JDS Sinhala

යුද පිටියේ සිට පරිපාලන පුටුවට: ශ්‍රී ලංකාවේ හමුදාකරණය ගැන සවිස්තර වාර්තාවක්

දෙ

වැනි රාජපක්ෂ පාලනයේ අවුරුද්දක් තරම් කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාවේ සිවිල් පරිපාලන ක්ෂේත්‍රය හමුදා සෙන්පතියන් සමූහයක් යටතට පත් කර ඇති කිලිපොලායන සුළු ආකාරය ජාත්‍යන්තර වශයෙන් එලිදක්වා ඇති අලුත්ම වාර්තාවකින් අනාවරණය වෙයි.

සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) හා එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් පළ කරන ලද සවිස්තරාත්මක වගුවකින් හිටපු හමුදා නිලධාරියකු වන ජනාධිපති රාජපක්ෂ විසින් ඉහළ පෙළේ තනතුරුවලට පත් කරන ලද හමුදා නිලධාරීන් 39 දෙනකු නම් කර තිබේ.

“මෙය කිලිපොලායන සුළු අත්පත් කර ගැනීමකි,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය. “ජනාධිපති අත මධ්‍යගත වී ඇති බලය, ඥාති සංග්‍රහය, ගජමිතුරු සංග්‍රහය සහ නඩු හබ පැවති අවස්ථාවක ආණ්ඩුවේ නිලතලවලට පත් කරනු ලැබු තිගැස්සෙන සුළු සංඛ්‍යාවක් වන පිරිස මීට එකතු කර බලන්න. මෙය රාජ්‍යය පැහැරගැනීමට හැංගි හොරා කරන කුමන්ත්‍රණයක් සදිසි ය. ප්‍රජාතන්ත්‍රවාදය නොනවත්වාම සෝදාපාලු කෙරෙමින් පවතී.”

'නොවූ විරූ හමුදාකරණයක්'

කෝවිඩ් ප්‍රතිචාරය, පොලිසිය, ඔත්තු සේවා, බන්ධනාගාර, විදේශ සබඳතා, ගුවන් තොටුපල, වරාය, රේගුව, උපයෝගිතා, කෘෂිකර්මය, ධීවර කටයුතු, ඉඩම් සංවර්ධනය, වනජීවී සංරක්ෂණය, සහ ඒ සැම පරයා අල්ලස් කොමිසම ආදී ස්ථානවල හිතෛෂී හමුදා නිලධාරීන් බලය විහිදුවා ඇති ආකාරය මෙම වගුවෙන් දැක්වේ.

“මේ නම් නොවූ විරූ ආකාරයෙන් රාජ්‍ය යාන්ත්‍රනය හමුදාකරණයකි. විශ්‍රාමික සහ සක්‍රිය හමුදා නිලධාරීහු පරිපාලන තානාන්තර, පක්ෂ නිලතල සහ බලසම්පන්න අමාත්‍ය ධූර අරා සිටිති. මෙය රාජ්‍යයේ සිවිල් ගතිලක්ෂණයේ අවසානය තීරණාත්මකව සනිටුහන් කරනු ඇතැ,” යි JDS සංවිධානයේ භාෂණ අබේවර්ධන අනතුරු ඇඟවීය.

සම්පූර්ණ නිවේදනය මෙතැනින් කියවන්න.

“දශක තුනකට වැඩි කාලයක් තිස්සේ සාමාන්‍ය ජනතාවට එරෙහිව කරන ලද කිව නොහැකි තරමේ අපරාධ සම්බන්ධයෙන් යුද හමුදාව චෝදනා ලබා සිටී. දේශපාලන සහ පරිපාලන ක්ෂේත්‍ර තුළ ඔවුන්ගේ බලය තහවුරු කරන්නට ඉඩදීම ආපසු හැරවිය නොහැකි වනු ඇත,” ඔහු කීය.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දේශපාලන හා සිවිල් පරිපාලන ක්‍ෂේත්‍රයන් තුළට මෙසේ සංවිධානාත්මක සහ විශාල පරිමාණ ලෙස ඇතුල්කරනු ලැබූ පළමු අවස්ථාව වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයයි. ☐

© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.