JDS Sinhala

හිරගෙදර කෝවිඩ් භීතිකාව අවියෙන් මැඩීමේ අවදානමින් ‘දෙවැනි මහරක’ අනතුරක්

 

කිත්සිරි විජේසිංහ විසිනි


තු

න්වැනි වතාවටත් නැග එන වසංගත රැල්ලෙන් ගැලවීම සඳහා සෞඛ්‍යාරක්ෂාව සලසන ලෙස රැඳවියන් කරන ඉල්ලීම් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීමට පාලකයන් යොමුවීම නිසා දිවයිනේ 'සුපිරි' බන්ධනාගාරයක් ‘දෙවැනි මහරක්’ බවට පත්වීමේ අනතුර ගැන බිය පලවෙමින් පවතී.

කෝවිඩ් ආසාදිතයන් සෙසු අයගෙන් වෙන්කර තබා ආසාදිතයන් ලෙස හඳුනාගනු ලබන්නන් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කොට සෙස්සන්ට ඇන්ටිජන් පරික්ෂාවක් සිදුකරන ලෙස ඉල්ලා සිටි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එරෙහිව බන්ධනාගාර පාලනාධිකාරිය පහර දුන් බවට JDS වෙත වාර්තා වෙයි.

මෙයට දින කිහිපයකට පෙර අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් විසින් ආරම්භ කරන ලද විරෝධතාවට බන්ධනාගාර පරිපාලනය ප්‍රතිචාර දක්වා තිබෙන්නේ රැඳවියන්ට පහරදී එලවා දැමීමෙනි. පසුව පසුගිය 4 දා බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයක් දැක්වීමට උත්සාහ දැරූ රැඳවියන් පිරිසක් නිලධාරින් විසින් පහරදීමෙන් සහ මරණීය තර්ජනයෙන් පසුබස්වා තිබේ.

STF සීරුවෙන්

අනිටු පල විපාක විඳින්නට වෙතැයි බියෙන් නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි විශ්වසනීය ආරංචි මාර්ග මගින් ජේඩීඑස් වෙත දැන ගන්නට ලැබී තිබෙන පරිදි බන්ධනාගාර පරිපාලනය විසින් මේ වන විටත් රැඳවියන් මර්දනය කොට ඔවුන්ගේ ඉල්ලීම් යටපත් කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටී. එහි පළමු පියවර ලෙස ගාල්ල සහ මාතර බන්ධනාගාරවලින් අතිරේක නිලධාරින් පිරිසක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත කැඳවා තිබෙන අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සෙබළුන් ද සීරුවෙන් තබා තිබේ.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ නියමයෙන් පසුගිය ජූනි මාසයේ සිට STF භටයන් සිය දෙනකුගෙන් යුත් බලකායක් බූස්ස සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාර වෙනුවෙන් යොදවන ලදී.

කෝවිඩ් ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ නිසි පරිදි නොපවැත්වීම නිසා පසුගිය නොවැම්බරයේ මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව සන්නද්ධ බලය යොදා මර්දනය කිරීම කෙළවර වූයේ සමුහ ඝාතනයකිනි. 

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 1,100 ක් පමණ රඳවා ඇතැයි සැලකෙන අතර, බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව එයින් 300කට ආසන්න සංඛ්‍යාවකට මේ වනවිට කෝවිඩ් ආසාදනය වී ඇත. ජේඩීඑස් විසින් කරන ලද සොයා බැලීම්වලදි දැන ගන්නට ලැබුණේ මේ සියළු දෙනා රඳවා සිටින්නේ වෙන් කිරීමකින් තොරව බව ය.

රැඳවියන් විසින් කරන ඉල්ලීම් කිසිවක් කෙරෙහි සැලකිල්ලක් නොදක්වන අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා ප්‍රමුඛ නිලධාරින් මේ වන විට උත්සාහ දරමින් සිටින්නේ කෝවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් රැඳවියන් 'කිලිනොච්චිය, අයියකච්චි' ප්‍රදේශයට රැගෙන ගොස් රඳවා තැබීමටය. ඒ සඳහා බන්ධනාගාර මුලස්ථානයේද අනුමැතිය හිමිව ඇතැයි ද පැවසේ. මෙම තීරණය ගෙන ඇත්තේ බූස්ස නාවික හමුදා කඳවුර තුළ ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් 2021 මැයි මස 04 වන දින ස්ථාපනය කර තිබියදී ය. එහි විශේෂ ප්‍රතිකාර ඒකකයක් ද (High Dependency Unit - HDU) ඇතැයි නාවික හමුදාව පවසයි.


ආසන්නයේම සෞඛ්‍ය පහසුකම් තිබියදී ආසාදිතයන් යැයි පැවසෙන රැඳවියන් වෙනත් ප්‍රදේශයක රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන යාමට බන්ධනාගාර පරිපාලනය විසින් ගෙන ඇති තීරණයට බලවත් විරෝධය පල කරමින් සියළුම රැඳවියන් පවසා ඇත්තේ එසේ කිලෝ මීටර් 500 ට ආසන්න දුරක් රෝගී හෝ ආසාදිත යැයි සැළකෙන රැඳවියන් රැගෙන යාම ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් වන බවකි. එසේම නිසි පරික්ෂාවකින් තොරව එසේ කිරීමෙන් වෙනත් පුද්ගලයන්ට ද වෛරසය ආසාදනය වී යැයි ද රැඳවියෝ පවසති.

කෝවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ හැකි කිසිදු වෛද්‍ය මධ්‍යස්ථානයක් අයියකච්චි ප්‍රදේශයේ පිහිටා නැති අතර එය බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් නියාමනය කෙරෙන ජාතික සහ ජාත්‍යන්තර සම්මුතීන්ට සහ නීති රෙගුලාසිවලට පටහැනි ක්‍රියාවකි. ඊට හේතුව, එම සෑම රැඳවියෙකුගේම භාරකාරත්වය පවතින්නේ අධිකරණය භාරයේ බැවිනි. එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු පුද්ගලයන් ට එසේ පහසුකම් ලබා නොදි හුදෙකලා ප්‍රදේශයක සිරකර තැබීම සමූල ඝාතනයකට අනුබල දීම හා සමාන ක්‍රියාවකි.

සිය අනන්‍යතාවය සඳහන් නොකරන්නැ යි ඉල්ලමින් කොළඹ බන්ධනාගාර මූලස්ථානයේ ඉහළ නිලධාරියෙක් ජේඩීඑස් හා පවසා සිටියේ විශේෂ කාර්ය බලකාය යොදා ගනිමින් රැඳවියන් පිටතට රැගෙන යාමට හෝ වෙනත් ආකාරයකින් මර්දනය කිරීමට හෝ කටයුතු කරනු ලැබුවහොත් එයින් මහර බන්ධනාගාරයේ සිදුවු සංහාරයට නොදෙවෙනි එකක් ඇති විය හැකි බව ය.

බෙහෙත් වෙනුවට වෙඩි උණ්ඩ

''රැඳවියන්ගේ ඉල්ලීම් ඉතාම යුක්ති සහගතයි. ඔවුන් ඉල්ලන්නේ කෝවිඩ් පරීක්ෂාවක් කරලා රෝගී සහ නිරෝගී අය වෙන් කරන්න කියල විතරයි. ඒත් බන්ධනාගාර පරිපාලනය කිසිම දෙයක් නොකර නිහඬව ඉන්නවා. හැබැයි බැරි වෙලාවත් මේ තත්වය ඉවසන්න බැරිව රැඳවියෝ උද්ඝෝෂණය කෙරුවොත් නම් ඒකට උත්තර දෙන්න නිලධාරින් සුදානමින් ඉන්නවා. කොළඹ මූලස්ථානයක් මේ ගැන දැනගෙනයි මුකුත්ම නොකර ඉන්නේ. අන්තිමට වෙන්නේ නිරායුධ රැඳවියන් කළහකාරීව හැසිරුනා කියලා උණ්ඩයෙන් උත්තර දෙන එක විතරයි,'' යයි එම නිලධාරියා කීය.

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ බියජනක තත්වය සම්බන්ධයෙන් අනතුරු අඟවන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව රැඳවියන් වසංගතයෙන් බේරා ගැනීම සදහා සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් ඉල්ලා තිබේ.

"මේ සම්බන්ධයෙන් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරිගෙන් අප විමසීමේදී ඔහු සඳහන් කළේ ආසාදිත රැදවියන් ඉන් ඉවත් කර ඇති බවත්, ඔවුන් ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවත් ය. කෙසේ වුවද ප්‍රතිකාර සදහා රැඳවියන් යොමු කර ඇත්තේ කුමන ස්ථානයකටද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරුණු දැක්වීමක් ඔහු විසින් අප සිදු කළ විමසීමේදී කර නොමැත," යි කමිටුවේ සභාපති සේනක පෙරේරා සහ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වාගේ අත්සනින් යොමු කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

නොසන්සුන්කාරි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට එරෙහිව රැඳවියන් කරන උද්ඝෝෂණයකට පොලිස් විශේෂ කාර්ය බලකාය පහරදීමෙන් සිදුවන හානියක සම්පුර්ණ වගකිම බන්ධනාගාර දෙපාර්තමේන්තුවත්, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරින් විසිනුත් භාරගත යුතුව ඇතැයි නීතීඥ සේනක පෙරේරා කීය.

''මේක ම්ලේච්ඡ වැඩක්. රැඳවියෝ වුණත්, නැතත් මේ මිනිස්සු ඉල්ලන්නේ වෛද්‍ය ප්‍රතිකාර. මේක වසංගතයක්. ඒ වසංගතයෙන් බේරෙන්න තමයි මේ මිනිස්සු බෙහෙත් ඉල්ලන්නේ. රැඳවියෝ සිය ගාණක් ඉන්න තැනක ආසාදිතයොයි , සාමාන්‍ය රැඳවියෝ යි අතරේ කිසිම වෙන් කිරීමක් නෑ. හැමෝම ඉන්නේ එකට. අනෙක අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය කියන්නේ එක විදිහක වධක මධ්‍යස්ථානයක්. ඒ නිසාම තමයි මේ මිනිසුන්ව සතුත්නටත් අන්ත විදිහට කොටු කරලා මැරෙන්න දාලා තියෙන්නේ. අපිට දැන ගන්න ලැබිලා තියෙන විදිහට යම් විදිහකින් රැඳිවියෝ ප්‍රතිකාර ඉල්ලලා උද්ඝෝෂණය කෙරුවොත් එස්ටීඑෆ් එක සුදානමින් ඉන්නවලු පහර දෙන්න. මහරදිත් වුණේ ඒකම තමයි. අදටත් ඒ නිලධාරීන් කිසිම දඬුවමකට යටත් වෙන් නැතුව යහතින් ඉන්නවා. බෙහෙත් ටිකක්, කන්න කෑම ටිකක් ඉල්ලුවාම රැඳවියන්ට ලැබෙන්නේ වෙඩි උණ්ඩ විතරයි,'' නීතිඥ සේනක පෙරේරා JDS හා පැවසීය.

කෝවිඩ් නම් අඟුණකොළපැලැස්සට

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි, මේ වන විට නිදහස්ව සිටින රැඳවියකු පැවසුවේ හිතාමතාම රෝගීන් සහ නිරෝගී සිරකරුවන් මිශ්‍රකර තැබීම හිතාමතාම කෙරෙන දෙයක් බව ය.

''රට වටේම තියෙන උසාවිවලින් සැකපිටයි, අච්චු කරලයි එවන සිරකාරයන්ට කෝවිඩ් ද කියලා බලලා කෝවිඩ් නම් අඟුණකොළපැලැස්සට එවනවා. ඒ එවපුවාම කෝවිඩ් තිබුණත්, නැතත් දාන්නේ අනෙක් සාමාන්‍ය සිරකාරයෝ එක්ක. කිසිම වෙන් කිරිමක් කරන් නෑ. කෑම ගන්න පෝලීමේ යනකොට, නාන්න දාන කොට, වැඩ කරන්න දාන කොට හැමෝම ඉන්නේ එකට. කාමරවලත් එහෙමයි. වැසිකිලි වුණත් වෙන් කරලා නෑ, හැමෝම පාවිච්චි කරන්නේ එකට. මේ කිසිම දෙයක් අහන්නවත්, විරුද්ධ වෙන්නවත් ඇතුලෙදි අපිට බෑ. වචනයක් එහෙ මෙහෙ වුණොත් අතපය කැඩෙන්නම ගහනවා. ගොඩක් දෙනෙක් කියන්නේ ජේලර් මහත්වරුන්ගෙන් ගුටිකාලා අතපය කඩාගෙන විඳවනවට වඩා කෝවිඩ් හැදිලා මැරෙන එක හොඳයි කියලයි,'' යනුවෙන් තමන් කවරෙක්දැයි හෙළි නොකරන්නැයි ඉල්ලමින් ම හෙතෙම කීය.

පසුගිය කාලයේ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකු මියගියේත්, මහර බන්ධනාගාරයේ රැඳවියන් එකොලොස් දෙනකු ඝාතනය කෙරුණේත්,කෝවිඩ් 19 රෝගයෙන් තමන්ගේ ජීවිත බේරා දෙන ලෙසට විරෝධතා දැක්වූවන්ට ප්‍රචණ්ඩ ලෙස පිළිතුරු දීමට යාමේදී බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සිය පැමිණිල්ල මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මතක් කර දී තිබේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.