JDS Sinhala

ජනපති ඉන්දීය ගමනට පෙර ඉඩම් මුදාහළ ආකාරය ගැන යුද අනාථයන්ගේ නොසතුට

මුදාව විසින් අල්ලාගෙන සිටින ඉඩම්වලින් සුළු ප්‍රමාණයක් මුදාහරින බව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට දින කීපයක් තිබියදී රජය විසින් ප්‍රකාශයට පත්කිරීම පාරම්පරික ගම්බිම්වලින් පලවා හරිනු ලැබූ යුද අනාථයන්ගේ නොසතුටට හේතුවී තිබේ.

සිය පළමු නිල විදේශීය සංචාරයට දාහත් දෙනකුගෙන් සැදුම්ලත් නියෝජිත පිරිසක් කැටුව ඉරිදා දිල්ලියට ගොඩබට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, සඳුදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් හමුවීමට නියමිත ය.

ජනාධිපතිවරයා පිටව යාමට දින දෙකකට පෙර රජය ප්‍රකාශ කළේ, යුද හමුදාව යාපනය දිස්ත්‍රික්කයේ අත්පත් කරගෙන සිටි අක්කර 220'ආදර්ශ ගම්මානයක්' ඉදිකරන බව ය.  ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටි පරිදි මෙම ඉඩම්, යුද අනාථ පවුල් 1,022ක් නැවත පදිංචි කරවීම සඳහා 'අදියර කීපයකින්' මුදා හැරීමට නියමිත යාපනයේ ඉඩම් අක්කර දහසකින් පංගුවකි.

'සොච්චමක්'

මේ සම්බන්ධයෙන් අදහස් පළකරන උතුරු වලිකාමම්හි යුද අනාථයන්ගේ සංගමය පවසන්නේ යුද හමුදාව විසින් අත්පත් කොටගෙන සිටින භූමියෙන් සොච්චමක් පමණක් අත් හරින්නට තීන්දු කිරීම මගින් පෙනී යන්නේ තම ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයා තමන් අතහැර දමා ඇති බවයි. දශකයක් පාලන බලය හෙබවූ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර සාතිශය බහුතරයක් ඡන්දය පාවිච්චි කළහ.

“අපි කියන්නේ අපිට විකල්ප ඉඩම් දීලා වෙන කොහෙවත් යවන්න නෙමේ, අපිට අයිති අපේ ඉඩම්වලට යන්න ඕනේ කියලයි," සංගමයේ සභාපති ෂන්මුගලිංගම් සජීවන් කියා සිටියේය. වලිකාමම් උතුරේ අධි ආරක්ෂක කලාපයට ඇතළු වන වසාවිලාන් පාසල අසළ 'පලාලි හමුදා ජනපදය' යනුවෙන් යුද හමුදාව ඉතා මෑතදී පුවරුවක් සවි කර ඇති බව ඔහු පවසයි. "අලුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිනවන්න අපි ඡන්දෙ දුන්නේ අපේ මුල් ඉඩම් වලට ආයෙත් යන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. අපේ බලාපොරොත්තු ඉවරයි."

අක්කර 65,000ක්

මෙම ඉඩම් යුද හමුදාවට නීත්‍යානුකුලව පවරා දීම සඳහා රාජපක්ෂ පාලනය 'හොර රහසේ' මිනුම් කටයුතු සහ සීමා මායිම් ලකුණු කිරීම සිදු කළත්, උද්ඝෝෂණ මගින් ඒ වෑයම් පසු බස්වා ලන්නට මුල් හිමිකරුවන් සමත් වූ බව යුද අනාථයන්ගේ සංගම් නායකයා පවසයි. ඔහු ප්‍රකාශ කරන පරිදි, රජයේ සන්නද්ධ හමුදා වෙනුවෙන් අධි ආරක්ෂක කලාප වෙන් කිරීම නිසා විසි පස් අවුරුද්දක් තිස්සේ අනාථ කඳවුරුවල ඉන්නට බලකෙරුණු පවුල් සංඛ්‍යාව දස දහස ඉක්මවයි. ඊට අමතර පවුල් 16,000ක් ජීවත් වන්නේ නෑසියන්ගේ නිවෙස්වල ය. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව විසින් අත්හැර දමනු ලැබූ ගල්වලක් ඇතුළු වෙනත් ස්ථාන කිහිපයක ඔවුන් පදිංචි කරවීමට රජය දැරූ උත්සාහය වළක්වනු ලැබුවේ මහජන උද්ඝෝෂණවලින් බවද ඔහු පවසයි.

උතුරු පළාත් සභාව විසින් පසුගිය වසර අගදී හිටපු ජනාධිපතිවරයා වෙත භාරදෙන ලද සංදේශයක ගණන් බලා තිබූ පරිදි, යුද හමුදාව උතුරේ අක්කර 65,000 ක ඉඩම් ප්‍රමාණයක් අල්ලා ගෙන සිටී. මෙය යාපනය අර්ධද්වීපයේ පහෙන් පංගුවකට සමාන භුමි ප්‍රමාණයකි. ගෙවල් තිස් දහසක්, පාසල් තිහක්, කර්මාන්ත ශාලා තිහක් හා කෘෂි ඉඩම් අක්කර හතලිස් දහසක් මෙම අධි ආරක්ෂක කලාපයට යටත් කොට තිබෙන බව උතුරු පළාත් සභාව පවසයි.

බදාදා (18) පෙරළා පැමිණීමට පෙර ජනාධිපති සිරිසේන, අඟහරුවාදා දිනයේ වන්දනා මාන කටයුතු සඳහා බුද්ධ ගයාවටත්, තිරුපති කෝවිලටත් යාමට නියමිත ය.☐

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.