JDS Sinhala

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට විධායකයෙන් තහංචි

කිත්සිරි විජේසිංහ විසිනි


න්ඩේ  ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඝාතනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත  වික්‍රමතුංගගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක්  ක්‍රියාත්මක කෙරුණු පරීක්ෂණ ඇණහිට ඇත්තේ එම පරීක්ෂණවලට විධායකය ප්‍රමුඛ  ඉහළ දේශපාලන බලාධිකාරිය විසින් කරනු ලබන බලපෑම් හේතුවෙන් බව වාර්තා වේ.

මෙම බලපෑම් සිදුකරමින් ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 'කිසිදු පදනමකින් තොරව'  දිගින් දිගටම ප්‍රශ්න කරන බවටත්, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවටත් කෙරෙන චෝදනා මත ය.

දේශපාලන මැදිහත්වීම්

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණය මෙහෙයවන  පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරියකු ජේඩීඑස් හා කියා සිටියේ සැකකාර බුද්ධි අංශ සමාජිකයන් සහ පොලිස් ප්‍රධානීන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීමටත්, අධිකරණය හමුවට කරුණු වාර්තා කරමින් ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය කෙරෙන නියෝග ලබාගැනීමටත් මෙම දේශපාලන බලපෑම් මගින් දැඩි බාධා එල්ල වන බව ය.

"පරීක්ෂණ  ඉදිරියට ගෙනියන්න අපිට ගන්න වෙලා තියෙන වෙහෙස එළියට පේන්නේ නැහැ. හැමෝම හිතන්නේ ලසන්ත ඝාතනය ගැන පරීක්ෂණ නතර වෙලා කියලයි. නමුත් ඇත්ත කාරණය තමයි පරීක්ෂණ නතර කරන්න බලකෙරිලා තියෙන්නේ", නමින් පෙනී සිටීමට බිය පළකළ නිලධාරියා ප්‍රකාශ කළේය.

"මේ පරීක්ෂණවලට ඇඟිලි ගහන්නේ නැතුව, නීති විරෝධීව නියෝග නිකුත් කරමින් 'අර නිලධාරියාගෙන් ප්‍රශ්න කරන්න එපා - අර නිලධාරියාව අත්අඩංගුවට ගන්න එපා - උසාවියට ලිඛිතව කරුණු වාර්තා කරන්න එපා' කියලා මැදිහත්වීම් කරන්නේ නැතිනම් මේ අපරාධයට වගකියන්න ඕන හැමෝම අත්අඩංගුවට අරන් නඩුත් පවරලා ඉවරයි", ඔහු කීය.

ඔහු  තව දුරටත් කියා සිටියේ, ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් කෙරෙන  ඉහළ දේශපාලන මැදිහත්වීම් සහ බාධා කිරීම් නොවන්නට මෙම ඝාතනයට අණදුන් පුද්ගලයා පවා මේ වන විට අත්අඩංගුවට ගෙන අවසන් බව ය.

"හැමෝම දන්නවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්න අණ දුන්නේ කවුද, ඒකට හේතුව මොකක්ද කියලා. යුධ හමුදා බුද්ධි අංශ සමාජිකයන්වයි, පරීක්ෂණ යට ගහපු පොලිස් නිලධාරින්වයි විතරක් අත්අඩංගුවට අරන් මේ අපරාධය විසඳන්න බැහැ. අපරාධයට අණ දුන්න කෙනා අල්ලන්න ඕනේ. අපරාධයට ‍හේතුව අපි  හැම කෙනෙක්ම දන්නවා"යි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෛත්‍රීගෙ පොලීසිය

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබුවේ කූප්‍රකට මිග් යානා  ගනුදෙනුව පිළිබඳව ඔහු විසින් කරනු ලැබු හෙළිදරව් කිරීම නිසා බවට පිළිගත හැකි සාක්ෂි තමන් සතුව ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙයට පෙර අධිකරණය හමුවට කරුණු වාර්තා කරනු ලැබුණි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමෙන් අනතුරුව 2009 සිට 2015 ජනවාරි දක්වා පරීක්ෂණ මෙහෙයවනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් වන අතර, පසුව 2015 දී බලයට පැමිණි  මෛත්‍රි - රනිල් ජාතික ආණ්ඩුව විසින් එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කරන ලදී. එම පරීක්ෂණවලට අදාළව යුධ හමුදා බුද්ධි අංශ සමාජිකයන් සහ පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගනු ලැබු අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන සන්නද්ධ බුද්ධි බලකායේ සමාජිකයන් යොදා ගනිමින් ඝාතනය සැළසුම් කෙරුණු බවට ද තොරතුරු අනාවරණය විය. නමුත් මෙම සැළැස්මට සම්බන්ධ ආරක්ෂක ප්‍රධානීන් පිළිබඳව අධිකරණය හමුවට කරුණු වාර්තා කිරීමට සැළසුම් සකස් කෙරෙමින් තිබෙන අතරවාරයේ දී පරික්ෂණ නවතා දමන ලෙසට 'ඉහළින් '  නියෝගයක් ලැබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගයන් අනාවරණය කරයි.

මෛත්‍රි - රනිල් ජාතික ආණ්ඩුව පිහිටුවීමට පෙර මැතිවරණ වේදිකාවල ලබාදුන් එක් පොරොන්දුවක් වුයේ ද ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව කරුණු සොයා බලා අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන බව ය. කෙසේ වුවද, වර්තමානයේදි පොලිස් දේපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ විෂය පථය යටතට ගැනන අතර, ඒ නිසාමආරක්ෂත අංශවලට එරෙහිවදැනට කෙරෙන ප්‍රධාන පරීක්ෂණ සියල්ල අඩපණ වනු ඇතැයි අපරාධ පරීක්ෂකයන් බිය පළ කරති.

2009 ජනවාරි මස 08 වන දින රත්මලාන සහ අත්තිඩිය අතර අධි ආරක්ෂක කලාපය තුළදි මෝටර් බයිසිකල්වලින් ලුහුබැඳ පැමිණි පිරිසක් විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලදි.

දෙමළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා (09) දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තු විවාදයකට සහභාගී වෙමින් කියා සිටියේ යහපාලන ආණ්ඩුව සිව් වසරක් තිස්සේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ හා වසීම් තාජුඩීන් ඝාතන පිළිබඳ කතා කරමින් සිටිය ද, එ් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට කිසිදු ප්‍රමාණවත් පියවරක් ගෙන නැති බව ය.

1999 සිට දස වසරක කාලය තුළ ඝාතනය වූ දෙමළ මාධ්‍යකරුවන් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කිරීමට පවා අසමත් වීම පිළිබඳව ඔහු ආණ්ඩුවට දෝෂාරෝපණය කළේය.

"ඝාතනය කරන මාධ්‍යවේදීන් ගැන කතාකරන මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරු අඩුම වශයෙන් ඒ කාලය තුළ ඝාතනය වූ එක දෙමළ මාධ්‍යවේදියකුගේ නමක්වත් කියන්න දන්නවාද", යී ඔහු ප්‍රශ්න කර සිටියේය.

ජේඩීඑස් සංවිධානය විසින් එක් රැස්කරන ලද දත්ත හා තොරතුරුවලට අනුව, 2004 අප්‍රේල් මාසයේ සිට මේ  දක්වා මාධ්‍ය සේවකයන් 44 දෙනකු ඝාතනයට හෝ අතුරුදහන්කිරීමට ලක් වී ඇති අතර එහි බහුතරය දෙමළ ජාතිකයෝ වෙති.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.