JDS Sinhala

ලංකාව ගැන ඇමරිකානු අවධානය වැඩිවේ, ඉහළම රාජ්‍ය දුත මණ්ඩලයක් කොළඹට


ලුත් ආණ්ඩුවක් බිහිවී මාසයක් ගතවීමටත් පෙර ශ්‍රී ලංකාව හා බටහිර රටවල් අතර කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික පියාසර කිරීම් ගණනාවකට එක්වෙමින් මධ්‍යම හා දකුණු ආසියාව භාර එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් පෙබරවාරි දෙවැනිදා දිවයිනට ලඟා වන බව ඇමරිකා එක්සත් ජනපදය දැනුම් දී තිබේ. 2015 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවට යන ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතවරිය වන ඇය, ද්වි පාර්ශවීය හා කලාපීය කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

බිස්වාල් සහ දකුණු ආසියාව භාර නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් අතුල් කේශප් ගේ යෝජිත ශ්‍රී ලංකා චාරිකාව නිල වශයෙන් නිවේදනය කිරීමට පෙර සිටම, කලාපයේ ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කර ගනු පිණිස යුද සමයේ සිදුවූ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මුලිකත්වයෙන් කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණය සම්බන්ධයෙන් ඇති බලපෑම් ලිහිල් කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය මුල් කොටගත් රාජ්‍ය තාන්ත්‍රික විශේෂඥයෝ යෝජනා කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම මෙහිදී සැළකිල්ලට ගත යුතු බව ඔවුන්ගේ මූලික අවධාරණයක් වී තිබේ.

කලාපීය ආරක්ෂාව

ඒ සඳහා තබන මුල් පියවරක් ලෙසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කල්තියාම වොෂින්ටනයට පැමිණෙන ලෙස ආරාධනය කරන මෙන් යෝජනා කරන එම ලිපිය ලියා ඇත්තේ හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේජ්, යුද දේශපාලන කටයුතු පිලිබඳ හිටපු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කාරා බියු සහ එක්සත් ජනපදයේ ආරක්ෂාව පිළිබඳ උපදෙස් දෙන මුල් පෙලේ ආයතනයක් වන හෙරිටේජ් පදනමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ලීසා කර්ටිස් විසිනි.

ජනවාරි 28 වෙනිදා 'වෝල් ස්ට්‍රීට් ජර්නල්' (wall Street Journal) පත්‍රයට ලියන ලද ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ මානව හිමිකම් සහ ජාතික සංහිඳියාව එක්සත් ජනපදයේ ප්‍රමුඛතා ලෙස පැවතියත්, උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැනි 'වෙනස්කම් ඇති කිරීමට උත්සාහ දරන,'  අලුත් ආණ්ඩුව සම්බන්ධයෙන් වොෂින්ටන් පාලනය 'උපායික ඉවසීමකින්,' කටයුතු කළ යුතු බව ය. බුෂ් පාලන තන්ත්‍රය විසින් දියත් කරන ලද 'ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද' ව්‍යාපෘතියේ ප්‍රධාන ආධාරකරුවෙකු ලෙස කටයුතු කළ ආර්මිටේජ්, රාජ්‍ය දෙපාර්තමේන්තුව තුළ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන්නෙක් ලෙස ප්‍රකටව සිටියේය.

ජනාධිපති සිරිසේන ට වොෂින්ටනයට ආරාධනා කිරීම මගින් තමන් ලංකාවේ රජය සමග 'නව පිටුවක් පෙරැළීමට' සුදානම් බව පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ ඉල්ලීම්  සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව උනන්දු කළ හැකි බව ඔවුහු සිය ලිපියේ පෙන්වා දෙති.

'චීන මුතු පොට'

මානව හිමිකම් පිළිබඳ ගැටළු නිසා 2008 දී 'කප්පාදු කළ' යුද සබඳතා යළිත් පන ගැන්විය යුතු යැයි මෙකී ඇමරිකානු උපදේශකයෝ ඔබාමා පරිපාලනයට යෝජනා කර සිටිති. ශ්‍රී ලංකාව චීනයේ 'මුතු පොටින්' ගළවාගෙන වෙළෙඳාම හා කලාපීය ආර්ථික ඒකාබද්ධතාව නගා සිටුවමින්, ඉන්දු ශාන්තිකර කලාපය 'සුරක්ෂිත කර ගැනීමට' පියවර ගත යුතු බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

'චීන මුතු පොට' සේ හැඳින්වෙන්නේ චීනයේ සිට අරාබිකරය දක්වා ඉන්දීය සාගර කලාපයේ ශ්‍රී ලංකාවද ඇතුළත් යුද හා ආර්ථික මර්මස්ථාන මාලාවක් නතු කොට ගැනීම අරමුණු කරගත් චීන උපායික සැළසුම හැඳින්වීමට ඇමරිකානු ආරක්‍ෂක ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් නිර්මානය කරන ලද යෙදුමකි.

'සද්ද නැතිව'

මේ අතර, ශ්‍රී ලංකාව සමග සබඳතා තර කර ගැනීම සඳහා ඉදිරි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගැනීමේ අරමුණින් ගෙන ඒමට නියමිත යෝජනාව අත් හිටුවීමට පියවර ගන්නා ලෙස එක්සත් ජනපද විදේශ සේවාවේ තිස් වසරක පළපුරුද්දක් සහිත ප්‍රකට ආරක්‍ෂක සහ දේශපාලන විශේෂඥවරියක් ඉල්ලා තිබේ. 1992 සිට 1995 දක්වා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වශයෙන් කටයුතු කළ තෙරෙසිටා ශෆර්, දකුණු ආසියානු භූ දේශපාලනය සම්බන්ධයෙන් පලවන 'සවුත් ඒෂියා හෑන්ඩ්'  (South Asia Hand) වෙබ් අඩවිය මගින් පෙන්වා දී ඇත්තේ, එක්සත් ජනපදය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්වී, උගත් පාඩම් (LLRC) කොමිසමේ 'වඩාත් වැදගත් යෝජනා අතරින් සමහරක්'  ක්‍රියාත්මක කිරීමේ සැළසුමක් 'සද්ද නැතිව' සකස් කොට ගැනීම, යුරෝපයත්, එක්සත් ජනපදයත්, ශ්‍රී ලංකාවත් අතර සංවාදය වර්ධනය කිරීම සඳහා පහසුම ක්‍රමය ලෙස ය.

දූත සවාරි

බලයට පත්වූ විගස නවදිල්ලියේදී ඉන්දීය අගමැතිවරයා මුණ ගැසීමෙන් පසු නව විදේශ අමාත්‍ය මංගල සමරවීර, ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාවට සහාය දුන් රාජ්‍ය වැඩි ප්‍රමාණයක් අයත් යුරෝපා සංගමය චාරිකාවක් සඳහා පිටත්ව ගිය අතර, විදේශ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ආචාර්ය ජයන්ත ධනපාල ජිනීවා නුවරට ගොස් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරයා මුණ ගැසුණි. ජිනීවා මානව හිමිකම් සමුලුව පැවැත්වීමට නියමිත මාර්තු මාසයට පෙර නව විදේශ ඇමති වරයා වොෂින්ටන් බලා යනු ඇතැයි අපේක්‍ෂා කෙ‍රේ. මේ අතර බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් සිය තුන් දින නිල සංචාරයක් නිම කිරීමත් සමගම වොෂින්ටනයේ නිල ආරාධනයක්ද රැගෙන නිශා බිස්වාල් පැමිණීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ යුද්ධයේදී කරන ලද අපරාධ චෝදනා සහ දිගටම කෙරෙන මානව හිමිකම් උල්ලංඝන  සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් හට බලය පවරමින් පසුගිය වසරේ මාර්තුවේ ජිනිවා හිදී සම්මත කර ගත් යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහක රාජ්‍යයක් වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. 

මේ අතර, නව ආණ්ඩුව බලයට පත් වී සතියක් යාමට මත්තෙන් ඉන්දියාවේ හින්දු පුවත්පතට ලිපියක් ලියමින් ශ්‍රී ලංකාවේ නව රාජ්‍ය නායකයින් වොෂින්ටන් සහ යුරෝපා අගනගර වලදී ඉක්මනින්ම දැක ගන්නට ලැබෙනු  ඇති බවට විශ්වාසය පල කළ සාම ක්‍රියාවලියේ පහසුකාරක එරික් සෝල්හයිම්,  ශ්‍රී ලංකා රජයට ඇති පීඩාව ඉදිරියේදී ලිහිල් කෙරෙන බවට ඉඟි කරමින්, ජාත්‍යන්තර බලකරුවන්ගෙන් ඉල්ලා තිබුනේ, අලුත් ආණ්ඩුවට 'පොඩි ඉඩක්' දෙන ලෙස ය.

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.