JDS Sinhala

මන්නාරම සමූහ මිනීවලට නුදුරු වසා දැමූ ළිඳට පැය 24 පොලිස් ආරක්ෂාව

න්නාරම තිරුකේතීෂ්වරම් කෝවිල ආසන්නයෙන් හමුවූ සමූහ මිනීවලකැයි සැකකැරෙන ස්ථානයට නුදුරින්, ඝාතනය කරන ලද්දවුන්ගේ සිරුරු දමන්නට භාවිතා කොට වසා දමා ඇතැයි කියන ළිඳක කැණීම් කටයුතු සිදුකරන්නේද යන්න පිළිබඳ තීරණයක් ලබන ඔක්තෝබර් 07 වැනිදා ලබාදීමට නියමිත අතර, අදාළ ස්ථානයට එතෙක් පැය 24 පොලිස් ආරක්ෂාව සලසන මෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ.

මන්නාරම මහේස්ත්‍රාත් ඒජී ඇලෙක්ස්රාජා මෙම නියෝගය නිකුත්කොට ඇත්තේ පසුගිය 28 වැනිදා, සිකුරාදා එම ළිඳ පිහිටි ස්ථානය නිරීක්ෂණය කොට හඳුනාගැනීමෙන් අනතුරුව ය.

ළිඳ හා අවට ප්‍රදේශය සිතියමකට

අතුරුදහන් වූ සිය ඥාතීන් ඝාතනය කොට මෙම ළිඳට දමා වසා ඇතැයි තමන් සැක කරන බව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් අධිකරණය හමුවේ කරුණු ගෙනහැර පෑමෙන් අනතුරුව, මන්නාරම මහේස්ත්‍රාත්වරයා පසුගිය බදාදා (26) මෙම ළිඳ පිහිටි ස්ථානය හඳුනාගැනීම සඳහා එහි ගොස් තිබේ. එහෙත් අදාළ ප්‍රදේශය කැලෑවෙන් වැසී තිබූ බැවින් ළිඳ පිහිටි ස්ථානය හඳුනාගැනීමට නොහැකි වූ අතර අදාළ භූමි භාගයේ කැලෑව එළිපෙහෙළි කොට ළිඳ පිහිටි ස්ථානයේ සිතියමක් සකසා කඩිනමින් ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. ඒ අනුව පසුගිය 27 වැනිදා අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භූමිය එළිපෙහෙළි කොට අදාළ සිතියම සකසා අධිකරණයට භාරදුන් අතර, අනතුරුව සිකුරාදා (28) මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ළිඳ පිහිටි ස්ථානය හදුනාගැනීමේ කටයුතු සිදුවිය.

ළිඳෙහි කැණීම් සිදුකළ යුතුද නැතිද යන්න පිළිබඳ ඔක්තෝබර් මස 07 වැනිදාට යෙදෙන ඊ ළග නඩු වාරයේ දී තීරණය කරන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් ඇලෙක්ස්රාජා, එතෙක් ස්ථානයට පැය 24 පොලිස් ආරක්ෂාව ලබාදෙන මෙන් පොලීසියට නියෝග කළේය.

82කගේ අස්ථි

32 දරන මන්නාරම - සංගුප්පිඩි මාර්ගයේ තිරුකේතීෂ්වරම් ප්‍රදේශයේ ඓතිහාසික තිරුකේතීෂ්වරම් කෝවිල ආසන්නයේ පිහිටි සමූහ මිනීවලකැ‘යි සැකකැරෙන ස්ථානය පිළිබඳ පළමු වරට වාර්තා වූයේ 2013 දෙසැම්බර් 20වැනිදා ය. මාර්ගයේ ජලනල එලීමේ කටයුතු සිදුවෙමින් පැවතිය දී පළමු වතාවට මෙම ස්ථානයෙන් මානව අස්ථි කොටස් මතුවිය. 2013 දෙසැම්බර් මස 23 වැනිදා පටන් එවකට මන්නාරම මහේස්ත්‍රාත්වරිය වූ ආනන්දි කනකරත්නම්ගේ නියෝග මත සිදු වූ කැණීම්වල දී පුද්ගලයන් 82දෙනකුට පමණ අයත් බව සැලකෙන අස්ථි කොටස් මෙම ස්ථානයෙන් සොයාගැනිණි.

කැණීම්වලට සම්බන්ධ වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ සිය වාර්තාවෙන් කියා සිටියේ මෙය සමූහ මිනීවලක් නොව, වසර 60කට වඩා පැරණි සොහොන් බිමක් බව ය. මෙම පුරාවිද්‍යා නිගමනයත් සමඟ මිනීවලේ කැණීම් කටයුතු නවතා දමන මෙන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලදී.

පුරා විද්‍යා නිලධාරීන්ගේ සාක්‍ෂිය

එහෙත් මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමේ සොහොන් බිමක් වසර 250කින් මෙපිට පැවැතී නැති බවට සාක්ෂි ප්‍ර‍දේශවාසීහු විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදහ. මිනින්දෝරු ජෙනරාල් කාර්යාලයේ නිල මිනුම් ලේඛනවල මෙන්ම 1955 වසරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද තිරුකේතීෂ්වරම් ග්‍රාමයේ S 677 දරන මිනින්දෝරු පිඹුරට අනුව ද අදාළ කාලයේ දී හෝ ඊට පෙර, එම ස්ථානයේ සොහොන් බිමක් තිබූ බවට සාක්ෂ්‍ය නොතිබිණි.

සමූහ මිනීවලකැයි සැකකැරෙන ස්ථානයෙන් මීටර් 100 ක් පමණ දුරින් පිහිටි මෙම ළිඳ පිළිබඳ කරුණු ඉදිරිපත්කළ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, තමන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් මඟින් අධිකරණය හමුවේ කියා සිටියේ හමුදා පාලන ප්‍රදේශයේ පැවැති මෙම ළිඳ මේ වනවිට ගොඩකර දමා ඇති බවත්, ඒ තුළ අතුරුදහන් වූ සිය ඥාතීන්ගේ සිරුරු දමා වසා ඇතැයි තමන් සැක කරන බවත් ය.

හමුදා කඳවුරක්

1990 පමණ වනතුරු ප්‍රදේශයේ ජීවත් වූ ජනයා සිය ජල අවශ්‍යතාවන් සදහා මෙම ළිඳ පාවිච්චි කළ බවත්, යුද්ධය නිසා ’90 වසරේ දී පමණ ප්‍රදේශවාසීන් පළාත අතහැර පිටව ගිය පසු මෙම ළිඳ ද ඇතුළත් භූමිය හමුදා කඳවුරක් ව පැවැති බවත් මන්නාරම සිවිල් ජනතා සංවිධානයේ ප්‍රධානී ජෙබමාලේ පියතුමා JDS වෙත මීට ඉහත දී ප්‍රකාශ කර සිටියේ ය.  ප්‍රදේශවාසීන්ට පෙරළා සිය ගම්බිම්වලට පැමිණීමට ඉඩ ලැබී ඇත්තේ 2010 වසරේ දී පමණ වන අතර, ඒ වන විට මෙම ළිඳ වසා දමා තිබූ බවත්, ඒ අනුව ප්‍රදේශයේ අතුරුදහන් වූ පුද්ගලයන් ඝාතනය කොට මෙම ළිඳට දමා වසා ඇතැයි ප්‍රදේශවාසීන් සැක කරන බවත් ජෙබමාලේ පියතුමා වැඩි දුරටත් කියාසිටියේ ය.

මෙම ළිඳ පැවැති බව කියන ස්ථානයේ කැණීම් සිදුකරන මෙන් මීට ඉහතදී ද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබුණු නමුත්, ස්ථානය හඳුනාගැනීමේ අපහසුව ඇතුළු විවිධ හේතු නිසා මෙම කැණීම් කටයුතු මෙතෙක් සිදු නොවූ බව වාර්තා වේ.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.