JDS Sinhala

අන්තරයේ ශිෂ්‍ය භික්ෂූන් පස් දෙනෙක් නැවතත් පොලිස් අපරාධ කොට්ඨාශයට

න්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පස් දෙනෙකුව අද දින නැවතත් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය හමුවට කැඳවමින් ප්‍රශ්න කරමින් සිටින බව එහි ප්‍රකාශකයෙකු විසින් JDS වෙත කියා සිටියේය.

මෙසේ ප්‍රශ්න කිරීමට ලක් කොට ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර තැන්නේ ඥාණානන්ද, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මෝදරවානේ විපුලසිරි සහ උප සභාපති සූරියවැව සුසිල, කැළණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් වෙලගෙදර සුමනජෝති සහ එහි ලේකම් මහගල්වැව රාහුල යන ශිෂ්‍ය භික්ෂුන් පස් දෙනෙකි.

'පොලිසියේ අවශ්‍යතාව බිය ගැන්වීමයි'

මෙම වසරේ අප්‍රේල් මස 29 වැන දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදි පවත්වන ලද ශිෂ්‍ය උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරිම සහ ප්‍රකාශ සටහන් කරගැනිම සිදුවු බව JDS වෙත කියා සිටි අවවිභිබම කැඳවුම්කාර තැන්නේ ඥාණානන්ද හිමියන් මෙම උද්ඝෝෂණයටම අදාළව මෙයට පෙර අවස්ථා කිහිපයකදිමත් පොලිසිය ප්‍රකාශ සටහන් කරගත් බව අවධාරණයයෙන් ප්‍රකාශ කළේය.

"මේ උද්ඝෝෂණය ගැන ප්‍රශ්න කරපු,ප්‍රකාශ සටහන් කරගත්තු පළමු අවස්ථාව නොවෙයි. මෙයට පෙර පොලිසියත්, පොලිස් අපරාධ කොට්ඨාශයත්, රහස් පොලිසියත් අපෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගත්තා. මේ විදිහට දිගින් දිගටම අපිව ලුහුබඳිමින් ප්‍රකාශ ලියා ගන්නේ ඇයි කියන එක අපිට හිතා ගන්න පුලුවන්. පොලිසියට අවශ්‍යවෙලා තියෙන්නේ අපිව බය කරලා අපේ උද්ඝෝෂණයන් නතර කිරිමටයි."

ඡායාරූප හා වීඩියෝ සාක්‍ෂි

එසේම අද දින පොලිස් අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් සහ ප්‍රකාශ සටහන් කර ගැනීම්වලදි වැඩි අවධානයක් යොමු කරනු ලැබුවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයන් සහ උද්ඝෝෂණයන් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමට යැයි පෙන්නුම් කෙරුණු බව තැන්නේ ඥාණානන්ද හිමි වැඩි දුරටත් කියා සිටියේය.

"ඇත්තටම පොලිසියට අවශ්‍ය වෙලා තිබුණේ අප්‍රේල් 29 වැනිදා සිදුවු උද්ඝෝෂණය ගැන තොරතුරු හොයන්න නොවෙයි. ඒ ගැන ප්‍රශ්න කරන අතරම ඒ අය වැඩි උනන්දුවක් දැක්වුයේ ශිෂ්‍ය ව්‍යපාරයන් සහ ඒවට සම්බන්ධ, උපකාර කරන අය ගැන තොරතුරු සටහන් කර ගන්නයි."

ප්‍රශ්න කිරීම් අතරතුර පොලිසිය තමන් වෙතින් ශිෂ්‍ය සංවිධානයන්වල ව්‍යුහය, උද්ඝෝෂණයන් කිරීමට උපදෙස් දෙන්නෙ කවර සංවිධානයක්ද යන වග විමසු බවත්, එසේම වීඩියෝ පට සහ ඡායාරූප පෙන්වමින් එවායෙහි  සිටින පුද්ගලයන් හඳුනන්නේදැයි විමසු බවත්, විශේෂයෙන්ම යම් පිරිසක් අන්තර් ජාලය ඔස්සේ ශිෂ්‍ය සංවිධානවලට උපදෙස් දෙන්නේදැයි දැඩිව ප්‍රශ්න කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

නොවෙනස් මර්දනය 

එසේම පොලිසියට අවශ්‍ය ආකාරයට ප්‍රකාශයන් සටහන් කර ගැනීමට දැඩි උත්සහයක් ගත් බවත් කියා සිටින ඥාණානන්ද හිමියන් වැඩි දුරටත් කියා සිටියේ පැවති රජයේ මෙන්ම මෙම රජය යටතේද ශිෂ්‍ය භික්ෂුන් සහ ශිෂ්‍ය ව්‍යාපාරයන් ඉලක්ක කරමින් දැඩි මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි.

මෙයට පෙර අවස්ථා කිහිපයකදිම අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් වන මෙම ශිෂ්‍ය භික්ෂුන් පොලිස් අපරාධ කොට්ඨාශය විසින් ප්‍රකාශයන් සටහන් කර ගැනීමට යැයි පවසමින් කැඳවා අත්අඩංගුවට ගනු ලැබු අතර ඇතැමෙකුව අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරග කිරීමටද කටයුතු කරනු ලැබුණි.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.