JDS Sinhala

අතුරුදහන් දරුවන් ඉල්ලා මුලතිවු දෙමාපියෝ උද්ඝෝෂණයේ

ජයේ හමුදා විසින් පැහැර ගන්නා ලද සිය දරුවන් නැවත ලබා දෙන ලෙසත්, චෝදනා නොමැතිව රඳවාගෙන සිටින දරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලා ආණ්ඩුවට බල කැරෙන උද්ඝෝෂණයක් ඊයේ (08) මුලතිව්හි දී පැවැත්විණි. අතුරුදන් වූවන්ගේ හා දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියෝ, ප්‍රදේශයේ දේශපාලඥයෝ මෙන්ම සිවිල් සමාජ ක්‍රියාධරයෝ ද මීට එක් වුහ. අතුරුදන්වුවන්ගේ ඥාතින් සිය දෙනකු පමණ එක්ව සිටි මෙම උද්ඝෝෂණය මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විණි.

ෆොන්සේකා හා බණ්ඩාරනායක

යුද සමයේ අතුරුදහන් වු තම දරුවන් සොයාගැනීම සඳහා පසුගිය රජය මගින් මෙන්ම විවිධ සංවිධාන මාර්ගයෙන් ද උත්සාහ කළත්, මෙතෙක් ඒ සඳහා විසඳුමක් නොලැබුණු බව උද්ඝෝෂණයට එක් වූ ඥාතිහු ප්‍රකාශ කළහ.  පසුගිය ජනාධිපතිවරණයේ දී දෙමළ ජනයාගේ තීරණාත්මක ජන්දයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත් වූ බවත්, රජයේ දින 100 වැඩසටහන යටතේ හිටපු  හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකාහට අහිමිවු සියළු වරප්‍රසාද ලබාදුන් පරිද්දෙන්ම, හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක නැවත එම තනතුරේ පිහිටවූ පරිද්දෙන්ම තම අතුරුදහන් වු දරුවන් පිළිබඳවද සොයාබලා සාධාරණයක් ඉටුකරන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

අතුරුදන්වුවන්ගේ හා දේශපාලන රැදවියන්ගේ දෙමාපිය සංවිධාන විසින් පවත්වන ලද උද්ඝෝෂණ රැසක් මඩකලපුව, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි දිස්ත්‍රික්කවල පසුගිය දින වල පැවැත්විණි.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.