JDS Sinhala

යටත් වූ දෙමළ සටන්කරුවන්ගේ නාම ලේඛනයක් ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පිළිගනියි

යුද්ධයේ අවසන් අදියරේදී  හමුදා නියෝග මත  යුධ හමුදාවේ 58 වැනි සේනාංකය වෙත භාර වු විමුක්ති කොටි සාමාජිකයන්ගේ නම් හා තොරතුරු සටහන් කරගනු ලැබු නිල ලේඛණයන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට අධිකරණය විසින් නියෝග කර තිබේ.

මුලතිවු මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුඩීන් විසින් මෙසේ නියෝග කර සිටියේ හමුදාවට භාර වීමෙන් පසුව අතුරුදහන් වූ වැසියන්ගේ ඥාතීන් විසින් ගොනු කරන ලද හබයාස් කෝපුස් පෙත්සම්  බදාදා (17)  මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ය.

පෙත්සම් 27 ක්

හමුදාවට භාරවීමෙන් පසුව අතුරුදහන් කෙරුණු පුද්ගලයන් 27 දෙනෙකුගේ පවුලේ ඥාතීන් විසින් මෙම හබයාස් කෝපුස් පෙත්සම් 2013 වසරේදි වවුනියාව මහාධිකරණය හමුවේ පළමුවෙන්ම ගොනුකරන ලද බවත්, පසුව එම අධිකරණයේ  නියෝගයන් මත එයට  අදාළ මූලික විමර්ශනයන් අදාළ පුද්ගලයන් හමුදාවට භාර වු අධිකරණ කලාපය අයත් මුලතිවු අධිකරණයේදි පැවැත්වීමට තීරණය කරන ලද බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ‍ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ එස් රත්නවේල් JDS සමග ප්‍ර‍කාශ කර සිටියේය.

ඒ අනුව HCV/HCA/6/507/2013 සහ ඒ යටතේම 508,509,510 සහ 511 යනුවෙන් සඳහන් පෙත්සම් පහ බදාදා දින කැඳවනු ලැබ තිබිණ. මෙයට පෙර අවස්ථාවක මෙම පෙත්සම් කැඳවනු ලැබු විට වගඋත්තරකාර පාර්ශවය වන යුධ හමුදාපතිවරයා සහ 58 වැනි සේනාංකය භාර අණදෙන නිලධාරිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ එම සේනාංකය විසින් එවැනි පුද්ගලයන් පිරිසක් භාරගත් හෝ අතුරුදහන් හෝ නොකළ බව ය.

නමුත් නීතිඥ රත්නවේල් කියා සිටියේ  මුලතිවු අධිකරණය හමුවේ සාක්ෂි දීමට කැඳවන ලද 58 වැනි සේනාංකයේ වත්මන් අණදෙන නිලධාරි මේජර් ජනරාල් කාවින්ද චානක්‍ය ගුණවර්ධන විසින් තම සේනාංකය සතුව එවැනි ලේඛනයක් ඇති බවට නිල වශයෙන් පිළිගත් බව ය.

අතුරුදහන්වුවන්ගේ ලේඛනයක්

''එවැනි පුද්ගලයන් පිරිසක් භාරගත් බවට අණ දෙන නිලධාරිවරයා මුලින් පිළිගත්තේ නැහැ. නමුත් මා විමසා සිටියා භාර ගත් හෝ නොගත් බවට ස්ථිර වශයෙන් ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි කියා. එවිට ඔහු සඳහන් කරනු ලැබුවා තමන් සන්තකයේ තිබෙන ලේඛන අනුව එසේ ප්‍ර‍කාශ කරන බවට. ඒ ලේඛනවල අතුරුදහන් පුද්ගලයන්ගේ නම් තිබෙන්නේ දැයි විමසා සිටි විට මේජර් ජෙනරාල්වරයා එය පිළිගත්තා.ඒ අනුවයි මා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම ලේඛනය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසට'' නීතිඥ රත්නවේල් ප්‍ර‍කාශ කළේය.

නියෝගය ශවේන්ද්‍ර සිල්වාගේ

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් නීතිඥ රත්නවෙල් සඳහන් කර සිටියේ යුද මුක්ත කලාපයක කොටු වී සිටි දෙමළ ජනයාට හමුදාවට භාරවන ලෙස නියෝග කිරීම සම්බන්ධවත්, පසුව ඔවුන්ව අතුරුදහන් කිරීම පිළිබඳවත් 58 වැනි සේනාංකයේ එවකට අණදෙන නිලධාරිවරයා වු මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වගකිව යුතු බවට කරුණු දක්වා ඇති බවයි.

එක් දිනක් හෝ එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයන් වහාම 58 වැනි සේනාංකය වෙත පැමිණ භාරවිය යුතු බවත්, ඔවුන් සියළු දෙනා ලියාපදිංචි කොට පසුව නිදහස් කරන බවත් ශ්‍රී ලංකා හමුදාවන් විසින් යුද්ධය අවසානයේ නිවේදනය කර සිටි බව අතුරුදහන්වුවන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කොට ඇති  හබයාස් කෝපුස් පෙත්සම්වල දැක්වා තිබේ.  එසේ හමුදා නියෝග මත භාරවුණු පුද්ගලයන්ව බස් රථවල නංවාගෙන පිටතට රැගෙන යනු තමන් ඇසින් දුටු බව ද අදාළ ප්‍ර‍කාශවල වැඩි දුරටත් දැක් වේ.

යුද අපරාධ සේ සැළකෙන යටත් වූ සටන්කරුවන් ඝාතනය කිරීම පිළිබඳ චෝදනා මීට පෙර ද එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් සිය වාර්තා මගින් ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව එල්ල කර තිබේ.

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.