JDS Sinhala

බාලේන්දිරන් ජෙයකුමාරි වෙනුවෙන් යළිත් ඇප අයදුම්පත් ඉදිරිපත් කරයි

සරකට ආසන්න කාලයක් සිරගතව  සිටින බාලෙන්දිරන් ජෙයකුමාරිව නිදහස් කරගැනීම වෙනුවෙන් ඇප අයදුම් පතක් බදාදා (4) දින අධිකරණ වෙත යොමු කිරීමට කටයුතු කෙරේ. ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් මේ පිළිබඳව වැඩබලන නීතිපතිවරයා සමග නීතිපති දෙපාර්තමේන්තුවේදී සාකච්ජා කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇප ලබා ගැනීමේ අයදුම්පතක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන බව ජෙයකුමාරිගේ නීතිවේදීහු JDS වෙත පැවසුහ.

මේ ඇප අයදුම්පත පිළිගනු ලැබුවහොත්, (6) සිකුරාදා දිනයේ ජෙයකුමාරි නිදහස් කර ගැනීමේ හැකියාවක් ඇතැයි ඔව්හු අපේක්ෂා කරති. පසුගිය පෙබරවාරි  24 වැනිදා හයවන වතාවටත් ඇය අධිකරණයට  කැඳවූ  අවස්ථාවේ ලබන මාර්තු 10  දක්වා  විභාගය කල් දැමීමට මහේස්ත්‍රාත්වරයාට සිදුවුයේ ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ සුපුරුදු කල් ඉල්ලීම නිසා ය.

දරුවන් තිදෙනෙක්

පොලිසියට අවශ්‍ය සැක කරුවෙකුට රැකවරණ ලබා දුන්නේ යැයි චෝදනා මත ජෙයකුමාරි හා ඇගේ 13 වියැති  දියණිය විබුශිකා ත්‍රස්ත විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2014 මාර්තු 13 වෙනිදා කිලිනොච්චියේදී ය. ඉන් පසු රැඳවුම් නියෝග මත ජෙයකුමාරි ගාල්ල බූස්ස රැදවුම් කඳවුර රැගෙන ගිය අතර ඇගේ දියණිය ළමා හා පරිවාස දෙපාර්තමේන්තුව යටතේ පවතින කිලිනොච්චි මහදේවන් ළමා නිවාසය බාරයට පත් කරනු ලැබුණි.

ජෙයකුමාරිගේ සැමියා පිළිකා රෝගයකින් මියගිය අතර කම්කරුවකු වූ 20 හැවිරිදි බාලේන්දිරන් යොහාන් ඇගේ වැඩිමහල් පුත්‍රයා 2006 වසරේදී ඔහුට වෙඩිතබා මරාදමනු ලැබුයේ රජයේ හමුදාවල සහාය ලත් අතුරු හමුදා කල්ලියක් විසිනි. යුද්ධයේ අවසන් දිනවල රජයේ හමුදා පාලන ප්‍රදේශය වෙත පැමිණෙමින් සිටියදී ඇගේ දෙවැනි පුත්‍රයා  බාලේන්දිරන් කජීවන් ෂෙල් වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේය. එදිනම ඇගේ තෙවැනි පුත්‍රයා වූ බාලේන්දිරන් මහේන්ද්‍රන් මුල්ලිවයික්කාල්හි දී රජයේ හමුදා වෙත බාරවී ඇති අතර එතැන් පටන් ඔහු අතුරුදහන් වූවෙකු වශයෙන් සැළකේ. ඔහුගේ ඉරණම පිලිබඳ කිසිදු තොරතුරක් නොදැන සිටි ජෙයකුමාරිට හා විපූශිකාට රජයේ ප්‍රකාශනයක පළ වූ ඡායාරූපයක් මගින් ඔහු රජයේ පුනරුත්ථාපන කඳවුරක සිටින බවට දැනගන්නට ලැබුණු මුත් මේ පිලිබඳ සොයා බැලීමේදී බලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ එවැන්නකු තමන් බාරයේ නොමැති බව ය.

මූලික අයිතිවාසිකම් පෙත්සම්

2014 ජනවාරි 14 වැනිදා තම පුත්‍රයා පිලිබඳ පැමිණිල්ලක් යාපනේ මානව හිමිකම් කොමිසමේ ගොනු කළ ජෙයකුමාරි එතැන් පටන් කිලිනොච්චියේ අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ ප්‍රබල ක්‍රියාකරිනියක වුවා ය. අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ආණ්ඩුවට බලකැරෙන උද්ඝෝෂණවල දී ජෙයකුමාරිගේ හා විපූශිකාගේ සහභාගීත්වය කැපී පෙනිණි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු, 2014 මැයි 12 වැනිදා මව සහ දියණිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබිණි. ලබන මාර්තු 13 වැනිදා මේ මුලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසිය මේ වනවිට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙමින් තිබෙන අතර යුද්ධයේදී සිදු වූ අපරාධ පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන් වෙතින් කල් ඉල්ලා තිබේ. ජෙයකුමාරි හා විපූශිකා අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ඉදිරිපත් වී තිබිණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.