JDS Sinhala

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස කතෝලික පියවරු ඉල්ලති


ඩු නැතිව අවුරුදු ගණනාවක් තිස්සේ බන්ධනාගාර ගතකොට සිටින දහස් සංඛ්‍යාත දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්කර හරින ලෙස උතුරේ කතෝලික පූජකවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සන්දේශයක් යවන යාපනය කතෝලික සභාවේ යුක්තිය හා සාමය සඳහා වන කොමිසම ප්‍රකාශ කොට ඇත්තේ ඇතැම් සිරකරුවන් කිසිදු චෝදනාවකින් තොරව වසර දහයක් පහළොවක් තරම් කාලයක් රඳවාගෙන සිටින බවයි.

මේ අතර සිටින ෆ්‍රැන්සිස් ජෝසප් හා ජිම් බ්‍රවුන් යන පූජකවරුන් දෙදෙනා ඇතුළු කිහිප දෙනකු වෙනුවෙන් අධිකරණයේ නඩු පවරා ඇතත්, එම නඩු අනවශ්‍ය ලෙස කල් යවමින් පවතින බව කතෝලික පූජක සංදේශයෙන් චෝදනා කොට ඇත. සිරගත කොට සිටින පිරිස් අතර අම්මාවරුන් සහ දරුවන්ද සිටින බව යාපනය කතෝලික සභාව පවසයි.

යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති ෆ්‍රැන්සිස් ජෝසප් 2009 යුද්ධයේ අවසාන සමයේ ශ්‍රී ලංකා රජයේ යුද හමුදාවට භාර වීම පිණිස විමුක්ති කොටි සාමාජිකයන් පිරිසක් කැටුව ගිය පියතුමෙකි. යුද හමුදාව විසින් මැයි 18 වැනිදා ඔහු බස් රියකට නංවාගනු දුටු සාක්‍ෂි කරුවෝ වෙති. ඉන් පසු ඔහු ආගිය අතක් නැත. යුද සමයේ ආණ්ඩුවේ පාලනය යටතේ පැවති අල්ලෙයිපිඩි ගම්මානයේ පිලිප් නේරි දේවස්ථානයේ පාලක ජිම් බ්‍රවුන් පියතුමා සහ වෙන්සෙස්ලාවුස් වින්සස් විමලදාස් 2006 අගෝස්තු 20 වැනිදා යතුරු පැදියකින් නාවික හමුදා මුරපොලක් පසුකර යාමෙන් පසු අතුරුදහන් වී තිබේ.

ජනාධිපති කොමිසම

මේ අතර, පෙබරවාරි 15 වැනිදායින් නිල කාලය නිමාවන අතුරුදහන් වුවන් පිලිබඳ පැමිණිලි විභාග කරන කොමිසමේ සභාපතිවරයා ඉදිරි කටයුතු පිලිබඳ උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලා තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනවාරි 25 වැනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් පරිදි දැනට ලැබී ඇති වාර්තා වලට අමතරව අලුතින් පැමිණිලි ලබා ගැනීමටද කොමිසම අපේක්ෂා කරන බව සභාපති මැක්ස්වල් පරණගම පවසා ඇත. 1990 ජූනි 10 සිට 2009 මැයි 19 දක්වා අතුරුදහන් වුවන් හා පැහැරගෙන යනු ලැබුවන් පිළිබඳව සොයා බැලීමට 2013 අගෝස්තු 15 වැනිදා පිහිටවූ ජනාධිපති කොමිසමට පැමිණිලි 19,671ක් ලැබී තිබෙන බව රජය පවසයි. කෙසේ වෙතත්, රජයේ ආයතන වෙත පැමිණිලි ඉදිරිපත් කළ හා සාක්‍ෂි දුන් සමහරුන් අඩන්තේට්ටම් වලට මුහුණ පා ඇති බව යාපනයේ කතෝලික පියවරු පවසති.

යුද්ධයේ අවසාන සමයේ රජයට භාර වුවන්ට අමතරව, හමුදාවට භාර දෙනු ලැබුවන්, අත් අඩංගුවට ගනු ලැබුවන් සහ සුදු වෑන් වලින් පැහැර ගනු ලබුවන්ද සිටින බව යාපනයේ කතෝලික පුජකවරුන්ගේ ලිපියේ සඳහන් වෙයි. ඒ පිළිබඳව වගකිවයුත්තන් ගැන පරීක්‍ෂණ දින සියයේ කඩිනම් වැඩ සටහන සමගින් පවත්වන ලෙස ඉල්ලා සිටින ඔවුහු  උතුරු නැගෙනහිර ජනතාව අතරින් සාතිශය බහුතරයක් මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ බවද සිහිපත් කරති.

හමුදාව පැහැර ගත් ඉඩම්

උතුරේ ඉඩම් වලින් බලහත්කාරයෙන් පලවා හරිනු ලැබූ ජනතාව නැවත පදිංචි කරවීමට නව රජය අධිෂ්ටාන කරගෙන සිටින බව සිය ඉන්දීය සංචාරය නිමාවේ දිල්ලියේ මාධ්‍යවේදීන් පිරිසකට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසා තිබිණි. නැවත පදිංචි කිරීමට ප්‍රධාන බාධකයක් වී ඇත්තේ රජයේ හමුදා විසින් ජනතාව සතු ඉඩම් අත්පත් කරගෙන සිටීම බව යාපනය කතෝලික සභාවේ යුක්තිය හා සාමය සඳහා වන කොමිසම පෙන්වා දී තිබේ.

යුද හමුදාව විසින් අල්ලාගෙන සිටින භූමිය අතරින් විශාලතම ඉඩම් යාය වලිකාමම් උතුරේ අක්කර 6,381 බව ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සදහන් වේ. මීට අමතරව මන්නාරමේ පවුල් 400 කට වාස භුමිය වූ මුල්ලිකුලම් ගම්මානය තවමත් නාවුක හමුදාව යටතේ අැති බව දක්වා ඇති අදාළ ලිපිය මේ හා සමානව විශාල පවුල් සංඛ්‍යාවක්  අවතැන් කරමින් නැගෙනහිර පළාතේ මුත්තූර් ප්‍රදේශයද තවදුරටත් ඇත්තේ ආරක්‍ෂක හමුදාව යටතේ බව පෙන්වා දෙයි.

වලිකාමම් උතුර සාමාන්‍ය ජනතාව අතට පත්නොකිරීම හේතුවෙන් ප්‍රදේශයේ ආගමික, අධ්‍යාපනික සහ ආර්ථික ජීවිතයට බරපතල හානි සිදුවී ඇති බව උතුරේ කතෝලික පුජකවරු පෙන්වා දෙති. හින්දු සහ කතෝලික සිද්ධස්ථාන ගණනාවක්ද, පාසල් 45ක් පමණද, ගොවිතැනට යෝග්‍ය අර්ධද්වීපයේ වඩාත් සශ්‍රීක රතු පසින් යුත් භූමියද ඇත්තේ රජයේ හමුදා විසින් යටත් කොටගෙන තිබෙන වලිකාමම් උතුරේ බව යාපනය කතෝලික සභාවේ යුක්තිය හා සාමය සඳහා වන කොමිසම එහි සභාපති එස් වී බී මංගලරාජා පියතුමාගේ අත්සනින් යුතුව ජනාධිපති වරයාට යවන ලද සංදේශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.