JDS Sinhala

දේශීය පරීක්‍ෂණ ප්‍රතික්‍ෂේප කරමින් දෙමළ ජනයා උද්ඝෝෂණයේ

යුද අපරාධ හා පුද්ගලයින් අතුරුදහන් කිරීම ගැන විමර්ෂණය කෙරෙන දේශීය පරීක්‍ෂණ ප්‍රතික්‍ෂේප කරමින් උතුරු නැගෙනහිර පළාත්වල දහස් ගණන් ජනයා එක්ව සඳුදා (23) ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ මාලාවක් පැවැත්වූහ.

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව පවසන උද්ඝෝෂකයෝ පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ උතුරු -නැගෙනහිර පළාත් වෙනුවෙන් කොමිසන් සහා 10ක් පත් කළ බව ය. එම කොමිසම් සභාවල ද වාර්තා මේ වන තෙක් නිසි විමර්ශනයකට  ලක් කර නොමැති අතර එවැනි ජනාධිපති කොමිසන් සහා පිළිබඳ කිසිදු විශ්වාසයක් දෙමළ ජනයාට නොමැති බව උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව පැවසූහ.

පසුගිය ආණ්ඩුව විසින් පත් කරන ලද අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසම වත්මන් ජනාධිපතිවරයා විසින්ද පවත්වාගෙන යනු ලබන්නේ ඊට නම්කර තිබූ කිසිදු සාමාජිකයෙකු වෙනස් කිරීමකින් තොරව ය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්

උද්ඝෝෂණයට එක් වූ අතුරුදහන්වුවන්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ අතුරුදහන් කළ පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට පත්කරන කවර හෝ කොමිසමක් පූර්ණ බලතල සහිත එකක් විය යුතු අතර එහි පරීක්‍ෂණ ප්‍රමිතීන් ජාත්‍යන්තර තලයේ එකක් විය යුතු බව ය. එමෙන්ම පරීක්‍ෂණ ක්‍රියාවලිය හුදු පරීක්‍ෂණ වාර්තාවක් එළිදැක්වීමට පමණක් සීමා නොකර පීඩාවට පත් පුද්ගලයන්ට යුක්තිය ඉටුකිරීම දක්වා පුළුල් කළ යුතු බවත්, අතුරුදහන් කළ පුද්ගලයින්ව සොයන ඥාතීන්ගේ  ආරක්‍ෂාව  තහවුරු කළ යුතු බවත් ඔවුහු අවධාරණය කළහ.

උතුරු නැගෙනහිර පළාත්වල ත්‍රීකුණාමලය, කිලිනොච්චිය, මඩකලපුව, මුලතිව්, වව්නියාව, අම්පාර, යාපනය සහ  මන්නාරම සියලුම නගරවල උද්ඝෝෂණ පැවැත්වුයේ  එකම වෙලාවකට අනුව ය. අතුරුදහන්වුවන්ගේ දෙමාපියන් ඥාතීන් ඇතුළු බහුජන, ආගමික, මානව හිමිකම් හා දේශපාලන සංවිධාන රැසක් එක් වූ අතර දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරුන් වෙත අතුරුදහන් කළ පුද්ගලයින්ගේ ඥාතීන් විසින් සංදේශ භාරදීම ද සිදු කෙරිණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.