JDS Sinhala

දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දකුණේ සිංහලයන්ගේ ගැටළුවත් උතුරේ දෙමළ ජනයා මුහුණ දී ඇති  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවත් එකක් ලෙස ගැනීමට බොහෝ දෙනා කැමැති මුත් ඇත්ත එය නොවේ. දෙමල ජනයා තමන් දෙමළ වීම නිසාම රාජ්‍යයෙන් එල්ලවන සුවිශේෂි මර්දනයකට ගොදුරුවන බව පවසන විට, ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව ජාතික පීඩනයක් ඇතැයි පිළිගැනීමට අකැමැති පිරිස් ධනේශ්වර හමුදාව ඇතුළු රාජ්‍ය මර්දන යන්ත්‍රය සිංහලයන්ට දෙමලුන්ටද සළකනුයේ එකම ආකාරයකට බව පවසති. ඒ සඳහා නිදසුන් ලෙස ඔවුහු ඉදිරිපත් කරන්නේ 1971 දී හෝ 1989 දී රජයේ හමුදා විසින් දසදහස් ගණනින් සිංහලයන් දකුණේදී මරා දැමුණ ආකාරයයි. හමුදාව විසින් රතුපස්වල දී ජලය ඉල්ලා  සිදුකළ උද්ඝෝෂණයන්ට වෙඩි තබා සිංහලයන් මරා දැමීම ඔවුන් ඉදිරිපත් කරන තවත් උදාහරණයකි. නමුත් මොවුහු හිතාමතා අමතක කර ඇති කරුණ වනුයේ දකුණේ දී මිනිස් ඝාතන හෝ වෙනත් මානව හිමිකම් උල්ලංඝණයන් සිදුවන විට තමන් එයට එරෙහි වුව ද උතුරේ දෙමල ජනයා රජයේ හමුදාවන් විසින් ඝාතනය කරන විට, රාජ්‍ය මර්දනය යන්ත්‍රය පැත්තේ සිට ගනිමින් තමන් එකී මර්දනයට සහ සංහාරයට පූර්ණ සහයෝගය දුන් බව ය. උතුරේ සහ දකුණේ ජනයා මුහුණ දෙන ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ගැටළුව එකිනෙකින් වෙනස් වීමට හේතු වී ඇත්තේ  රජයේ හමුදා ඒ සඳහා භාවිතා කරන අවි ආයුධවල හෝ උපක්‍රමවල වෙනස් කම් නොව, රාජ්‍ය මර්දනය එල්ලවන්නේ සිංහලයාට ද දෙමළාට යන කරුණ මත  සිංහල සමාජයෙන් මතුවන ප්‍රතිචාරවල වෙනස්කම්ය.

සිංහල ආධිපත්‍යයට නතු වූ රාජ්‍ය යන්ත්‍රය යටතේ තමන් විසින් අඩ සියවසකට අධික කාලයක් තිස්සේ අත් විඳිනු ලැබූ , විෂම ලෙස සැළකීම්, ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා, ආයතනගත ජාතිවාදය, බලය බෙදාහැරීම් පිළිබඳ නින්දිත රැවටීම් සහ මිලිටරි මර්දනය ආදිය හමුවේ දෙමළ ජනතාව අවසානයේදී විශ්වාස කළේ පීඩක සිංහල රාජ්‍යයෙන් වෙන්වීමෙන් පමණක් තමන්ට මිනිස් ගෞරවය සහිත පුරවැසියන් ලෙස ප්‍රජාතාන්ත්‍රික අයිතීන් භුක්ති විඳීමට අවස්ථාව උදාවනු ඇති බවය. ස්වයං නීර්ණය සඳහා තමන්ට ඇති අයිතිය වෙනුවෙන් ඔවුහු අරගල ආරම්භ කළේ එබැවිනි. නමුත් සිංහල සමාජයේ බොහෝ දෙනෙකුන් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලැබීමට ඇති බාධාව බවට විශ්වාස කළේ ස්වයං නීර්ණය සඳහා  දෙමල ජනයා ගිය අරගලයයි. රාජ්‍යය විසින් මහා ජන සංහාරයක් සිදු කරමින් වන්නියේ සමස්ත දෙමළ ප්‍රජාවම එළිමහන් සිරකඳවුරුවල ගාල් කර එම අරගලය පරාජය කළ පසුව තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙනු ඇතැයි සිංහල සමාජය බහුතරයේ අදහස විය. එනිසා රාජ්‍යය විසින් ගෙන ගිය දෙමල ජන සංහාරක යුද්ධයට ආධාර දීම සිංහල සමාජය පැත්තෙන් ගත් කල තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයේ එක් අදියරක් ද විය. සිංහල සමාජයේ මෙම හැසිරීම අරුමයක් නොවන්නේ  ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සිදු වූයේ යැයි පවසන ග්‍රීසිය තුළ ගාල් කර සිටි ලක්ෂ සංඛ්‍යාත වහලුන්ට ඒ ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳීමේ අයිතිය අහිමිවීම ගැන පමණක් නොව  ඔවුන්ට සතුන්ටත් අන්ත ලෙස සැළකීමේ සම්ප්‍රදායන් ගැන උදාහරණ ද මිනිස් ඉතිහාසයේ විරල නොවන බැවිනි. වහලුන් වූ කලී ප්‍රජාතාන්ත්‍රික ග්‍රීක පුරවැසියා සතු දේපලක් පමණක් විය.

දෙමළ සංහාරයේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිලාභයන් සමව බෙදී නොයාම  ගැන සිංහල මධ්‍යම පන්තිකයන්ගේ කෝපය

උතුරු නැගෙනහිර විසූ එක් ලක්ෂ හතලිස් දහසකට ආසන්න ජනතාවක් සංහාරය කර ඉතුරු වූ සියල්ලන් අමානුෂික ලෙස කඳවුරුවලට ගාල් කළ රාජ්‍ය යන්ත්‍රයකින් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙනු ඇතැයි සිංහල සමාජයේ බහුතරයක් විශ්වාස කළේ හුදෙක් දේශපාලන මුග්ධකම හෝ අදූරදර්ශි කම නිසාද? නැතහොත් රාජ්‍යයේ සිංහල කේන්ද්‍රීය දේශපාලනය ගැනත් තමන්ට අවශ්‍ය කුමන වර්ගයේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද යන්න ගැනත් ඔවුන්ට නිවැරදි අවබෝධයක් තිබූ නිසාද?

වික්ටර් අයිවන් සහ සුමනසිරි ලියනගේ වැන්නන් දෙමළ ජනයා මත සිංහල රාජ්‍යය විසින් දියත් කළ කෲර ජන සංහාරය සිංහල සමාජය තුළ සාධාරණීකරණය කළේ එය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට අත්‍යවශ්‍ය ඓතිහාසික කාර්යභාරයක් ලෙස විස්තර කරමිනි. වික්ටර් අයිවන් එය හැඳින්වූයේ  “ඉතිහාසයේ අචේතනික අතකොළුව"  ලෙසය. වික්ටර් අයිවන් හෝ සුමනසිරි ලියනගේ වැන්නන් මුග්ධයන් ලෙස හැඳින්විය හැකි ද?  නැතහොත් ඔවුන් සිය අදහස් වලින් නියෝජනය කළේත් කරන්නේත් සිංහල සමාජයේ බහුතරයක අපේක්ෂාවන් ද? මානව අයිතීන් හෝ දේශපාලන සදාචාරය පිලිබඳ නිරපේක්ෂ විශ්වීය මිණුම් දඬුවලින් මනින විට කෲර, අමානුෂික සහ ෆැසිස්ට්වාදි යැයි සැළකිය හැකි මෙවැනි අදහස් මේ වර්ගයේ බුද්ධිමතුන් විසින් ඉදිරිපත් කරන විට ඒවාට සිංහල සමාජයෙන් පිලිකුළක් හෝ දැඩි විරෝධයක් එල්ල වනු ඇති බවට යම්තමින් හෝ සැකයක් ඔවුන් තුළ තිබුණා නම් නීච අවස්ථාවාදීන් ද වන ඔවුහු කිසි විටෙකත් එවැනි මතවාද විවෘතව ඉදිරිපත් නොකරනු ඇත.

1. සිංහල ප්‍රගතිශීලින් සහ වම්මුන් සිංහල ජාතිවාදය සමග සන්ධාන ගත වීම

මේ දිනවල මැතිවරණ වේදිකාව තුළ මෛත්‍රිපාල සිරිසේන දිනවීම සඳහා දර දිය අදින සිංහල සමාජයේ ප්‍රගතිශිලීහු බොහෝ දෙනෙකු මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දෙමළ මිනිසුන්ගේ ඉල්ලීම් පිළිබඳ සංවාදයේදී  ස්වයං වාරණයක් පනවා ගෙන සිටිති. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු මෙයට කලකට පෙර අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ පවා දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අයයි. මොවුන්ගේ අදහස වනුයේ මැතිවරණ වේදිකාව මත ජාතික ප්‍රශ්නය හෝ දෙමල ජන සංහාරය ගැන කතා කළහොත් එය තමන්ගේ සහාය ලබන අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයට අවාසිදායක ලෙස බල පානු ඇති බවත්, එමගින් මහින්ද රාජපක්ෂට යළිත් වරක් බලය ලබා ගැනීමට ඉඩ ලැබෙනු ඇති බවත් ය. මෙයට පෙර පවා සිංහල සමාජයේ ප්‍රගතිශීලි යැයි සැළකෙන බොහෝ දෙනා දෙමළ මිනිසුන්ගේ අයිතීන් හෝ ස්වයං නීර්ණ අයිතිය ගැන කතා කරන විට ඒ කතා කිරීමේ අයිතිය සිංහල සමාජය සමග කිසියම් බාල නිවට සම්මුතියක් තුළින් ලබා ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවන් තිබිණි. ස්වයං නීර්ණ අයිතිය න්‍යායිකව පිළිගත් ඇතැමුන් ඒ වෙනුවෙන් ජාතිවාදී සිංහලයින්ගෙන් තමන්ට අවුලක් නොවීම සඳහා ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් සටන් කළ දෙමළ විමුක්ති කොටි සංවිධානය ෆැසිස්ට් සංවිධානයක් ලෙස නම් කළහ. කොටින් ව ෆැසිස්ට් ත්‍රස්තයන් ලෙස නම් කරන්නේ නම් ස්වයං නීර්ණයට පක්ෂව මොනවා ලියුවද කියුවද සිංහලයාට එය ප්‍රශ්නයක් නොවීය. මන්ද යත්, ස්වයං නීර්ණ අයිතිය හුදු මූලධර්මයක් සේ සැළකිය හැකි නමුත් කොටි සංවිධානය භෞතිකව පැවති හෙයිනි.

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනයා මුහුණ දී ඇති දෛනික හෝ දිගුකාලීන ප්‍රශ්න සිංහල ප්‍රගතිශිලින් විසින් මතු නොකරන්නේ සිංහල ජාතිවාදය සමග එවැනිම හෝ ඊටත් වඩා නරක අවස්ථාවාදී සම්මුතියකට එළැඹෙමිනි. සිංහල ජාතිවාදි අතුරලියේ රතන සමග සම්මුතියක් ඇති කරගනිමින් ඔවුන් සමග එක් වේදිකාවේ ලගින ඇතැම් වාමාංශික නායකයන්  බහුජාතික සමාගම් පිලිබඳ  ජාතික හෙළ උරුමයේ  බොරු විරෝධය අතිශයෝක්තියෙන් හුවා දක්වමින් විනෝද වෙයි.  මේ අතර ප්‍රජාතන්ත්‍රවාදයේ සඳුන් හරය මිට මොළවාගෙන ප්‍රාදූර්භූත වූ මෛත්‍රීපාල, චම්පික සහ රතනලා මෙන්ම සරත් ෆොන්සේකාලාගෙන් සමන්විත ලේ වැකි අපකීර්තිමත් බලඇණි පෙරටු කොටගත් ඇතැම්හු විපිළිසර සමාජයක ඉච්ඡා භංගත්වය ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයක් සේ  ඒත්තු ගන්වමින් සිටිති. අඩුම වශයෙන් ලක්‍ෂ එකහමාරක් අමානුෂික ලෙස සංහාරය වූ රටක ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා වන අරගල වේදිකාවෙන් ඇසෙනුයේ එම සංහාරක යුද්ධයේ ජයග්‍රහණයේ සැබෑ උරුමකරුවන් කවුද යන්න ගැන මිසෙක එහි ගොදුරු බවට පත් දෙමළ ජනයාට යුක්තිය ඉටු කරන ආකාරය ගැන නොවේ. මේ සියළු ප්‍රගතිශීලින් උපක්‍රමිකව නිහඬව සිටින්නේ යැයි යමෙකුට තර්ක කළ හැකිය. ප්‍රශ්නය එය නොවේ. එලෙස නිහඬව සිටින්නේ තමන් දෙමළ ජනයාගේ ජීවත්වීමේ අයිතිය හෝ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබඳව ප්‍රශ්නය මතු කළහොත්  සිංහල ජනතාව තමන් සහාය දෙන අපේක්ෂකයාට එරෙහිව යනු ඇතැයි යන බිය නිසා වීම ය.

මේ ප්‍රගතිශිලීන්  විසින් සිංහල සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට පළමුව, තමන්ගේම අදහස් පළකිරීමේ අයිතිය, තමන් විසින් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ලබා දීමට උත්සාහ දරන සිංහල සමාජය වෙතින් දිනාගත යුතුව ඇත.  සිංහල සමාජයත් එය ගිලගත් ජාතිවාදයත් සමග යම් කාරණා ගැන ස්වයං වාරණාත්මක සම්මුතියකට එළැඹීමට මොවුන්ට සිදු ඇත්තේ  සිංහල ඡන්ද වෙනුවෙන් එය අත්‍යවශ්‍ය කොන්දේසියක් බැවිනි. කෙසේ වුව ද එය දෙමළ ජනයාට එරෙහි ජන සංහාරක රාජ්‍ය ප්‍රතිපත්ති සමග සම්මුතියක් බවට ද පත්වන්නේ සිංහල සමාජය දෙමළාට එරෙහි මර්දනයේදී  සෑම විටෙකම රාජ්‍යය සමග සම්මුතියක සිටි බැවිනි.

2. සිංහල පීඩිත පන්තීන් සහ සිංහල ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය අතර දෙමළාට එරෙහි සම්මුතිය

රාජ්‍යය සහ සිංහල අතරමැද පන්තීන් අතර පවතින මේ සම්මුතිය පසුගිය සියවසේ ආරම්භය දක්වා දිවෙන්නකි. මේ සම්මුතිය පදනම් වී ඇත්තේ  රාජ්‍යයේ සුබ සාධනවාදී ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යාම,  ඒකීය රාජ්‍ය ව්‍යුහය සහ එහි සිංහල බෞද්ධ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ උතුරු නැගෙනහිර  දෙමළ ජාතික අනන්‍යතාව අහෝසි කර එහි  සිංහල ආධිපත්‍යය තහවුරු කිරීම යන කොන්දේසීන් මත ය.  සුබ සාධනවාදී රාජ්‍ය ප්‍රතිපත්තීන් දිගටම පවත්වාගැනීමේ සිංහල අතරමැදි පංතිකයාගේ ඉල්ලීම ගැන හැරෙන්නට ඒකීය රාජ්‍යය හෝ උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ආධිපත්‍යය පිහිටුවීම ගැන රාජ්‍යය හසුරුවන ධනපති පන්තිය සහ අතරමැද පන්තිය නියෝජනය කරන දේශපාලන බලවේග  අතර මූලික ප්‍රතිපත්තිමය ගැටුමක් දක්නට නැත. දෙපාර්ශ්වයේම ද්‍රව්‍යමය උවමනාවන් ඒ කොන්දේසි තුළ නියෝජනය වන බැවිනි.

රාජ්‍යය සමග සිංහල පීඩිතයාගේ සම්මුතියේ  ආර්ථික පදනම

බ්‍රිතානීන් විසින් නිල වශයෙන් 'ස්වාධීනත්වය' ප්‍රදානය කිරීමට පෙරාතුව පවා, සිංහල අතරමැද පන්තීන් වෙනුවෙන් නොමිලේ ලබා දෙන ලද අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන්, ආහාර සලාක සහ කෘෂිකාර්මික සහනාධාර, සංවර්ධන ව්‍යාපෘතීන් ආදිය සඳහා අවශ්‍ය වියදම් සපයාගන්නා ලද්දේ වතු වගාවෙන් ලද ආදායමිනි. ඒ වතුවල වහලුන් ලෙස ශ්‍රමය වැගිරූ දෙමල කම්කරු ගැහැණුන් සහ මිනිසුන්ගේ අතිරික්ත ශ්‍රමයේ වටිනාකම යොදාගනිමිනි. රාජ්‍යය සහ සිංහල අතර මැද පංතිය අතර පළමු සම්මුතිය ගොඩනැගෙනුයේ දෙමල වතුකම්කරුවාගේ අතිරික්ත ශ්‍රමය සුරාකමින් මේ සුබසාධනය පවත්වාගැනීමේදීය. මෙම ආදායමින් කොතරම් ප්‍රතිශතයක් එය ඉපැයූ මේ මිනිසුන්ගේත් ගැහැනුන්ගේත් සුබසාධනය සඳහා යොදවන්නට ඇත්දැයි සිතා ගත හැක්කේ අද පවා ඔවුන් අතර පවතින මන්දපෝෂණය, ළදරු මරණ අනුපාතිකය, සාක්ෂරතාව, දළ ජීවන අපේක්ෂාව, සනීපාරක්ෂක පහසුකම් සහ ඔවුන් ජීවත්වන ලැයිම් කාමරවල තත්ත්වය විමසා බැලීමෙනි. ජාතික විෂමතාවන් සහ අගතීන් පවත්වා ගැනීම සුරාකෑම තියුණු  කිරීමට බහුලව යොදාගන්නා  ක්‍රමයකි. 1949 දී ඩී. ඇස් සේනානායක විසින් දෙමළ වතු කම්කරුවන් ලක්ෂ ගණනක ඡන්ද අයිතිය අහිමි කරමින් ෆැසිස්ට් පන්නයේ ක්‍රියාමාර්ග ගනු ලැබූ විට සිංහල සමාජයෙන්  එයට එරෙහිව විරෝධතාවක් පැන නොනැගුණා පමණක් නොව, සමාජයේ විශාල පිරිසක් විසින් එම ක්‍රියාව අනුමත කිරීම ද සිදුවිය. සම සමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ මුල දී යම් විරෝධතාවක් මතු කිරීමට උත්සාහ ගත්තද පසුව එය අත්හැර දැමූහ. පාර්ලිමේන්තුවාදය තුල ගිළී සිටි ඔවුහු, ඡන්ද බලය අහිමි වූ වතුකම්කරුවන්ට වඩා ඡන්ද බලය හිමි සිංහල අතරමැද පාන්තිකයා තමන්ට වඩාත් වැදගත් බව නිගමනය කරන්නට ඇත.

යුද්ධයේ ආර්ථික ප්‍රතිලාභ

මේ දිවයිනේ එකම ඓතිහාසික උරුමය හිමි සිංහල බෞද්ධයන්ට පමණක් යන ස්වෝත්තමවාදී අදහස්වලට අමතරව උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික නිජබිම් මත සිංහල රාජ්‍යයේ ආධිපත්‍යය තහවුරු කිරීමෙන් පසුව එම ප්‍රදේශවල සම්පත් අත්පත් කරගැනීම මගින් තමන්ට හිමිවන ආර්ථික ප්‍රතිලාභයන් පිළිබඳ ද්‍රව්‍යමය උවමනාව විසින් ද සිංහල සමාජයේ බහුතරයක් රජයේ යුද්ධයට පක්ෂපාතී ස්ථාවරයකට ගෙන එනු ලැබිණි.  යුද්ධය විසින් හමුදාව සහ පොලිසිය තුළ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් බිහි කළේය. උතුරු නැගෙනහිර නොවන සෙසු දිස්ත්‍රික්ක 18 ක 2011 දී ජන ගහණය 15,173,820 ක් වනවිට ඒ පළාත්වලින් පැමිණ ස්ථිර හමුදාව, ජාතික ආරක්ෂක බලකාය, නාවික හමුදාව, ගුවන් හමුදාව යන අංශවල පමණක් සේවයේ නියුතු සංඛ්‍යාව 352,700කි. පොලිස් සේවයේ නියුතු සංඛ්‍යාව 60,000කට ආසන්නය. පොලිස් විශේෂ කාර්ය බලකාය වැනි අතුරු හමුදා සේනාංකද එක් කළ විට අඩුම තරමින් සමස්ත සේවා නියුක්තිය 425,000 ඉක්මවා යනු ඇත. මේ අනුව දළ වශයෙන් සිංහල සමාජයේ සෑම 35 දෙනෙකුගෙන් එක් අයෙකු ආරක්ෂක අංශවල සේවයේ නියුතු වන්නන් බව පෙනී යයි. ක්‍රියාන්විත හමුදා සේවයේ යෙදෙන්නන් සාමාන්‍ය රජයේ සේවකයන් ගේ වැටුප මෙන් කිහිප ගුණයක වැටුප් සහ දීමනාවන් ලැබූ බවත්, හමුදා සේවයේ යෙදෙන ඉතා දිළිඳු පවුල් පසුබිම් සහිත අය වුවද තම භෞතික ජීවන මට්ටම් සැළකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇති බවත් පැහැදිලි කරුණකි.  මේ දැවැන්ත හමුදා යන්ත්‍රයට සේවා සහ භාණ්ඩ සැපයීම් ක්ෂේත්‍රය තුළ විවර වී ඇති ආර්ථික ඉඩ ප්‍රස්ථාවන් තුළින් ද සිංහල සමාජයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් ආර්ථික ප්‍රතිලාභවලට හිමිකම් කියයි.

දෙමළ අරගලය යටපත් කිරීමෙන් පසුව එම ප්‍රදේශවල දෙමළ ගම්මාන පිටින් ඉවත් කරමින්, සිංහල ජනපදකරණයත්,හමුදා කඳවුරු ඉදිකිරීමත් සඳහා පවරාගන්නා ලද ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂ ගණනකි. උතුරු නැගෙනහිර ධීවර වරායන් විශාල ප්‍රමාණයක් නාවික හමුදාව යටතේ පවතින අතර දෙමළ ධීවරයන්ට අයත්ව තිබූ වෙරළාසන්න ඉඩම්වල දකුණෙන් එහි ගිය සිංහලයන් විශාල පිරිසක් සංවිධානාත්මකව පදිංචිකරවා ඇත. සිංහල  දේශපාලනඥයන්ට සහ නාවික හමුදා බලධාරීන්ට අයත් ධීවර සමාගම් උතුරේ ධීවරයන්ට තහනම්ව ඇති  මුහුදේ රිසි සේ මසුන් මරති. ලොව පුරා සංචාරකයන්ට ආකර්ශණයක් වූ නැගෙනහිර වෙරලේ පැවැති සම්ප්‍රදායික දෙමළ ගම්බිම වල ජීවත් වූ ජනයා පළවා හැර ඒවා සංචාරක කර්මාන්තය සඳහා යොදාගෙබ ඇති අතර ඒ මගින් දකුණේ සිංහල ධනපතියන්ට ව්‍යාපාරික අවස්ථා රැසක් බිහිව ඇත්තේ සිංහල ප්‍රජාව සඳහා දහස් ගණනින් රැකියා උත්පාදනය කරමිනි. මීට අමතරව ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා තවත් දහස් ගණනින් සිංහලයන් උතුරු නැගෙනහිර පළාත්වලට ගොස් ඇත්තේ මීට අමතර වශයෙනි.

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.