JDS Sinhala

නව රජයේ අතුරු අයවැය යෝජනා උතුර - නැගෙනහිර නොසළකා හරියි

හමුදාව විසින් උතුරේ පවරා ගෙන ඇති ඉඩම් ඒවායේ හිමිකරුවන්ට නැවත පවරා දීමටත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටත් යුද්ධයේ අවසන් සමයේ සිදුවූ අපරාධ පිළිබඳ විභාග කිරීමටත් පියවර ගන්නා බව රජය විසින් ප්‍රකාශයට පත්කොට එළැඹි ඊළඟ දිනයේම ඉදිරිපත් කරන ලද යෝජිත අතුරු අයවැයෙන් ඒ කටයුතු සඳහා කිසිදු මුදලක් වෙන් කොට නැත.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් (Hugo Swire)  තෙදින නිල සංචාරයක් සඳහා කොළඹ පැමිණි ජනවාරි 28 දා කොළඹ සිටින විදේශ මාධ්‍යවේදීන් හමුවූ රජයේ ප්‍රකාශක රාජිත සේනාරත්න  ප්‍රකාශ කොට තිබුනේ ආරක්‍ෂක අවශ්‍යතා නොවන ව්‍යාපාරික කටයුතු සඳහා අත්පත් කරගත් ඉඩම් ඒවායේ හිමිකරුවන්ට ලබා දීමට රජය තීරණය කොට ඇති බවයි. "විශේෂයෙන්ම, උතුරට ඒ තරම් ආරක්ෂාවක් අවශ්‍ය බව අප සිතන්නේ නැහැ, අපේ සමස්ත සංකල්පයම වෙනස්," යනුවෙන් ඔහු පවසා තිබේ.

යළි පදිංචියට වන්දි

කෙසේ වෙතත්, බඩු මිල පහළ දැමීම සහ වැටුප් ඉහළ දැමීම ඇතුළු සහන ගණනාවක් යෝජනා කරමින්, ජනවාරි 29 දා මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ප්‍රකාශයට පත් කෙරුණු අතුරු අය වැයෙන් කොළඹ නගරයේ නව ඉදිකිරීම් සඳහා පසුගිය ආණ්ඩුව සිදු කළ ඉඩම් පවරා ගැනීම්වලදී සිය ඉඩම් සහ නිවාස අහිමි වූ පවුල්වලට ලබා දෙන වන්දිය ඉහල දැමීමටද යෝජනා කොට තිබේ. එසේ වුවද හමුදාව විසින් ඉඩම් සහ නිවාස අත්පත් කරගනිමින් නෙරපා හරින ලද උතුරු නැගෙනහිර දෙමළ ජනයා සඳහා වන්දි හෝ වෙනත් කිසිදු දීමනාවක් ලබා දීම ගැන අතුරු අයවැයේ කිසිවක් සඳහන්ව නැත. මේ වන විට යුද හමුදාව විසින් අත්පත් කර ගෙන ඇති ඉඩම් ප්‍රමාණය අක්කර දස දහසකට වැඩි ය. ඒ හේතුවෙන් තම ගම් බිම් වල යළි පදිංචියට යා නොහැකි අති විශාල ජනකායක් උතුරු-නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටිති.

ආරක්‍ෂක වියදම් අඩු නොවේ

එල්ටීටීඊ කැරැල්ලක් නැවත හටගැනීම හුදු යුද හමුදාවකින් පමණක් නැවත්වීමට නොහැකි බව සේනාරත්න අමාත්‍යවරයා විදේශ මාධ්‍යවේදීන්ට පවසා තිබේ. ඒ නිසා "ආරක්‍ෂක වියදම් ඉතා සීමිත වනු ඇති බව," ඔහු කියා ඇත. නමුත් මේ වසර සඳහා මහින්ද රාජපක්‍ෂ රජය යටතේ පාර්ලිමේන්තුව විසින් යුද වියදම් සඳහා සම්මත කරගත් රුපියල් කෝටි 28,500 අඩු කිරීමට නව රජය යෝජනා කොට නැත.

සිරගත කොට සිටින දෙමළ සිරකරුවන් 275 දෙනකු පිළිබඳවද පුනරීක්ෂණයක් පවත්වන බව ද රජයේ ප්‍රකාශකයා පවසා තිබේ. එයින් බොහෝ දෙනා රඳවාගෙන සිටින්නේ කොටි සාමාජිකයන් බවට සැක කොට හෝ සුළු වැරදි නිසා හෝ බව අමාත්‍ය සේනාරත්න ප්‍රකාශ කරයි. අමාත්‍යවරයාගේ ප්‍රකාශයට දින කිහිපයකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යැවූ සංදේශයක, උතුරේ කතෝලික පූජකවරුන් සඳහන් කොට තිබුනේ, මව් වරුන් සහ දරුවන්ද ඇතුළු ඇතැම් අය වසර දහය පහළොව තරම් කල් රඳවාගෙන සිටින බවයි.

යුද අපරාධ පරීක්ෂණ

යුද්ධයේදී සිදු වූ අපරාධ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව රට තුළ අලුතින් පරීක්‍ෂණයක් ආරම්භ කරන බව මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළ වෛද්‍ය සේනාරත්න, අවශ්‍ය නම් ඒ සඳහා විදේශ විශේෂඥ උපදෙස් ද ලබාගන්නා බව ද ප්‍රකාශ කළ නමුත්, එවැනි අභ්‍යන්තර  පරීක්‍ෂණයක් ප්‍රතික්‍ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානය විසින් දැනටමත් ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත්, රජයේ යෝජිත පරීක්‍ෂණය සඳහා හෝ කිසිදු මුදල් ප්‍රතිපාදනයක් මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ දින සියයේ අතුරු අය වැයෙන් වෙන් කොට නැත.

නව රජයේ මංගල අයවැයෙන් යෝජනා කර ඇති සහන සඳහා ආදායම් උපයා ගැනීමට කැසිනෝ සූදු පල වලින්, චන්ද්‍රිකා රූපවාහිනි හිමිකරුවන්ගෙන් සහ තැබෑරුම් වලින් බදු අය කිරීමට යෝජනා කරන රවී කරුණානායක අමාත්‍ය ධූර අඩු කිරීමෙන් හා ජනාධිපති කාර්යාංශයේ වියදම් කප්පාදුවෙන් රජයට කෝටි ගණනක් ඉතිරි කළ හැකි බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.