JDS Sinhala

සිරගත ජෙයකුමාරිට සිය දියණිය දැකබලාගැනීමට අධිකරණයෙන් අවසර

සරකට ආසන්න කාලයක් තිස්සේ සිරගතව සිටින බාලේන්දිරන් ජෙයකුමාරිට නැවතත්  සිය දියණිය දැකගැනීමේ අවස්ථාවක් සඳුදා (16) උදාවීමට නියමිතය. පසුගිය දහ වැනිදා පස් වෙනි වරටත් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලද අවස්ථාවේ ඇය සිය නීතිඥයින් මාර්ගයෙන් දියණිය හමුවීමට ඉඩ ලබාදෙන මෙන් ඉල්ලීමක් කළාය. ඒ අනුව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ  කාන්තා සිරමැදිරිය වෙත ඇගේ දියණිය බාලේන්දිරන් විපූශිකා රැගෙන ඒමට නියමිත බව ඇගේ නීති සහායකයෝ JDS වෙත පැවසූහ.

මීට පෙර වතාවන් දෙකකදී ජෙයකුමාරිගේ ඉල්ලීම මත අධිකරණය විපූශිකාට සිය මව දැකගැනීමට ඉඩ සලසා දුන්නේය. ඒ ඇය ගාල්ල, බූස්ස රැඳවුම් කඳවුරේ සිටියදී ය.

'ත්‍රස්ත විමර්ශන'

මේ අතර නීතිඥ එස්.විජයරාණි විසින් කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ මෝසමක් මගින් ඉල්ලා සිටියේ විපූශිකාට වැලිකඩ රිමාන්ඩ් බාරයේ සිටින සිය මව බැලීමට අවස්ථාව සලසා දෙන ලෙසය. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා මෙන් කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා ළමා පරිවාස ඒකකයට නියෝග කළේය. ඒ අනුව නීති ආධාර කොමිසම හා එක්ව ළමා පරිවාස ඒකකය විසින් මව සහ දියණියගේ හමුව සංවිධානය කරනු ලබයි. විපූශිකා කිලිනොච්චියේ මහාදේවන් ළමා නිවාසයේ සිට වැලිකඩ රිමාන්ඩ් කාන්තා සිරමැදිරිය වෙත රැගෙන ඒමට නියමිතය.

පසුගිය 10 වෙනිදා ජෙයකුමරී අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඇයට ඇප ලබාදීමට එරෙහි වූ ත්‍රස්ත විමර්ෂණ නිලධාරීන් කියා සිටියේ, ඇය පිලිබඳ විමර්ශන සිදුකිරීමට තව දුරටත් කාලය අවශ්‍ය බවය. එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය, නඩු විභාගය පෙබරවාරි 24 දක්වා කල්තැබීය.

බූස්ස කඳවුර

පොලීසියට අවශ්‍ය සැකකරුවෙකුට රැකවරණ ලබාදුන්නේය යන චෝදනාව මත ජෙයකුමාරි හා ඇගේ 13 වියැති දියණිය විපූශිකා ත්‍රස්ත විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2014 මාර්තු 13 වෙනිදා කිලිනොච්චියෙදී ය. ඉන්පසු රැඳවුම් නියෝග මත ජෙයකුමාරි ගාල්ල බූස්ස රැදවුම් කඳවුර වෙත රැගෙන ගිය අතර, ඇගේ දියණිය ළමා පරිවාස දෙපාර්තමේන්තුව යටතේ පවතින කිලිනොච්චි මහාදේවන් ළමා නිවාසය භාරයට පත් කැරිණ. විපූශිකා ඇගේ පවුලේ එකම ගැහැණු දරුවා ය. ඇගේ පියා සහ වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් යුධ ගැටුම්වලට මැදිවීමෙන් මියගොස් ඇති අතර තවත් සොහොයුරෙක් යුද්ධයේ අවසන් දිනවල දී රජයේ හමුදාවන් වෙත බාර වීමෙන් පසු අතුරුදහන්ව ඇති බවට වාර්තා වේ.

කිලිනොචියේ අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සාමාජිකාවක් වූ ජෙයකුමාරි, අතුදරුදහන්වූවන් පිළිබඳ තොරතුරු හෙළිකරන ලෙස ඉල්ලා ගෙන ගිය විරෝධතා ක්‍රියාමාර්ගවල කැපී පෙනෙන ක්‍රියාකාරිනියක් වූවාය. ඇය අත්අඩංගුවට ගන්නා විට ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා වන යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත්ව තිබිණි.☐

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.