JDS Sinhala

'ඒකාධිපති පාලනය බිඳ දැමීමට අපිට වගකීමක් තිබුණා' - ආචාර්ය ප්‍රභාත් ජයසිංහ

කුත් ආණ්ඩු සමය සරසවි ආචාර්යවරුන්ගේ සාමූහික අරගල ක්‍රියාකාරීත්වය තීව්‍රව මතු වූ යුගයකි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය (FUTA) විසින් 2012 වසරේදී ගෙනගිය දිග්ගැසුණු වෘත්තීය ක්‍රියාමාර්ගය දකුණේ සිංහල ජන සමාජයේ ලියලමින් පැවති ආණ්ඩු විරෝධය කැටිකොට දැක් වූ දර්ශකයක් සේ සැළකිණ. වර්ජනය විසින් පෙරට දැමූ සෙසු ඉල්ලීම් අතර වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමේ සටන් පාඨය අවශේෂ සමාජ බලවේගයන්ගේ සහායද වර්ජන ක්‍රියාමාර්ගය වෙත දිනා දීමට ඉවහල් විය. රාජපක්ෂ පාලන තන්ත්‍රයට එරෙහි වි‍රෝධය සිංහල අතරමැදි පංතීන් තුළ අවුලුවා ලූ වැදගත් සන්ධිස්ථානයක් සේ සරසවි ආචාරය සටන සළකනු ලැබුණේ ඒ නිසා ය.

තුන් අවුරුද්දකට පෙර වෘත්තීය සටන් ඇවිලුණු ජූලි මාසයේ සිට මේ පෙබරවාරිය වනවි‍ට රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහකෙරී තිබේ. ඒ ක්‍රියාවලිය ඉක්මන් කරනු වස් ගොඩනැගුණු දකුණේ බහුජන පෙරමුණු අතර සරසවි ආචාර්යවරුද මූලිකත්වය ගෙන සිටියහ.

දෙමසකින් පසු මැතිවරණය දෙස ආපසු හැරී බලන ආචාර්ය ප්‍රභාත් ජයසිංහ කියන්නේ "අපිට අවශ්‍ය වුණේ සාම්ප්‍රදායික බාධාවන් ඉවත ලා පවතින අර්බුදයන් වෙනුවෙන් යම් කිසි දේශපාලනික මැදිහත්වීමක් කිරීමට,"බවයි. කොළඹ සරසවි කළමනාකාර පීඨයේ සහකාර ලේකම් ධූරයේ සිට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ධූරයට මේ ජනවාරියේ තේරී පත් වූ ප්‍රභාත්, තෙවසරකට කලින් පැතිර ගිය සරසවි ආචාර්ය සටනේද පෙරමුණ ගෙන සිටි අයෙකි.

"වඩා වැදගත් වෙන්නේ අපි පෙනී සිටින මතවාදය සමාජගත කිරීමයි. එය මේ මොහොතේදි නිදහස් අදහස් දැරීමේම එක්තරා දිගුවක්" යැයි ඔහු කියයි.

නව ආණ්ඩුව ඇති කිරීමට පොරොන්දු වී තිබෙන ප්‍රතිසංස්කරණ දිනාගැනීම සඳහා ඇති වැඩ පිළිවෙල ගැන මෙන්ම ඉකුත් සමයේ සිය දේශපාලන භූමිකාව ගැනද ආචාර්ය ජයසිංහ JDS හා කතා කළේය.

සටහන: කිත්සිරි විජේසිංහ  |   සේයාරුව: කල්ප රාජපක්ෂ


විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ගොඩනැංවීමෙහිලා බලපෑ හේතු සාධක ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?

ඇත්තෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියන්නේ දිගු ඉතිහාසයක් තියෙන වෘත්තීය සමිතියක්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය බිහිවීමට මූලික පදනම වැටෙන්නේ විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා යම් කිසි එකතුවක අවශ්‍යතාව මතු වු කාලයකයි. නමුත් 2010 අවුරුද්ද වනතෙක් යම්කිසි ආකාරයක සීමාවක් තුළයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කටයුතු සිදුවනු ලබන්නේ. 2010 න් පසු රට තුළ ඇතිවන තත්ත්වයත් එක්ක සම්මේලනයේ ක්‍රියාකාරිත්වය පුළුල් කරන්නට අපිට සිද්ධ වෙනවා. එතෙක් වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයට පමණක් සීමා වී තිබුණ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය,රටේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙනුත්, වෙනත් තීරණාත්මක සමාජ අරගල සම්බන්ධයෙනුත් යම් කිසි මැදිහත්වීමක් සිදු කරනු ලබනවා. නමුත් එය කළ යුතු වෙන්නේ ඉතා කල්පනාකාරීව සහ යම් අවබෝධයක් සහිතවයි. ඒකට හේතුව වෘත්තීය සමිතියක් යනු දේශපාලන පක්ෂයක් හෝ එවැන්නකට සෘජු සම්බන්ධයක් සහිත ව්‍යාපාරයක් නොවීමයි. නමුත් නොයෙක් දේශපාලන මත දරන, පක්ෂ දේශපාලනයට සම්බන්ධව කටයුතු කරන අය වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරනවා.

'ෆුටා' යනු විවිධ දේශපාලන මත දරන්නන්ගේ එකතුවක් වගේම එය මෙතෙක් පැවති සම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් කටයුතු කරන්නක් බව ඔබ සඳහන් කළා. එවැනි දේශපාලන වෙනස්කම් සහිත පුද්ගල එකතුවක් ඔස්සේ පවතින දේශපාලන වටපිටාවන් තුළ කිරිමට අපේක්‍ෂා කරන නිශ්චිත කාර්යභාරය කුමක්ද?

මේ මොහොත වෙනකොට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නොහොත් ෆුටා එක යම් නිශ්චිත වැඩ පිළිවෙලක් හඳුනාගෙන තිබෙන බව කිව යුතුයි. මා මීට කලින් සඳහන් කරනු ලැබුවා අපි සාම්ප්‍රදායික වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයෙන් එළියට ඇවිත් පොදු සමාජයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් යම් මැදිහත්වීමක් කිරිමට උත්සාහ දරන බව. මේ වැඩ පිළිවෙල මගින් සිද්ධ වෙන්නේ එකී කාර්යය නිශ්චිතව සිදුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමයි. ඒ වගේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විදියට අපි විසින් හඳුනාගෙන තියෙන බොහෝ අර්බුදයන්ට ප්‍රමුඛතාවයන් මත මැදිහත්වීමක් ලබා දීමට කටයුතු කිරීමයි. ඒ අනුව අපගේ වෘත්තීය අයිතිවාසිකම් රැකගැනීම කියන කාරණාවට අපි වෘත්තීය සමිතියක් ලෙස ප්‍රමුඛතාවය ලබාදිය යුතු වෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධව කිසිදු විවාදයක් නැහැ. අනෙක් කරුණ විශ්ව විද්‍යාල පද්ධතිය ස්වාධීන කරගැනීමේ අරමුණ සහිතව දේශපාලන මැදිහත්වීම්වලින් තොරව පවත්වා ගැනීමට කටයුතු කිරීම. අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින අර්බුද සමනය කරගැනීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුනට යම් මැදිහත්වීමක් කළ හැකි බව අපේ විශ්වාසයයි. සමස්ත අධ්‍යාපනයම මේ වන විට තියෙන්නේ දරුණු අර්බුදයක ගිලී යමින් කියන එක අපි දන්නවා. ඒ නිසා ඒ සම්බන්ධව ඉතා විධිමත් සහ ප්‍රායෝගික වැඩ පිළිවෙලක්  අවශ්‍ය කෙරෙනවා. මේ හැරුණු විට ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය යළි සහතික කර ගැනීමත්, ශක්තිමත් කරගැනීමත් වෙනුවෙන් ඒ සම්බන්ධව මැදිහත් වෙන සෙසු පාර්ශවයන් එක්ක ඒකාබද්ධව කටයුතු කිරීමත් අපගේ වගකීමක් යැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විදියට අපි කල්පනා කරනවා.

මෙයට පෙර ඇතැම් අවස්ථාවලදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යම් යම් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගේ ජයග්‍රණයන් වෙනුවෙන් මැදිහත් වෙමින් කටයුතු කොට තිබෙනවා. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයක් ලෙස ජනාධිපති අපේක්‍ෂකයෙකුගේ මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් සෘජුවම පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි. එවැනි තත්ත්වයක් සඳහා බලපෑ හේතු මොනවාද?

ඒ සඳහා ඔබට ලබා දීමට ඇති පිළිතුර තරමක් දීර්ඝ එකක් විය හැකියි. ඔබ සඳහන් කළ පරිදිම පෙර පැවති මැතිවරණවලදි ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යම් අපේක්‍ෂකයෙකුට සහාය පළ කරමින් ප්‍රකාශ නිකුත් කොට තිබෙනවා. ඇතැමුන් සෘජුවම යම් අපේක්‍ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිය අවස්ථා පවා අපි දැක තිබෙනවා. එවැනි පුද්ගලයන්  මැතිවරණවලදී පමණක් නොවෙයි, පසුගිය ජනාධිපතිවරණයේදිත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණා. නමුත් අපි පසුගිය ජනාධිපතිවරණයේදි එක් අපේක්‍ෂකයෙකුට සහාය පළ කරමින් ප්‍රකාශ නිකුත් කරනු ලැබුවේත් ඒ වෙනුවෙන් පෙනී සිටියේත්  පොදු අරමුණක් සහ සාමුහික එකඟතාවයක් සහිතවයි. එසේම අවධාරණය කොට කිව යුතු දෙයක් තිබෙනවා. ඒ තමා අපි එක් අපේක්‍ෂකයෙකු වෙනුවෙන් සහාය පළ කරනු ලැබුවේත්, මැතිවරණ ක්‍රියාවලිය තුළ සක්‍රීය කාර්යභාර්යක් ඉටුකරනු ලැබුවේත් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විදියට නොවන බව. එවැනි මැදිහත්වීමක් අපි විසින් සිදුකරනු ලැබුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ තවත් පාර්ශවයන් කිහිපයක එකතුවෙන් පිහිටුවාගනු ලැබු 'සමාජ සාධාරණත්වයක් සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්' නැමති සංවිධානය හරහායි. අපිට අවශ්‍ය වුණා පැවති සාම්ප්‍රදායික බාධාවන් මඳක් ඉවතට ලා පවතින අර්බුදයන් වෙනුවෙන් යම් කිසි දේශපාලනික මැදිහත්වීමක් කරන්න.

විශ්ව විද්‍යාල ආචාර්යවරුනගේ සංගමයේ මූලික හරයන් සහ අපේක්ෂාවන් තුළ හිඳිමින්ම දේශපාලන ක්‍රියාවලිය තුළ යම් කිසි බලපෑම් සහගත කණ්ඩායමක් ලෙස පෙනී සිටීමේ වැදගත්කම අපි දැක්කා.  බහුජන සංවිධානයන්, වෘත්තීය සමිති, කලාකරුවන් සහ සිවිල් ප්‍රජාවන් එක් අරමුණක් වෙනුවෙන් පෙරට පැමිණෙන අවධියක විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැනි සමාජයේ පිළිගත් වෘත්තිකයන් පිරිසක් පමණක් එයින් වෙනස් වු මතයක් දැරීම යහපත් නොවේය කියන කරුණ අප තර්කානුකූලව සලකා බලනු ලැබුවා. ඒ අනුවයි අපි පසුගිය ජනාධිපතිවරණයට යම් කිසි මැදිහත් වීමක් සිදුකළේ.

පසු ගිය අවුරුදු 5 - 6ක කාලය තුළ පෙර කවරදාකටවත් වඩා විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රය දේශපාලනීකරණයට නතුව තිබුණා. ස්වාධීනත්වයක් තිබුණේම නැහැ. විශ්ව විද්‍යාල පරිපාලනය යනුවෙන් හඳුන්වනු ලැබුවේ සෘජුවම දේශපාලන මැදිහත්වීම් මත සිදු කෙරුනු ක්‍රියාකාරකම්. මුල්පෙළේ බොහෝ පත්වීම් සිදු වූයේ දේශපාලන හිතවත්කම් සහ දැනහැඳුනුම්කම් මත. එහෙමත් නැතිනම් දේශපාලන බල අධිකාරිත්වයේ සෘජු නිර්දේශයන් මත. උදාහරණයක් විදියට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයා හෝ සභාපතිවරිය ද, උපකුලපතිවරුන් ද පත් කරන්නේ ආණ්ඩු විසින්. එයින් පහළ පරිපාලනයේ ප්‍රධාන තනතුරු සියල්ල ද පත්කරන්නේ හෝ නිර්දේශ කරන්නේත් ආණ්ඩු විසින්. එහෙම නැතිනම් උපකුලපතිවරුන්ගේ බලය හරහා ආණ්ඩු හිතැති, ආණ්ඩුවට පහසුවෙන් මෙහෙය විය හැකි පුද්ගලයන්ගෙන්. මේ මගින් විශ්ව විද්‍යාල පද්ධතියම දේශපාලනීකරණය වෙනවාට අමතරව විශ්ව විද්‍යාලයක පැවතිය යුතු සියළු ගුණාත්මක හරයන්ද විනාශ වෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය පැවතිය යුතුවන්නේ පවතින රජයේ හෝ අමාත්‍යවරයාගේ රුචි අරුචිකම් මත නොවෙයි. ඒ සඳහා ලොව පිළිගත් ක්‍රමවේදයන් තිබෙනවා. ලෝකයේ කිසිම විශ්ව විද්‍යාලයක පරිපාලනය දේශපාලන බලතන්ත්‍රයේ අවශ්‍යතාවයන් හෝ උවමනා එපාකම් මත සැකසෙන්නේ නැහැ. එහෙම වුණාම එවන් විශ්වවිද්‍යාලයක් මගින් දෙන අධ්‍යාපනය පිළිබඳ සහතිකයක් දිය නොහැකියි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයක පදනම නිදහස් සහ ස්වාධීන චින්තනයන්ගෙන් එය පිරි පැවතීමයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයක අනන්‍යතාවය ඒකයි.

පාලකයන්ගේ සිතැඟිවලට ගැළපෙන විදියට  විශ්වවිද්‍යාල අධ්‍යාපනය පාලනය කිරිමට යාමෙන් සිදුවන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහළ වැටීම මිසක් වෙන කිසිවක් නොවෙයි.  දේශපාලන බලධාරින්ගේ උවමනාවත් එයයි. විශ්ව විද්‍යාලය තමන්ට අවනත කරගත හැකි, තමන්ගේ දේශපාලන මතවාදයන්ට අභියෝගයක් එල්ල නොකරන, ඒ සම්බන්ධව සංවාද නොකරන තැනක් බවට පත්කර ගැනිමටයි. මේ තත්ත්වය ඉතා දරුණුව පසුගිය කාලයේදි අපි අත් දුටුවා. ස්වාධීන අදහස් දැරිම සහ ප්‍රකාශ කිරිම වගේම  විකල්ප මතවාදයන් දැරිම විශ්ව විද්‍යාල භූමියට තහනම්ව තිබුණා.

මා ඔබට එක් උදාහරණයක් කියන්නම්. එක් අවස්ථාවක කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන සභාව තීන්දුවක් ගනු ලබනවා, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආචාර්ය උපාධියක් ලබා දෙන්න. එක් පුද්ගලයෙක් එම යෝජනාව සනාතන සභාවට ඉදිරිපත් කළ පසු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය වුක්‍ෂේනුකා හිරිඹුරේගම එක්වරක් කියා සිටියා මේ රටේ සිටින්නේ ජාතීන් දෙකයි, ඒ මව්බිමට ආදරය කරන සහ නොකරන අය වශයෙන්. එයින් පසු වෙනත් කිසිවෙක් ඒ සම්බන්ධව කිසිදු අදහසක් පළ කිරිමට අවසර ලැබුනේ නැහැ. විශ්ව විද්‍යාල පරිපාලනයේ ඉහළම තීන්දු තීරණ ගැනිමට සිටින අය හැසිරෙන්නේ ඒ විදියට නම් ඉන් පහළ මට්ටමින් සිද්දවෙන්නේ කුමක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන්.

අනෙක් පැත්තෙන් තියෙන ප්‍රශ්නය තමයි, මේ තත්ත්වය තුළ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුන් මුහුණ දෙන ගැටළු. විශ්ව විද්‍යාල බොහොමයක ශිෂ්‍ය සභා තහනම් කරනු ලැබුවා. නිදහස් අදහස් දැරීම සහ අවම වශයෙන් අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් හෝ සංවාද වැඩමුළු පැවැත්වීම පවා දරුණු වාරණයකට යටත්කොට තිබුණා. සමස්ත අධ්‍යාපනයේම ප්‍රතිපත්ති සකස් කෙරුනේ ආණ්ඩු පාලකයන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර මත පදනම්ව. විශේෂයෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේදි රජය අනුගමනය කරනු ලැබූ හිතුවක්කාරි ක්‍රියා පිළිවෙත, වෘත්තීය සහ ශාස්ත්‍රීය අධ්‍යාපනය වෙන් වෙන්ව හඳුනා ගැනීමකින් තොරව සිදුකරනු ලැබු වෙනස්කම්, හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය ආදිය ඉතා තීරණාත්මක ලෙස පසුගිය කාලය පුරාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය කෙරෙහි බලපානු ලැබුවා. මේ සියල්ල පිළිබඳව කරන ලද සළකා බැලීමකින් පසුවයි අපි තීරණය කළේ  මේ වෙනස සඳහා යම් දායකත්වයක් අපගේ පාර්ශවයෙන්ද ලබා දිය යුතු බවට.

සමාජ සාධාරණත්වය සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කියන ව්‍යාපාරය ජනාධිපතිවරණයට පෙර නිකුත් කරනු ලැබු ප්‍රකාශනයක ඉතා පැහැදිලිවම සඳහන් කොට තිබුණා මහින්ද රාජපක්ෂ පරාජය කොට මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළ යුතුවන්නේ කුමන හේතුන් නිසාද කියලා. මේ නිශ්චිත ස්ථාවරය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විදියට  ඔබලා විසින් සිදුකළ ප්‍රමාණවත් තක්සේරුවක හෝ අධ්‍යයනයක ප්‍රතිඵලයක්ද?

මෙහෙමයි. වඩා වැදගත් වෙන්නේ අප පෙනී සිටින මතවාදය සමාජගත කිරීමයි. එසේම එය මේ මොහොතේදි නිදහස් අදහස් දැරීමේ එක්තරා දිගුවක්. මා පෙරත් සඳහන් කළා අපට තිබෙන අත්දැකීම් පිළිබඳව. මුළු රටේම සියළු පාර්ශවයන්ගේ නිදහස් අදහස් දැරීමේ අයිතිය බරපතල ලෙස උදුරාගත් යුගයකයි අපි ජීවත් වුණේ. ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ කටයුතු නිදහසේ කිරිමට තරම් වටපිටාවක් තිබුණද? ඔවුන් දකින ඇත්ත වෙනුවට බලකරනු ලැබුවේ කුමක් වාර්තා කරන්නද? ඒ සීමාවන් බිඳ දැමීමට උත්සාහ කිරිමේ වරදට ජනමාධ්‍යවේදීන් කීදෙනෙකුට මේ රට හැර යන්න සිදුවුනාද? ආණ්ඩුවේම ඇමතිවරයෙකුට හැකියාවක් තිබුණද තමන් දරන මතවාදයන් වෙනුවෙන් පෙනී සිටින්න. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ක්‍රියාත්මක වුයේ පාලක පක්ෂයේත්, එහි නායකත්වයේත් පෞද්ගලික අභිලාශයන් සහ රුචි අරුචිකම් මත. අපි තවමත් අත් විඳිමින් සිටින්නේ ඒවායෙහි ප්‍රතිඵලයන් නොවෙයිද?

මේ තත්ත්වය මතයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පෙරමුණට පැමිණෙන්නේ. පැවති රජයේ ඒකාධිපති පාලනය බිඳ දැමීම අපගේ වගකීමක් ලෙස අපි දුටුවා. එය සමාජය විසින් අප වෙත පවරනු ලැබු වගකීමක්. සමාජ සාධාරණත්වයක් සඳහා වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකතුව ආණ්ඩුවක් බලයෙන් පහකිරිම හෝ නව ආණ්ඩුවක් බලයට රැගෙන ඒම කියන කරුණට පමණක් සීමාවෙන්නේ නැහැ. එසේම ඇතැම් කරුණු පිළිබඳව සළකා බැලීමේදි මේ මොහොතේදි වඩා වැදගත් වන්නේ ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරවල ස්වභාවයයි. අපගේ යෝජනාවන් හෝ අදහස් පිළිබඳව පාලකයන් දක්වන සැළකිල්ල, ප්‍රතිචාර  ඉදිරිය සම්බන්ධයෙන් ඉතා වැදගත්. උදාහරණයක් ලෙස අධ්‍යාපනය සම්බන්ධයෙන් 6% වෙන් කළ යුතුය කියන අරගලයේදි පැවති රජය එයට ප්‍රතිචාර දක්වනු ලැබුවේ ඉතාම රළු සහ දරදඬු ආකාරයෙන්. ඔවුන් ඉතාම අවඥාසහගත ලෙස එම යෝජනාවන් බැහැර කරනු ලැබුවා. ආණ්ඩුව, විශේෂයෙන්ම හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා ඒ ප්‍රශ්ණය විග්‍රහ කරනු ලැබුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු ආණ්ඩුවේ සතුරන් පිරිසක්ය කියන වෛරී ආකල්පයේ පිහිටමින්.

නමුත් නව රජය ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයන් තරමක් වෙනස්. අපි මේ ඉල්ලීම ඉදිරිපත් කරන අවධියේ ඔවුන් නියෝජනය කරනු ලැබුවේ විපක්ෂය. ඒ නිසාම ඔවුන්ට අවබෝධයක් තිබිය යුතුයි, මේ අර්බුදය පුපුරා ගියේ කොහොමද කියන එක ගැන. නමුත් අපි ඉක්මන් නොවන බව කිව යුතුයි. ඒ කියන්නේ පූර්ණ විශ්වාසයකට එළැඹීමට අපි කිසිවිටකත් උත්සාහ කරන්නේ නැහැ. දුරස්ථභාවයක් සහිතව යම් මැදිහත්වීමක් කරන්නට අපි කැමතියි. පෙර පැවති තත්ත්වයන්ට සාපේක්ෂව යම් සුභවාදී තත්ත්වයක් වර්තමානයේදි දක්නට ලැබෙනවා. නමුත් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගැනීමට අපි සුදානම් නැති බවත් කිව යුතුයි.

උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් යුද්ධය පැවති වකවානුවේත්, එයින් පසුවත් දරුණු මර්දනයකට ගොදුරු වූ බව අපි දන්නවා. ඒ වගේම දෙමළ ජාතික සිසුන් විශාල පිරිසක් පසුගිය වකවානුවේදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින්නේයැයි සිසු සංගම් විසින් චෝදනා කරනු ලබනවා. දකුණේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලෙසත් විශේෂයෙන්ම යහපාලනය පිළිබඳ පෙනි සිටින්නා වු ආචාර්ය සංගම්  ලෙසත් එවැනි සිදුවීම් සම්බන්ධව දක්වන මැදිහත්වීම කුමක්ද?

උතුරු-නැගෙනහිර විශ්ව විද්‍යාලවල අපගේ වෘත්තීය සගයන් සහ ඒ දෙපළාතේ දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තවමත් ජීවත්වන්නේ යම් කිසි භීතියකින්. ඒ නිසාම  ඔවුන් පොදු අරගලයන් සඳහා දක්වන්නේ සීමාසහිත දායකත්වයක්. වසර ගණනාවක් ඔවුන් විඳි පීඩාවන්ගේ සහ ඔවුන් වෙත මුදාහළ මර්දනයේ ප්‍රතිඵලයක් ලෙසයි අපි එය දකින්නෙ. නමුත් ඔවුන්ගේ අයිතීන් පිළිබඳව දැනුවත් කරන්නට අපි නිරන්තරයෙන්ම උත්සාහ ගනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් යම් යම් අරගලයන් සඳහා අපත් සමග සම්බන්ධවනවා. එසේම නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුනුත් සැළකිය යුතු දායකත්වයක් දකුණේ අරගලයන් වෙනුවෙන් ලබා දෙනවා.

ඔබ සඳහන් කරනු ලැබුවේ දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන් වෙනුවෙන් උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්, ශිෂ්‍යයන් විසින් දක්වන ලද දායකත්වය ගැනයි. මා ඔබෙන් විමසන්නේ උතුරු නැගෙනහිර ඉලක්ක කරගෙන ශ්‍රි ලංකා රජය මුදාහළ යුද්ධයේදි ගොදුරු බවට පත්වු එම පළාත්වල ආචාර්යවරුන්, ශිෂ්‍යයන් වෙනුවෙන්  දකුණෙ විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් විසින් කරන ලද කාර්යභාර්ය කුමක්ද කියන ප්‍රශ්නයයි?

ඇත්තෙන්ම මම කැමති නැහැ අතිශයෝක්තියෙන් යමක් පවසන්න. ඔවුන් වෙනුවෙන් අපිට කිසිවක් කරන්න බැරි වුණා. අපි ඔවුන් වෙනුවෙන් ගොඩක් දේ කළා කියලා බොරුවට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඒ සඳහා බලපෑ හේතු තිබෙනවා. යම්කිසි සීමාවකට යටත්වයි ෆුටා වැනි සංවිධානයකට කටයුතු කිරිමට හැකි වන්නේ. නමුත් පුද්ගලිකව අපි එකිනෙකාට හැකි පමණින් මැදිහත් වු අවස්ථා තිබෙනවා. නමුත් ඔවුන්ට අපේ සහයෝගය අවශ්‍ය වු මොහොතක එය ලබාදීමට නොහැකි වු බවත් අපි පිළිගත යුතුයි.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිව සිටි මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා 2006 දෙසැම්බර් 15 වැනිදා කොළඹ අධි ආරක්ෂක කලාපයකදි පැහැර ගැනීමට ලක්ව අතුරුදහන්කෙරි මේ වන විට වසර 8ක් සම්පූර්ණ වෙනවා. ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ඔහු සොයා ගැනීම සඳහා මැදිහත්වන්නැයි අවස්ථා කිහිපයකදීම මෙරට විශ්ව විද්‍යාල ප්‍රජාවගෙන් සහ පැවති රජයෙන් ඉල්ලා සිටියා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විදියට ඔබලා ඒ සම්බන්ධව ගනු ලැබු ක්‍රියාමාර්ග මොනවාද?

බොහෝම අවංකවම කියා සිටියොත් මා ඒ සම්බන්ධව කිසිවක් දන්නේ නැහැ. ඒ සම්බන්ධව කුමනාකාරයේ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවාදැයි කියන එක මේ මොහොතේදි මට නිශ්චිතවම පැවසිය නොහැකියි.

අධ්‍යාපනය සඳහා 6%  වෙන් කරගැනීම වෙනුවෙන් ඔබ සංවිධානය විසින් කැඳවනු ලැබු උද්ඝෝෂණ ව්‍යාපාරයකට සහයෝගිතා ක්‍රියාමාර්ග සංවිධානය කරමින් සිටියදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු අභිරහස් ලෙස මරණයට පත් වූ බව ඔබ දන්නවා ඇති. මේ මරණ සම්බන්ධව ආණ්ඩුව වගකිව යුතුයැයි  ශිෂ්‍ය සංවිධාන සහ දෙමාපියන් විසින් චෝදනා එල්ලකරනු ලබනවා. එසේම මියගිය සිසුන්ට යුක්තිය ඉටුකර ගැනිමේ කාර්යයේදි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ප්‍රමාණවත් දායකත්වයක් දැක්වූයේ නැතැයි ශිෂ්‍ය සංවිධාන චෝදනා කරනු ලබනවා. මේ සම්බන්ධව ඔබේ මතය කුමක්ද?

ඔවුන් එවැනි චෝදනාවක් එල්ල කිරිමට හේතුව කුමක්දැයි කියා ඇත්තෙන්ම මම දන්නේ නැහැ. නමුත් අපි ඒ සම්බන්ධව යම් යම් මැදිහත්වීම් කර තිබෙනවා. එම සිසුන් දෙදෙනාගේ මරණ මිනිස් ඝාතණයක්ද නැත්නම් වෙනත් හේතුවක් මත සිදුවුවක්ද කියන එක තවමත් නිශ්චිතවම ප්‍රකාශ වී නැහැ.

දෙමළ ජනතාව ඉලක්ක කරමින් වර්ග සංහාරයක් සිදුවී ඇති බව පවසමින් උතුරු පළාත් සභාව විසින් පසුගිය දිනෙක යෝජනාවක් සම්මත කරගනු ලැබු අතර මේ වන විට එයට දෙමළ බුද්ධිමතුන්ගේ සහ සිවිල් සමාජ කණ්ඩායම්වල සහයෝගය හිමිව තිබෙනවා. නව දේශපාලන සංස්කෘතියක් සහ යහපාලන රාජ්‍ය සංකල්පයන් වෙනුවෙන් පෙනී සිටින දකුණේ ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් ලෙස ඔබලා ඒ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය මොකක්ද?

මා නැවතත් කියන්න කැමතියි ෆුටා කියන්නේ යම් කිසි වෘත්තිය සමිතියක්. එයට කළ හැකිවන්නේ සීමාසහිත කාර්යභාරයක්. ඒ නිසා එයට අනවශ්‍ය බරක් පැටවීමත්, අනවශ්‍ය කාර්යභාරයක් බලාපොරොත්තු වීමත් කිසිම තේරුමක් නැති වැඩක්. වෘත්තීය සමිතියක් විදියට එයට කළ හැකි සීමාවන්ගේ උපරිමයට මේ වන විට අපි පැමිණ තිබෙනවා. ඔබ විමසනු ලැබු ප්‍රශ්නයට වෘත්තීය සමිතියක් විදියට අපිට මැදිහත් වෙන්න හැකියාවක් නැහැ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.