JDS Sinhala

වවුනියාව පුරවැසි කමිටු සභාපති ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

වුනියාව පුරවැසි කමිටුවේ සභාපති ක්‍රිෂ්ණපිල්ලෙයි දේවරාසා ප්‍රකාශයක් ලබා ගැනීමට යැයි ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා තිබේ. මේ සම්බන්ධයෙන් වන ලිඛිත කැඳවුම් නියෝගය වවුනියාව නෙදුන්කර්නි හි පිහිටි ඔහුගේ පුවත්පත් අලෙවිසැල වෙත පැමිණි පොලිස් නිලධාරීන් විසින්  පසුගිය 26 වැනිදා බාර දී ඇත.  කොළඹ  නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකයට ඉරිදා (29) පෙරවරුවේ පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අදාළ ලිපියේ දැක්වේ‍.

ක්‍රිෂ්ණපිල්ලෙයි දේවරාසා උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වුවන් වෙනුවෙන් පසුගිය දා පැවැත්වූ උද්ඝෝෂණ මාලාවේ ප්‍රධාන සංවිධායකයෙකු වන අතර වවුනියාවේ පැවති උද්ඝෝෂණය සංවිධානය කිරීමෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ද ඔහු විසිනි. යුද අපරාධ සහ අතුරුදහන්වුවන් පිළිබඳව කෙරෙන දේශීය විමර්ශන පිළිබඳව විශ්වාසයක් නොමැති බව අවධාරණය කළ උද්ඝෝෂණ මාලාව මගින් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධව විධිමත් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ය.

ගිය වසරේත් ප්‍රහාරයක්

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි ජෙයකුමාරි ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් පසුගිය ඔක්තෝබරයේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් සංකීරණය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ ද දේවරාසා විසිනි. මේ හේතුවෙන් ඔහුට එල්ල කෙරුණු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර ඉන් දින කිහිපයකට පසු නිර්නාමික දුරකථන ඇමතුම් මගින් ඔහුට මරණීය තර්ජන එල්ල වී තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට ජනාධිපතිවරණයෙදී සහයෝගය ලබා දෙමින් වවුනියාව පුරවැසි කමිටුව මගින් ඉල්ලීමක් කරන ලෙස ප්‍රදේශයේ ආණ්ඩුවේ බලධාරීන් විසින් ඔහුට බලපෑම් කර තිබු බවට වාර්තා විය.

පැරණි පිළිවෙත් තව දුරටත්

වවුනියාව ප්‍රදේශයේ සිදුවීම් ගැන කෙරෙන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස නියෝග කර ඇති බව ක්‍රිෂ්ණපිල්ලේ දේවරාසා JDS වෙත පැවසීය.

“අතුරුදහන්වුවන් ගැන විමර්ශනය කරන්න පහුගිය ආණ්ඩුව පත්කරපු ජනාධිපති කොමිසම කිසිදු වෙනසක් නැතුවම අලුත් ආණ්ඩුව යටතේ ත්‍රිකුණාමලයට ගිහින් විමර්ශනය කරන්න පටන් අරගෙන. ඒ කියන්නේ අපේ ප්‍රශ්නය ගැන පහුගිය ආණ්ඩුවට වගේම මේ අලුත් ආණ්ඩුවටත් කිසිදු වැඩ පිළිවෙලක් නැහැ, දෙගොල්ලන්ගේම ක්‍රියාමාර්ග එකයි. විශේෂයෙන් දෙමළ සමාජයේ ගැටළු වලට ආණ්ඩුව ගන්නා ක්‍රියා මාර්ග ගැන සෑහීමකට පත් වෙන්න බැරි නිසායි මේ තත්වය වෙනස් කරන්න කියල අපි උද්ඝෝෂණය කළේ. ඒ සම්බන්ධයෙන් වෙන්න පුළුවන් මේ කැඳවීම” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.☐

© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.