JDS Sinhala

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ මාපිය විරෝධතා රැල්ලක්

හින්ද රාජපක්ෂ පරදවා මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වී මාසයක් ගතවීත් රජය විසින් තම දරුවන් ආපසු බාර නොදීමට විරෝධය පාන උද්ඝෝෂණ මාලාවක් උතුරු නැගෙනහිර පුරා පැතිර යමින් පවතී.  රජයේ හමුදා  හා අතුරු හමුදා කල්ලි විසින් ගෙන යන ලද තම දරුවන් ඉන්නා තැනකින් සොයා දෙන මෙන් ඉල්ලා මෛත්‍රී - රනිල් ආණ්ඩුවට බල කෙරෙන මෑතම විරෝධතාව සඳුදා (09) යාපනය නගරයේ පැවැත්විණි.

චෝදනා නොමැතිව දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටින දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියන් හා  ඥාතීහු මෙම උද්ඝෝෂණයට එක් වී සිටියහ. යාපනය ප්‍රධාන බස් නැවතුම් පොළ අසලින් ඇරඹි පෙළපාලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පැමිණ එහිදී  පැයකට  වැඩි කාලයක් උද්ඝෝෂණය කෙරිණි. "කඳුළු සැලුවා ඇති තවත් හෙලන්න කදුළු නැහැ",  "සංවර්ධනය එපා - අපේ දරුවන් දෙන්න", "දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!", " ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනු!" ඇතුළු සටන් පාඨ ලියවුනු පුවරුද පිඩාවට පත් තම දූ දරුවන්ගේ ඡායාරූපද විරෝධතා කරුවන් විසින් ප්‍රදර්ශනය කරන ලදී.

දෙමළ ජාතික සන්ධානය

අතුරුදහන් වුවන්ගේ දෙමාපියන් විසින් සංවිධානය කරන ලද  විරෝධතාවට, බහුජන සංවිධාන හා දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙන්ම මාසයකට ඉහතදී ජනාධිපති සිරිසේන බලයට පත් කිරීම වෙනුවෙන් උතුරු නැගෙනහිර විශාල කාර්යභාරයක් ඉටු කළ දෙමළ ජාතික සන්ධානයද එක්වී සිටියේය.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, අතුරුදහන් වුවන් සොයාදෙන ලෙසත් රජයට බල කරන උද්ඝෝෂණ රැසක් පසු ගිය දින කිහිපය පුරාම උතුරු නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. මුලතිව් නගරයේ පෙබරවාරි අට වැනිදා පැවති උද්ඝෝෂණයට අමතරව  මඩකලපුව, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි නගර වලද මෙම උද්ඝෝෂණ මාලාව අතුරුදහන් වුවන්ගේ හා දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියන් විසින් සංවිධානය කරනු ලැබුයේ බහුජන සංවිධාන හා දේශපාලකයන්ගේ ද සහභාගිත්වය ඇතිවය.

මේ අතර අතුරුදහන් වුවන් සොයා බැලීම සඳහා ක්‍රියාත්මක කමිටුවට අගෝස්තු මාසය දක්වා  කාලයක් ලබා දීමට කටයුතු කරන බව රජය පසුගිය දා නිවේදනය කළේය. දේශීය පරීක්ෂණ පිලිබඳ අවිශ්වාසය පල කළ යාපනයේ විරෝධතාව පැවැත්වූ සංවිධායකයෝ ඒ පිලිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් ද ඉල්ලා සිටියහ.☐

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.