JDS Sinhala

වධහිංසා ගැන ගෝඨාට එරෙහි නඩුවේ සවිස්තර චෝදනා සිංහලෙන් හා දෙමළෙන්

ලිංගික වහල් කඳවුරු පවත්වාගෙන යාම ඇතුලු චෝදනා ගණනාවක් නගමින්, අනාගත ජනාධිපති ධුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව එක්සත් ජනපදයේ සාමුහිකව පවරන ලද නඩුවේ පැමිණිල්ලේ සිංහල හා දෙමළ පරිවර්තන ප්‍රසිද්ධියට පත් කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අණ යටතේ රාජකාරි කරද්දී මිනිසුන් සහ ගැහැණුන් පැහැර ගෙන ගොස්, ලිංගික හිංසන ඇතුලු ක්‍රෑර වධයට ලක්කිරීම  සම්බන්ධයෙන් චෝදනා කෙරෙන උසස් හමුදා සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ද පිටු 40 කට වඩා දීර්ඝ නඩුකරයේ නම් කෙරේ.

ඒ නිලධාරීන්ගෙන් ඇතැමෙක් තවමත් රාජකාරියේ නියුතුව සිටිති.

නඩුව පවරා ඇති දහදෙනා අතරින් කාන්තාවන් තිදෙනකු ඇතුලු අටදෙනෙක් දෙමළ අය වෙති. අනික් දෙදෙනා සිංහල ජාතිකයන් ය.

'ප්‍රතිරූපය කෙළසීමක්'

ඔවුන් විසින් ජූනි 26 දා මධ්‍යම කැලිෆෝර්නියාවේ දිසා අධිකරණයේ නඩුව ගොනුකරන ලද්දේ කැනඩා දෙමළ රෝයි සමාදානම් විසින් හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව අප්‍රේල් 5 වැනිදා පවරන ලද නඩුවකට හවුල් වෙමිනි.

චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශකයකු වන මිලින්ද රාජපක්ෂ විසින් නඩු පැවරීම හඳුන්වා තිබුනේ අනාගත ජනාධිපති අපේක්ෂකයාගේ "ප්‍රතිරූපය කෙළසීමේ" උත්සාහයක් ලෙස ය.

හවුස්ෆෙල්ඩ් ජාත්‍යන්තර නීතිඥ සමාගම හා එක්ව නඩුව පවරන ලද්දේ චෝදනා ගොනු කිරීම වෙනුවෙන් යස්මින් සූකාගේ මූලිකත්වයෙන් හය අවුරුද්දක ගවේෂණයක යෙදුනු, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර මූලස්ථාන කොටගත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසිනි.

වද වින්දිතයන් එකළොස් දෙනා විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරන ලද නඩුවේ පැමිණිල්ල සිංහලෙන් හා දෙමළෙන් කියවීම සඳහා පහත සබැඳියාවලින් පිවිසිය හැක.

සිංහල  | දෙමළ (தமிழ்)

© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.