JDS Sinhala

ලංකාවේ අලුත් ආණ්ඩුව බටහිර බලවතුන් සාදරයෙන් පිළිගනු ඇතැයි සෝල්හයිම් පවසයි

ටේ විදේශ ප්‍රතිපත්තියේ බරපතල වෙනස් කමක් සනිටුහන් කරමින් බලයට පත්වූ නව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය විසින් සාදරයෙන් පිළිගනු ඇති බව හිටපු ශ්‍රී ලංකා සාම නියෝජිත එරික් සෝල්හයිම් පවසයි.

ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානයේ (OECD) සංවර්ධන ආධාරක කමිටුවේ වර්තමාන සභාපති ධුරය දරන සෝල්හයිම් ඉන්දියාවේ පළ කෙරෙන හින්දු පුවත්පතට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන ලිපියක් ලියමින් කියා තිබුණේ 'කිසිවකුගේ ආරාධනයක් නොලද රාජපක්ෂ මහතා මෙන් නොව, සිරිසේන සහ වික්‍රමසිංහ යන මහත්වරුන් අපට ළඟදීම එක්සත් ජනපද ධවල මන්දිරයේදීත්, යුරෝපා අගනගර වලදීත් දැකගන්නට හැකිවනු ඇති,' බවයි.

'දකුණු ආසියානු තායිලන්තය'

දිල්ලිය යළිත් වතාවක් 'කේන්ද්‍රීය විදේශ අගනුවර' වන බව පවසන හිටපු නෝර්වේ අමාත්‍යවරයා බල ශක්තිය සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් රටට ලාභදායි සබඳතාවක් වුවත්, චීනය තව දුරටත් ශ්‍රී ලංකාවේ 'එකම මිතුරා' වනු නැති බව තම ලිපියේ සඳහන් කරයි.  ජනවාරි 15 වැනිදා ශ්‍රී ලංකාවේ චීන තානාපති හමුවූ අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබුනේ චීන ආයෝජන දිගටම රට තුළට ගෙන්වා ගැනීම වෙනුවෙන් නව රජය කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාව 'දකුණු ආසියානු තායිලන්තය' ලෙස හඳුන්වන එරික් සෝල්හයිම්, 'වැල නොකැඩී පැමිණීමට'  සංචාරකයන් උනන්දු කරවිය යුතු බව කියා සිටී.

අධිකරණය, මහ බැංකුව, හමුදාව සහ පොලිසිය දේශපාලකයන්ගෙන් නිදහස් කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු ඇති බව පවසන සෝල්හයිම් ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව සිදුකරන ප්‍රතිසංස්කරණ ලැයිස්තුවක් පිළිබඳව සිය ලිපියෙන් සහතික වෙයි.

"රාජපක්ෂ මහතා කෙරේ ගැති බව නිසාම පත් කරනු ලැබූ නඩුකාරයන් හා තානාපතිවරුන් වෙනුවට සුදුස්සන් පත් කෙරෙනු ඇත. මාධ්‍ය වාරණය ඉවත් කෙරෙන අතර බලධාරීන්ට අභියෝග කිරීමේත්, දූෂණ හෙළි කිරීමේත් නිදහස මාධ්‍යවේදීන්ට හිමිවනු ඇත. වධ කඳවුරු වසා දමනු ඇත. රාජපක්ෂ මහතාගේ සොහොයුරු ගෝඨාභයගේ ස්වාධීන ආරක්ෂක යන්ත්‍රය විසුරුවා හරිනු ඇත. මාධ්‍යවේදීන් හා ක්‍රියාධරයන් -බොහෝවිට දෙමළ- යළිත් දැකගන්නට බැරි වන සේ රාත්‍රියේ අතුරුදහන් නොවනු ඇත."

'පොඩි ඉඩක්'

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෛත්‍රී - රනිල්  ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳව එවැනි සහතිකයක් ලබා නොදෙන එරික් සෝල්හයිම්, දෙමළ සහ මුස්ලිම් ජනතාව සමග පසංහිඳියාවකට යාම නව රජය මුහුණ දෙන දුෂ්කරම අභියෝගය ලෙස සඳහන් කරමින් යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.

"දෙමළ ජනතාවගේ භාෂා අයිතිය ප්‍රතිස්ථාපනය කොට, හමුදාව උතුරේ අත් පත් කොට ගෙන සිටින ඇතැම් භූමි භාග වලින් ඉවත් කළ හැකිය. දෙමළ ජනතාව  ඡන්දයෙන් පත් කරගත් තම නියෝජිතයන් වන දෙමළ ජාතික සන්ධානය සමග දේශපාලන සාකච්ඡා ආරම්භ කළ හැකිය."

යුද්ධයේදී සිදුවූ ම්ලේච්ඡ ඝාතන, ස්ත්‍රී දූෂණ හා නිරායුධ වැසියන් මරා දැමීම ඇතුළු කිව නොහැකි තරමේ කෘරකම් ගැන වගකීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දිගටම බලපෑම් කිරීම යෝග්‍ය බව පවසන සොල්හයිම්, ජගත් මානව හිමිකම් ප්‍රජාව සහ දෙමළ ඩයස්පෝරාව ඒ ප්‍රශ්න දිගටම පවත්වාගෙන යනු ඇති බව කියයි. එහෙත්, යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරම්භ කර ඇති පරීක්ෂණය ගැන සිය ලිපියේ කිසිත් සඳහන් නොකරන ඔහු,  ශ්‍රී ලංකා රජයට ඇති පීඩාව ඉදිරියේදී ලිහිල් කෙරෙන බවට ඉඟි කරමින්, ජාත්‍යන්තර බලකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, අලුත් ආණ්ඩුවට 'පොඩි ඉඩක්' දෙන ලෙස ය.

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.