JDS Sinhala

ගමින් ගම ඔත්තු බැලීමට හිටපු හමුදා සාමාජිකයන් යළි කැඳවයි

ජය විසින් වේගවත් කර තිබෙන හමුදාකරණ සැළසුම් තවදුරටත් පෙරට ගෙනයමින් මහජනයා පිළිබඳ තොරතුරු රැස්කිරීම සඳහා විශ්‍රාමික හමුදා සාමාජිකයන් දායක කරගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියත් කර තිබේ.

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) විසින් 2021 ජූනි 8 දාතමින් නිකුත් කර ඇති රහස්‍ය විධාන පත්‍රිකාවක් මගින් පාබල සේනා මූලස්ථානවලින් ඉල්ලා ඇත්තේ "ඒ සඳහා දායකත්වය ලබාදෙනු ලබන විශ්‍රාමික රණවිරුවන්ගේ සංඛ්‍යාව දිස්‍රතික් වශයෙන් සංඛ්‍යාත්මකව සකස්කර ජූනි මස 14 වැනිදාට පෙර" දන්වා එවන ලෙස ය. අදාළ ලිපියට අනුව, මෙම වැඩසටන ක්‍රියාත්මක වන්නේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ "පස් අවුරුදු ඉදිරි දැක්ම සංකල්පය" යටතේ ය. 'ආසේමු (බටහිර)/ප්‍ර/සිවිල්/තාගො/01/2021(86)' යොමු අංකය සහිත අදාළ ලිපියේ පිටපතක් ජේඩීඑස් විසින් දැක තිබේ.

යුද හමුදා නිල මූලාශ්‍රයන්ට අනුව, පළාත් හතරකට අයත් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික් නමයක් ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) බලප්‍රදේශ යටතට ගැණෙන අතර ජනගහණයෙන් අඩකඩත් වැඩි මිලියන 12ක ජනතාවක් දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් 29.73%ක් අයත්වන මෙම ප්‍රදේශයන්හී ජීවත් වේ.

තොරතුරු රැස්කිරීම්

යළි කැඳවන ලද හමුදා සාමාජිකයන් 'ප්‍රාදේශීය වශයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීම, වැලි ජාවාරම් සහ මත් ද්‍රව්‍ය ජාවාරම් වැනි සමාජ විරෝධී ක්‍රියාවන් මැඩලීම, ජල ගැලීම් හා නායයෑම් වැනි ස්වාභාවික විපත්වලදී සේවා ලබාගැනීම සහ වෙනත් සමාජ සත්කාර' ආදී "ජාතික අවශ්‍යතාවන්" සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බව අදාළ ලිපියේ දැක්වේ. ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ආඥාපති වෙනුවෙන් මෙම ලිපිය නිකුත්කොට ඇත්තේ බ්‍රිගේඩියර් රොහාන් වජිර පොන්නම්පෙරුම විසිනි.

2019 නොවැම්බර් මාසයේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ දා සිට, හමුදාකරණ සැළසුම් වේගවත් කරනු ලැබ තිබේ. ඉකුත් ජනවාරියේදී කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධීකරණය කරනු පිණිස දිස්ත්‍රික් සම්බන්ධීකාරකයන් ලෙස හමුදා නිලධාරීන් 25 දෙනකු පත්කරනු ලැබූ අතර කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ ද ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ය.

ජේඩීඑස් සංවිධානය හා සත්‍යය සහ යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය ඒකාබද්ධව, ශ්‍රී ලංකාවේ පරිපාලන සේවය හමුදාකරණය කිරීම සවිස්තරාත්මකව දැක්වෙන වගුවක් මේ වසරේ ජනවාරි මාසයේදී නිකුත් කරන ලද අතර එමගින් 40කට නොඅඩු හමුදා සාමාජිකයන් සිවිල් පරිපාලන තනතුරුවලට පත්කිරීමට නව රජය කටයුතු කර ඇති බව පෙන්වා දෙනු ලැබුණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.