JDS Sinhala

මාධ්‍ය සාකච්ඡාවට පසු වන්නි වෛද්‍යවරුන්ට හමුදා බුද්ධි අංශයෙන් KFC කුකුළු මස් සංග්‍රහයක්

ත් අඩංගුවේ තබාගෙන සිටි තමා ඇතුළු වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන්, ප්‍රශ්න හා පිළිතුරු කලින් සැළසුම් කොට පවත්වන ලද ව්‍යාජ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු හමුදා බුද්ධි අංශ නිලධාරීන් තමන් 'කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන්' අවන්හලට කැටුව ගොස් සංග්‍රහයක් පැවැත් වූ බව වන්නියේ සේවය කළ වෛද්‍යවරයෙකු බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට ප්‍රකාශ කළේය.

බදාදා (08) උදෑසන බීබීසී ලෝක සේවයේ 'Witness' වැඩසටහන වෙනුවෙන් ෆ්‍රාන්සස් හැරිසන් හා සාකච්ඡාවකට එක් වූ මුලතිවු හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය තුරෛරාජා වරධරාජා කියා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කුප්‍රකට 'හතරවැනි මහලේ' රඳවා සිටි තමා ඇතුළු යුද්ධයේ අවසාන සමයේ වන්නියේ සේවය කළ වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවට කලින් 'පෙරහුරු සැසි' පැවැත් වූ බවයි. යුද සමයේ සිදු වූ සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාවන් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයන්ට ලබාදුන් තොරතුරු දෙමළ විමුක්ති කොටි සංවිධානයේ (LTTE) බලපෑම් යටතේ සිදුකළ බව ප්‍රකාශ කරන මෙන් රජයේ බුද්ධි අංශ සාමාජිකයන් තමන්ට නියෝග කළ බව ප්‍රකාශ කළ වෛද්‍ය වරධරාජා, ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණෙන දේශීය මාධ්‍යවේදීන් 'රජයට හිතවත්' අය බව කල් තබා තමන්ට දැන් වූ බවද කියා සිටියේය.

"ප්‍රශ්න හා පිළිතුරුවලට විභාගයක දි වගේ අපිව පුහුණු කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව ඒ ගැන සතුටට පත්වුණු බුද්ධි අංශ නිලධාරීන් අපිව 'කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන්' අවහනහලකට කැටුව ගිහින් කුකුල් මස් සහ සිසිල් බීම සංග්‍රහයක් දුන්නා'යි ඔහු ප්‍රකාශ කළේය.

2009 ජූලි මාධ්‍ය හමුව

2009 ජූලි 08 වැනිදා කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වූ වෛද්‍ය වරධරාජා ඇතුළු යුද්ධයේ අවසාන සමයේ වන්නියේ සේවය කළ දෙමළ ජාතික වෛද්‍යවරු පස් දෙනෙකු කියා සිටියේ සිවිල් වැසියන්ගේ මරණ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වෙත තමන් කලින් සැපයූ වාර්තා අතිශයෝක්තියට නගන්නට එල්ටීටීඊ සංවිධානය විසින් තමන්ට බලපෑම් කළ බවයි. ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ  ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති එම සාකච්ඡාවට වෛද්‍ය වරධරාජාට අමතරව, 2009 මැයි 16 වැනිදා දක්වා යුද කලාපයේ සේවය කළ කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති, පුදුකුඩියිරිප්පු රජයේ රෝහලේ වෛද්‍ය ඉලන්චේලියන් පල්ලවන්, මුලතිවු වෛද්‍ය අධිකාරී කණපතිපිල්ලෛ ෂන්මුගරාජා සහ වෛද්‍ය එස්. සිවපාලන් ද සහභාගී වූහ. 2009 ජනවාරි සහ මැයි දක්වා කාලය තුළ මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 650 - 750කට නොවැඩි බව එහිදී කියා සිටි ඔවුහු 'ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 650කට නොවැඩි බව ද' ප්‍රකාශ කළේය.

"පුදුමාත්තලන් රෝහලට තුවාලකරුවන් 10-15 දෙනෙක් ආවොත් 60 - 70 දෙනෙක් ආ බව කියන්නට කොටි සංවිධානය මට බලපෑම් කළා" යි වෛද්‍ය වරධරාජා සය වසරකට පෙර මාධ්‍යවේදීන් හමුවේ කීය.

'බොරු නොකිව්වොත් ප්‍රතිකාර නැහැ'

නමුත් බීබීසී ගුවන් විදුලිය සමග බදාදා පැවැති සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී කලින් පුහුණු කරන ලද ප්‍රකාශයන් කිරීම ප්‍රතික්‍ෂේප කළහොත්, තමන් යුද්ධයේ අවසාන අදියරේ දී ලැබූ තුවාලවලට අත්‍යවශ්‍ය ව තිබූ සැත්කමක්  කිරීමට අවසර නොදෙන බවට බුද්ධි අංශ නිලධාරීන් තමන්ට දන්වා සිටි බවයි.

"බඩගින්නත්, පිපාසයත් නිසා මැයි 15 වැනිදා මම හිටි තැනින් එළියට ආව වෙලාවේ මට අඩි දහයක් විතර දුරින් ෂෙල් උණ්ඩයක් වැටිලා පිපිරුවා. කම්පනයට මාව ඇදගෙන වැටුණා. අනික් වෛද්‍යවරු මගේ උදව්වට ආව මොහොතේදී මට දැනුනා මගේ නහයෙන් සහ කටින් ලේ ගලන බව. මගේ දකුණු අතට කිසිම සංවේදනයක් නොදැනුන නිසා මම හිතුවේ මතේ අත ශරීරයෙන් වෙන්වෙලා කියලායි. විනාඩි 5-6ක් ඇතුළත මම මියයාවි කිය හැඟීම ඇතිවුණු වෙලාවේ මට මතක් වුණේ මගේ බිරිඳ සහ දරුවන්වයි," වරධරාජා බීබීසීය හා කියා සිටියේය.

ෂෙල් ප්‍රහාරයෙන් දකුණු බාහුවේ ස්නායු පද්ධතියට සිදු වූ බරපතල හානිය හේතුවෙන් දකුණු අතෙහි ක්‍රියාකාරීත්වය මුළුමණින්ම අහිමි වීමේ අවදානමට මුහුණ දී සිටි තමන්ට අත්‍යවශ්‍ය ප්‍රතිකාර හා සැත්කම සිදු කිරීමට නම් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිය උපදෙස් අනුව ක්‍රියා කළ යුතු බව පුහුණුවීම් සිදුකළ බුද්ධි අංශ නිලධාරීන් කියා සිටියේ යැයි ඔහු අනාවරණය කර සිටියේය.

"40,000කට වැඩි සිවිල් වැසියන් මිය ගිය බව දැන දැන, ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊට පටහැනි දේවල් කියන්නට සිද්ධවීම ගැන මට දැන් තියෙන්නේ බරපතල ලැජ්ජාවක් සහ වරදකාරී හැඟීමක්," ඔහු කීය.

දෙස් - විදෙස් මාධ්‍යවේදීන් හමුවේ තමන් කියන ආකාරයට කටයුතු කළහොත් සතියක් ඇතුළත මුදා හරින බවට ආරක්‍ෂක බලධාරීන් කියා සිටියත්, මාධ්‍ය සාකච්ඡාවෙන් පසු තමන් පෙරළා 'හතරවෙනි තට්ටුවට' ගෙනගොස් තවත් සති තුනක කාලයක් රඳවා සිටි බවද ඔහු ප්‍රකාශ කළේය.

නමුත්, ජීවිත අවදානම පවා නොතකා යුද්ධය අවසානය තෙක්ම ස්වකීය වෘත්තීය වගකීම ඉටුකිරීම නිසා අත් අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරුන් නිදහස් කරගැනීම පිණිස කිසිදු මැදිහත්වීමක් නොකළ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් 2009 මැයි මාසයේ දී කියා සිටියේ යුද කලාපයේ සිට "සාවද්‍ය තොරතුරු" ලබාදීම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට තමන් ක්‍රියා කරන බවයි. 

විකීලීක්ස්

ශ්‍රී ලංකා රජය විසින් අත් අඩංගුවේ තබාගෙන සිටින වෛද්‍යවරුන් සහභාගී කරවමින් සිදුකළ මාධ්‍ය සාකච්ඡාව බලපෑම් යටතේ සිදුකරන ලද්දක් බව මීට පෙර විකීලීක්ස් වෙබ් අඩවිය මගින් ද හෙළිදරව් කර තිබිණ. එම වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධියට පත් කළ, රහස්‍ය රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවුඩයක දක්වා තිබුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙර අත් අඩංගුවේ සිටි වෛද්‍යවරුන් මාධ්‍ය හමුව සඳහා 'පුහුණු' කොට ඇති බවයි. කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අදාළ කේබල් පණිවුඩය යවා තිබුණේ 2009 අ‍ගෝස්තු 24 වැනිදා ය.

"ජූලි මස මුල් භාගයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තමන් මීට පෙර යුද මුක්ත කලාපයේ සිට කරන ලද සියළු ප්‍රකාශයන් ඉල්ලා අස්කරගන්නට තමන්ට දඩි ලෙස බලපෑම් කළ බව වෛද්‍යවරුන් තානාපති කාර්යාලයට ‍තොරතුරු ලබා දෙන්නෙකුට කියා තිබේ. තමන් ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා තදබල ලෙස පුහුණු කළ බවත්, කිව යුතු ඇතැම් වාක්‍ය තමන්ට කල් තබා දුන් බවත්, දේශීය මාධ්‍ය නියෝජිතයන් සමග පෙරහුරුවක් පවා පැවැත් වූ බවත් ඔවුහු කියා සිටි" බව තානාපති කාර්යාලීය රහස්‍ය කේබල් පණිවුඩයේ දැක් වේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.