JDS Sinhala

රාජපක්ෂ ආණ්ඩුවේ අසමත්කම් වසාගන්නට සිසු - ගුරු මර්දන රැල්ල දෙගුණ කරයි

කිත්සිරි විජේසිංහ විසිනි


ගෝ

ඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අසාර්ථක රාජ්‍ය පාලනය ජනතාවගෙන් වසන් කරගැනීම සඳහා ගුරුවරුන්, සිසුන් ඇතුළු සමාජක්‍රියාකාරීන් මර්දනය කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුළු රටේ සමස්ත ක්‍රියාවලියම මිලිටරිකරණයට නතු කිරීමට එරෙහිව මෙයට මසකට පමණ ඉහතදි ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය කරමින් ඇරඹි එම මර්දන ක්‍රියාවලිය එයින් පසුව විශ්ව විද්‍යාල සිසුන්, සිවිල් හා සමාජ ක්‍රියාකාරීන් වෙතද එල්ල කෙරුණු බවත්, එම මර්දනය මේ වන විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කරා ද පැමිණ ඇති බවත් ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රමුඛතම නිල සංවිධානය වන, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පෙන්වා දෙයි.

මර්දන නියෝගය ඉහළම තැනකින්

"සමාජයේ විවිධ පාර්ශව වෙත එල්ල වෙමින් තියෙන මේ රාජ්‍ය මර්දනය දැන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ටත් එල්ල වෙනවා. නමුත් මම හිතන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සමාජය ඉදිරියේ තියෙන පිළිගැනීම නිසයි තාමත් කෙලින්ම ප්‍රහාරයක් එල්ල කරන්න බැරිවෙලා තියෙන්නේ. හැබැයි පොලීසිය බලහත්කාරයෙන් පුද්ගලයන්ව උස්සන් යන්න හැදුවට මේ රාජ්‍ය මර්දනය එන්නේ රජයේ ඉහළම තැනකින් ''යි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලන‌යේ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල ජේඩීඑස් හා කියා සිටියේය.

මෙයට දින කිහිපයකට පෙර බස් රථයකින් ගමන් කරමින් සිටියදි විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල සාමාජිකයකු, තමන් පොලිස් නිලධාරීන් යැයි හඳුන්වා දෙනු ලැබු සිවිල් ඇඳුමින් සැරසුනු පුද්ගලයන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යාමට උත්සාහ දරා තිබුණු බවද මහාචාර්ය රඹුක්වැල්ල පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අමින්ද ලක්මාල් පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා තිබුණේ අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි උද්ඝෝෂණයක් නිමවා සෙසු ආචාර්යවරුන් සහ සිසුන් පිරිසක් සමඟ බස් රථයකින් එමින් සිටින අතරතුර ගම්සභා හන්දිය සහ දෙල්කඳ අතරදි සිවිල් ඇඳුමින් සැරසී සිටි තිදෙනෙක් බස් රථයට ගොඩවී තමන්ව බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ දැරූ බවයි. නමුත් සෙසු ආචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ මැදිහත්වීම මත එය වැළකී කිය බවත්, එසේ පැමිණි එක් අයකු තමන් මිරිහාන පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බව පොලිස් හැඳුනුම්පත පෙන්වමින් සනාථ කළ බවත් ආචාර්යවරයා ඔහුගේ සටහනේ දක්වා ඇත.

"ආණ්ඩුව මේ මර්දනය නතර නොකෙරුවහොත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හැටියට අපි දැඩි ක්‍රියාමාර්ගයකට යනවා. අපි සංකේත වැඩ වර්ජනයකට යන්න තීරණය වුණේ ඒ් අනුව" යැයි ආණ්ඩුවේ මිලිටරි මර්දනයට එරෙහිව FUTA මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඒ් අනුව, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කැඳවුම පරිදි, අඟහරුවාදා (10) දිවයින පුරා සරසවි අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ සංකේත වර්ජනයකට එක්වූහ.

ගුරු, සිසු නායකයන් අත්අඩංගුවට

ජේඩිඑස් වෙත දිගින් දිගටම වාර්තා වුණු තොරතුරුවලට අනුව, ගුරු වෘත්තීය සමිති නායකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් මෙන්ම සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් පසුපස ලුහුබඳිමින්, එයින් බොහෝ දෙනෙකුව බලහත්කාරයෙන් පැහැරගෙන යාමට පවා පොලීසිය හා බුද්ධි අංශ කණ්ඩායම් මෙන්ම තවත් හඳුනා නොගත් කණ්ඩායම් විසින් උත්සාහ දරා තිබුණි.

ජූලි මාසයේදී කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව වීදිබට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් නිරෝධායන නීති උල්ලංඝණය කළ බව පවසා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ඔවුන්ට ඇප ලබා දුන්නද කිසිදු නියෝගයකින් හෝ අධිකරණය හමුවට කරුණු දැක්වීමකින් හෝ තොරවම පොලීසීය උසාවි භූමිය වටලා ගුරු සංගම් නායකයා ඇතුළු පිරිස බලහත්කාරයෙන් බස් රථවල පටවා ගනිමින් මුලතිවු ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරකට 'නිරෝධායනය' සඳහා රැගෙන යනු ලැබුණි. නමුත් ඒ සම්බන්ධව පොලීසිය සහ රාජපක්ෂ ආණ්ඩුව වෙත එල්ල වුණු දැඩි සමාජ විරෝධය හමුවේ සිය තීන්දුව හකුලා ගත් රජය, දින 8කින් පසු ගුරු සංගම් නායකයා ඇතුළු පිරිස නිදහස් කරන්නට කටයුතු කළේය.

මේ අතර, කොතලාවල පනතට සහ අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහිව උද්ඝෝෂණයකට සහභාගීව නිවසේ රැඳි සිටියදි, සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරිනී කෝෂිලා හංසමාලි පෙරේරා සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත පොලිස් කණ්ඩායම් දෙකක් විසින් අගෝස්තු 3 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුණි. කෝෂිලා හංසමාලි අත්අඩංගුවට ගැනීම සඳහා රාත්‍රි 9 ට පමණ ආයුධ සන්නද්ධව 7 දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පැමිණ ඇති අතර, රාත්‍රියේ ඇය රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව නිවැසියන් විසින් පොලිස් කණ්ඩායමට පැවසීමේදි නිවැසියන්ට තර්ජනය කර ඇති පොලිස් නිලධාරින් පවසා තිබෙන්නේ වරෙන්තුවක් ඇතිව හෝ නැතිව කිසියම් අයකු අත්අඩංගුවට ගන්නට තමන්ට බලය ඇති බව ය. 

"නංගිව ගෙනියන්න ආපු නිලධාරින් හැසිරුනේ, නංගි දරුණු අපරාධකාරියක් විදිහටයි. චෝදනාව මොකද්ද කියලා අහපුවාම කිවුවේ පොලිස් නිලධාරින්ට තුවාල සිදුවන ආකාරයටයි, රාජ්‍ය දේපලවලට හානිවන විදිහටයි හැසිරිලා තියනවා කියලා. අම්මයි, තාත්තයි ගෙදර හැමෝමයි දිගින් දිගටම අහුවා මේ රෑ නංගිව අරන් යන්න හදන්නේ කොයි පොලීසියටද කියලා. මුලදි ඒකට කිසිම උත්තරයක් දුන්නේ නෑ. නංගිව එක්ක යනවා නම් එයා එක්ක අපිත් එනවා කියලා අම්මයි - තාත්තයි කිවුවා. එතකොට කිවුවා ඒකට ඉඩ දෙන්න බෑ කියලා. සෑහෙන්න පෙරැත්ත කරලා තමයි අහගත්තේ එයාව අරන් යන්නේ කොහාටද කියලා. අම්මලා නංගි අරන් ගිය ජීප් එක පිටි පස්සෙන්ම වාහනයකින් තලංගම පොලීසියට ගියා. ඒ වුණාට නංගිට කතා කරන්න ඉඩ දීලා නෑ. එයාව අරන් ගිය පොලීසියේ අය නංගිව තලංගම පොලීසියට භාරදීලා ගිහින් "යැයි හංසමාලිගේ වැඩිමහල් සොහොයුරිය කීවාය.

පොලිස් නිලධාරින්ගේ අනන්‍යතාව දිගින් දිගටම විමසීමේදි නැගණිය රැගෙන යාමට පැමිණි පොලිස් කණ්ඩාමේ සිටි එක් අයෙක්, තමන් ආදුරුප්පු වීදියේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස හඳුන්වා දුන් බවද හංසමාලිගේ සොහොයුරිය පැවසුවාය.

සිය නැගණිය නිවසින් රැගෙන ගිය පසුව අධිකරණයට ඉදිරිපත් කරන තෙක් කතා බස් කරන්නට හෝ ඉඩ නොදුන් බවත් මීගමුව බන්ධනාගාරයට රැගෙන යන විට ඇයට ඇඳුම් කිහිපයක් සහ පළමු වැක්සීනයේ කාඩ් පතත් ඇය විසින් යම් අසනීපයකට දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගන්නා බෙහෙත් වර්ගයකුත් ලබා දීමට උත්සාහ දැරීමේදි ඒ සඳහා ද පොලිසිය ඉඩ නොදුන් බවත් ඈ කියා සිටියාය.

කෝෂිලා හංසමාලි මීගමුව බන්ධනාගාරයෙත්, චමීර කොස්වත්ත බෝගම්බර බන්ධනාගාරයෙත් මේ වන විට රඳවා සිටිති.

එම අත්අඩංගුවට ගැනීමෙන් දින දෙකකට පසුව එනම් 5 දා දහවල් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප සිසුවා විශ්ව විද්‍යාලය ඉදිරිපිටදීම සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් විසින් බලහත්කාරයෙන් වෑන් රථයක දමාගෙන රැගෙන ගොස් තිබුණි. පැහැරගත් සිසුවා සොයා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් මිරිහාන, කුරුඳුවත්ත සහ තලංගම ද ඇතුළු පොලිස්ථාන ගණනාවකටම යමින් ඔහු පිළිබඳව විමසා බලා ඇති නමුත් ඒ සෑම තැනකින්ම සිසුන් වෙත පවසා තිබුණේ තමන් එවැනි අයකුව රැගෙන ආවේ නැති බව ය.

නමුත් පසුව හෙළිදරව් වූයේ අමිල සංදීප ඒ වන විටත් මිරිහාන පොලිස් ස්ථානයේ විශේෂ ඒකකයක් තුළ රඳවාගෙන අන්තරේ සිසු නායකයන් පිළිබඳවත් කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණ මෙහෙයවන්නන් පිළිබඳවත් ප්‍රශ්න කෙරෙමින් සිට ඇති බවකි. එසේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව ද තලංගම පොලිසිය වෙත භාර දී තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ 6 වැනිදා අළුයම 3.30 ට පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ සිරස රූපවාහිනි නාලිකාවේ වැඩ සටහනකට සහභාගිවී මාධ්‍ය ආයතනයෙන් පිටව යමින් සිටියදීය. 

කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට පැමිණවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් දෙදෙනා එළැඹෙන 11 දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ පොලීසිය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම පවා නොතකා හරිමිනි.

පසුගිය 5 දා කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි උද්ඝෝෂණයට සහභාගීවීමට පැමිණ ඇති කැළණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවකු ද අත්අඩංගුවට පත් අය අතරේ වේ.

'පුතා නැත්නම් අම්මව ගෙනියනවා'

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු වැඩ බලන කැඳවුම්කරු උදාර සඳරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගෙවුණු දින කිහිපයේදීම පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහුගේ නිවසට ගොස් තිබෙන බව අන්තරේ ඉදිරි පෙළ සිසු නායකයෙකු ජේඩීඑස් හා පවසා සිටියේය.

"උදාර සහෝදරයව හොයාගෙන කිහිප විටක්ම පොලීසිය රාජාංගනය ප්‍රදේශයට ගිහින් තිබුණා. ඔහුගේ ගේ වටකරලා පුතාව දුන්නැත්නම් තාත්තව හරි අරන් යනවා කියලයි පොලීසිය කියලා තියෙන්නේ. එක පාරක් පෑලියගොඩ පොලිස් කණ්ඩායමකුත් ගිහින් තිබුණා. ඒ විතරක් නෙමෙයි, තවත් ශිෂ්‍ය ක්‍රියාකාරින් ගණනාවක් පසුපස පොලීසිය ලුහුබඳිනවා; ගෙවල්වලට යනවා; පවුල්වල අයට තර්ජනය කරනවා. දැන් ගොඩක් දෙනෙක් ඉන්නේ බයට හැංගිලා. එන්නේ පොලිසිය ද නැද්ද කියන්නවත් අපි හරියට දන්නෙ නෑ. හැමෝම සිවිල් ඇඳුමෙන් තමයි එන්නේ "යි පවතින තත්ත්වය හමුවේ සිය අනන්‍යතාවය සඳහන් නොකරන්නැයි ඉල්ලමින් එම සිසු නායකයා පැවසීය.

සඳුදා (9) දින අප වෙත දැන ගන්නට ලැබුණු පරිදි පෑලියගොඩ පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ ඇස් රෝහල වෙත ගොස් එහි ප්‍රතිකාර ලබමින් සිටින උදාර සඳරුවන්ගේ පියාට නැවත වතාවක් තර්ජනය කරමින් පුතා භාර දෙන්නැයි පවසා ඇත . එසේම සඳරුවන්ගේ පියාගේ උවැටැන් සඳහා ඔහු ළඟ සිටි විවෘත විශ්ව විද්‍යාලයේ ශිහාන් හංසික නැමැති සිසුවාට සිතාසියක් දී වහාම පෑලියගොඩ පොලිසියට පැමිණෙන ලෙස ද නියෝග කර තිබුණි.

කෙසේවුවද, අදාළ සිසුවා තමන් වෙත ඉදිරිපත් නොකරන්නේ නම් ඔහුව භාරදෙන තුරු පවුලේ සාමාජිකයකු පොලීසියට රැගෙන යන බවට තර්ජනය කර තිබෙන්නේ උදාර සඳරුවන්ගේ පවුලේ අයට පමණක් නොවේ. රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ සොයා ඔහුගේ නිවසට ගොස් ඇති පිරිසක් පුතා පොලිසියට භාර නොදෙන්නේ නම් ඒ වෙනුවට ඔහුගේ මව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබේ.

රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉරෝෂ අල්පෝන්සු සිසුවා සොයා ඔහුගේ නිවසට ද ගොස් තිබෙන පොලිස් කණ්ඩායමක් නිවැසියන්ට තර්ජනය කර තිබෙන්නේ හැකි ඉක්මනින් පුතාව පොලීසියට භාර නොදෙන්නේ නම් ඒ වෙනුවට පවුලේ කෙනකු රැගෙන යන බවට ය.

දුරකතනයෙන් මරණ තර්ජන

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන රත්කරව්වේ ජිනරතන හිමියන් පවසන්නේ තමන්ව මරා දමන බවට අසැබි වචනයෙන් බැණ වදිමින් දිගින් දිගටම දුරකතන ඇමතුම් ලැබෙමින් තිබෙන බව ය.

"දැන් දවස් කිහිපයක ඉඳන් උදේ, හවස මට කෙනෙක් 072 5167782 කියන අංකයෙන් කෝල් කරලා කියනවා මාව මරනවා කියලා. ඉස්සල්ලම මට කතා කරලා ඇහුවේ අමිල සංදීපව අරන් ගිහින් නේද, එයා හොඳින් ඉන්නවාද කියලයි. ටික වෙලාවකට පස්සේ කුණුහරුපෙන් බැණලා මට කිවුවා ' උඹත් පරෙස්සම් වෙලා හිටපන්. තොපි උද්ඝෝෂණ කරන්නේ කාට විරුද්ධවද? මැරුම් නොකා හිටපන් ' වගේ දේවල් . දැන් පාරට බැහැලා බස් එකක යන්නවත් බයයි. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්නත් බයයි," ජිනරතන හිමි ජේඩීඑස් වෙත කීය.

ගුරු සංගම් නායකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු ද දේශපාලන ක්‍රියාකාරීන්ද පසුපස ලුහුබැඳ යමින් ඔවුන් දඩයම් කිරීම ඇරඹු ගෝඨාභය රාජපක්ෂ රජයේ මර්දන යාන්ත්‍රණය මේ වන විට අනෙකුත් වෘත්තීය සමිති නායකයන් පසුපසද හඹායෑම ආරම්භ කොට තිබේ. ඒ අනුව ගෙවුණු දින කිහිපයේදි ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ අමිල සඳරුවන් සහ ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ ආදීන්ගේ නිවෙස් සහ කාර්යාල වෙත යමින් ඔවුන් පිළිබඳව විමසා තිබෙන්නේ කිසිදු හේතු දැක්වීමකින් තොරවමය. චතුර සමරසිංහ නායකත්වය දරණ ලංකා වතු සේවා සංගම් කාර්යාලය වෙත පොලිස් කණ්ඩායමක් පළමුවෙන්ම ගොස් තිබෙන්නේ රත්කරව්වේ ජිනරත්න හිමියන් එහි සැඟවී ඇද්දැයි විමසා බැලීමට ය.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ රවීන්ද්‍ර මුදලිගේ යන අයගේ නිවෙස්ද පොලිස් කණ්ඩායම්වල සෝදිසි කිරීම්වලට ලක්ව ඇත.

සිසු ජන ව්‍යාපාරය විසින් පසුගිය පසුගිය 3 වනදා පවත්වනු ලැබු උද්ඝෝෂණ ව්‍යාපාරයෙන් අනතුරුව විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය මහිම් මෙන්ඩිස්ට ද හඳුනා නොගත් පුද්ගලයන් විසින් දුරකතනයෙන් තර්ජනය කර තිබුණි.

"එදා උද්ඝෝෂණය ඉවර වෙලා ගෙදර එන කොට කෙනෙක් මට ටෙලිපෝන් කරලා කිවුවා' රජයට තර්ජනය කරලා කරපු කතාව අපිට දිරවන්නෙ නෑ ' කියලා. එදා ඉඳන් දිගටම මට තර්ජනාත්මකව දුරකතන පණිවිඩ ලැබෙනවා" .

අධ්‍යාපන මිලිටරීකරණයට එරෙහි වෘත්තීය සමිති නායකයන්, ශිෂ්‍ය ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් පසුපස පොලිස් කණ්ඩායම් ලුහුබැඳීම හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරන වෘත්තීය සමිති ගණනාවක් විසින් අවධාරණය කොට තිබෙන්නේ ආණ්ඩුවේ මෙම ක්‍රියාවලිය 'නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කෙරෙන මරු පහරක් ' බව ය.

රනිල් - මෛත්‍රී යහපාලන රජය සමයේද අවස්ථා ගණනාවකදීම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පසුපස පොලිස් සහ හමුදා බුද්ධි අංශ කණ්ඩායම් ලුහුබඳීන ලද අතර දකුණු ආසියානු තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යා ආයතනය හෙවත් සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහි අරගලයට නායකත්වය ලබා දුන් සිසුන් ගණනාවක් විවිධ හේතු දක්වමින් රිමාන්ඩ් කරනු ලැබු අතර, ඇතැම් සිසුන් පැහැරගෙන යනු ලැබිණි.

මේ අතර කෝවිඩ් වසංගතයට මුවාවී අත්තනෝමතිකව සහ නීති විරෝධීව සිදුකෙරෙන අත්අඩංගුවට ගැනීම්වලට විරෝධය දක්වා, ඊයේ දින (09) පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ශ්‍රී ලංකාවේ සියළු ජාතීන්ට සහ ආගමිකයන්ට අයත් ගුරු, විදුහල්පති වෘත්තිය සමිති 24ක් විසින් ලිපියක් යොමුකර තිබේ. පසුගිය 4 වන දා සිට 9 වන දා දක්වා, දින 6 ක කාලයක් තුළ ගුරුවර ගුරුවරියන් 50 ට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවද අදාළ ලිපියෙහි සඳහන් වේ.

"උද්ඝෝෂණයේ යෙදීමට හා විරෝධය දැක්වීමට ඇති අයිතිය උල්ලංඝණය කරමින් පොලීසිය විසින් සිදුකරන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නතර කිරීමට පියවර ගන්නා ලෙස" එම ලිපිය මගින් ගුරු විදුහල්පති සංගම් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල විසින් පසුගිය දෙවැනිදා පොලීසියට නියෝග කරනු ලැබුවේ සාමකාමී උද්ඝෝෂණය කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර ඇති බැවින් කෝවිඩ් වසංගතයට මුවාවී එම අයිතිය යටපත් නොකළ යුතු බවට ය.

එයින් පසුව ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න විසින් ද එවැනිම නියෝගයක් පොලීසිය වෙත නිකුත් කරනු ලැබුණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.