JDS Sinhala

මන්නාරමේ අතහැර දමා තිබූ ළිඳෙන් මිනිස් අස්ථි කොටස් ගොඩගනී

න්නාරම තිරුකේතීස්වරම් සමූහ මිනීවළ ආසන්නයේ ඇති අතහැර දමන ලද ළිඳ ආශ්‍රිතව සිදුකළ කැණීම් කටයුතුවලදි මිනිස් අස්ථි ලෙස සැළකිය හැකි කොටස් කිහිපයක් මෙන්ම ජීව උණ්ඩ කොපු ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක්ම සොයා ගනු ලැබු බව මන්නාරම අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව වෙනුවෙන් පෙනී සිටින නීතිෙව්දීහු පවසති.

මෙයට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ හේතු දක්වමින් කැණීම් කටයුතු සිදුකිරීම පමා කරනු ලැබු අදාළ ළිඳ මන්නාරම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.ජී ඇලෙක්ස්රාජා ගේ අධික්ෂණය යටතේ පළමුවරට හාරනු ලැබුවේ අගෝස්තු මස පළමුවැනිදා ය. පළමු දිනයේදි සෙන්ටි මීටර් 57 පමණ ගැඹුරට ළිඳ හැරූ බවත්, එහිදි සෙන්ටි මීටර් 5 සහ 3 ක් වශයෙන් කුඩා අස්ථි කොටස් දෙකක් සොයා ගනු ලැබු බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් ජේඩීඑස් හා කියා සිටියේය.

ජීව උණ්ඩ සහ මිනිස් දත්

මෙහිදී නීතිඥ නිරංජන් වැඩි දුරටත් පවසනු ලැබුවේ කැණීම් කටයුතු සිදුකළ දෙවන දිනය වූ අඟහරුවාදා (02) සෙන්ටි මීටර් 362ක් ගැඹුරට ළිඳ හරන ලද බවයි. එහිදි මිනිස් දතක් ලෙස සැළකිය හැකි කොටසක් මෙන්ම T 56 ගිනි අවියක ජීව උණ්ඩයක්, අනුරාධපුරය ප්‍රදේශයේ සහල් මෝලක මුද්‍රාව සහිත කි.ග්‍රෑ. 3 ප්‍රමාණයේ සහල් උරයක්, පොහොර උරයක්, බිස්කට් එතු දවටනයක්, එකට ගැට ගසන ලද කම්බි පොටවල් කිහිපයක් මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග නඩත්තු කටයුතුවලදි භාවිතා කරන පොලිතීන් පටි කිහිපයක්ද සොයාගනු ලැබු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

තෙවන දිනය වූ ඊයේ (3) ළිඳෙහි කැණීම් කටයුතු සිදු කිරීමේදි කුඩා අස්ථි කැබලි කිහිපයක් මෙන්ම 1975 සහ 1994 වර්ෂවල මුද්‍රණය කරන ලද රුපියලේ සහ සත 25 කාසි කිහිපයක්ද සොයා ගෙන තිෙබ්. සොයා ගනු ලැබු සියළු දෑ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහ අධිකරණ වෛද්‍යවරුන්ගේ භාරයට පත්කළ බව ද නිතිඥ නිරංජන් කියා සිටියේය.

හමුදාව වැසූ ළිඳක්

මේ සම්බන්ධ සිදු කෙරෙන රසායනාගාර පරික්ෂණවල වාර්තා මන්නාරම අධිකරණය හමුවට සැප්තැම්බර් 5 වන දින ඉදිරිපත් කළ යුතු බවත්, ඒවා අධීක්ෂණය කිරීමෙන් පසු ළිඳෙහි ඉදිරි කැණීම් කටයුතු සිදු කරනු ඇති බවත්, මේ වන විට ළිඳ සෙන්ටි මීටර් 434 ගැඹුරට හාරා ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කෙළ්ය.

කෙසේ නමුත් මන්නාරම අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සමාජීකයන් දැඩි ලෙස අවධාරණය කරනුයේ මෙම ළිඳ ස්භාවික ආකාරයට වැසී ගිය එකක් නොව, 2010 වර්ෂයෙන් පසු යුධ හමුදාව විසින් වසන ලද්දක් බව ය. එනිසාම අඛණ්ඩව ළිඳෙහි කැණීම් කටයුතු සිදුකරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.