JDS Sinhala

අධි ආරක්‍ෂාවට අල්ලාගත් අක්කර හය දහසෙන් 430ක් අයිතිකරුවන්ට යළි ලබා දෙයි

මුදාව විසින් අත්පත් කරගනු ලැබ තිබූ උතුරු වලිකාමම් අධි ආරක්ෂිත කලාපයේ ගම්මාන දෙකක මුල් පදිංචිකරුවන් 60 දෙනකුට ඉඩම් ආපසු ලබාදීම ඊයේ (23) සිදුකැරිණි.

මෙසේ ඉඩම් ආපසු ලබාදෙන ලද්දේ තෙල්ලිප්පලෙයි හා කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් වසාවිලාන් සහ වලෙයි යන ගම්මානවලින් පලවාහරිනු ලැබූවන් පිරිසකට ය.

රජයේ හමුදා අත්පත් කරගත් ඉඩම් යළි මුල් පදිංචි කරුවන්ට ලබාදීම  සිදුකැරුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යන අයගේ  ප්‍රධානත්වයෙන් යාපනේ පැවැති උත්සවයකදී ය.

පළාත් සභාවට නොදන්වයි

වලෙයි අක්කර 223ක් සහ වසාවිලාන් අක්කර 197ක් වශයෙන් රජයේ හමුදා අත්පත් කරගෙන සිටි ඉඩම්වලින් අක්කර 430ක් මෙහි දී යළි අයිතිකරුවන්ට පවරනු ලැබිණි. එහෙත් ආණ්ඩුව මුලින් පොරොන්දු වුයේ හමුදාව අත්පත් කරගෙන සිටින අධි ආරක්‍ෂිත කලාප ලෙස නම් කොට ඇති ප්‍රදේශ වලින් ඉඩම් අක්කර 1000ක් ඉන් පලවා හරිනු ලැබූ මුල් පදිංචිකරුවන්ට ලබා දෙන බව ය. මෙතෙක් තහනමට ලක්ව තිබු මයිලෙට්ටි මුහුදු ප්‍රදේශය ද ඊයේ (23) යළි ධීවර කටයුතු සදහා නිදහස් කැරිණි.

මෙම උත්සවය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව නියමිත පරිදි දැනුවත් කර නොමැති අතර, මහ ඇමතිවරයාට අවසන් මොහොතේ උත්සවය සඳහා ඇරයුම් කර ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් බව වාර්තා වේ.

සිය යාපනය සංචාරයේ දී ජනාධිපතිවරයා ඇතුළු පිරිස යාපනයේ පලාලි අධි ආරක්ෂිත කලාපයේද නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. පලාලි අධි ආරක්‍ෂිත කලාපය පිහිටුවා ඇත්තේද එහි සිටි මුල් පදිංචිකරුවන් පලවා හැරීමෙන් පසු රජයේ හමුදා අත්පත් කරගත් ඉඩම්වල ය.

ඉඩම් 75%ක් කොටුකරයි

නැගෙනහිර වසාවිලාන්, පලාලි දකුණ යන ප්‍රදේශවල අක්කර 197ක ඉඩම් ජනතාවට යළි බාරදෙන බව ආණ්ඩුව දැනුම් දීමෙන් අනතුරුව, සිය ගේ දොර ඉඩකඩම් නිරීක්ෂණය සඳහා පසුගිය 20 වෙනිදා ආණ්ඩුවේ අනුමැතිය ඇතිව ප්‍රදේශයේ මුල් පදිංචිකාර පවුල් 411ක සාමාජිකයෝ එහි ගියහ. එහෙත් මුදාහරින බවට ප්‍රකාශිත ඉඩම්වලින් 75%කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය හමුදාව මගින් වළකන ලද අතර එම ඉඩම් හරහා කටුකම්බි වැටවල් ඉදිකරමින් සිටින බව ඉඩම් නිරීක්ෂණයට ගිය මුල් පදිංචිකරුවෝ පැවසූහ. මේ හේතුවෙන්  වසර 25 කට පසු මහත් බලාපොරොත්තුවෙන් තම ගේදොර ඉඩකඩම් දැකබලා ගැනීමට ගිය එම බිම් වලින් පලවාහැරුණු පදිංචිකරුවන්ට ආපසු යාමට සිදුවුයේ  සුන්වූ අපේක්ෂාවෙනි.

“පසුගිය 13 වැනිදා දිස්ත්‍රික් ලේකම්තුමා අපිව කඳවල කිව්වා අපේ ඉඩම් ටික නිදහස් කරනවා කියලා. එතුමා පොරොන්දු වුණා අපේ ඉඩම් නිදහස් කර දෙන බවට. ඇවිල්ලා බලනකොට කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. අපේ ගෙවල්, වගා බිම් සියල්ලම හමුදාව පාවිච්චියට අරගෙන. කටුකම්බි වැටවල්වලින් වෙන් කරලා” වසර 25 කට පසු සිය ගේදොර බැලීමේ අපේක්ෂාවෙන් එහි ගිය 76 හැවිරිදි  පියෙක් පැවසීය.

කටුකම්බි සහ හමුදාව

වසාවිලාන් හි උපන් 28 හැවිරිදි තරුණයෙක් මෙසේ කියා සිටියේ ය. “අද අපි අනාථයෝ වගේ වෙන වෙන තැන්වල ජීවත්වෙනවා. හැමදාම අපේ ගම්වලට ඇවිත් බලාගෙන ඉඳලා ඒවායේ ජීවත්වෙන්න අයිතියක් නැති මිනිස්සු විදියට ආපහු යනවා. අපේ ගෙවල් ඉඩම් නිදහස් කරනවා කියලා පොරොන්දු දෙනවා, එත් ඒක සිද්දවෙන්නේ නැහැ. කටුකම්බි වලින් කොටුකරගෙන ඉන්නවා. මේ ආණ්ඩු අපට නිදහස් ජීවිතයක් දෙන්නේ කවදාද?”

වයස අවුරුදු 54 ක පියෙක් අදහස් දක්වමින් කියාසිටියේ සිදුවෙමින් පවතින දෙය දකින විට සිය ඉඩම් නිදහස් කැරෙනු ඇතැයි තමන්ට විශ්වාසයක් නැති බව ය. “අපිට  අපේ ගම බලන්න එන්න කියලා, හමුදාව කම්බි වැටවල් ගහන්න පටන් අරන්. කොහොමද විශ්වාස කරන්නේ අපේ ඉඩම් මේගොල්ලෝ නිදහස් කරාවි කියලා? නිදහස් කරනවා නම් මොකටද හදිස්සියේ වැටවල් ගහන්නේ? කම්බි රෝල් කියක් තියෙනවද, හමුදාවේ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න!”

උතුරු වලිකාමම් හි සිය ගම්බිම්වලින් පලවාහැරි මිත්තණියක් හඬාවැටෙමින් කියාසිටියේ, අවුරුදු 25කට පසු තම ගේ දොර බැලීමට සිය ගමට පෙරළා පැමිණි නමුත්ඒ සඳහා හමුදාව අවසරයක් නොදෙන බව ය.

“මෙතන ඉන්න කවුරු හරි මට වහ බෝතලයක් ගෙනත් දෙන්න. මෙතනම බිලා මැරෙන්න. අඩුම ගණනේ එතකොටවත් මාව මෙතන වළදමාවිනේ” ඇය කියා සිටියා ය.

විසි පස් වසරක් අවතැන්

1990 වසරේදී තම ගේදොර ඉඩකඩම්වලින් පලවාහැරුණු මේ මුල්පදිංචිකරුවෝ කොළඹ, වව්නියාව, කිලිනොච්ච්චිය හා යාපනය අර්ධද්වීපයේ වෙනත් ස්ථානවල තාවකාලිකව පදිංචි වුහ.

සශ්‍රික ඉඩම් කොටස් කම්බිවලින් වටකොට ඇති හමුදාව මුඩු ඉඩම් කොටස් ජනතාවට යළි ලබාදීමට කටයුතු කරමින් සිටින බව පලවාහරිනු  ලැබූ පදිංචිකරුවෝ පවසති.

යුද හමුදාව විසින් අල්ලාගෙන සිටින භූමිය අතරින් ක්කර 6,381ත් අයත් වන්නේ වලිකාමම් උතුර ප්‍රදේශයට වන අතර මේ භුමි භාගය කොළඹ නගරයෙන් තුනෙන් දෙපංගුවකට වඩා විශාල විශාල ප්‍රදේශයකි. මෙම ඉඩම් අයිතිය ඉල්ලා 2013 දී අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ ප්‍රදේශවාසීන් සංඛ්‍යාව 2100 ඉක්මවයි.☐

සේයා රූ ජෙරා විසිනි

© JDS

සබැඳි ලිපි:

යාපනයේ හමුදාවට පවරාගත් ඉඩම් ඉල්ලා මහජන විරෝධය නැඟ එයි
මංගල යුද අපරාධ සහන ඉල්ලද්දී හමුදාව අල්ලාගත් ඉඩම් කොටසක් 'ආදර්ශ ගම්මානයකට'

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.