා යටත් විජිත පාලනය හා අපූරුවට අනුගත විය. ඒසේත් නොවේනම්, යටත් විජිතවාදී ක‍්‍රියාවලිය අර පැරණි වැඩවසම් සම්බන්ධතා අපූරුවට පිළිගත්තේය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ලංකාව ආක‍්‍රමණය කළා යැයි කියා දේශීයවාදීන් නගන විලාපයේ නියම තත්ත්වය එබඳු ය. ඒ අනුව ලංකීය සමාජය අමුතු වර්ගයක දෙමුහුන් සමාජ සත්ත්වයෙකු බවට පත්වූ බව කිව යුතු ය. 

මූලික අංග ලක්‍ෂණ පහක්

(1) වැඩවසම් ක‍්‍රමය යටතේ රටේ භූමිය අයිති වූයේ රජුට ය. බ්‍රිතාන්‍ය පාලකයෝ ද මහජනයා වාසය කළ හා වගා කරමින් සිටි ඉඩම් හැර අන් සියළු ඉඩම් රජයට පවරා ගත්තෝය. එය, ප‍්‍රමාණය වශයෙන් සළකතොත්  රටේ භූමියෙන්  සියයට අසූවක් පමණ ප‍්‍රමාණයකි. යටත් විජිතවාදී පාලනය යටතේ වැවිලි ආර්ථිකයක් ඇරැඹී කෘෂි කර්මයට නව මානයක් ලැබුණු නමුත් ගැමියා ට නිදහසක් නැති වැඩ වසම් විය ගහට බැඳුණු (කෘෂි කාර්මික) නිෂ්පාදන සබඳතා දිගටම පැවැතිණ. (මේ හේතුව නිසා වැවිලි ආර්ථිකයට උවමනා කළ කම්කරු ශ‍්‍රමය ඉංන්දියාවෙන් ආනයනය කරන්නට වැවිලි කරුවන් ට සිදුවිය.)

(2) කතෝලික ධර්මය හා ක‍්‍රිස්තියානි ධර්මය හෝ අපරදිග ආගමික සංස්ථා රට තුළ ව්‍යාප්ත වන්නට ඉඩ හළ අතරම අතීතයේදී ඉඳ හිට කිහිප වරක් පැවැත්වුණු දළදා පෙරහර වාර්ෂිකව නිති පරිදි පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී පාලනය ක‍්‍රියා කළාය. එපමණක් නොව, පැරණි රජු වෙනුවට ඔහුගේ ඡායාවක් ලෙස රජ මාළිගාවේ පාලනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජුට වගකියන දිය වඩන නිළමේ නම් නවීන ඇන්ග්ලෝ-ලංකා වැඩවසම් තනතුරක් නිර්මාණය කළේය.

(3) මං මාවත්, පාසල්, තැපැල් සේවා, බැංකු ආදී අලූත් බ්‍රිතාන්‍ය ප‍්‍රාග්ධනය ලංකාවට පැමිණි අතරම නින්දගම් හා රාජකාරි ක‍්‍රමයට සිදු වූ වැඩවසම් සූරාකෑම දිගටම පැවැතිණ.

(4) පාර්ලිමේන්තුව, මැතිවරණ, පරිපාලන යාන්ත‍්‍රණ ක‍්‍රමවේද ආදී ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රමයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආයතන හඳුන්වා දුන් අතරම, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සම්ප‍්‍රදායික ජන්ම ශ්‍රේණි හෙවත් කුල ධූරාවලිය සමග ඒවා විශ්මය ජනක ලෙස මිශ‍්‍ර කැරිණ. රජයේ ඉහළම රැකියා, විශේෂයෙන් ම පරිපාලන රැකියා ලබාදීම  පමණක් නොව, පොලීසිය වැනි ආයතනවලට බඳවාගැනීම් පවා ජන්ම ධූරාවලියට අනුව සිදුවන්නට ඉඩ හළේය. පැරණි රදල ප‍්‍රභූවරයාගේ ආකෘතිය ගත් ආණ්ඩුවේ ‘ඒජන්ත හාමුදුරුවෝ‘ කෙනෙකු පරිපාලන ධූරාවලියේ මුදුනට පත් කළේය. එමෙන් ම පියාගෙන් පුතාට වෘතිය උරුමය ගලා යන පරිද්දෙන් රජයේ දෙපාර්තමේන්තුවල රැකියා අවස්ථා ලබා දී අභිනව ව්‍යුහයන්ට ලාංකීය වැඩවසම් සම්ප‍්‍රදායට අනුගතවන්නට ඉඩ හළේය. මෙම ක‍්‍රියාවලිය වැඩවසම් ක‍්‍රමය හැව ඇරීමක් හෙවත් ගල් පොරොවෙන් හා දුන්නෙන් ජීවත් වූ වැද්දෙකු අතට තුවක්කුවක් දුන්නා හා සමාන ය.

(5) මුලූ දූපතම බ්‍රිතාන්‍ය පරිපාලනයට යටත් ව රට ඒකීය පරිපාලන ව්‍යුහයක් වශයෙන් පැවැතියත් ඒකීය සමාජයක් එනම්, ලාංකික සමූහයක් ගොඩනැගී තිබුණේ නැත. ඉන් අදහස් කරන්නේ වාර්ගික සමුහ ලෙස මිස තනි ලාංකික ජාතික සැකැස්මක් හෝ සමූහයක් ලෙස සිතීමක් පැවැතියේ නැත යන්නයි.

ඒ අනුව මූලධාර්මික වශයෙන් ගතහොත්, සමාජ පිරමීඩයේ මුදුන බ්‍රිතාන්‍ය පාලනයක් තිබුණත් මැද සිට පහලට යන විට ක‍්‍රියාත්මක වූයේ වැඩවසම් ක‍්‍රමයයි. පොදු ජනයාගේ මානසිකත්වය වැඩවසම් දීන භාවයෙන් ද  සිතිවිලි සමස්තය වැඩවසම් ලෝකයෙන් ද නිදහස් වූයේ නැත. ඒ නිසාම පිරමීඩයේ ඉහල හා නාගරිකව ධනේශ්වර ප‍්‍රාග්ධන සංකේන්‍ද්‍ර‍ණ ක‍්‍රියාවලියක් සිදුවුණත් එය සමාජයේ පතුළට ගලා ආවේ නැත. එසේ ආවද ඒ ඉතා මද වශයෙනි. අනෙක් අතට දේශීය වශයෙන් ධනේශ්වර ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියට යන්තමින්වත් සම්බන්ධ වී  වාසියක් ලබා ගත් අය ද එක්කෝ සාම්ප‍්‍රදායික ජන්ම ධූරාවලියේ රදළ ප‍්‍රභූන්ම ය. නැත්නම්, අලූතින් බිහි වූ නව ප‍්‍රභූන් ය. වැඩවසම් චින්තනයට එය ආධාරයක් විය. මෙම තත්ත්වය යටතේ, ධනේශ්වර ප‍්‍රාග්ධන ක‍්‍රියාවලිය කෙරෙහි විප්ලවීය ආකර්ශණයක් පොදු ජනයා තුළ ඇතිවන්නට තරම් පොදු ජන සමාජය ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියට විවෘතව නොපැවතිණ. ප‍්‍රාග්ධන ක‍්‍රියාවලිය ද එය විසින් ම පොදු ජනයාට විවෘතව පැවතුණේ නැත. ඒ නිසා ඉන් ප‍්‍රමාණවත් වාසියක් දුගී ගැමියාට ලැබුණේ නැත. තමන් කැමැති වෘත්තියක නිරතවීමේ අයිතිය තමන් කැමැති ඇඳුම් ඇඳීමේ අයිතිය, ඉඩ කඩම්වලට පුද්ගලික හිමිකම ලැබීම හා ඒවායේ තමන් කැමැති වගාවක් කිරීමේ අයිතිය ආදී යම් පමණක අස්වැසිල්ලක් අලූත් ක‍්‍රමයෙන් (බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන්) ලැබුණත් ඔවුන් දුටුවේ කවදත් තම ඉරණම අතට ගත් රදළ පීඩකයාගේ අත් අඩංගුවේ තමන් තවමත් සිටින බව ය; වෙනදා මෙන් ම රදළ ප‍්‍රභූ පංතිය දිදුලමින්, වැජැඹෙමින් දේශපාලන අඹරේ ද සිටින සැටි ය.

මෙම සමස්ත ක‍්‍රියාවලිය පිටතින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පෙනෙන්නා වූද, එහෙත් ඇතුළතින් වැඩවසම් ව්‍යුහය ද ක‍්‍රියාත්මක වන්නා වූද ක‍්‍රමයක් විය. එය වූ කලී නවීන ධනේශ්වර නිෂ්පාදන සබඳතා ද පසුගාමී වැඩවසම් නිෂ්පාදන සබඳතා ද ඒවායේ ප‍්‍රතිවිරෝධතා පවතින අතරේම එකට  ක‍්‍රියාත්මක වූ අමුතු ක‍්‍රමයකි. එය අමුතුම ජාන ඉංජිනේරු විද්‍යාවකට අනුව වංශ දෙකක ජාන බද්ධ කොට සකස් කළ සත්ත්‍වයෙකි. යටත් විජිතවාදයත්, දේශීය වැඩවසම් ක‍්‍රමයත් තම තමන්ගේ ක්‍ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ඇතිව එකිනෙකින් වෙන්කර ගෙන පවත්වා ගෙන ගිය සන්ධානයකි. මෙම සන්ධානයට අවශෝෂණය නොවූ පැරණි වැඩවසම් ශේෂ වෙතින් යටත් විජිත පාලනයට එරෙහිව පැරණි කෲර වැඩවසම් ක‍්‍රමය යලි පිහිටුවීම සඳහා, වරින් වර මතු වෙමින් ද යට යමින් ද එහෙත් වෙනස් වෙමින් ඉදිරියට ගලා ආ කැරලි කාරී ව්‍යාපාරයක් විය. මෙම අතීතයෙන් ගලා එන කැරලි කාත්වය එලෙසම සහාය දිවීමේ දී ධාවකයාගෙන් ධාවකයාට යෂ්ටිය මාරු වන්නා සේ පරපුරෙන් පරපුරට මාරුවෙමින් කුමන හෝ දේශපාලන බලයකට ආවේශ වෙමින් ඉදිරියටම පැමිණියේය. වෙනත් වචන වලින් කියනවානම් කුමන හෝ දේශපාලන බලවේගයකට කුලියට ගැනීමට හැකි වාහනයක්  (හැක්නියරයක්) බවට පත් වී ඉදිරියටම පැමිණියේය.

දේශීය ධනේශ්වරයේ නැඟීම

මෙහි සඳහන් කළයුතු අනෙක් වැදගත් කාරණය වන්නේ අලූත් සමාජ පංතිය වූ දේශීය ධනේශ්වර පංතියේ නැගීමයි. එම පංතිය වූ කලී මහා සම්ප‍්‍රදායේ සංස්කෘතීන්ට උරුමකම් දරන රටවල්වලදී දක්නට ලැබෙන ආකාරයේ වර්ධිත සම්භාව්‍ය පංතියක් නොවේ. යටත් විජිතවාදී ස්වාමිත්වයෙන් තීරණාත්මකව වෙන් වී  සිටීමේ හැකියාවක් ඊට නොතිබිණ. ඊට ධනේශ්වර මතවාදයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දර්ශණයක් නොතිබිණ. එනිසා වැඩවසම්වාදී චින්තනයට එරෙහිව නැගී සිටීමට ඔවුනට නොහැකි විය. මෙහි තේරුම වන්නේ ඔවුහු පංතියක් වශයෙන් නිශ්චිතව සංවිධානය වී නොසිටි බවයි. මෙම සටහනේ මුලින් සඳහන් කළ හේතු නිසා දීර්ඝ ඉතිහාසයක් නොතිබූ ඔවුන් ගේ උපතට යටත් විජිත පාලනය පැමිණෙන තෙක් අවකාශයක් ද නොවීය.

මේ අතර යටත් විජිත වාදය හා වැඩවසම් වාදය අතර වූ ප‍්‍රතිවිරෝධය පසුව මෙම අලූත උපන් දේශීය ධනේශ්වර පංතිය වෙත ද එල්ල විය. ඊට පෙර දක්වන ලද හේතු ප‍්‍රධාන විය. එහිදී දේශීය ධනේශ්වර පංතියට එරෙහිව, ගැමි සමාජය ඉදිරියේ බැලූ බැල්මටම සාධාරණ කළ හැකි කර්ක හා චෝදනා වැඩවසම්වාදීන් අත විය. දේශීය ධනේශ්වර පංතිය නම් නව ප‍්‍රභූ සමාජය ඉංග‍්‍රීසි කතා කරන හා වැඩි දෙනා කතෝලික ආගම වැළඳ ගත් අය වූහ. එ බැවින් ඔවුන් කළු සුද්දන් හා බුද්ධාගමේ සතුරන් ලෙස හැඳින්වීමට පහසු විය. අවසානයේ සමස්ත සිංහල ජාතියේ සතුරන් ලෙස නම් කොට, යටත් විජිත සතුරාගේ අනුප‍්‍රාප්තිකයා බවට පත් කොට, සිය පැවැත්ම වෙනුවෙන් අලූත් සතුරා තනා ගැනීමට වැඩවසම්වාදීන්ට අවස්ථාවක් උදා විය.

මෙම තත්ත්වය දේශීය ධනේශ්වර පංතියේ වර්ධනයට හා සමාජ නායකත්වය ස්ථාපිත වීමට බාධාවක් විය. එය නම් සමාජ මතවාදී තලයේ ආධිපත්‍යය වැඩවසම්වාදී චින්තනයට හිමි වී තිබීමයි. විශේෂයෙන් ම දේශීය ධනේශ්වර පංතියේ නායකත්වයට එරෙහිව බෞද්ධාගම, සිංහල සංස්කෘතිය, සිංහල භාෂාව මුල් කොට ගෙන විරෝධාකල්පික ව්‍යාපාරවල නැගීම කියා පාන්නේ එයයි. ඒ නිසා මාක්ස්වාදී පුරෝගාමීන් ලංකාවට පැමිණෙන විට හිසට එරෙහිව කඳත්, කඳට එරෙහිව දෙපාත් එකිනෙක සම්බන්ධව පිහිටි මෙම විකාර ‘හයිබ්‍රිඩ් සමාජ ව්‍යුහය‘ එබඳුම විකාර හයිබ්‍රිඩ් දේශපාලන ක‍්‍රමයකට ගර්භාෂයක් ව පැවැතියේ ය. ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය පසු කාලීනව මුහුණ දුන් අභියෝග තේරුම් ගැනීමට මෙම පසුබිම හඳුනාගැනීම වැදගත් ය. මන්ද කියනවා නම්, ලංකාවේ මාක්ස්වාදීන් සිය සමාජවාදී විප්ලවීය සැලැස්ම ක‍්‍රියාත්මක කරන්නට වෑයම් කළේ මෙම සංදර්භය තුළ නිසා ය. එනම් හිසට වැඩවසම් වාදයත්, පයට යටත් විජිත ප‍්‍රාග්ධනයත් සහිත දේශපාලන නොනගතයක් තුළ ය.

බ්‍රිතාන්‍ය යටත් විජිත කලාපය තුළ කොතැනත් තිබූ පොදු තත්ත්වය මෙයද? නැත්නම් මෙහි විශේෂ වෙනසක් තිබේද? - මගේ පිළිතුර නම් මෙහි විශේෂත්වයක් තිබුණා ය යන්නයි.

මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන් පමණක් නොව, ලිබරල් ආර්ථික විද්‍යාඥයන් ද ලංකාවේ මූලික ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණ ක‍්‍රියාවලිය සම්බන්ධව බැස ඇති පොදු නිගමනයක් වන්නේ, ඉන්දියාවේ මෙන් මෙහි ශක්තිමත් ධනේශ්වර පංතියක් බිහි නොවූ බවයි. එසේ වූයේ මන්ද යන්නට නිශ්චිත මූලහේතු ඔවුහු නොදක්වති. ලංකාවේ ධනේශ්වර පංතිය අධිරාජ්‍ය ගැති හෝ පර ගැති ධනේශ්වර පංතියක් ලෙස හ`ඳුන්වා විශ්ලේෂණය අවසන් කරති. එයට අධිරාජ්‍ය විරෝධී වන්නට හැටියක් තිබුණේ නැති බව ඇත්තකි. එහෙත් ඇත්ත එය පමණක් ම නොවේ. එහිදී ඔවුන් ඉන්දියාවේ හා ලංකාවේ පැවැති/පවතින සමාජයන්හි විශේෂ වෙනස්කම් දක්වන්නේ නැත. පරහ ඇත්තේ එතැන ය.

ඉන්දියාවේ වැඩවසම් ක‍්‍රමය යටතේ දී නම් නිදහස් වෙළඳාමේ හා කාර්මික නිෂ්පාදන කාර්යයෙහි නිරත වී අතිරික්තය රැස් කිරීමට හැකියාවක් ඇති පුරවැසියාට නිදහස් අවකාශයක් තිබුණි. බුද්ධ කාලයේ සිටම, තත්ත්වය එයයි. ඒ නිසා සාපේක්ෂව රජුගෙන් ස්වාධීන වූ සිටුවරුන් හෙවත් මහා ධනවතුන් ද මහා ඉඩම් හිමියන් ද සිටියහ. එය නිශ්චිත සමාජ පංතියක් වශයෙන් පැවැතිණ. මහා සම්ප‍්‍රදායේ සංස්කෘතියක් හිමි වැඩවසම් ක‍්‍රමයක සාමාන්‍ය ස්වභාවය එය වේ. මෙම සටහනේ කලින් කියා ඇති පරිදි, ලංකාවේ වැඩවසම් ක‍්‍රමය එසේ මහා සම්ප‍්‍රදායට අයත් සම්භාව්‍ය වැඩවසම් ක‍්‍රමයක් නොවේ. ඒ නිසා මහා ධනවත් පංතියක් බිහිවූයේ නැත. එබඳු පංතියක පැවැත්මට නිදහසක් නැතිව මහා අතිරික්තයක් උපදින්නේද නැත. ඒ නිසා රට තුළ අතිරික්තය නිෂ්පාදනය වූයේ ඉතා ස්වල්පයකි. එම ඉතා සුළු අතිරික්තය ද රජු අතත් ඉතිරි ස්වල්පය රදළ පාලනයට යටත් රජ මහ විහාර හා දේවාල ආදී ආගමික මධ්‍යස්ථානවලත් එක් රැස් විය. මහා අතිරික්තයක් නොමැති ව සම්භාව්‍ය කලාවක්, විද්‍යාවක් හා වෙනත් ශාස්ත‍්‍රද බිහි වීමට ක‍්‍රමයක් හෝ නැත. මන්ද? ශ‍්‍රාස්ත‍්‍රඥයන් විද්‍යාධරයන් කලා කරුවන් නඩත්තු කිරීමට මහා අතිරික්තයක් අවශ්‍ය නිසා ය. මෙහි පැවැති වැඩවසම් ක‍්‍රමය යටතේ ස්වාධීනව අතිරික්තයක්  රැස්කිරීමට තබා ගෙයක් හුණු පිරියම් කර ගැනීමටවත් නිදහසක් සමාජයට තිබුණේ නැත.

මහා සම්ප්‍ර‍දාය හා චූල සම්ප්‍ර‍දාය

සාමාන්‍ය වශයෙන් ධනේශ්වර ප‍්‍රාග්ධනය උපත ලබන්නේ වැඩවසම් ක‍්‍රමය තුළ වුවත් ලංකාවේ පැවැති චූල වැඩවසම් ක‍්‍රමය තුළ ඉහත හේතු නිසා ඊට ඉඩක් තිබුණේ නැත. ඒ නිසා ශක්තිමත් දේශීය ධනේශ්වර පංතියක් බිහිවීමට අවශ්‍ය ප‍්‍රාථමික ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණ ක්‍රියාවලිය යම්තමින්වත් ආරම්භ වූයේ යටත් විජිත පාලනය යටතේ ය. ඒ නිසා ලංකාවේ වානිජ ප‍්‍රාග්ධනය පවා ආරම්භ වූයේ ඉන්දියාවට වඩා අවුරුදු දහස් ගණනකට පසුව බව තේරුම් ගැනීම වැදගත් ය. එමගින් පෙන්නුම් කැරෙන්නේ මහා සම්ප‍්‍රදායයේ හා චූල සම්ප‍්‍රදායයේ වෙනසයි. මේ නිසා ලංකාවේ ශක්තිමත් දේශීය ධනේශ්වර පංතියක් බිහි නොවීම එම පංතියේ නෛසර්ගික (උප්පත්ති) දෝෂයක් නොව, චූල සම්ප‍්‍රදායට අයත් රදළ වැඩ වසම් ක‍්‍රමයේ නෛසර්ගික දෝෂයකි. අතීතය ශ්‍රේෂ්ට යැයි කියන උගත්තු අනුරාධපුර යුගයේ මහා කලාවක් හා විද්‍යාවක් ගැන කියති. එහෙත් හුදෙක් ම එය රට තුළින් උපන් අතිරික්තයක් නොවන බවත්, එය ගලා ආවේ වරාය බදු මගින් බවත් නොසිතති. ඒ හැරත් වර්තමාන ලංකාවේ තත්ත්වයට නිශ්චිතවම සම්බන්ධ වී ඇත්තේත්, වැදගත් වන්නේත් කන්ද උඩරට යුගය බවත් අමතක කරති.

මේ අනුව මාක්ස්වාදී ව්‍යාපාරය ආරම්භ කැරෙන විට ලාංකික ධනේශ්වර පංතිය (ධනේශ්වර ක‍්‍රමය) සිටියේ ඉන්දියාවේ ධනේශ්වර පංතිය මෙන් පරිණත පංතියක් හැටියට නොව, නොමේරූ අවස්ථාවේ ය. ඔවුන්  හමුවේ බැරෑරුම් මූලික අභියෝග දෙකක් විය. කළල මට්ටමේ පැවැති දේශීය ප‍්‍රාග්ධන ක්‍රියාවලිය වර්ධිත තත්ත්වයකට ගෙන ඒම ඉන් එකකි.  බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ උපකාරය නොමැතිව එය කළ නොහැකි වීම එහි අභියෝගයයි. එමෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ගොඩ නැගීම අනෙක ය. එය කිරීමට නම් වැඩවසම් ක‍්‍රමය ව්‍යුහාත්මකව පරාජය කළ යුතුම විය. එහෙත් බලවත් කැරලිකාරී වැඩවසම් ධාරාව හමුවේ දුර්වල ධනේශ්වර නායකත්වයට මෙය දුෂ්කර කාර්යයක් බව නො කිව යුතු මනා ය. වැඩවසම් ක‍්‍රමයට එරෙහිව ගන්නා පියවරක් බුද්ධාගමටත්, සිංහල ජාතියටත් එරෙහි ව ගන්නා ‘දේශද්‍රෝහී පියවරක්‘ ලෙස හඳුන්වා එය සමාජ කෝලාහලයක් බවට හැරවීමට වැඩවසම්වාදීන්ට පහසුවෙන් හැකියාව තිබිණ. එනිසා  ලංකාවේ දේශීය ධනේශ්වර සංවර්ධනයේ ගැටළුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීමේ ගැටළුවෙන් ද වෙන් කළ නොහැකි ය.

එපමණක් නොව ලංකාවේ දේශීය ධනේශ්වර සංවර්ධනයේ පුරෝගාමී ප‍්‍රකාශකයා ලෙස හඳුනාගතහැකි අනගාරික ධර්මපාල ද මෙම අර්බුදයට මුහුන පෑවේය. එනිසා ඔහුගේ මතවාදී ව්‍යාපාරය දාර්ශනික වශයෙන් නිරවුල් නොවූ විකෘත හැඩයක් ගත්තේය. සිංහල මිනිසා (ගැමියා) තුළ නවීන සංස්කෘතියකට ඇතුළත්වීමට බාධා වශයෙන් තිබූ බොහෝ අංග ලක්ෂණ (නොහැදිච්චකම්)වලට ධර්මපාල පහර දුන්නේය. ඒ අතරම ප‍්‍රතිගාමී කැරලිකාරී වැඩවසම්වාදය යටපත් කරගනු බැරිව, සිංහල නොවන ජනවර්ග වලට එරෙහිව ද පහර දෙන්නට විය. එහෙත් එවැනි මූලික සීමාවන්ට යටත් ව හෝ ස්වදේශීය නායකත්වයේ දුර්වලකම් වටහාගෙන සිටි නිසාදෝ අනගාරික ධර්මපාල, ලංකාවට අවශ්‍යවන්නේ නවසීලන්තයට ලබා දී ඇති ආකාරයේ බ්‍රිතාන්‍ය පාලනයේ නොමද ආරක්ෂාව හා රැකවරණය සහිත නිදහසක් බව (අව්‍යක්තව) කියා සිටියේය (Return To Righteousness:A Collection of Speeches, Essays, and Letters of the Anagarika Dharmapala) ඔහුගේ සංවර්ධන ආදර්ශය වූයේ ජපානය වූ අතර. දේශපාලන ආදර්ශය වූයේ ඉන්දියාව නොව, නවසීලන්තය විය. (එදා මෙම අදහස දරුණු විවේචනයට හසු වී දැවී ගියත්, එය න්‍යායිකව අව්‍යක්ත වුවත්, එය සත්‍යයක් බව ලංකාවේ නිදහස් ව්‍යවස්ථාව සම්පාදනය කළ සර් අයිවර් ජෙනිංන්ස් ගේ පසු විපරම් සටහන්වලින් ද, නිදහසින් පසු රාජ්‍ය ගොඩ නැගීමේ ලාංකීය අත්දැකීම්වලින්ම ද තහවුරු වේ.)

(මතු සම්බන්ධයි)

දෙවැනි කොටස: ප්‍ර‍ජාතාන්ත්‍ර‍ික විප්ලවයට එරෙහි වැඩවසම්වාදයේ අභියෝගය

ප‍්‍රගීත් එක්නැලිගොඩ | 2009 අගෝස්තු 16


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.