JDS Sinhala

යාපනයේ සිසු ඝාතනයට එරෙහිව හර්තාල් හා උද්ඝෝෂණ

යාපනයේදී පොලිස් වෙඩි පහරට ලක් වූ සරසවි සිසුන් දෙදෙනා ඝාතනයට විරෝධය පාමින් සරසවි ශිෂ්‍ය ප්‍රජාව සහ බහුජන සංවිධාන උතුරු-නැගෙනහිර පළාත්වල හා සෙසු ප්‍රදේශ ගණනාවකද උද්ඝෝෂණ පැවැත්වූහ.

ඉකුත් බ්‍රහස්පතින්දා (20) රාත්‍රියේ කොකුවිල් කුලප්පිට්ටි මංසන්ධියේ දී පොලිස් වෙඩි පහරින් ජීවිතක්‍ෂයට පත් යාපනයේ අලවෙඩ්ඩි, කන්දරෝඩෛ හි පදිංචිව සිටි විජයකුමාර් සුලක්‍ෂන් (24) හා කිලිනොච්චිහි පදිංචිකරුවෙකු වූ නඩරාසා ගජන් (22) ගේ මරණය පිළිබඳ  අපක්‍ෂපාතී සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සංවිධානය කළ විරෝධතාවන්ට දකුණේ සරසවි ශිෂ්‍ය පිරිස් ද සඳුදා (24) එක්වූහ.

ඉල්ලීම් පහක්

ඝාතනය කළ විජයකුමාර් සුලක්‍ෂන්ගේ අවසන් කටයුතු යෙදී තිබු සඳුදා දිනය සිසු ඝාතනයන්ට එරෙහි ශෝක දිනයක් ලෙස සළකා කටයුතු කරන මෙන් යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසින් කරන ලද විවෘත ඉල්ලීමට උතුරු නැගෙනහිර බහුජන සංවිධානයන්ගේ සහාය හිමිව තිබූ අතර යාපන නගරයේ විරෝධතා දැක් වූ සරසවි සිසුහු යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාට විරෝධතා පෙත්සමක්ද භාරදුන්හ. උද්ඝෝෂණය සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම දකුණේ සරසවි සිසු නියෝජිතයෝද සහභාගී වූහ.

විරෝධතාවට එක් වූ යාපනයේ සහ කිලිනොච්චි පාසැල් ශිෂ්‍ය - ශිෂ්‍යාවෝ කළු කොඩි හා විරෝධතා පුවරු රැගෙන වීදි සංචාරය කරමින් මියගිය සරසවි සිසුන්ට යුක්තිය ඉටුකරන මෙන් ඉල්ලා සිටියහ.


මූලික ඉල්ලීම් පහක් අවධාරණය කරමින් ජනාධිපතිවරයාට යොමු කිරීම සඳහා සිසුන් විසින් භාරදුන් පෙත්සම මගින් ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනයන්ගේ අධීක්‍ෂණය යටතේ පවත්වන අපක්‍ෂපාතී සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලා ඇති අතර චූදිත පොලිස් භටයන් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ විමර්ශනයක් හා විධිමත් අධිකරණමය ක්‍රියාවලියක් නොපමාව ආරම්භ කරන මෙන් ද ඉල්ලා තිබේ.

මේ අතර මියගිය විජයකුමාර් සුලක්‍ෂන්ගේ අවමඟුල් කටයුතු සඳුදා සවස විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් යාපනයේ දී සිදු කළ අතර දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හා ආගමික පූජකයන් ද ඊට සහභාගී වූහ.


ශිෂ්‍ය ඝාතනයන්ට එරෙහිව විරෝධය පළ කරනු වස් උතුරු පළාතේ කැඳවන ලද හර්තාලය හේතුවෙන් අඟහරුවාදා (25) යාපනය ඇතුළු බොහෝ නගර මුළුමනින්ම අකර්මණ්‍යව පැවැති අතර ප්‍රවාහන සහ වාණිජ කටයුතු පුර්ණ වශයෙන්ම ඇණ හිට තිබුණි.

නැගෙනහිර සහ දකුණේත් විරෝධතා

ශිෂ්‍යයන්ගේ මරණ පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් නොපමාව පවත්වන මෙන් ඉල්ලා ආණ්ඩුවට බල කරන විරෝධතා කොළඹ හා වෙනත් ප්‍රදේශවල දී සඳුදා දිනයේ පැවැත්වුණි. කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැති ඒකාබද්ධ උද්ඝෝෂණය සඳහා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ද, මාධ්‍යවේදීන් ද, වාමාංශික දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන නියෝජිතයන් ද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.  

විරෝධතාකරුවන් අමතා කතා කළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා ප්‍රකාශ කළේ මෙම සිසු ඝාතන උතුරේ ජනයාට නිදහස්ව දිවි ගෙවන්නට හා ජීවන වෘත්තීන් කරගෙන යන්නට අවශ්‍ය නිදහස් පරිසරය තහවුරු නොකිරීමේ ප්‍රතිඵලයක් බව ය.


"එම නිසා අපි ඉල්ලා සිටින්නේ ඒ පළාත්වල  ජීවත්වන දෙමළ ජනයාට අවශ්‍ය නිදහස් දේශපාලන පරිසරය සහතික කරන්නට කටයුතු කරන ලෙස"යි හෙතෙම ප්‍රකාශ කළේය.

රැස්ව සිටියවුන් අමතා කතා කළ නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පෙන්වා දුන්නේ වෙඩි තැබීම සිදුවන මොහොතේ එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් පස් දෙනාගෙන් ගෙන් එක් අයෙක් හැර සෙසු සිව් දෙනාම සිංහල ජාතිකයන් බව ය.

'ශිෂ්‍යයන්ට නවතින්න පොලිසියේ අණ දුන්නා නම් දුන්නේ මොන භාෂාවෙන්ද? දෙමළ ජනයාගේ ප්‍රදේශවල සිංහල පොලිස් නිලධාරීන් සිංහලෙන් දෙන අණ නොතේරුණාම වෙඩි තියන එක ද සංහිඳියාව කියන්නේ'යි ඔහු විමසා සිටියේය.

පොලිස් වෙඩි තැබීමට විරෝධය පාමින් යාපන සරසවි සිසුන් හා සහයෝගීතාව පළ කරනු පිණිස කැඳවූ ශිෂ්‍ය උද්ඝෝෂණ දිවයිනේ වෙනත් සරසවිවල ද සඳුදා දිනයේ සංවිධානය කර තිබුණි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් කැඳවන ලද ශිෂ්‍ය විරෝධතා පේරාදෙණිය, කැළණිය, සබරගමුව, ජයවර්ධනපුර සහ සෞන්දර්ය අධ්‍යයන ආයතනය ඇතුළු විශ්ව විද්‍යාල ගණනාවකම පැවැත්වුණු අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හා අග්නි දිග සරසවියේ සිසුහු ද උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්ව සිටියහ.☐

© JDS







left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.