JDS Sinhala

'භාර වූ පසු අතුරුදහන්වූවන් ගැන ලැයිස්තු නැහැ' - හමුදාව කතාව වෙනස් කරයි

ටත් වූ කොටි සාමාජිකයන් පිළිබඳ තොරතුරු තමන් සතුව ඇතැයි කලින් කීවද, යුද්ධයේ අවසන් අදියරේදි තම සේනාංකය වෙත භාර වු විමුක්ති කොටි සංවිධානයේ සමාජිකයන්ගේ නම් හෝ වෙනත් විස්තර සහිත කිසිදු ලේඛණයක් සොයා ගන්නට නැතැයි විජයබා පාබල රෙජිමේන්තු හිටපු සේනා විධායක අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

58 වැනි බල සේනාවේ ආඥාපතිපතිවරයා වශයෙන්ද කටයුතු කළ මේජර් ජෙනරාල් කාවින්ද චානක්‍ය ගුණවර්ධන මේ බව කියා සිටියේ, යුද්ධයේ අවසන් අදියරේදි හමුදාවට භාර වී පසුව අතුරුදහන් වුණු පුද්ගලයන් පිරිසක් අධිකරණය හමුවට පමුණුවන්නැයි ඉල්ලමින් ඔවුන්ගේ  ඥාතීන් විසින් ගොනු කොට ඇති හබයාස් කෝපුස් පෙත්සම් කිහිපයක එක් පෙත්සමක් මුලතිවු දිසා අධිකරණය හමුවේ සඳුදා (30) දිනයේ  විභාගයට ගනු ලැබු අවස්ථාවේදී ය.

පැමිණිලි ගැන විමර්ශණ නෑ

මුලතිවු මහේස්ත්‍රාත් එම් එස් එම් සම්සුඩීන් හමුවේ විභාග කෙරෙන මෙම හබයාස් කෝපුස් පෙත්සම් කාණ්ඩ පහකින් කින් සමන්විත වන අතර සඳුදා දිනයේ විභාගයට ගෙන ඇත්තේ පළමු කාණ්ඩයේ තෙවන පෙත්සම ය. එම පෙත්සම විභාගයට ගනු ලැබු අවස්ථාවේදි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් මේජර් ජනරාල් කේ සී ගුණවර්ධන පවසා ඇත්තේ හමුදාවට භාරවීමෙන් පසුව අතුරුදහන් වුණු පුද්ගලයන් සොයා දෙන්නැයි කියමින් ඉදිරිපත් වුණු කිසිදු පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැඩිදුර සොයා නොබැලු බව ය. එසේම තමන් සතුව ඇත්තේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති  ලේඛණයක්  පමණක් බව ද  මේජර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

මේ සම්බන්ධව ජේඩීඑස් කළ විමසීමකට පිළිතුරු දෙමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජේෂ්ඨ නීතිඥ කේ එස් රත්නවේල් කියා සිටියේ මෙය ඉතාම වගකීම් විරහිත ප්‍රකාශයක් මෙන්ම සිතා මතා කරන රැවටිල්ලක් වන බව ය.

රැවටිලිකාර ප්‍රකාශයන්

''මේ කරන්නේ රැවටිල්ලක් නෙමෙයිද? හමුදාවට භාරවු පුද්ගලයන් අතුරුදහන් වෙලා කියලා ඒ අයගේ ඥාතීන් අදාළ හමුදා ඒකකය භාරව ඉන්න ප්‍රධානීන්ට පැමිණිළි කරලා තියෙන කොට ඒ ගැන හොයා බලන්න බැරි වුණා කියන එක කොච්චර වගකීම් විරහිත ප්‍රකාශයක්ද? මේ අහිංසක මිනිස්සුන්ව මේ විදියට දිගින් දිගටම රවටන්නේ ඇයි? හැම නඩු වාරයකදිම එකිනෙකට පරස්පර දේවල් කියමින් වගකීමෙන් ගැළවෙන එකයි ඔවුන් කරන්නේ'' ඔහු කීය.

පසුගිය නඩු වාරයකදි මුලතිවු මහේස්ත්‍රාත්වරයා විසින්  58 වන සේනාංකය භාර අණදෙන නිලධාරිවරයාට නියෝග කරනු ලැබුවේ හමුදාවට භාරවුවන්ගේ ලේඛණයක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ය. ඒ පැමිණිල්ලේ නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් ඔහු තමන් සතුව එවනි ලේඛණයක් ඇතැයි නිල වශයෙන් අධිකරණය හමුවේ පිළිගැනීමෙන් අනතුරුව ය.

අංක  HCV/HCA6/507/2013, 508, 509, 510 සහ 511 දරණ කාණ්ඩ පහකින් සමන්විත මෙම හබයාස් කෝපුස් පෙත්සම් ඉදිරිපත් කොට ඇත්තේ යුධ හමුදාවට භාරවී පසුව අතුරුදහන් වුණු පුද්ගලයන්ගේ ඥාතීන් 27 දෙනෙකුන් විසිනි. පළමුවෙන්ම මෙම පෙත්සම් වවුනියාව මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබු අතර, පසුව එම අධිකරණයේ නියෝගයක් මත සියළු පෙත්සම් මුලතිවු දිසා අධිකරණය හමුවේ විභාග කිරීමට නියම විය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.