JDS Sinhala

දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?

ඉතිහාසය පුරාම මේ දක්වා දෙමළ ජාතික අරගලයට ප්‍රතිචාර ලෙස යම් පමණකින් හෝ බලය බෙදාහැරීමක් සිදුවූයේ නම් ඒ සෝවියට් සංගමය පැවැති වකවානුව තුළ සෝවියට් හිතවාදි ඉන්දියානු රජය විසින්  බටහිර ගැති ජේ ආර් ජයවර්ධනට බලකර  ඇති කරනු ලැබූ පළාත් සභා පමණකි. එහෙත් දෙමළ වාසභූමිවල අඛණ්ඩත්වය සහ දෙමළ ජාතික දේශපාලන අනන්‍යතාවයේ මූලික කොන්දේසියක් වූ උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීමේ ඉල්ලීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගැනීමට ශ්‍රී ලංකා රජයද, බටහිර බලවේගද, සිංහල ජාතිවාදී බලවේගද මනා ශ්‍රම විභජනයකින් සහ අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු කළහ. දශක ගණනාවක් තිස්සේ ක්‍රියාවට නැංවීම පමා කරමින් සිටි උතුරු නැගෙනහිර ඒකබද්ධ කිරීම අවසානයේ ජවිපෙ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවනු ලැබූ නඩුවක් මගින් අහෝසි විය. ඒ දේශප්‍රෙමයේ නාමයෙන් සිංහල අතරමැද පංතීන් නියෝජනය කරන සංවිධාන අධිරාජ්‍යවාදයට ඇවැසි ආකාරයෙන්  කසළ ඉවත්කිරීමේ කොන්ත්‍රාත් ඉටුකළ ආකාරය ගැන එක් නිදසුනක් පමණි.

අධිරාජ්‍යවාදීන් විසින් සටන් විරාම ගිවිසුම සහ දේශපාලන විසඳුමක් පිළිබඳ සාකච්ඡා බිඳ දැමීම සහ පරාධීන සිංහල ධනේෂ්වරයට තම සීමාවන් මතක් කර දීම

2001 වන විට ලංකාව මුහුණ දී තිබූ මිලිටරිමය පසුබෑමත් ආර්ථික කඩාවැටීමත්, දේශපාලන අස්ථාවරත්වයත් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ විමුක්ති කොටි සංවිධානය සමග සටන් විරාමයක් ආරම්භ කරමින් දේශපාලන විසඳුමක් සඳහා සාකච්ඡා ආරම්භ කළේය. එහෙත් එය පැවතුණේ රජය නැවතත් සිය හමුදාවන්ගේ  ශක්‍යතාවන්  ප්‍රමාණවත් මට්ටමින් ගොඩනගා ගන්නා තෙක් පමණි.  ඉන්පසුව එළැඹි කාලය තුළ එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය විසින්  සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමට අවශ්‍ය තෙරපුම බාහිරින් සහ අභ්‍යන්තරයෙන් ශක්තිමත් කරනු ලැබිණි. බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු හමුදා උපදේශකයන් සෘජුවම ශ්‍රී ලංකා හමුදා නායකත්වයට උපදෙස් දුන් අතර හමුදාවන් ශක්තිමත් කර ප්‍රතිව්‍යුහගත කළ පසු එය කටයුතු කළේ ලංකා රජයේ දේශපාලන නායකත්වයේ උපදෙස්වලට අනුව නොව, ඇමෙරිකානු යුද උපදේශකයන්ගේ උපදෙස් අනුව ය.  ශ්‍රී ලංකා රාජ්‍යයත් එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයත් අතර ඇත්තේ ආණ්ඩු වෙනස්වීම්වලින් වෙනස් නොවන ව්‍යුහගත සම්බන්ධයකි. ආර්ථිකය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පාලනය කරන අතර, ලංකා මිලිටරිය එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ කලාපීය අණදෙන නිලධාරින් සහ විශේෂ ඒජන්සිවල නිරන්තර අධීක්‍ෂණය සහිතව මෙහෙයවෙනු ලැබිණ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා  ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටිය දී, ජාතික ආරක්ෂාවට තර්ජනයකැයි කියමින් චන්දිකා බණ්ඩාරනායක ඔහුගේ රජයේ ආරක්ෂක, ප්‍රවෘත්ති සහ ස්වදේශ කටයුතු යන අමාත්‍යාංශ තමා යටතට පවරා ගත්තාය. ඒ අන්තර්වාර පාලනයක් පිළිබඳ  කොටි සංවිධානයේ යෝජනා රජයට භාර දී දින තුනක් ඇතුළතය. නියමිත පරිදි ජනාධිපති බුෂ් හමුවෙන් පසුව ඇමෙරිකානු සංචාරය නිමවා පැමිණි රනිල්, චන්ද්‍රිකාගේ ක්‍රියාමාර්ගය ගැන කුපිතව දස දහස් ගණනින් පාරට පැමිණි  එක්සත් ජාතික පාක්ෂිකයන් සුදානම් කර තිබූ විරෝධතා උද්ඝෝෂණ අවලංගු කර සන්සුන් වන ලෙස උපදෙස් දුන්නේය. පාර්ලිමේන්තුවේ 225න් 129ක් රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළකර තිබියදී පවත්නා අර්බුදය ජනාධිපතිවරිය සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කැමැති බව ද මින් පසුව සටන් විරාමය සහ සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාම ජනාධිපතිවරිය භාරගත යුතු යැයි ද පවසමින් වගකීම්වලින් පසෙකට වී සිටිමට වැඩි කැමැත්තක් පෙන්නුම් කළේය. අනතුරුව රනිල්ගේ රජය 2004 පෙබරවාරියේදී විසුරුවා හරිනු ලැබිණි. ඉන්පසුව යුද්ධය යළි ජන සංහාරක යුද්ධය ආරම්භ කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් විය. සටන් විරාමය සහ දේශපාලන විසඳුමක් පිළිබඳ සාකච්ඡා තුළින් රනිල් ගේ උත්සාහය වූයේ සිය හමුදාවන්ගේ ප්‍රහාරක හැකියාවන් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වැඩි කරගැනීම, රටේ ආර්ථිකව ස්ථායී කර දේශපාලන ස්ථාවරත්වයක් දකුණේ ඇති කිරීම යන ඉලක්ක සම්පූර්ණ කරගැනීමටය. එමෙන් අනෙක් අතට සටන් විරාමය තුළ කොටි සංවිධානය සීමා කිරීමේ උපාය මාර්ගයකට කොටු කරගැනීමට ද ඔහු උත්සාහ කළේය. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් පෙරට දමන ලද කොටි සංවිධානය මිලිටරිමය වශයෙන් විනාශ කිරීමේ වැඩ පිළිවෙළ වෙනුවට සටන් විරාමය සහ සාම සාකච්ඡා තුළින් “ලිබරල් සාමයක්“ ඇතිකිරීමේ යුරෝපා සංගමයේ ආරම්භක ස්ථාවරය මෙහිදී රනිල්ට පිටු බලයක් වූ නමුත් එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ  බලපෑම මත යුරෝපා සංගමය තම වැඩපිළිවෙල හකුලාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ  සටන් විරාමය හෝ දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටීම 2003 නොවැම්බරයෙන් පසු අත්හැර දැම්මේය. ඒ එක්සත් ජනපදය පෙරට ගෙන එනු ලැබූ  යුදමය වැඩපිළිවෙළට ඉඩ දෙමිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෝලීය  ආධිපත්‍ය සඳහා වන යුදවාදී වැඩපිළිවෙළ තම ජාතික උවමනාවන්ට හානිදායක ලෙස බලපාද්දි පවා ජර්මනිය හෝ ප්‍රංශය වැනි රටවලට ද එයට එරෙහිව යමින් තම ජාතික උවමනාවන් ආරක්ෂා කර ගැනීමට ශක්තියක් නැති කළ  මුළුමණින්ම බටහිර මත පරායත්ත වූ ශ්‍රී ලංකාව වැනි රටක රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙකුට යම්තමින් හෝ ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගැනීමට සිතීමටවත් ඉඩක් නැත.

සමස්ත ආසියාව සම්බන්ධ ඇමෙරිකාවේත් බ්‍රිතාන්‍යයේත්  කෙටිකාලීන සහ දිගුකාලීන උපායමාර්ගික සැලසුම් වලට කොටි සංවිධානය බාධාවක් වූ අතර, එය හැකිතාක් ඉක්මණින් විනාශකර දැමීමට ඔවුනට අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය යුද උපකරණ පුහුණුව උපදෙස්, බුද්ධිමය තොරතුරු ආදිය ලබා දෙමින් ඔවුහු ශ්‍රී ලංකා රජය ශක්තිමත් කළහ. එමෙන්ම යුද්ධය අඛණ්ඩව පවත්වාගැනීමට අවශ්‍ය සමාජ අනුබලය ලබා දෙමින් සහ යුදවාදී තෙරපුමක් ඇතිකළ ජවිපෙ සහ ජාතික හෙළ උරුමය සමග මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමට  එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය සමත් විය. ඒ අතරම කොටි සංවිධානය දේශපාලනිකව සහ මිලිටරිමය වශයෙන් ඇති කරගෙන තිබූ තුලනය ඔවුන්ට අවාසිදායක ලෙස වෙනස් කිරීමට මේ රටවල් කටයුතු කළහ. සටන් විරාමය ආරම්භ වීමට පෙරාතුවම 1997 වසරේ ඇමෙරිකාව කොටි සංවිධානය තහනම් කළ අතර බ්‍රිතාන්‍ය එය 2001 දී සිදු කළේය. අනතුරුව මේ රටවල් දෙක විසින් යුරෝපා සංගමයට සහ ලෝකයේ සෙසු රටවලට ද එලෙස සිදුකිරීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික තෙරපීම් සිදු කරනු ලැබිණි.

ශ්‍රී ලංකා රජය යුද්ධය  පවත්වාගෙන යන විට දෙමළ සිවිල්වැසියන්ට සිදු වූ ජීවිත විනාශය සහ රජයේ යුද අපරාධ සම්බන්ධ  තොරතුරු සහ  දත්ත යටපත් කිරීමටත් අවප්‍රමාණ කිරීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින්  ඇති කරන ලද බලපෑම් අනාවරණය වීම ඇරඹී ඇත්තේ දැන් ය. අවසන් සංහාරයට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයට වන්නියෙන් ඉවත්වන්නැයි රජය නියෝග කළ විට නිර්මාණය විය හැකි මානුෂීය ව්‍යසනය කල් තබා කීමෙහි සමත්කම හොඳාකාරවම තිබූ, බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය නිහඬ වූයේ සැබැවින්ම එය ඔවුන්ගේ සැළසුමේ ම කොටසක් වූ බැවින් මිස අන් කුමන හේතුවක් නිසාද? බටහිර කිසිදු ප්‍රධාන  පෙළේ ජනමාධ්‍යයක් යුද්ධය සිදුවන අවස්ථාවේ දෙමළ ජනයාට සිදු වූ විනාශය වාර්තා නොකළ අතර ඉඳහිට කෙරුණු වාර්තාවලින් සිදු කළේ ද සිදුවෙමින් පැවැති දෙය අවප්‍රමාණ කිරීම සහ රජයේ නිල ප්‍රවෘත්ති නිවේදන උපුටා දැක්වීම පමණි.

යුද්ධය අවසාන වූ පසුව ප්‍රතික්‍ෂේප කළ නොහැකි සාක්ෂි සහිතව හෙළි වූ යුද අපරාධ හේතුවෙන් ශ්‍රී ලංකා රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් ඉල්ලා දෙමළ ජනතාව සහ මානව හිමිකම් සංවිධාන ගෙන ගිය උද්ඝෝෂණවලට ප්‍රතිචාරයක් ලෙස එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කළ කෙටුම්පත් යෝජනා වල සැබෑ අරමුණ වූයේ ජන සංහාරක චෝදනාවලින් ගැලවී සිටීමට ශ්‍රී ලංකා රාජ්‍යයට මාවතක් ඉදිරිපත් කිරීමය. මේ කෙටුම්පත් යෝජනාවන්හි “ දෙමළ “ යන වචනය එක්වරක් හෝ සඳහන් නොවීමේ අරුමය විසින් හෙළිකරන්නේ මේ සාහසිත ඇත්තයි.  සැබැවින්ම සිංහල සමාජයත්, සිංහල රාජ්‍යය සහ එහි හමුදාවත් විසින් දියත් කළ දෙමළ සංහාරක යුද්ධය මූලික වශයෙන්ම එක්සත් ජනපදයේත් බ්‍රිතාන්‍යයේත්  සමස්ත ආසියානු උපාය මාර්ගික සැලැස්මෙන් වෙන්කළ නොහැකි එහිම අවියෝජනීය අදියරක් වූ බැවින් මේ “ ඇප දීම “ අරුමයක් නොවේ. දුර්වල අසල්වැසියා පවුල්පිටින් මරා දමා  ඔහුගේ පර්චස් දහයද තම වතු යායට  ඈඳාගැනීමට වැට මායිම් ගසන ලෙස වත්තේ මුරකරුවාට උපදෙස් දෙන වතු හිමියා  පසුව ඔහු වෙනුවෙන් සාක්ෂි දීමත් ඇපදීමත් අපේක්ෂා කළ යුතු දේවල් ය.

දෙමළාට එරෙහි සම්මුතියේ විෂම චක්‍රය හා සිංහලයන්ට පමණක් ප්‍රජාතන්ත්‍රවාදය

1948 දී බ්‍රිතාන්‍යයන් තාවකාලිකව ඉවත්ව ගියේ  තමන් විසින් හදා වඩා ලොකු මහත් කර ශික්ෂණය කරන ලද සිංහල ධනේෂ්වරය නැමැති මුරකරුවාට තමන් විසින් ඒකීය රාජ්‍යයක් ලෙස ගොඩ නගන ලද මේ මුරපොළ තාවකාලිකව පවරා දෙමිනි. ඒ සිය අහිමි වූ ගෝලිය ආධිපත්‍යය ලබාගැනීමට යළි තමන් පැමිණෙන විට එය ඒ අයුරින්ම ආරක්ෂා කර නැවත භාරදීමේ පොරොන්දුව මත ය. මහාවංශයේ ඇත්තේ බුදු සමය ආරක්ෂා කිරීමට බුදුන් විසින් තෝරාගත් ජාතිය සිංහලයන් බවය. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් සිංහල ජාතිය තෝරාගනු ලැබුවේ ත්‍රීකුණාමල වරාය ලෝකයේ වෙනත් බලකඳවුරකට නතුවීම වැළැක්වීම සඳහා යොදාගත හැකි විශ්වාසනීයතම ජාතිය ලෙසය. දෙමළ ජනයා සංහාරය කර ඔවුන් ජාතියක් ලෙස පැවැත්ම අහෝසිකර දැමීම අවශ්‍ය වූයේ ත්‍රීකුණාමල වරායේ පාලනය ඔවුන්ට හෝ ඔවුන් හරහා සතුරු බලවේගයකට අයත්වනු වැළැක්වීමටයි. ඒ වෙනුවෙන් සිංහලයාට උතුරු නැගෙනහිර භූමියේ සෙසු සියළු සම්පත් පරිහරණය කිරීමේ අවස්ථාවත් දිවයින පාලනය කිරීමේ බලයත්  පිරිනැමිණි. අධිරාජ්‍යවාදීන් සහ සිංහල ධනේෂ්වර රාජ්‍යය අතර සම්මුතිය නිර්මාණය වනුයේ එලෙසය.

සුබසාධකවාදී රාජ්‍යය සහ උතුරු නැගෙනහිර ජනපදකරණය සහ සෙසු සම්පත් කොල්ලයට ඇති අයිතිය, සිංහල බෞද්ධ ආධිපත්‍යය සුරැකීම, වැනි කාරණා මත සිංහල අතරමැද පන්තීන් සහ රාජ්‍ය අතර සම්මුතිය ගොඩ නැගී ඇත.

ලෝක ඉතිහාසයේ දීර්ඝතම වේදනාකාරි සහ බිහිසුණු ජන සංහාරක වැඩපිළිවෙළක ගොදුරු බවට පත්ව ඇති උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් හෝ ජීවත්වීමේ අයිතිය ගැන කතා නොකර සිටීමේ කොන්දේසිය මත සිංහල සමාජයේ මැද පංතික බුද්ධිමතුන්ට, සංස්කෘතික ක්‍රියාධරයන්ට මෙන්ම වාමාංශිකයන්ට සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට සිය ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් යම් අවකාශයක් ලබා ගැනීමට සිංහල ජාතිවාදය සමග සම්මුතියකට එළැඹිය හැකි ය.

විෂම චක්‍රය බිඳ දැමීම

මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති කිසිදු අපේක්ෂකයෙකු  දෙමළ ජනයාගේ කිසිදු දෛනික හෝ දිගුකාලීන  ගැටළුවකට විසඳුම් ඉදිරිපත් කර නැති බැවින්ද,  එයට ප්‍රතිපක්ෂව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ජන සංහාරයට සෘජුවම වගකිය යුතු අය බැවින්ද  මෙම ජනාධිපතිවරණය නොතකා හරින්නැයි දෙමළ සිවිල් සංවිධාන  එකතුව මේ වනවිට ප්‍රකාශ කර ඇත. සිංහල සිවිල් සමාජය නියෝජනය දැන් මතුවන සංවිධාන තුළ දෙමළ ජනයාගේ අයිතීන්  ගැන ස්ථාවරයත් උතුරේ සිවිල් සංවිධානවල ස්ථාවරයත් අතර වෙනස බරපතල ය. සිංහල ප්‍රගතිශිලිහූ ජනවාර්ගික ගැටළුවේ ඉතිහාසය පුරාම සිදුකළ පරිදි මෙවර ද දෙමළ ජනයා පාවා දී තිබේ. මේ පාවා දීමට එරෙහි සිංහල ප්‍රගතිශීලිහු එකෙක් හෝ වෙත් නම් කළ යුත්තේ දෙමළ සිවිල් සමාජය මේ ජනාධිපතිවරණය නොතකා හැර කටයුතු කරන්නැයි කර ඇති ඉල්ලීමට ආරක්‍ෂා කරමින් දෙමළ ජනයාගේ ඉල්ලීම් අවධාරණය කිරීමට කටයුතු කිරීම ය. එනම් මේ දූෂිත ෆැසිස්ට් අපරාධකාරී කල්ලි දෙකම ප්‍රතික්ෂේප කිරීම ය. පීඩිත ජනතාවන්ට ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා වන අරගලය ප්‍රභූ කුමන්ත්‍රණවල න්‍යාය පත්‍රයට යට නොකිරීමය.

ඉතිහාසයේ “මෙවැනිම තීරණාත්මක ලෙස ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක් වූ අවස්ථාවල“ දී අපි “ප්‍රජාතන්ත්‍රවාදය ගලවා ගැනීම සඳහා“ එක් අපරාධකාරි දූෂිත බඩජාරි පාලක කල්ලියක් වෙනුවට තවත් එවැනිම පාලක කල්ලියක් බලයට පත් කර ඇත්තෙමු. ඒ සෑම පාලක කල්ලියක් විසින්ම දෙමළ සමාජය මත සිය ජන සංහාරක ප්‍රතිපත්තීන් අඛණ්ඩව ගෙනගිය අතර දකුණේ සිංහල සමාජයේ විරෝධතාවන් ද මැඩපැවැත්වූයේ වටයෙන් වටය උත්සන්න වූ ම්ලේච්ඡත්වයකිනි. 1970 දී ඒකාධිපතිවාදි ඩඩ්ලි පරදවා සිරිමා බණ්ඩාරනායකගේ සමාජවාදි හවුල පත්කළේමු. '71 දී ඇය ජීවිත විසි දහසක් විනාශ කළා ය. 1977 දී අපි සිරිමාගේ හත් අවුරුදු සාපයට විරුද්ධව “ ධර්මිෂ්ඨ සමාජයක් “ ඇති කිරීම සඳහා ජේ. ආර්. ගේ එජාපය බලයට පත් කළෙමු. ඒ එජාප පාලනය 1987-90 කාලයේදී දකුණේ දී පමණක් ජීවිත 60,000ක් බිලි ගත්තේය. අනතුරුව ජේ. ආර්.ගේ 17 වසක සාපය නිමාකොට 1994 දී අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීම සඳහා සිරිමාගේ දියණිය වූ  චන්ද්‍රිකාව බලයට පත් කළෙමු. විවිධ උපාමාරු මගින් තවමත් අඛණ්ඩව බලයේ සිටිනුයේ ඇගේ පක්ෂයම ය. ඇගේ  ඊළඟ අනුප්‍රාප්තිකයා  මහින්ද රාජපක්ෂ 2009 වන විට දෙමළ ජීවිත අවම වශයෙන්, 14,0000ක් විනාශ කර තිබිණි.  දැන් නැවතත් රාජපක්ෂගේ ඒකාධිපති පවුල්වාදයෙන් රට ගලවා ගනු වස්  අපට එම පක්ෂයේම ලේකම්වරයා බලයට පත් කරන ලෙස උපදෙස් දෙනු ලබයි.

විචාර බුද්ධියක් ඇති තරුණ පිරිස් මේ දුෂිත විෂම චක්‍රය බිඳදැමීම සඳහා මැදිහත් විය යුතුය. ධනේෂ්වර දේශපාලකයන්ගේත් ඔවුන්ගේ අන්තේවාසික බලවේග බවට පත්වන්නන්ගේත් අලංකාරික වදන් පිටුපස සඟවා ඇති ඔවුන්ගේ සැබෑ පන්ති උවමනාවන් හඳුනාගන්නා තෙක්  තමන් දිගටම රැවටීමට  ලක්වීම වැළැක්විය නොහැකිය. ලෙනින් පැවසූ පරිදි වැනෙනවුන්ට කෙලින් සිටීමට ආධාරකිරීමට කැමැති අයෙකු වෙත් නම් ඔහු හෝ ඇය පළමුවෙන්ම කළයුත්තේ තමන් නොවැනී සිටීම ය. ගිනිගන්නා ගෙයක් තුළ හිඳිමින් දැවී යාමට කිසිවෙකුට අවශ්‍ය නැත. නමුත් තාමත් පොලු මුගුරු සහ පෙට්‍රල්කෑන් අතැතිව සිටින, ගෙට ගිනි තැබූ   අපරාධකරුවන් රැක සිටින්නා වූ දොරටුව,  යමෙකු අපට “පිටත්වීමේ හදිසි දොරටුව“ ලෙස පෙන්වන විට ප්‍රවේසම් සහගත වීම නුවණට හුරුය. පිටතට යාමට තවත් දොරටු තිබිය හැකිය. එසේ නොමැති නම් කළ යුත්තේ කවුළුවක් හෝ බිත්තිය බිඳ එළියට යාමය. යළිත් වරක් අපරාධකරුවන්ගේ ග්‍රහණයට අසුවීමෙන් වැළකිය හැක්කේ එවිටය.  බහුවරණ ප්‍රශ්න පත්‍රයකට පිලිතුරු ලියන විභාග අපේක්ෂකයා දෙන ලද උත්තර කීපය අතරින් නිවැරදි උත්තරය තෝරා එහි අංකය කතිරයකින් සළකුණු කළ යුතුය. එහෙත් දෙන ලද  උත්තර සියල්ල වැරදි නම් කිසිදු උත්තරයකට කතිරය නොගසා සිටීමේ අයිතිය විභාග අපේක්ෂකයා සතු ය. කවර හෝ උත්තරයකට පිලිතුරු ගසන්නයැයි බල කිරීමට විභාග පරීක්ෂකවරයාට අයිතියක් නැත. එලෙස නොකර සිටීමෙන් විභාගය කඩාකප්පල් කළා යැයි විභාග අපේක්ෂකයාට චෝදනා කිරීමට කිසිවෙකුට නොහැකිය. සැබැවින්ම එවැනි චෝදනා ලැබිය යුත්තේ වැරැදි උත්තර ඉදිරිපත්කරනවුන්ය.


අජිත් සී. හේරත්


© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.