JDS Sinhala

දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?

යුද්ධයේත්, යුද ජයග්‍රහණයේත් ආර්ථික ප්‍රතිලාභ භුක්ති විඳින්නේ රාජපක්‍ෂ පවුල පමණක් නොවන බව මේ අනුව පෙනී යනු ඇත. සිංහල සමාජයේ විවිධ ස්ථරයන්ට අයත් ලක්ෂ ගණනක්  විවිධ ආකාරයෙන් මෙම ප්‍රතිලාභයන්ට හිමිකම් කියති. රාජ්‍යයේ දෙමළ සංහාරක පිළිවෙත්වල මතවාදීමය ආරක්ෂකයන් සහ ප්‍රචාරකයන් ලෙස මුළු මහත් සිංහල සමාජයේම මතය හැඩගැස්වීම කෙරෙහි මොවුහු විශාල වැඩ කොටසක් ඉටු කරති. හමුදා සේවයේ යෙදෙමින් පවුල නඩත්තු කරන සාමාජිකයා අයුක්ති සහගත ජන සංහාරක යුද්ධයක හවුල්කරුවෙකු යැයි කීමට පවුලේ සෙසු සාමාජිකයන් මෙන් ම ඔවුන්ගේ නැදෑ හිතවතුන්ද ඉදිරිපත් නොවනු ඇතිවා පමණක් නොව, එවැනි යුද විරෝධී මතවාද ඉදිරිපත් කරන සහ දෙමළ ජනයාගේ සිදුව ඇති අසාධාරණය ගැන කතා කිරීමට ඉදිරිපත්වන්නන්ට එරෙහිව සාමූහික ප්‍රචණ්ඩත්වය මගින් ප්‍රතිචාර දක්වති.  දෙමල ජනයාට එරෙහිව සිදු වූ යුද අපරාධ චෝදනා සිංහල සමාජය විසින් සාමුහිකව ප්‍රතික්ෂේප කිරීම පිටුපස ඇති දේශපාලන ආර්ථිකය වන්නේ සිංහල සමාජයේ සැළකිය යුතු විශාල ප්‍රතිශතයක් මෙම යුද්ධයේ ආර්ථික ප්‍රතිලාභ ලබන්නවුන් වීමය. මෙම ජනාධිපතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටින මෛත්‍රිපාලගේ වේදිකාවෙන්  2009 ජන සංහාරයට සහ යුද අපරාධවලට සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමක් ගැන කිසිදු වැඩපිළිවෙලක්  ඉදිරිපත් නොවීමේ හේතුව වන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු හෝ ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයන්  ලෙස එකී ජන සංහාරයට මෛත්‍රිපාල සිරිසේන, චම්පික රණවක හෝ අතුරලියේ රතන වගකිව යුතු නිසා ම පමණක් ම නොවේ. එකල හමුදාපති තනතුර දැරූ සරත් ෆොන්සේකා  ඒ වේදිකාවේ ප්‍රධාන චරිතයක් වන නිසා ද  පමණක් නොවේ. එකී ජන සංහාරක යුද්ධයට සහභාගි වූ සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිංහල ඡන්ද විසි තිස් ලක්ෂයක් වන හෙයිනි. දෙමළ ජනයාගෙන් උදුරාගත් ඉඩම් සහ වෙනත් සම්පත් නැවත පැවරීමක් ගැන දකුණේ  කිසිදු සිංහල “ප්‍රජාතන්ත්‍රවාදී“ අපේක්ෂකයෙකු කතා නොකරනු ඇත.

සිංහල සුළු ධනපති පන්ති බලවේගයන්ට ජනගහණ වර්ධනයත් සමග මුහුණ දීමට සිදුවන ඉඩම් සහ සම්පත් හිඟය, හේතුවෙන් දෙමල ජනයා සතු ගොවිබිම්, ධීවර සම්පත්, සහ වෙළෙඳ පොළ අත් පත් කරගැනීමේ භෞතික උවමනාවක් පවතී. ඉඩම් හිඟය විසින් ආර්ථික ක්‍රියාවලියෙන් පිට මං කරන සිංහල ගොවි තරුණයන් අවශෝෂණය කරගැනීමට තරම් රටේ කාර්මික නිෂ්පාදන  හෝ සේවා ක්ෂේත්‍ර  සංවර්ධනයක් සිදු නොවන බැවින් රැකියා සොයා විදේශගත වීමේ අවස්ථාව නැති සිංහල ගොවි තරුණයන්ට සිය පැවැත්ම සඳහා දුර්වල සුළු ජාතීන්ගේ ගොවිබිම් කොල්ලකනු  හැරෙන්නට වෙනත් විකල්පයක් ක්‍රමය විසින් ඉතුරු කොට නැත. සංවිධානාත්මක මැර බලය මෙන්ම මිලිටරිය ද යොදවමින් දෙමළ ජනයාගෙන් උදුරාගත් ඉඩම්වල රාජ්‍ය අනුග්‍රහයෙන් උතුරු නැගෙනහිර සිදුවන සිංහල ජනපදකරණය  මගින් සිංහල පාලක  පන්තිය අරමුණු කීපයක් එක්වර ඉටු කර ගනියි. පළමුවැන්න උතුරු නැගෙනහිර ජනවාර්ගික සංයුතිය වෙනස් කිරීම මගින් ස්වයං නීර්ණය සඳහා වන දෙමළ අරගලය දුර්වල කිරීමයි. දෙවැන්න, ඉඩම් හිඟයෙන්  පෙළෙන සිංහල ගොවි ජනයාගේ ඊළඟ පරම්පරාවන් උතුරට සහ නැගෙනහිරට යොමු කර  1971 හෝ '89 මෙන් කැරැලිකාරිත්වයකට යොමුවීම වැළැක්වීමයි.

ඒ සිංහල ධනේෂ්වරයේ ජාතිවාදි උවමනාව මත පමණක් නොව, ඔවුන් ව මෙහෙයවන ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ උපාය මාර්ගික අවශ්‍යතාවන්ට අනුව ද සිදුවන්නකි.

3. සිංහල කේන්ද්‍රීය රාජ්‍යය සහ අධිරාජ්‍යවාදය අතර සම්මුතිය

ලංකාවේ භූගෝලීය පිහිටීමේ උපාය මාර්ගික වැදගත් කම

1803 දී වන්නි රාජධානිය යටත් කිරීමත්  1815 දී කන්ද උඩරට රාජධානිය යටත්කිරීමත් සමගම සමස්ත දිවයිනම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් විය. මෙම ප්‍රදේශ හා මීට කලින් පෘතුගිසින් හා ලන්දේසින් විසින් යටපත් කරගන්නා ලද කෝට්ටේ සහ යාපනය රාජධානිවලට අයත් ප්‍රදේශ ද එක් කර 1833 දී  බ්‍රිතානීහු සමස්ත දිවයිනම සඳහාම ඒකීය රාජ්‍ය ව්‍යුහයක් ගොඩ නංවන ලදි.

යටත් විජිත යුගයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ශ්‍රී ලංකාව භාවිතා කළේ ඉන්දියානු උපමහාද්වීපයත් ඉන්දියානු සාගර කලාපයත් පාලනය කිරීමේ උපායික මුර පොළක් ලෙසය‍. ශ්‍රී ලංකාවේ  භූගෝලීය පිහිටීමේ උපාය මාර්ගිකව වැදගත්වන්නේ ලෝකයේ හොඳම ස්වාභාවික වරායන්ගෙන් එකක් වන ත්‍රිකුණාමල වරාය ප්‍රධාන මුහුදු මාර්ගයන් හට ඉතා ආසන්නව පිහිටීම හේතුවෙනි. එනකදී නැගෙනහිර ආසියාවේ  යටත්විජිත සම්බන්ධ කරන වැදගත්ම මුහුදු මාර්ගයක් ශ්‍රී ලංකාව හරහා වැටී ඇති විටෙක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සදහටම තම පාලනය යටතේ ලංකාවේ මෙම වරාය පවත්වා ගැනීමට ඇති  අවශ්‍යතාව වටහා ගැනීමට අපහසු දෙයක් නොවේ. ලංකාව මුහුදු තීරයකින් ඉන්දියාවෙන් වෙන්ව පැවතීම නිසා ඉන්දියාවේ පැන නැගි කැරැළිවල බලපෑම අවම මට්ටමක තබා ගනිමින් ආරක්ෂිත කඳවුරක් ලෙස ලංකාව පවත්වා ගැනීමට හැකි විය. අනෙක් අතට ඉන්දියාවට ඉතා ආසන්නව පැවැති හෙයින් ඉන්දියාවේ ඇති වන අවදානම් සහගත තත්ත්වයකදී අවශ්‍ය සේනාංක සහ සැපයුම් ලංකාවේ සිට පහසුවෙන් යොමු කළ හැකි විය. ත්‍රීකුණාමල වරායේ පාලනය හිමිව තිබීම හේතුවෙන් මලක්කා සමුද්‍ර සන්දියේ ලන්දේසි බලය සීමා කිරීමටත්  ඉන්දීය සාගරයේ සියළු නාවික කටයුතු පහසුවෙන් නිරීක්ෂණය කිරීමටත් බ්‍රිතාන්‍යයන්ට හැකි විය.

ලංකාවේ උතුර  සහ දකුණු ඉන්දියාවේ දෙමල ප්‍රජාවන් අතර සංස්කෘතික දේශපාලනික සබඳතාවන්  කපා හැරීමේ බ්‍රිතාන්‍ය අවශ්‍යතාව

ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ ඉන්දියාව සහ ලංකාව අතර ගොඩ නැගී තිබූ සංස්කෘතික සහ දේශපාලනික සබඳතා හේතුවෙන් ඉන්දියානු උප මහාද්වීපයේ අධිරාජ්‍ය විරෝධී අරගලය ලංකාවට ද ව්‍යාප්ත වීමේ දිගුකාලීන අනතුර බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් හමුවේ දිස් විය. විශේෂයෙන් දකුණු  ඉන්දියාවේ මතු වූ ජනතා නැගිටීම්වල ක්ෂණික බලපෑම දැනුනේ යාපනයට ය. දෙමළ බස කතාකරන තමිල්නාඩුව යාපනයට ආසන්නව පිහිටීම හේතුවෙන් ඉන්දියානු උපමහාද්වීපය හා ලංකාව සම්බන්ධ කරන සම්බන්ධ කරන වැදගත්ම රැහැන වූයේ  දෙමළ බස කතා කරන යාපනය ජනයායි. ත්‍රීකුණාමල වරාය අයත්වනුයේ දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වූ නැගෙනහිර පළාතට බැවින් ද, මෙම  ජාතික සම්බන්ධතාවන් ඔස්සේ ත්‍රීකුණාමල වරාය ආශ්‍රිත පළාත් හෝ සමස්තයක් ලෙස ලංකාවම අස්ථාවර වන ආකාරයේ කැරැළිකාරිත්වයක් මතුවීම වැළැක්වීමට බ්‍රිතාන්‍යයට අවශ්‍ය විය. 18 වන සියවස වනවිට ද දකුණු ඉන්දියාව සමග දේශපාලන සංස්කෘතික සබඳතා  ශ්‍රි ලංකාවේ දෙමළ බස කතා කරන උතුරට සහ නැගෙනහිරට පමණක් නොව, කන්ද උඩරට රාජධානියටද විහි දී තිබිණි. මහනුවර රාජධානියේ අවසන් රජු දකුණු ඉන්දියාවෙන් පැමිණි නායක්කර් වංශික කුමාරයෙකු බව ද බ්‍රිතාන්‍යයන්ට යටත් වීමේ උඩරට ගිවිසුමට උඩරට නිලමේවරුන් බහුතරයක් අත්සන් කළේ දෙමළෙන් බව ද අපි දනිමු.  එකල පැවැති ජාතික ආගමික අනන්‍යතාවන්  හෝ අන්තර් ප්‍රජා සබඳතාවන්ගේ හැඩගැස්ම වටහාගැනීම  වර්තමාන අනන්‍යතාවන් හෝ සබඳතාවන්ගේ ස්වරූපය අතීතයට ප්‍රක්ෂේපණය කිරීමෙන් කළ නොහැකිය. ප්‍රජාවන් අතර භාෂාමය සංස්කෘතික හෝ ආගමික වෙනස්කම් සඳහා තිබුණේ ක්‍රමයෙන් මැකී යමින් හෝ මිශ්‍ර වෙමින් තිබූ මායිම් ය.

සිංහල බෞද්ධ අනන්‍යතාව ප්‍රතිනිර්මාණය කිරීම

ලෝකයේ තම සියළුම යටත් විජිත තුළ සිදු කළාක් මෙන්ම බ්‍රිතාන්‍ය පාලකයෝ  ලංකාවේද ස්වදේශික ප්‍රජාවන් අතර ජාතික අනන්‍යතාවන් ප්‍රතිනිර්මාණය කර ඒවා අතර සම්බන්ධතාව තම දිගුකාලීන උපාය මාර්ගික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි  එකිනෙකට පසමිතුරු ලෙස ස්ථාපිත කළහ.

1837 බ්‍රිතාන්‍ය  විජිත නිළධාරියෙකු හා ප්‍රාචීනවාදයෙකු වූ ජෝර්ජ් ටර්නර් විසින් 'මහාවංශය' පාලි  බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී. බුදුන්ගේ ලංකාගමනය සහ බුදුසමය රැකගැනීම සඳහා තෝරාගත් ජාතිය තමන් බවටත්, තමන් දිවයිනේ සැබෑ උරුමකරුවන් බවටත්, දමිලයන් යනු දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් බවටත් 19 වන සියවසේ සිංහල විඥානයට නොමැකිය හැකි ලෙස ඇතුළු වූයේ මේ මහාවංශ පුරාවෘත්තයන් ඉතිහාසය ලෙස ගැනීමෙනි. මෙකී මහාවංශ ඉතිහාසය සිංහල ස්වෝත්තමවාදයේ මතවාදී පදනම වන අතර එය දිවයිනේ ජාතික ප්‍රජාවන් අතර සබඳතාවන් තීරණය වීමෙහිලා අයහපත් ලෙස බල පෑ තීරණාත්මක සාධකයකි. බ්‍රිතාන්‍ය රාජකීය ආසියාතික සංගමයේ පර්යේෂණයන් ලංකාවේ නුතන බෞද්ධ පුනරුදයට මෙන්ම සිංහල භාෂාව සංවිධිත භාෂාවක් ලෙස ගොඩනැංවීමට ද දායක විය. එමෙන් මහාවංශයේ සඳහන් බෞද්ධ පුජනීය ස්ථාන සහ සිංහලයන්ගේ ඉපැරණි ශ්‍රී විභූතිය විදහා දක්වන පැරණි නටබුන් නගර සොයා ගැනීමත් මහාවංශය සාධනය වන පරිදි ඒවා ඓතිහාසික වශයෙන් නිර්වචනය කිරීමත් සිදුවූයේ රාජකීය ආසියාතික සංගමයේ පුරෝගාමීත්වයෙන් බිහි කරන ලද පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගිනි.

මේ අයුරින් සිංහලයන් දිවයිනේ සැබෑ උරුමකරුවන් බවටත්, දෙමළ ජනයා දකුණු ඉන්දිය ආක්‍රමණිකයන් බවටත් අර්ථ කතනය වීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට සිය අරමුණු සාධනයෙහිලා වැදගත් විය. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදයේ ආක්‍රමණයට තමන් යටත් වී සිටින අතරම ඒ අධිරාජ්‍යවාදය යටතේම පිඩාඳිමින් සිටින තම අසල්වැසි දෙමලා ආක්‍රමණිකයෙකු ලෙස දැකීමේ විහිළු සහගත තත්ත්වයකට බ්‍රිතාන්‍යයන් විසින් සිංහලයා පත්කළහ. එමගින් දකුණු ඉන්දියාව, ෆෝක් සමුද්‍ර සන්ධිය සහ යාපනය හරහා ඉන්දිය නිදහස් අරගලයේ බලපෑම් ලංකාවට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය මුලික පසුබිම සකස් කළහ. ඉන්දීය උපමහාද්විපික සංදර්භය තුළ සිංහලයා වූකලී මෙම දිවයිනට පමණක් සීමා වූ භාෂාවක් කතාකරන වෙනස් සංස්කෘතික සහ ආගමික ජීවිතයක් සහිත සුළුතර ප්‍රජාවක් වූ බැවින් ඉන්දීය ආක්‍රමණයක් පිළිබඳ භීතිය සිංහල සමාජය තුළ  තහවුරු කිරීම එතරම් අපහසු දෙයක් නොවීය.

සිංහල ජාතියේ ආර්ථික පදනම ගොඩ නැංවීම සහ දේශපාලන විකාශනය

මීට සමාන්තරව තවත් ක්‍රියාදාමයක් සිදුවෙමින් පැවතිණි. ඒ වැඩවසම්  සිංහල ප්‍රභූ පැළැන්තිය බ්‍රිතාන්‍ය යටත් විජිත ආර්ථිකයට ගැටගැසුණු ස්වදේශික වැවිලිකාර ධනපති පන්තියක් බවට පත්වීමේ ක්‍රියාවලියයි. බ්‍රිතාන්‍ය විසින් පවරාගනු ලැබූ ඉඩම් අක්කර දහස්ගණනින් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් මේ ධනපති පන්තියට හිමි කරදෙනු ලැබිණි. මීට අමතරව  අක්කර 50 ට අඩු ඉඩම් කට්ටි මිල දී ගෙන වැවිලි වගාවට සම්බන්ධ වූවන්ගෙන් ද  වැවිලි ආර්ථිකයට සේවා සැපයීමෙන්  ධනය උපයාගත්තවුන්ගෙන් ද අලුතින් පැවැත්මට ආ  අතරමැද පන්තිය සමන්විත විය. මෙම ධනපති පන්තිය සහ අතරමැද පන්තීන්ගේ ඉහළ ස්ථරයන් ඉංග්‍රිසි අධ්‍යාපනය යටතේ ශික්ෂණය කරනු ලැබිණි. කලින් කලට සිදු කරන ලද විවිධ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා පාලනයට හවුල් කරගනු ලැබිණි. දෙමල ප්‍රභූ පෙළැන්තියට සාපේක්‍ෂව සිංහල ධනපති පන්තිය පැතිරුණු සහ සමෘද්ධිමත් සහ බල සම්පන්න එකක් විය.

1881 දී පවත්වන ලද පළමු ජන සංගණනය විසින් සිංහලයන් රටේ බහුතර වාර්ගික ප්‍රජාව බවට තහවුරු කිරීමත් සමගම  රටේ අයිතිය පිළිබඳ මහාවංශය විසින් වැපිරූ සිංහල ස්වෝත්තමවාදී  මතවාදයන්ට ද්‍රව්‍යමය බලයක් හිමි විය.

1931 දී සර්වජන ඡන්ද බල අයිතිය ලංකාවට හිමි වීමත් සමගම සිංහල දේශපාලන නායකත්වයට සෙසු ජාතීන්ගේ ඉල්ලීම් සහ ජාතික අභිලාෂයන් නොතකා හැර සිය අභිමතය පරිදි වැඩකළ හැකි වාතාවරණයක් බිහි විය.  ඩොමිනියන් තත්ත්වය ලබා දෙමින් බ්‍රිතාන්‍යයන් තාවකාලිකව ඉවත්ව ගියේ තමන් විසින් හදා වඩා උගන්වා ලොකු මහත් කළ සිංහල ධනපති නායකත්වයට තමන් විසින් බිහි කළ ඒකීය රාජ්‍ය යන්ත්‍රයේ අධිකාරය ලබා දෙමිනි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව නාමික ස්වාධීනත්වයක් ලබා දුන්න ද ලංකාව තම බලපෑම් සීමාවෙන් එපිටට යනු දැකීමට බ්‍රිතාන්‍යයට උවමනා නොවීය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව චීනය සමාජවාදී කඳවුරට ඇතුළත්වීම ද ඉන්දියාව සමාජවාදී කඳවුරට හිතවත් ස්ථාවරයක් කරා  යොමුවීම ද තම පැරණි යටත් විජිත වන මලයාවේත්,  දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ ජාතික විමුක්ති ව්‍යාපාර සහ වාමාංශික ව්‍යාපාර ශක්තිමත්ව නැගී ඒම විසින් ද, ස්වදේශිකයන් සමූල ඝාතනය කරමින් අත්පත් කරගෙන පිහිටුවන ලද ඉංග්‍රිසි ජනපද වන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පසමිතුරු ආසියාතික රාජ්‍ය වළල්ලකින් කොටු වීමේ අනතුර පැවතිණි. මේ තත්ත්වය යටතේ ත්‍රීකුණාමල වරායේ වැදගත්කම වැඩි වූවා මිසෙක අඩුවූයේ නැත.

අධිරාජ්‍යවාදී උපායමාර්ගය තුළ සිංහලයන් ඒකීය ලංකාවේ භාරකරුවන් බවට පත්කිරීම සහ උතුරු නැගෙනහිර දෙමල අනන්‍යතාව අහෝසි කිරීමේ ක්‍රියාවලියේ ආරම්භය

ශ්‍රී ලංකාව සෝවියට් හිතවාදී ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස ඈඳාගැනීමක් සිදු නොවී ස්වාධීන ඒකීය රාජ්‍යයක් ලෙස සිංහල ධනේෂ්වරය අත පවතින තාක් කල් ත්‍රීකුණාමල වරාය භාවිතා කිරීමේ හැකියාව තමන්ට ඇති බව බ්‍රිතානීන් දැන සිටියහ. ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය, බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබූ ඇන්. ඇම් සහ කොල්වින් වැනි ලිබරල් වාමාංශිකයන්ද සමග සභාග ආණ්ඩු ගොඩ නගමින් නොබැඳි කඳවුරට හේත්තු වන විට පවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ලංකාවේ ධනපති පංතිය කෙරේ තැබූ විශ්වාසය කඩ කරගත්තේ නැත. එහෙත් ත්‍රිකුණාමල වරාය අයත්වන උතුරු නැගෙනහිර පළාත්, ඉන්දියාවේ දකුණු දිග දෙමළ පළාත් සමග ජාතික සබඳතා ඇති ලංකාවේ දෙමළ ජනතාව යටතට පත්වනු දැකීමට බ්‍රිතාන්‍යයට අවශ්‍ය නොවීය. තම අධිරාජ්‍යවාදී   උපාය මාර්ගික අවශ්‍යතාවන් වෙනුවෙන් දිවයිනේ නිර්මාණය කළ ඒකීය රාජ්‍ය ව්‍යුහය වෙනස් කිරීමට බ්‍රිතාන්‍යය ද ඔවුන්ගේ ගෝලීය උපායමාර්ගික හවුල්කරුවන් වන එක්සත් ජනපදය ද දිගටම විරුද්ධ විය. දෙමළ ජාතික අනන්‍යතාවන් දියකර හැරීමත්, ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් යටපත් කිරීමත් කළ හැක්කේ ඒකීය රාජ්‍ය ව්‍යුහය තුළ ඔවුන් සිරගත කිරීමෙන් පමණක් බව ඔවුන්ගේ තක්සේරුව විය. ජාතියක් ලෙස පිළිගනිමින්, දෙමළ ජනයා වෙත සිදු කරන අවම  බලය බෙදා හැරීමක් හෝ දිවයිනේ උතුරු නැගෙනහිර දෙමළ ජාතික අනන්‍යතාව අහෝසිකර දැමීමේ තම අරමුණට බාධාවන බැවින් ස්වාධීන දෙමළ රාජ්‍යයක් තබා  ෆෙඩරල් මට්ටමේ හෝ ඊටත් අඩුවෙන් හෝ කෙරෙන කිසිදු බලය බෙදාහැරීමකට බ්‍රිතාන්‍යයේ හෝ ඇමෙරිකාවේ අවසරය ශ්‍රී ලංකා ධනපති පන්තියට ලැබෙන්නේ නැත. මිලිටරි බලතුලනය තමන්ට අවාසිදායක ලෙස වෙනස් වී දේශපාලන විසඳුමක් පිළිබඳ සාකච්ඡා ඇරඹීමට ශ්‍රී ලංකා රජයට සිදුවන සෑම  විටකම බ්‍රිතාන්‍ය හා  ඇමෙරිකාව අවධාරණය කළේ ජාතික ගැටළුවට විසඳුමක් ලෙස සිදුකරනු ලබන ඕනෑම බලය බෙදාහැරීමක්  ශ්‍රී ලංකාවේ 'භෞමික අඛණ්ඩතාව' සහතික කරන්නා වූ රාජ්‍ය ව්‍යුහයක් තුළ සිදුවිය යුතු බවයි. ඇත්ත වශයෙන්ම විජිතවාදී බලය විසින් ගොඩනංගවන ලද ඒකීය රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාව මෙකී පැරණි විජිත හාම්පුතුන්ගේ ප්‍රාථමික අභිලාෂයක් වීම ඉහත ඉතිහාසය සන්දර්භයක් කොට සැළකූ විට අරුමයක් නොවේ. මෙය ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටීමක් ලෙස පෙන්නුම්  කළ ද ඇත්ත වශයෙන්ම සිදු වූයේ  එමගින් සාකච්ඡාවන් සඳහා  තම අනුමැතිය හා අවසරය ලැබෙන සීමාවන් සළකුණු කිරීමයි.  දෙමළ ගරිල්ලන් සාකච්ඡාවලදී වාසි සහගත ස්ථාවරයක සිටි සෑම විටම එය වෙනස් කිරීම සඳහා යුද බිමේ බල තුලනය සිය මිලිටරිමය  සහ දේශපාලනමය ආධාර මගින් රජයට වාසි සහගත ලෙස වෙනස් කිරීමට බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය මැදිහත් වීම විසින් සනාථ කරනු ලබන්නේ මෙකී අභිලාෂයයි.

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.