JDS Sinhala

මංගල යුද අපරාධ සහන ඉල්ලද්දී හමුදාව අල්ලාගත් ඉඩම් කොටසක් 'ආදර්ශ ගම්මානයකට'

මාර්තුවේ මුළුදෙන ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සහනයක් සලසන මෙන් ඉල්ලා විදේශ අමාත්‍ය මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බං කි මූන් සහ එක්සත් ජනපද රාජ්‍ය බලධාරීන් හමුවෙද්දී රජය ප්‍රකාශ කොට ඇත්තේ යුද හමුදාව විසින් අල්ලගෙන සිටින උතුරු නැගෙනහිර සීමිත බිම් ප්‍රමාණයක් මුදා හරින බවයි. විදේශ ඇමතිවරයා සමග පැවති හමුවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ  'බරපතල ප්‍රමුඛතා සේ සළකා' සාකච්ඡාවට ලක් කරන ලද්දේ මානව හිමිකම්, වගවීම සහ සංහිඳියාව යන කාරණා බව  එම සංවිධානය පවසා තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනය ප්‍රකාශ කර සිටින්නේ උතුරේ ඉඩම් ප්‍රමාණයකට අමතරව නැගෙනහිර පළාතේ පානම ප්‍රදේශයේ ගුවන් හමුදාව විසින් අල්ලාගෙන සිටින අක්කර විසිපහක් හැර ඉතිරි භුමිය ප්‍රදේශයේ ඉඩම් අහිමි ජනතාව අතරේ බෙදා දෙන බවයි.

නමුත් යුද හමුදාව විසින් උතුරේ අත්පත් කොටගෙන සිටින අක්කර දහස් ගණනකින් ජනතාව නැවත පදිංචි කිරීමට රජය විසින් වෙන් කොට ඇත්තේ අක්කර දහසක් පමණකි. එහිදී පළමුව නැගෙනහිර වලිකාමම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වලාලෙයි ග්‍රාම නිලධාරී වසමේ අක්කර 220ක ඉදිකරන 'ආදර්ශ ගම්මානයක' පදිංචි කරවනු ලබන පවුල් 1,022 කට පර්චස් විස්ස බැගින් දෙන බව රජය ප්‍රකාශ කොට ඇත.

මෙසේ ඉඩම් බෙදා දෙනු ලබන්නේ එම පළාතේ පාරම්පරික පදිංචිකරුවන් අතරේද යන්න ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිශ්චිතව සඳහන් කොට නැත.

'හුස්ම ගැනීමට පමණක්'

හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන ඉඩම්වලින් යම් කොටසක් මුදා හැරීමට ආණ්ඩුව එකඟතාවය පළ කිරීම ශ්‍රී ලංකාවේ ඉඩම් කොල්ලය පිලිබඳ සමීක්‍ෂණ සිදු කර ඇති ධීවර සංවිධානයක් විසින් හඳුන්වනු ලැබුවේ  'ඉඩම් අහිමි වුනු ජනතාවට හුස්ම ගැනීමට පමණක් ඉඩ සැලසීමක්,' ලෙසය. දුරකතනයෙන් JDS සමග එක්වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර 'අක්කර ගණන් ඉඩම්වල කෘෂි කරමාන්තය හා ධිවර කරමාන්තය කරගෙන හිටපු මේ අය පර්චස් 20 කට කොටු කිරීම,' කවර විසඳුමක් වේද යන්න ප්‍රශ්න කරයි. කුඩා බිම් කඩකට ඔවුන් සීමා කිරීම බරපතල ආර්ථික හා ජීවන ගැටළු මතු කරන බව ඔහු අවධාරණය කරයි.

අධි ආරක්‍ෂක කලාප සඳහා යයි ප්‍රචාරය කොට පවරා ගන්නා ලද  උතුරේ බොහෝ ඉඩම් වල යුද හමුදාව කරන්නේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සහ කෘෂි නිෂ්පාදන කටයුතු බව හර්මන් කුමාර පවසයි. ''ආණ්ඩුව කියන විදිහට හමුදාව තියෙන්නේ ආරක්ෂක කටයුතු වලට නම් මොකටද මේ විදිහට මිනිස්සුන්ගේ ඉඩම් වල සංචාරක හා කෘෂි ව්‍යාපාර කරගෙන යන්නේ?" යයි ඔහු විමසයි.

කොළඹින් තුනෙන් දෙකක්

උතුරේ ඉඩම් වලින් බලහත්කාරයෙන් පලවා හරිනු ලැබූ ජනතාව නැවත පදිංචි කරවීමට ප්‍රධාන බාධකයක් වී ඇත්තේ ජනතාව සතු ඉඩම් රජයේ හමුදා විසින් අත්පත් කරගෙන සිටීම බව යාපනය කතෝලික සභාවේ යුක්තිය හා සාමය සඳහා වන කොමිසම ඉකුත් මාසයේ ජනාධිපතිවරයාට යැවූ සංදේශයකින් පෙන්වා දී තිබේ.

යුද හමුදාව විසින් අල්ලාගෙන සිටින භූමිය අතරින් විශාලතම ඉඩම් යාය වලිකාමම් උතුරේ අක්කර 6,381 බව ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සදහන් වේ. මේ භුමි භාගය කොළඹ නගරයෙන් තුනෙන් දෙපංගුවකට වැඩි බව ඉඩම් ඉල්ලා අධිකරණය හමුවේ 2013 දී පෙත්සමක් ගොනු කළ ප්‍රදේශවාසීන් පෙන්වා දී ඇත. තම වාස භුමිය ඉල්ලා මේ වනවිට අධිකරණයේ පිහිට පතා ඇති දෙමළ වැසියන් සංඛ්‍යාව 2100 ඉක්මවයි.  ඉඩම් අයිතිකරුවන් 'හඳුනාගත නොහැකි' බව බලධාරීන් ප්‍රකාශ කළ ද  පෙත්සම්කරුවන් පවසා ඇත්තේ උන්හිටි තැන් අහිමි වුවන් ලෙස තමන් නම් කරමින් පාරම්පරික ගම්බිම් වලට ඇතුල් වීම යුද පාලනය විසින් වලක්වා ඇති බවයි.

සුපිරි හෝටල්

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ පානම සහ ශාස්ත්‍රවෙල ප්‍රදේශවල ඉඩම් අක්කර 1220ක් බලහත්කාරයෙන් අල්ලා ගෙන් සිටින බව පරිසර සංරක්ෂණ භාරය 2012 දී හෙළිදරව් කළේය. අලි ඇතුන් සංක්‍රමණය වන මෙම ප්‍රදේශයේ භුමිය අල්ලා ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව සුපිරි හෝටල් සංකීර්ණයක් ඉදිකර තිබේ.

යුද හමුදාව විසින් ජනතාව සතු ඉඩම් අල්ලාගෙන සිටීම  එක්සත් ජාතීන් ප්‍රමුඛ මානව හිමිකම් සංවිධාන වල දෝෂ දර්ශනයට ලක්වී තිබෙන අතර ඉකුත්දා උතුරු පළාත් සභාවේ සාතිශය  බහුතරයක් විසින් සම්මත කර ගන්නා ලද යෝජනාවකින් ප්‍රකාශයට පත් කෙරුනේ උතුරේ ඉඩම් කොල්ලය දෙමළ වර්ග සංහාරයේ අංගයක් ලෙසයි.☐

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.