JDS Sinhala

වතු කම්කරුවන්ගේ වැඩි වැටුප් ඉල්ලීමට යහපාලන ආණ්ඩුවෙන් පොලිස් ප්‍රහාර

අතුල විතානගේ විසිනි


තු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අගනුවර දී පැවති විරෝධතාව පොලිස් කැරළි මර්දන හමුදා යොදවා විසුරුවා හැරීම යහපාලන ආණ්ඩුවේ වර්ධනය වන ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පෙන්නුම් කරන ලද්දේ යැයි උද්ඝෝෂණකරුවෝ පවසති.

තු කම්කරුවන්ගේ වැටුප් සටනට සහාය පළකරනු සඳහා බදාදා (24) කොළඹ කොටුව දුම්රියපොළ අසළට රැස් වූ වතුකරයේ තරුණ ජන පිරිස් ලෝටස් පාර ඔස්සේ ගාළු මුවදොර පිටියට පා ගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අභියස විරෝධතාවයේ යෙදුණු අතර රාත්‍රී 7ට පමණ කැරළි මර්දන පොලිස් ප්‍රහාර මගින් විසුරුවා හරිනු ලැබුණි. සමාජ මාධ්‍ය ආධාරයෙන් මේ දක්වා සංවිධානය කළ දැවැන්තම විරෝධතා ව්‍යාපාරය සේ සැළකිය හැකි මෙම විරෝධතාව කැඳවා තිබූණේ ෆේස් බුක් ග්‍රාහකයන් අතරේ හුවමාරු වූ පණිවිඩ මගිනි.

"දහස් ගණනින් සහභාගී වුණු මේ උද්ඝෝෂණය අද්විතීය එකක් වෙන්නේ ලංකාවේදි සමාජ මාධ්‍ය යොදාගෙන දියත් කරපු විශාලතම උද්ඝෝෂණය මේක නිසායි," විරෝධතාවට සහභාගී වූ තරුණ ක්‍රියාකාරිකයකු වන අන්තෝනි ජේසුදාසන් ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

"අපිට අවශ්‍ය වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදීලා කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම ගැන වගකිව යුතු පුද්ගලයකුගෙන් කිසියම් සහතිකයක් ලබා ගන්නයි.  අපිට විසිරිලා ගිහිල්ලා වෙන දවසක කොටුව පොලිසියට එන්න කියලා පොලිසියෙන් කිව්වා. නමුත් කිසිම වෘත්තීය සමිතියක් හෝ දේශපාලන පක්ෂයක් මුල් නොවී තරුණ පිරිස් ස්වෙච්ඡාවෙන් සංවිධානය කරපු උද්ඝෝෂණයක් නිසා ඒක ප්‍රායෝගිකව කරන්න බැරි බව අපි පැහැදිලි කළා. රෑ 7ට විතර ගෝල්ෆේස් එකේ ලයිට් නිවලා පොලිසිය අපිට එළව එළවා පහර දුන්නා,"යි ඔහු වැඩිදුරටත් පැවසීය.

"වෙනත් උද්ඝෝෂණ සම්බන්ධයෙන් අනුගමනය කරන විදියට වගකිව යුත්තෙක් ඇවිත් විරෝධතාකරුවන්ගේ සංදේශය භාරගන්නවා වෙනුවට සිදු කළේ පොලිස් ප්‍රචණ්ඩත්වය යොදවලා සාමකාමී උද්ඝෝෂණයට පහරදීමයි" ජේසුදාසන් කියා සිටියේය.


උපවාස හා විරෝධතා

ඉහළ යන ජීවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන්නැයි තුන් වසරක් තිස්සේ කළ ඉල්ලීම මුල්කොටගෙන ජූලි මාසයේ 27 වැනිදා හැටන් දික්ඔය ට්‍රිලරි වත්තේ ඉහල කොටසේ කම්කරුවන් විසින් විරෝධතාවක් ආරම්භ කරන ලද්දේ වඩා අඩු වැටුප් වැඩිකිරීමක් සඳහා වැවිලිකරුවන්ගේ සංගමය හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඇති කරගත් එකඟතාවයට විරුද්ධතාව පළකරමිනි. අදාළ විරෝධතාව කඳුකරයේ වෙනත් වතු කරා ද වේගයෙන් පැතිරයමින් ආගරපතන වෙවර්ලි වත්තේ කරුපයියා ධර්මලිංගම් හා ග්ලාස්ගෝ වත්තේ සුප්පයියා සත්‍යෙන්ද්‍රා විසින් උපවාසයකට මුලපුරන ලද අතර උපවාසකරුවන්ට සහයෝගීතාව පළකරමින් අගොස්තු 14 වැනිදා 2000 ක් පමණ වූ වතු කම්කරුවෝ තලවකැලේ - ඩයගම මාර්ගය අවහිර කරමින් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වුහ.


සැප්තැම්බර් 23 වැනිදා තලවාකැලේ නගරයට රැස් වූ වතු කම්කරුවන් රුපියල් 1000ක් දක්වා දෛනික වැටුප් වැඩි කරන මෙන් ඉල්ලා සිටිමින් සංවිධානය කළ විරෝධතාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ද සහභාගී වූහ.

"සැප්තැම්බර් 23 වැනිදා තලවාකැලේ නගර සභා පිට්ටනියේ තිබුණ රැස්වීමේදී පලනි දිගම්බරම්ගේ ජාතික කම්කරු කොංග්‍රසයයි, රාධාක්‍රිෂ්ණන්ගේ කඳුරට ජනතා පෙරමුණයි, මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණයි විසින් මෙහෙයවන වෘත්තීය සමිතියි, තවත් වෘත්තීය සමිති හතක නියෝජිතයනුයි කම්කරුවන්ට පොරොන්දු වුණේ ආණ්ඩුව සමග සාකච්ච්ජා කරලා වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවයි" නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි තලවාකැලේ වතු කම්කරු ක්‍රියාකාරිකයෙක් ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

"නමුත් වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති අන්තිමේදි කියලා තිබුණේ, රුපියල් සීයකින් පඩි වැඩිකරන්නම් කියලායි. අපි කවුරුවත් ඒකට එකඟ නැහැ. වෘත්තීය සමිති නැතුව හරි සටන් කරන්න අපි තීරණය කරලා තියෙන්නේ ඒ නිසායි," ඔහු කීය.

වතුකරය පුරා පැතිර යමින් තිබෙන විරෝධයට ඔක්තෝබර් 21 වැනිදා වනවිට ලිඳුල, තලවාකැලේ, නානුඔය හා හැටන් යන ප්‍රදේශ ආශ්‍රිත වතු ගණනාවක කම්කරු කොටස් එක්ව සිටියහ.

කඳුකරයේ හර්තාල්

බදාදා දිනයේ කොළඹ ගාලු මුවදොර උද්ඝෝෂණයට සමාන්තරව හැටන් නගරයේදී ද කම්කරු විරෝධතා පෙළපාලි පැවැති අතර කම්කරු ඉල්ලීම්වලට සහාය දැක්වීම සඳහා හැටන් නගරයේ වෙළඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ද දියත් කරනු ලැබ තිබිණ.

මේ අතර වතු කම්කරු වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිමින් වතු කම්කරු තරුණ පිරිසක් විසින් බගවන්තලාව කොටියාගල තේ කර්මාන්ත ශාලාව අසළින් ඔක්තෝබර් 23 වැනිදා  ඇරඹි පා ගමනක් 28 වැනිදා කොළඹ නගරයට ළඟාවීමට සැළසුම් කර තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප්, වැඩ කොන්දේසි හා සුභ සාධන කටයුතුවලට අදාළ ද්වි වාර්ෂික සාමුහික ගිවිසුම මෙම ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමට නියමිත ය. වැවිලිකරුවන්ගේ සංගමය හා වතු වෘත්තීය සමිති අතර ඇති කරගත් මෙම ගිවිසුම 1992 සිට ක්‍රියාත්මක ය.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.