JDS Sinhala

'ශ්‍රී ලංකාවේ දෙමළ වර්ග සංහාරයක්' උතුරු පළාත් සභාව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලයි

දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරයක් අතීතයේ සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින බවට යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කොටගෙන තිබේ. දිවයිනේ වර්ග සංහාරයක් සිදුවූ බවට මහජන ඡන්දයෙන් පත්වූ ව්‍යවස්ථාපිත සභාවක් විසින් මුල්ම වතාවට සම්මත කරගන්නා ලද යෝජනාව අඟහරුවාදා (10) යාපනයේදී සභාගත කරන ලද්දේ මහ ඇමැති සී වී විග්නේස්වරන් විසිනි.

පොදුජන එක්සත් පෙරමුණේ හවුල්කාර ඊපීඩීපී සංවිධානයද පක්ෂව ඡන්දය දුන් 'දෙමළ ජනතාවට එරෙහි ශ්‍රී ලංකාවේ වර්ග සංහාරය' පිළිබඳ යෝජනාව, පරීක්‍ෂණයක් පවත්වා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරදකරුවන්ට නඩු පවරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී. බලහත්කාර උපත් පාලනය, උතුර වෙනම හමුදා පාලනයක් යටතේ කොටු කර අත්‍යවශ්‍ය දෑ එහි ළඟාවීමට තහංචි පනවා තිබීම, අසීමිත ලෙස උතුරේ රඳවා සිටින යුද භටයන් විසින් සිදුකරන ලිංගික අඩන්තේට්ටම් සහ ඉඩ කඩම් පැහැර ගැනීම, දෙමළ ජන ඝාතනයට අමතරව අද දක්වා පවත්වාගෙන යන වර්ග සංහාරයේ අංග ලෙසින් උතුරු පළාත් සභා යෝජනාව විසින් පෙන්වා දී ඇත.

සිංහල ජනයාට පණිවුඩයක්

'ඓතිහාසික වශයෙන් වැදගත්,' බව සඳහන් කරමින් යෝජනාව සභාගත කළ මහ ඇමැතිවරයා, එය 'මගේ සිංහල සහෝදර සහෝදරියන්ගේ ජීවිතවලට අදාළ නොවන, ජාත්‍යන්තර ප්‍රජාව වෙත යැවුණු සංදේශයක්,' සේ සලකනු නැති බවට විශ්වාසය පල කළේය. පළාත් සභාවේදී ඔහු කියා සිටියේ යෝජනාව සිංහල ජනතාව ගේ 'සදාචාර අවංකභාවය සහ මනුෂ්‍යත්වයට කෙරෙන අභියෝගයක්,' බවයි.

යුද්ධය නිම වූ බව රජය විසින් ප්‍රකාශයට පත්කොට අවුරුදු හතරක් ඉක්ම ගොස් තිබු 2013 අගෝස්තුවේ දීත් කිලිනොච්චියේ පිහිටි වේරවිල්, කෙරංචි, සහ වාලෙයිපාට්ටු යන දෙමළ ගම්මානවල මවුවරුන් බලහත්කාරයෙන් වඳභාවයට පත් කරන ලද බව උතුරු පළාත් සභා යෝජනාවේ සඳහන් වෙයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වී මාසයක් ගතවෙද්දී මෙම යෝජනාව සම්මත කොටගෙන ඇත්තේ මාර්තුවේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසියටපෙර ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිමින් විදේශ සංචාර වල නිරත වී සිටින මංගල සමරවීර අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය රජය සමග සාකච්ඡා වල යෙදී සිටියදී ය.

දෙමළ වර්ග සංහාර චෝදනා  පුළුල් අයුරින් විභාග කොට ලබන මාර්තුවේ ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වාර්තාවට ඇතුළත් කරන ලෙස උතුරු පළාත් සභාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටී.

විශ්වාස භංගය

ශ්‍රී ලංකාව මේතාක් පාලනය කළ ආණ්ඩු විසින් දෙමළ වර්ග සංහාරයක් පවත්වාගෙන ගිය බව ප්‍රකාශයට පත් කරන යෝජනාව, ඒ පිලිබඳ අපක්ෂපාතී පරීක්‍ෂණ පවත්වා යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් 'රාජපක්ෂ පාලනය, සිරිසේන පාලනය හෝ අනාගත පාලනයක්,' කෙරේ කිසිදු විශ්වාසයක් නැති බව පවසයි. දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුවේ යුද ප්‍රහාර වඩාත් උත්සන්න කෙරුණු 2009 මැයි මාසයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය වරයා වශයෙන් කටයුතු කළ බවත් එය සිහිපත් කරයි.

ලෝකය පුරා සිදුවන මානව හිමිකම් විභාග කරන ස්වාධීන, ජාත්‍යන්තර ආයතනයක් වන රෝමය මුලස්ථාන කොටගත් ස්ථාවර මහජන විනිශ්චය සභාව (PPT) විසින් කරන ලද විමර්ශනයකදී, දෙමළ ප්‍රදේශ වල සිදු කෙරෙන 'හමුදා කරණය තීව්‍ර කිරීම, ජනාවාස කරණය සහ සිංහල බෞද්ධ සංස්කෘතිය බලෙන් පැටවීම,'  වර්ග සංහාරය පවත්වාගෙන යාමට අදාළ සාක්ෂි ලෙසින් හඳුනාගෙන තිබෙන බව යෝජනාවේ සඳහන් කොට තිබේ. 2009 මැයි 19 දා වනවිට එක් දිනකදී සාමාන්‍ය වශයෙන් දහසක් පමණ නිරායුද වැසියන් මරා දමන ලදැ'යි PPT විමර්ශනය විසින් හෙළිදරව් කොට ගෙන ඇති බව උතුරු පළාත් සභා යෝජනාව සඳහන් කරයි.

2013 දෙසැම්බරයේ ජර්මනියේ බ්‍රේමන් නුවර පැවති විමර්ශන සැසිය හමාරයේ එළැඹි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ස්ථාවර මහජන විනිශ්චය සභාව මෙසේ ප්‍රකාශ කළේය. ''ඊළාම් දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වරදකරු වෙයි. එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඊට හවුල් වීම සම්බන්ධයෙන් වරද කරුවෝ වෙති. තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින් යුතුව විනිශ්චයකාරවරුන් ඉන්දියාවේ පංගුකාරත්වය පිලිබඳ තීන්දුව ලබාදීම අත් හිටුවා ඇත."

'විකාර චෝදනා'

දස දහස් සංඛ්‍යාත ජනකායකට මරු කැඳවූ යුද්ධයේ  දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරය ඇතුළු අපරාධ පිලිබඳ සාක්ෂි රාජපක්ෂ පාලනය විසින් බැහැර කරන ලද්දේ 'විකාර චෝදනා' ලෙස හඳුන්වමිනි. යුද සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමුළුවක් අමතමින් කියා සිටියේ 'වර්ග සංහාර සහ යුද අපරාධ පිලිබඳ විකාර චෝදනා වලට කිසිදු අර්ථයක් සැපයීමට නොහැකි වන තරමට මියගිය හා අතුරුදහන් වුවන් පිලිබඳ සැබෑ සංඛ්‍යාව ඉතා කුඩා,' බවයි.

ජන කණ්ඩායමක සාමාජිකයන් ඝාතනය, එම කණ්ඩායමේ සාමාජිකයන්ට බරපතල ශාරීරික හා මානසික හානි පැමිණවීම, මුළුමනින්ම හෝ ආංශිකව  හෝ එම කණ්ඩායමට භෞතික විනාශය කැඳවීමේ සැලසුමකින් යුතුව ඔවුන්ගේ ජන ජීවිතයට බලහත්කාර කොන්දේසි පැනවීම,  එම කණ්ඩායම තුළ දරු උපත් හට ගැනීම වැලැක්වීමේ අරමුණින් බලහත්කාර පියවර ගැනීම සහ එම කණ්ඩායමේ දරුවන් බලෙන් තවත් කණ්ඩායමකට ඇතුළු කිරීම මගින් ඉතිහාසයේද, වර්තමානයේද දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් පවත්වාගෙන යන බව උතුරු පළාත් සභා යෝජනාව ප්‍රකාශ කරයි.☐

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.