JDS Sinhala

යාපනයේ සිසු ඝාතනයට යුක්තිය ඉල්ලා ක්‍රියා නොකරන්නැයි පොලිස් බලපෑම්

පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ යාපනය සරසවියේ සිසුන් පිළිබඳ ප්‍රශ්නයට යුක්තිය ඉල්ලමින් 'දුරදිග නොගොස්' සමථයකට එළඹෙන ලෙස මිය ගිය සිසුන්ගේ දෙමව්පියන්ට පොලිස් බලපෑම් එල්ල වී තිබේ.

සිදුවීමෙන් මරණයට පත් යාපනයේ අලවෙඩ්ඩි, කන්දරෝඩෛ හි පදිංචිව සිටි විජයකුමාර් සුලක්‍ෂන් (24) හා කිලිනොච්චිහි පදිංචිකරුවෙකු වූ  නඩරාසා ගජන් (22) ගේ මව්පියන් හමුවූ පොලිස් නිලධාරීන් විසින් දන්වා ඇත්තේ සිද්ධිය පිළිබඳ චූදිත පොලිස් භටයන් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති හෙයින් 'ප්‍රශ්නය වැඩිදුර ගෙන නොගොස් සමථයකට එළඹෙන ලෙස'ය.

ඉකුත් බ්‍රහස්පතින්දා (20) රාත්‍රියේ කොකුවිල් කුලප්පිට්ටි මංසන්ධියේ දී පොලිස් වෙඩි පහරින් ජීවිතක්‍ෂයට පත්වන විට යාපනය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුන් දෙදෙනාගේ මරණය බීමත්ව යතුරු පැදි ධාවනයේ යෙදීමෙන් සිදු වූ බව සිකුරාදා පොලිසිය නිවේදනය කර සිටියේ ය. නමුත් පසුව යාපනයේ ශික්‍ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී  විජයකුමාර් සුලක්‍ෂන් සිසුවාගේ මරණය වෙඩි තැබීමකින් සිදුව ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී යූ මයුරන් විසින් තීන්දු කරන ලදී.

සහෝදරයාත් අතුරුදහන්

වෙඩි තැබීමෙන් මරණයට පත් වූ  විජයකුමාර් සුලක්‍ෂන්ගේ පියා වන සින්නතුරෛ විජයකුමාර් සහ නඩරාසා ගජන්ගේ මව වන නඩරාසා සරෝජිනී හමු වූ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ට දන්වා ඇත්තේ වන්දි වශයෙන් මූල්‍ය ආධාර ලබා දීමටත්, රැකියා අපේක්‍ෂිත වෙනත් දරුවන් පවුලේ සිටිත් නම් ඔවුන්ට රැකියා සම්පාදනයටත් තමන් සූදානම් බවත්, 'ප්‍රශ්නය දුරදිග ඇදගෙන යාමෙන් කිසිවෙකුට ප්‍රයෝජනයක් නැති බව'ත් ය.

සින්නතුරෛ විජයකුමාර්ගේ වැඩිමහල් පුත්‍රයා ද පසුගිය වකවානුවේ අතුරුදහන්වූවෙක් සේ සැළකෙන අතර ඔහුගේ ඉරණම පිළිබඳ තොරතුරක් සොයා බලමින් සිටිය දී දෙවන දරුවා අහිමි වීම ඔහුගේ බලවත් කම්පනයට හේතු වී තිබේ.  සිය දරුවන්ගේ ඉරණම වෙනුවෙන් තමන්ට අවශ්‍යව ඇත්තේ යුක්තිය බැව් තමා අදාළ පොලිස් නිලධාරීන්ට පැවසූ බව ඔහු ජේඩීඑස් හා කියා සිටියේය.

'පොලිසිය සතෙකුට වගේ මගේ දරුවට වෙඩි තියලා මරලා දැම්මට පස්සේ මට සල්ලිවලින් ඇති ප්‍රයෝජනය මොකක්ද?" හෙතෙම විමසා සිටියේය.

'අවශ්‍ය යුක්තියයි'

මියගිය ගජන්ගේ මව වන නඩරාසා සරෝජිනී ද තමන්ට අවශ්‍ය මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ නොව, මරා දමන ලද සිය දරුවාට යුක්තිය ඉටුවනු දැකීම බැව් පොලිස් නිලධාරීන්ට පැවසූ බව ජේඩීඑස් හා ප්‍රකාශ කළාය.  

"මගේ දරුවා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න වියදමට අවශ්‍ය මුදල් කුලී වැඩ කරමින් හොයාගෙනයි අධ්‍යාපනය කරගෙන ගියේ. එහෙම දරුවෙකුට මේ වගේ මරණයක් අත් වුනාට පස්සේ මට සම්පූර්ණ යුක්තිය මිස වෙන ලාබ ප්‍රයෝජන අවශ්‍ය නැහැ"යි ඇය කියා සිටියාය.

කොකුවිල් සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කරන ලද උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ඇතුළු පස් දෙනෙකු  නොවැම්බර් 04 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි යාපනයේ දිසා විනිසුරු එස් සතීස්වරන් විසින් නියෝග කරන ලදී.

මරණයට පත් වූ ගජන්ගේ අවසන් කටයුතු ඉරිදා (23) විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් කිලිනොච්චියේ සිදු වූ අතර සුලක්ෂන්ගේ අවමඟුල් කටයුතු නියමිතව ඇති සඳුදා දිනය යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසින් ශෝක දිනයක් ලෙස නම්කර තිබේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.