JDS Sinhala

නව සාමූහික ගිවිසුමට එරෙහි වතු කම්කරු විරෝධතා කඳුකරයේ පැතිරේ

අතුල විතානගේ විසිනි.


ම දිනක වැටුප රුපියල් දහසක් කරන මෙන් කෙරුණු ඉල්ලීම් නොතකා හරිමින් රුපියල් විස්සක් වැනි සොච්චම් මුදලක් වැඩි කිරීම සඳහා වතු වෘත්තීය සමිති එකඟවීම සම්බන්ධයෙන් වතු කම්කරු ජනයා අතරින් පැතිරුණු විරෝධයක් මතුවෙමින් තිබේ.  තුන් මාසයක් පුරා නොකඩවා  පිකටිං  උද්ඝෝෂණ, සංකේත වැඩ වර්ජන, විරෝධතා පෙළපාළි ආදී නන්විධ සාමූහික ක්‍රියාමාර්ග ඔස්සේ වතු සමාගම්වලටත්, ආණ්ඩුවටත් බලපෑම් කිරීමට වතු කම්කරුවෝ හා ඔවුන්ට සහාය දක්වන වෙනත් බලවේග විසින් ගන්නා ලද උත්සාහයන් සියල්ල නිෂ්ඵල කිරීමේ කිරීමේ සැළැස්මක් මේ හරහා දියත් වී ඇති බවට ඔවුහු චෝදනා කරති.

දෛනික වැටුප රුපියල් දහසක් කිරීමට ඉල්ලා සිටි වතු කම්කරුවන්ගේ අපේක්ෂාවන් බැහැර කරමින්, නව සාමුහික ගිවිසුම මගින් එකඟ වී ඇති දිනක මුලික වැටුප රුපියල් හත්සීයකි.  මෙයට පැවති ගිවිසුම මගින් අනුමත වූ මුලික වැටුප රුපියල් පන් සියයක් වූ අතර ස්ථීර දීමනා, පැමිණීමේ දීමනා, නිෂ්පාදන දීමනා ඇතුළු අතිරේක ගෙවීම් එකතු කළ විට වතු කම්කරුවකු විසින් සාමාන්‍යයෙන් දිනකට රුපියල් හත් සිය තිහකට ආසන්න මුදලක් උපයන ලදී. නව ගිවිසුම අනුව ස්ථිර දීමනා හැර  පැමිණීමේ දීමනා හා නිෂ්පාදන දීමනා කපා හරිමින් දිනකට උපයා ගත හැකි ආදායම රුපියල් හත්සිය පනහකි.

"නමුත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සඳහා වෙන් කෙරෙන රුපියල් එකසිය පහත් මේකටම එකතු කරලා වතු කම්කරුවන්ගේ සියළු දීමනා සහිත දිනක වැටුප රුපියල් අටසිය පනස් පහක් කියලා හුවා දැක්වීම වංචාවක්"  යැයි දිගු කලක සිට වතු කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මාරිමුත්තු සක්තිවේල් පියනම ජේඩීඑස්  සමග ප්‍රකාශ කළේය.

වතු හාම්පුතුන් හා වතු වෘත්තීය සමිති නියෝජිතයන් අතර අත්සන් කෙරුණු සාමුහික ගිවිසුම මගින් දුෂ්කරතා මධ්‍යයේ ඇදීගිය සටන තීරණාත්මක ලෙස පාවා දෙන ලද බව ඔහුගේ අදහස ය.

සාමූහික ගිවිසුම

වසර දෙකින් දෙකට අලුත් කෙරෙන සාමුහික ගිවිසුමක් වතු කම්කරුවන් වෙනුවෙන් පළමු වරට හඳුන්වා දුන්නේ 1992 වසරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යටතේ ය.  වතු කම්කරුවන්ගේ අභිලාෂයන් නියෝජනය කිරීම වෘත්තීය සමිතිවලට පවරන ලද මේ ගිවිසුම මගින් ඔවුන්ගේ වැටුප් ඇතුළු සෙසු සුභ සාධන දීමනා තීරණය කෙරේ. වතු හාම්පුතුන් විසින් පිළිගත් වෘත්තීය සමිතීන් අතර ලංකා කම්කරු කොන්ග්‍රසය, එක්සත් ජාතික පක්ෂය ට අනුබද්ධ ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂවලට අනුබද්ධ වතු වෘත්තීය සමිති හැරුණු විට තවත් කුඩා සමිති රැසක් එක් වූ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද වේ.

පසුගිය මාස කිහිපය පුරා වතු හාම්පුතුන් සමග පැවති සාකච්ජාවලින් අනතුරුව දිනෙක මුලික වැටුප රුපියල් 700 ක් සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් එකඟ වීමත් සමග ඊට එරෙහිව උද්ඝෝෂණ කඳුකරයේ පැතිර යන්නට පටන්ගෙන තිබේ. හැටන් හා බගවන්තලාව ප්‍රදේශවලදී මාර්ග අවහිර කරමින් වතු කම්කරුවෝ ඊට විරෝධය දැක් වූ අතර ජනවාරි 23 වැනිදා වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන, ශිෂ්‍ය කණ්ඩායම්, බහුජන සංවිධාන හා වාමාංශික පක්ෂ එක්ව වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට සහාය පළ කරමින් කොළඹදී උද්ඝෝෂණය කළහ.

"දැන් අත්සන් කරලා තියෙන සාමූහික ගිවිසුමට විරුද්ධව ඒකට අත්සන් කරපු වෘත්තීය සමිතිවල සාමාජිකයෝ අධිකරණයට නොයා ගිවිසුමට බලපෑමක් කරන්න හැකියාවක් නැහැ" යි සක්තිවේල් පියනම කියා සිටියි.

සත්‍යග්‍රහ ව්‍යාපාරයක්

කෙසේ වුවද, පෙබරවාරි 1 වැනිදාට පෙර වතු කම්කරුගේ වැටුප් ඉල්ලීම් නොවිසඳන්නේ නම් ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් තමන් ඉල්ලා අස්වන බව වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් ජනවාරි 30 වැනිදා කොළඹ සිය අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

"ඊයේ අපේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ රැස්වීම තිබුණා. අපේ නායකතුමා මනෝ ගනේෂන් කිව්වා, පාර්ලිමේන්තුවේ අපි හය දෙනාම ඕනෑම දේකට ලෑස්තියි කියලා. මේ ඉල්ලීම දුන්නේ නැතිනම් අපි ඉල්ලා අස්වෙලා හැටන් නගරයේ සත්‍යග්‍රහ වයාපාරයක් ආරම්භ කරනවා"යි ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වුවද 2016 දී වතු කම්කරුවන් සිය දෛනික වැටුප රුපියල් 1000/ක් කරන මෙන් ඉල්ලා ගෙනයන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයේ දී රුපියල් 50 ක වැටුප් වැඩිවීමක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීමට ආරුමුගම් තොණ්ඩමාන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කළ අතර,  පලනි දිගම්බරම්ගේ ජාතික කම්කරු සමිතියත්, රාධා ක්‍රිෂ්ණන්ගේ  කඳුරට ජනතා පෙරමුණත්,  මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණත් කිසිදු විරෝධය පෑමකින් තොරව එම සාමුහික ගිවිසුම පිළිගැනීමට කටයුතු කළහ.

'වැඩි වැටුප් බැහැ' - වැවිලිකරුවන්ගේ සංගමය

වතු කම්කරු ඉල්ලීම වෙනුවෙන් අගනුවර පැවති පළමු දැවැන්ත උද්ඝෝෂණය වතුකරයෙන් ආ තරුණ තරුණියන්ගේ මූලිකත්වයෙන් ඉකුත් ඔක්තෝබර් 24 වැනිදා සංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලද කණ්ඩායමේ ක්‍රියාධරයෙකු වූ හරේන්ද්‍රන් ක්‍රිශ්ණසාමි ජේඩීඑස් සමග කියා සිටියේ රුපියල් 700 ට එකඟ වීමට එරෙහිව නැගුනු විරෝධතා සමනය කරනු සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ සාමුහික ගිවිසුම අත්සන් කිරීමට ලංකා කම්කරු කොංග්‍රස් නායක අරුමුගම් තොන්ඩමාන් ඉතා සුක්ෂමව කටයුතු කළ බව ය.

"පලනි දිගම්බරම්ගේ වෘත්තීය සමිතිය වතුකරයේ විරෝධතා සංවිධානය කිරීමට දායක වුණා. දැනට නව සාමුහික ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ ලංකා කම්කරු කොන්ග්‍රසය හා ලංකා ජාතික වතු කම්කරු සංගමය විතරයි. ඉදිරි දවස්වලදි ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධස්ථානයත් ඒකට අත්සන් කරන්න ඉඩක් තියෙනවා" යි ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ අතර තමන්ට දැරීමට සිදුවන අධික නිෂ්පාදන පිරිවැය නිසා රුපියල් දහස් දක්වා දෛනික වැටුප වැටුප් වැඩි කළ නොහැකි බව වැවිලිකරුවෝ පවසති. වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක සමග පැවති අවසන් කතා බහේදී ඔවුන් යෝජනා කර සිටියේ පැමිණීමේ දීමනා හා දිරි දීමනා ඇතුළු දීමනා  කීපයක් මගින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 940 ක්  උපයා ගත හැකි බව ය.☐

© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.