JDS Sinhala

නිරෝධායන නීති කඩකළැයි අත් අඩංගුවට ගත් ක්‍රියාකාරීන්ට හිරගෙදරින් කොවිඩ්

කිත්සිරි විජේසිංහ විසිනි


රි

මාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව කෝවිඩ් වෛරසයට සහ වෙනත් අන්තරායකාරී රෝගාබාධයන්ට ගොදුරුව සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ජීවිත රජය විසින් මරණීය අවදානමකට පාත්‍රකර ඇතැයි සිසු සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිහු චෝදනා කරති.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත යන ක්‍රියාකාරීන්ට කෝවිඩි - 19 අසාදනය වී තිබෙන්නේ බදුල්ල, තල්දෙන පුනරුත්තථාපන බන්ධනාගාරයට අනුබද්ධ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටියදි යැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු උදාර සඳරුවන් ජේඩීඑස් වෙත පැවසීය.

"වසන්තත්, සන්දීපත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ (CRP) රඳවලා ඉන්න කොට ඒ අයට ඇන්ටිජෙන් පරික්ෂණය යි, පීසීආර් පරික්ෂණ යි දෙකම කරලා තිබුණා. ඒ පරීක්ෂණවලට අනුව ඒ ගොල්ලන්ට කෝවිඩ් ආසාදනය වෙලා තිබුණේ නෑ. බන්ධනාගාරගත කරන අවස්ථාවේ කරපු පරීක්ෂණවලින් ඔවුන්ට වෛරසය ආසාදනය වෙලා තිබුණේ නැත්නම්, ඒක අනිවාර්යයෙන්ම බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න කොට වුණ දෙයක්"යි ඔහු කීය.

නිරෝධායන වසංගත කඳවුරු

කිසිදු පිළිගත හැකි නෛතික පදනමකින් තොරව අත්අඩංගුවට ගන්නා නිර්දෝෂී පුද්ගලයන් බන්ධනාගාර තුළ ගල් කොට තබා ගනිමින් එම පුද්ගලයන්ව වෛරස් වසංගතයකට ගොදුරු කිරීමේ වගකීම රජය විසින් භාර ගත යුතුව ඇතැයි ද අවිශිබම වැඩබලන කැඳවුම්කරු පවසයි.

රැඳවියන් 80 දෙනකුට පමණක් ඉඩ ඇති තැනක 165 දෙනකු රඳවා සිටි බව පෙන්වා දෙන සඳරුවන් පවසන්නේ ඉකුත් 25 වැනිදා සිදුකළ වෛද්‍ය පරීකෂාවන්ට අනුව, එයින් 85 දෙනකුටම කොවිඩ් වැළඳී ඇති බව ය.

මේ අතර, මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධානාගාරයේ රඳවා සිටින තම සොහොයුරිය ඇදුම රෝගයෙන් දැඩි සේ පීඩා විඳිමින් සිටියද ඇයට අවශ්‍ය කරන ඖෂධ කිසිවක් ලබා දීමට නොහැකී වී ඇති බව සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරිනී වන කෝෂිලා හංසමාලි පෙරේරාගේ සොහොයුරියක් ජේඩීඑස් සමග පවසා සිටියාය. අගෝස්තු 23 වැනිදා දක්වා මීගමු බන්ධනාගාරයේ රඳවා තබා සිටි හංසමාලි අනතුරුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරුකර යැවුණි.

"නංගි ඇදුම රෝගයට සෑහෙන කාලෙක ඉඳන් බෙහෙත් ගන්නවා. මේ වෙනකම් බන්ධනාගාරයෙන් එයාට නිසි ප්‍රතිකාරයක් කරලා නෑ කියලායි අපිට දැන ගන්න තියෙන්නේ. බන්ධනාගාරේට කතා කරලා විස්තර ඇහුවත් ඒ ගොල්ලෝ කිසිම දෙයක් පැහැදිලිව කියන් නෑ. දැන් තියෙන වසංගත තත්ත්වයත් එක්ක, අපිට එයාගේ ජීවිතය ගැන ලොකු බයක් දැනෙනවා" ඇගේ සොහොයුරිය ජේඩීඑස් හා කියා සිටියාය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පවතින අධික තදබදයත්, කොවිඩ් වෛරසය ඉතා සීග්‍ර ලෙස බන්ධනාගාර තුළ පැතිර යමින් පැවතීමත් මත යම් හෙයකින් සිය සොහොයුරියට වෛරසය ආසාදනය වුවහොත් එයින් ඇගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බව ඇයගේ සොයුරිය බිය පළකළාය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, සිසු ජන ව්‍යාපාරය මෙන්ම වෘත්තීය සමිති හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ද සහභාගීත්වයෙන් අගෝස්තු 3 වන දා කොළඹ දී පැවති විරෝධතා ව්‍යාපාරයෙන් අනතුරුව පොලීසිය සහ හඳුනානොගත් කණ්ඩායම් විසින් ඉහත කී ශිෂ්‍ය සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පසුපස හඹා යමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කෙරුණි.

එසේ පොලිස් භාරයට ගනු ලැබු කිහිප දෙනෙක් පසුව අධිකරණය හමුවට පමුණුවා රීමාන්ඩ් බන්ධනාගාර ගත කළ අතර ඒ අනුව, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත පළමුවෙන් බෝගම්බර බන්ධනාගාරයේ රඳවා තැබුණු අතර, බදුල්ල, තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යන්නේ එයින් පසුව ය. වසන්ත මුදලිගේ සහ අමිල සංදීප යන සිසු නායකයන්ද බදුල්ල තල්දෙන පුනරුත්ථාපන බන්ධනාගාරයට මාරුකර යැවීමට පෙර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මුලින් රඳවා තබනු ලැබුණි .

28 වැනිදා දක්වා එසේ බදුල්ලේ තල්දෙන රඳවා තබා සිටි වසන්ත මුදලිගේ, අමිල සංදීප සහ චමීර කොස්වත්ත යන තිදෙනාව අනතුරුව බදුල්ලේ සිට කිලෝ මීටර් 350ක පමණ දුරින් පිහිටි කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ පවුල්වලට හෝ එවුන්ගේ නීතීඥයන්ට විධිමත් දැනුම්දීමකින් තොරව ය.

"ශිෂ්‍ය සහෝදරයන්ට සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර සහෝදරයාට කෝවිඩ් - 19 ආසාදනය වෙලා තියෙන බව දැන ගත්තට පස්සේ අපි බන්ධනාගාර බලධාරින්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරා වහාම ඔවුන්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න කියලා. නමුත් බදුල්ලේ සිට සැතපුම් සිය ගණනක් දුරින් කියෙන තැනකට අරන් යයි කියලා අපි හිතුවේ නෑ. අපිට දැන ගන්න ලැබිලා තියෙන විදිහට ඔවුන්ව අරන් යන බව අවම වශයෙන් ඔවුන්ගේ පවුල්වලටවත් දැනුම් දීලා නෑ"යි අවිශිබම වැඩබලන කැඳවුම්කරු කියා සිටියේය.

ඇප අයැදුම්පත්වලට බාධා

මේ අතර, ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්තට ඇප ලබා ලබා ගැනීමේ අරමුණින් හෝමාගම මහාධිකරණය හමුවේ ගොනු කොට ඇති ඇප අයදුම්පත්‍රවලට අදාළව අත්සන් ලබා ගැනීම සඳහා තමන් ඇතුළු නීතිඥයන් කිහිප විටක්ම දැඩි උත්සහයක් ගනු ලැබුවද, ඒ සෑම අවස්ථාවකදීම බන්ධනාගාර නිලධාරීන් විසින් ඇප අයදුම්කරුවන් නීතිඥයන් හමුවට ඉදිරිපත් කිරීමෙන් වැළැකුණු බවට නීතිඥ නුවන් බෝපගේ චෝදනා කරයි.

"බන්ධනාගාරගතව සිටින ඕනෑම සැකකරුවෙකුට අයිතියක් තියෙනවා තමන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනුකරන ලිපි ලේඛන පරීක්ෂාවෙන් කියවා බලා ඒවාට අනුමැතිය ලබා දීමට. බන්ධනාගාර නිලධාරින්ට අයිතියක් නෑ එවැනි නීතිමය තත්ත්වයන්ට එරෙහිව කටයුතු කරන්න. නමුත් ඔවුන් අපිට අදාළ ඇප අයදුම්කරුවන් මුණ ගැස්සීම ප්‍රතික්‍ෂේප කළේ කෝවිඩ් තත්ත්වය ගැන කියමින්. ඒක එහෙමනම් බලධාරීන්ගේ වගකීමක් ඒ සම්බන්ධයෙන් යම් වැඩ පිළිවළක් සකස් කරන එක. එහෙම නැතුව ඇප අයදුම් පත්‍ර බන්ධනාගාර නිලධාරින් අතින් අත යවමින් අත්සන් කරගන්නැයි කීමෙන් වෙන්නේ ඇප අයදුම් පත්‍ර අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නත් කලින් වෙනත් පාර්ශවයක් අතට ලැබෙන එක. එයින් ඇප අයදුම්කරුවන්ගේ මෙන්ම නීතිඥවරුන්ගේත් අයිතිවාසිකම් උල්ලංඝණය වෙනවා" බෝපගේ පැවසීය.

අවිශිබම, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ පුද්ගලයන් 42 නෙකුගේ අත්සන සහිතව පසුගිය 26 වන දා නිකුත් කර තිබෙන ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ, 'නිරෝධායන නීති රෙගුලාසිවලට මුවාවෙමින්' බන්ධනාගාර පාලකයන් කටයුතු කරමින් සිටින බව ය.

"බන්ධනාගාර ගතව සිටින අයවලුන් සඳහා නීති ආධාර ලබා ගැනීමේ හා අත්‍යාවශ්‍ය ඹෟෂධ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ලබා දීමේදි බාධාවන් සිදුකර ඇත්තේ නිරෝධායන රෙගුලාසිවලට මුවා වෙමිනි. පිටත පුද්ගලයන්ගෙන් වසංගත බන්ධනාගාරය තුළට පැමිණීම වළක්වන බව පෙන්වමින් නීතිඥයන් හෝ හමුවීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩුව මහජන උද්ඝෝෂණවලට සම්බන්ධවන ක්‍රියාකාරින් ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස අත්අඩංගුවට ‌ගෙන සිරගත කිරීමෙන් ඔවුන් වසංගතයට ගොදුරු කිරීමේ උත්සාහයට අපි තරයේ විරෝධය පළ කරන්නෙමු"යි එකී නිවේදනය සඳහන් වේ.

රජය කරන්නේ පළිගැනීමක්

ඉරිදා දිනයේදී (29) නිවේදනයක් නිකුත් කරමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) දැඩිව අවධාරණය කර ඇත්තේ නිදහස් අධ්‍යාපනය උදෙසා සටන් වදින ශිෂ්‍ය ක්‍රියාධරයන් අත්අඩංගුවට ගෙන, සිරගත කිරීම මගින් රජයේ මර්දනකාරි පිළිවෙත පෙන්නුම් කරන බව ය.

"මේ වන විට ඔවුන්ගෙන් තිදෙනෙකුට කෝවිඩි 19 රෝගයට ගොදුරු වී ඇත. ඔවුන් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන පී.සී.ආර් පරීක්ෂණ කළ මොහොතේ රෝගය වැළදී තිබුණේ නැත. රිමාන්ඩ් රැඳවුම් භාරයේදි ඔවුන් රෝගයට ගොදුරු වු බව පැහැදිලිය. මක්නිසාද යත්, අත්අඩංගුවට ගෙන සති තුනක් ගත වු පසු දෙවන පී.සී.ආර් පරික්ෂණය සිදු කෙරුණු බැවිනි. ඔවුන්ගෙන් කිසිවකු හෝ කෝවිඩ් 19 රෝගයේ වර්ධණීය ලක්ෂණයකට ගොදුරු වුවහොත් එහි සම්පූර්ණ වගකීම රජය දැරිය යුතු ය. රැඳවුම් භාරයේ සිටින්නන්ගේ ආරක්ෂණය සහ සුබසාධනය රජයේ මග හැරිය නොහැකි වගකීමකි. එබැවින් ඔවුන්ට අවශ්‍ය පහසුව හා සෞඛ්‍ය ආරක්ෂණ රජය වහා ඇති කළ යුතුයැ"යි සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරිගේ අත්සනින් යුතු එම නිවේදනයේ සඳහන් වේ.

අගෝස්තු 3 වන දා පැවති උද්ඝෝෂණයෙන් පසු, ඉහත නම්ස ඳහන් ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගනු ලැබුණේ 'පොදු දේපළවලට හානී කිරීමේ' චෝදනාව මත ය. නමුත් ඔවුහු එහිදි සංකේතාත්මක විරෝධය පෑමක් වශයෙන් කාඩ්බෝඩ්වලින් සාදන ලද පෙට්ටියක් පුළුස්සා දැමීම හැරෙන්නට කිසිදු පොදු දේපළකට හානිකිරීමක් සිදු නොකළ බව අවිශිබම නායකයෝ පෙන්වා දෙති.

මේ අතර, නීතීඥයන් විසින් මේ සම්බන්ධයෙන් හෝමාගම මහාධිකරණයේ හමුවේ ගොණුකරන ලද ප්‍රතිශෝධන අයදුම්පත විභාග කිරීමට අධිකරණය විසින් සඳුදා (30) දිනයේදී තීරණය කරන ලදී. එහිදී අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරමින් සැප්තැම්බර් 15වැනිදා නඩු විභාගය කැඳවීමට කීරණය කෙරුණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.