JDS Sinhala

මන්නාරම සමූහ මිනීවළේ ඇට සැකිලි සංඛ්‍යාව 212 දක්වා ඉහළට

කිත්සිරි විජේසිංහ විසිනි


ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම සමුහ මිනී වළ ආශ්‍රිතව කළ කැණීම්වලින් දින 96 ක් අවසානයේ  ගොඩගනු ලැබ ඇති මිනිස් ඇට සැකිළි ප්‍රමාණය 212 දක්වා ඉහළ නැඟ තිබේ.

මන්නාරමේ සතොස ගබඩා පරිශ්‍රය ආශ්‍රිත සමූහ මිනීවළෙහි කැණීම් මගින් සොයාගනු ලැබ ඇති මිනිස් ඇටසැකිලි 203 ක් පුර්ණ අස්ථි පද්ධති ලෙස හඳුනා ගෙන ඇති අතර ඉන් 17ක් කුඩා ළමුන්ගේ ඒවා බව කැණීම් භාර වෝහාරික පරීක්‍ෂණ කණ්ඩායම ප්‍රකාශ කරයි.

පරීක්ෂණ කණ්ඩායමක්

“මේ වන විට දින සීයකට ආසන්න වෙමින් තිබුණත් තව දුරටත් කැණීම් සිදු කෙරෙනවා. ඉතාමත් සැළකිල්ලෙන් මේ කැණීම් කරන්න සිදුවෙලා තියෙන්නේ, සුළු අතපසුවීමකින් පවා මිනිස් අස්ථි කොටස්වලට හානි විය හැකි නිසායි," කණීම් කටයුතු භාර ප්‍රධාන වෝහාරික පරීක්ෂක අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

"විශාල වශයෙන් අස්ථි කොටස් හමුවීම නිසාම ප්‍රවීණ අධිකරණ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක් මේ පරික්ෂණ කටයුතුවලට අඛණ්ඩව දායක වෙනවා", යැයි ඔහු කීය.

ඊට අමතරව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුතු පුරා විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සඳහා දායක වේ.

2018 මැයි මාසයේදී මන්නාරමේ සතොස ගබඩා සංකීර්ණය ආශ්‍රිත භූමියේ ඉදිකිරීම් කටයුතුවලට අවශ්‍ය සිදුකළ කැණීම්වල දී මුල්වරට හමු වූ සමූහ මිනීවළෙන් සොයාගන්නා ලද අස්ථි සාම්පල කාල නීර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩාහි බිටා ඇනලිටික් ආයතනය වෙත යැවීමට අධිකරණ අනුමැතිය දෙසතියකට පෙර ලබා දෙනු ලැබුණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.