JDS Sinhala

RSF/JDS: වධ හිංසා ගැන හිටපු ත්‍රස්ත විමර්ශන ඒකක ප්‍රධානියාගෙන් එක්සත් ජාතීන් ප්‍රශ්න කළ යුතුයි.


සිවිල් යුද්‍දයේ අවසන් අදියරයන්හි දී ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයන්ට එරෙහි ව සිදුකරණ ලද බරපතල අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධි සේවා ප්‍ර‍ධානියාගෙන් ප්‍ර‍ශ්න කරන මෙන් දේශසීමා රහිත වාර්තාකරුවෝ (RSF) සහ ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සදහා මාධ්‍යවේදියෝ (JDS) යන සංවිධාන, වධ හිංසාවලට එරෙහි එක්සත් ජාතීන් ගේ කමිටුවෙන් (UNCAT) ඉල්ලා සිටී.

එම සංවිධාන දෙක මෙසේ ඉල්ලා සිටින්නේ විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් පළ වේ:

වධ හිංසාවලට එරෙහි ව ක්‍රියාත්මක වීම සම්බන් ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම, මේ මස 15 වැනිදා හා 16 වැනි දා (අද සහ හෙට) වධ හිංසාවලට එරෙහි එක්සත් ජාතීන් ගේ කමිටුව (UNCAT) මගින් සමාලෝචනය කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ දී, එනම් 2008 මාර්තු මාසයේ සිට 2009 වසරේ ජුනි මාසය දක්වා පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හා ත්‍ර‍ස්ත විමර්ශන ඒකකය (TID) අධීක්ෂණය කරන ලද්දේ ජාතික බුද්ධි සේවා ප්‍ර‍ධානී සිසිර මෙන්ඩිස් විසිනි. නියෝජ්‍ය පොලිස් අධිකාරී (DIG) සිසිර මෙන්ඩිස් ප්‍ර‍ධානියාව සිටි සමයේ, එ නම් යුද්ධයේ අවසන් අදියරේ දී පොලිස් දෙපාර්තමේන්තුවට අයත් මෙම ආයතන දෙක ම වධහිංසා පැමිණවීමට හා ලිංගික හිංසනයන්ට වගකිව යුතු බවට එක්සත් ජාතීන් ගේ විමර්ශනයක් මගින් නම් කොට තිබේ.

සහකාර පොලිස් අධිකාරී මෙන්ඩිස් යටතේ පැවැති ත්‍ර‍ස්ත විමර්ශන ඒකකය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පුද්ගලයන් සිය ගණනකට අමතර ව ජනමාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන් ගණනාවකට එරෙහිව ද පැහැරගෙන යාම්, අත්අඩංගුවට ගැනීම්, රඳවා තබාගැනීම් හා වධ හිංසා පැමිණවීම් සිදුකර ඇත. නිදහස ලැබීමෙන් අනතුරුව ඒ අතරින් බොහොමයක් දෙනෙක් තවදුරටත් සිදුවිය හැකි පළිගැනීම්වලට බියෙන් රටෙන් පලා ගියහ.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ජේ එස් තිස්සනායගම්, ලේඛක හා ප්‍ර‍කාශක වී ජසිහරන් හා ඔහු ගේ බිරිය වී වලර්මදී, ජනමාධ්‍යවේදී කේ විජේසිංහ ත්‍ර‍ස්ත විමර්ශන ඒකකයේ එවැනි කෘෘර සැලකුම්වලට මුහුණ දුන් ප්‍ර‍කට මාධ්‍යවේදීන් අතරට අයත් වෙති. තවත් දෙමළ ජාතික වෛද්‍යවරුන් සිව් දෙනෙක් සමග  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා තබාගන්නා ලද වෛද්‍ය තුරෙයිරාජා වර්ධරාජා ද ස්වාධීන ජනමාධ්‍යවේදීන්ට තහනම් වූ ලේ වැකි යුද්ධයේ අවසන් අදියරවල දී ජාත්‍යන්තර මාධ්‍යවලට යුද කලාපයේ තොරතුරු සම්පදානය කළ මූලාශ්‍ර‍යක් වීම හේතුවෙන් මෙසේ අමානුෂික සැලකීම්වලට මුහුණ දුන්නෙකි.

පොලිස් විමර්ශන ඒකකවල මේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බුද්ධි සේවා මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානියාගෙන් ප්‍රශ්න කරන මෙන් ද, ජනමාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන් බියගැන්වීමට සිදුකරන කටයුතු නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ද RSF හා JDS වධහිංසාවලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලා සිටී.

“සිය අධීක්ෂණය යටතේ රදවා තබාගෙන සිටිය දී මේ ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය සේවකයන්ට හා තොරතුරු සම්පාදකයන්ට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තමන් නො දන්නා බව කියා සිටීමට මෙන්ඩිස් මහතාට හැකියාවක් නැත. ඔවුන් අත්අඩංගුවේ සිටිය දී අමානුෂික ලෙස සැලකුම් ලැබූ බවට හා නිදහස් කර යැවූ පසු පවා බියගැන්වීම්වලට ලක් කළ බවට විශ්වාසනීය සාක්‍ෂි අප සතුව තිබේ. ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදීන්ට ආරක්ෂාකාරී පරිසරයක් ස්ථාපිත කිරීම උදෙසා, මාධ්‍ය නිදහසට එරෙහි මෙම අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුත්තන් හඳුනාගැනීමට මෙන්ඩිස් මහතාගෙන් ප්‍ර‍ශ්න කිරීමේ වගකීම UNCAT කමිටුවට පැවරී තිබේ“ යැයි RSF ආසියා-පැසිෆික් කාර්යාල ප්‍ර‍ධානී බෙන්ජමින් ඉස්මයිල් පැවසී ය.

UNCAT වෙත විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය (ITJP) DIG සිසිර මෙන්ඩිස් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍ර‍ස්ත විමර්ශන ඒකකයේ බෙහෙවින් ප්‍ර‍ශ්නකාරී ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කර ඇත.

වධ හිංසාවලට හා අනෙකුත් කෘෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතිය පිළිගෙන ඇති රාජ්‍යයන් 159ට ශ්‍රී ලංකාව ද අයත් වන අතර, සම්මුතිය ක්‍රියාවට නංවා ඇති අන්දම හා UNCAT විසින් කලින් සිදුකරන ලද නිර්දේශ ක්‍රියාත්මක කොට ඇති  ආකාරය සමාලෝචනය කිරීම උදෙසා එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් සිදුකරනු ලබන නිරන්තර විමර්ශනයන්ට ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.