JDS Sinhala

සරසවි සිසුන් දඩයමට රට පීරන යහපාලක මර්දන රැල්ල

සර කිහිපයක් පුරා එක දිගට කොළඹ නගරයේත්, දිවයිනේ සෙසු ප්‍රධාන නගරවලත් මාලඹේ උසස් තාක්ෂණ ආයතනය නොහොත් කුප්‍රකට සයිටම් ආයතනයට එරෙහිව දියත් වූ සිසු උද්ඝෝෂණ මාලාව අධි පීඩන ජල ප්‍රහාරයන්, කඳුළු ගෑස් සහ පොලු ප්‍රහාරයන්ට අමතරව අඛණ්ඩ අත්අඩංගුවට ගැනීම් රැල්ලක් දක්වා දැන් වර්ධනය වී තිබේ. මහජන සාමය කඩවන බව පවසමින් අධිකරණයෙන් ලබා ගන්නා වාරණ නියෝග ආධාරයෙන් සිසු උද්ඝෝෂණයන් මැඩලීමට ක්‍රියාකරන පොලීසිය එයින් නොනැවති මාර්ග බාධක යොදා කුළු පොලු, කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ටැංකි රථ පිරිවරා සිසුන් මැඩලන ක්‍රමවේදය තවත් පියවරක් ඉදිරියට ගෙනගොස් ඇත්තේ මෙම පැහැරගැනීම් හා අත් අඩංගුවට ගැනීම් මගිනි.

 ජූනි 21 වෙනි දින පැවති සයිටම් විරෝධී ශිෂ්‍ය උද්ඝෝෂණයට සහභාගී වු ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට එල්ල ‍කෙරුනු ප්‍රහාරය වනාහී ගෙවුණු මාස කිහිපයෙහි ඒ සම්බන්ධව එල්ල කෙරුනු දරුණුතම සහ සැලසුම් සහගතම ප්‍රහාරය බව සිසුහු පවසති. උද්ඝෝෂණ පෙළපාලිය මෙහෙය වු ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සිට පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුනු ශිෂ්‍ය - ශිෂ්‍යාවන් දක්වා සිය ගණනකගේ නම් පමණක් නොව, පෞද්ගලික තොරතුරු පවා ඉතා කඩිනම්ව එක් රැස් කරන්නටත්, ඒ අනුව යමින් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමටත් බුද්ධි අංශ යුහුසුළු විය. ඇතැමෙකුව අත් අඩංගුවට ගනු ලැබුවේ තුවාල ලැබ රෝහලේ ඇඳන් මත සිටියදී ය. වාර්තා වන පරිදි රාජ්‍ය බුද්ධි අංශ සාමාජිකයෝ මේ වන විටත් විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සිය ගණනකගේ නාම ලේඛණයන් අතැතිව තවදුරටත් ඔවුන්ව ලුහුබඳිමින් සිටිති.

මේ වන විටත් රාජ්‍ය බුද්ධි අංශයෙන් බව පවසමින් සිසුන් කිහිප දෙනෙකුම බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව ද මාධ්‍ය නිවේදන කිහිපයක්ම නිකුත් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියා සිටියි.  ඒ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ලහිරු වීරසේකර, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, මොරටුව විශ්ව විද්‍යාලයේ ෆයිස්ඩීන් ෆයිසාන් අහමඩ්, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දිනේෂ් මදුරංග, රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉසුරු චින්තක සහ රාගම වෛද්‍ය පීඨයේ මැල්ලවතන්ත්‍රීගේ දිමුතු ලක්ෂාන් යන අයයි.

විශේෂයෙන්ම කොළඹින් පිටස්තර ප්‍රදේශවල පදිංචිව සිටින විශ්ව විද්‍යාල සිසු සිසුවියන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් කිහිපයක්ම ඔවුන්ගේ නිවාස සෝදිසි කිරීම්වලට ලක්කර ඇති බව තමන්ට දැන ගන්නට ලැබි ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු වන මංගල මද්දුමගේ පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට අලාභ හානිකර පැමිණි සිසුන් තමන්ට භාර දෙන ලෙසත්, එසේ නොවන්නේ නම් දෙමාපියන් හෝ නිවසේ සිටින වෙනත් අයෙක් ඒ වෙනුවට පොලිසියට රැගෙන යන බවත් පවසමින් පොලිස් නිලධාරින් දෙමාපියන්ට තර්ජනය කර ඇති බවද අවිශිබම වැඩබලන කැඳවුම්කරු ප්‍රකාශ කරයි.

පුතා වෙනුවට පියා

"පොලිසියෙන් ගෙවල්වලට ගිහින් ඒ ගෙවල්වල හිටපු අයට කියලා තියෙන්නේ 'උඹලගේ ළමයි රාජ්‍ය දේපල විනාශ කරලා පොලිසිය හොයද්දි පැනලා ඇවිල්ලා ඉන්නේ. කොහේ හැංඟිලා හිටියත් අපි උන්ව අල්ලා ගන්නවා' කියලායි. ළමයිව අපිට භාර නොදුන්නොත් ගෙදර කෙනෙක්ව ඒ වෙනුවට අරන් යනවා කියලත් පොලිසිය තර්ජනය කරලා තියෙනවා. අපේ සහෝදර සහෝදරියන්ගේ ගෙවල්වල අය ඉන්නේ හොඳටම බයවෙලා. වලස්මුල්ලේ අපේ ගෙදරට තුන් වතාවකට වඩා පොලිස් බුද්ධි අංශ කණ්ඩායම් ගිහින් තියෙනවා. පුතාව භාර නොදුන්නොත් පුතා ගැන තියෙන ආසාව අතහැර ගන්න වෙයි කියලයි අපේ අම්මට තර්ජනය කරලා තියෙන්නේ".

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධිකාරක අසංක සඳරුවන් ජේඩීඑස් හා කියා සිටියේ විශේෂ කාර්ය බලකා ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත වුණු සියළුම සිසු සිසුවියන් අපරාධකරුවන් සේ හුවා දක්වමින් දිවයිනේ සියළුම විශ්ව විද්‍යාල ආසන්නයේ සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් කණ්ඩායම් ස්ථාන ගත කොට, විශ්ව විද්‍යාලවලට පැමිණෙන සිසුන්ව අත් අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ද බලධාරින් විසින් ක්‍රියාවට නගමින් තිබෙන බවටයි.

"එකම ශිෂ්‍යයකුව හොයාගෙන තැන් කිහිපයකට පොලිස් කණ්ඩායම් කිහිපයමක් එකවර ගිය අවසථා ගැනත් අපිට දැන ගන්නට ලැබිලා තියෙනවා. දැනට වැලිකඩ රීමාන්ඩ් බන්ධනාගාරයේ රඳවලා ඉන්න සහෝදරවරු දෙන්නවයි, ටැම්පිටියේ සුගතානන්ද හාමුදුරුවන්වයි බලන්නවත් ශිෂ්‍යයන්ට යන්න විදිහක් නෑ. අපි දැක්කා බන්ධනාගාරය අවට රැකවල්ලා ගෙන පොලිසිය ඉන්න විදිහ".

උද්ඝෝෂකයන්ට එල්ල කෙරුණු විශේෂ කාර්ය බලකා ප්‍රහාරයෙන් දිනක් ගත වීමටත් පෙර තුවාල ලැබුවන් සහ උද්ඝෝෂණ පෙළපාලියේ ඉදිරිපෙළ ක්‍රියාකාරින් ලෙස කටයුතු කළ සිසුන්ව පොලිස් බුද්ධි අංශ එකවරම හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සැළසුම් සකස් කරනු ලැබුවේ කෙසේ දැයි ජේඩිඑස් විසින් විමසීමේදි ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉසුරු සම්පත් කියා සිටියේ පසුගිය කාලය මුළුල්ලෙහි ම පොලිස් සහ හමුදා බුද්ධි අංශත්, පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් මෙන්ම අනෙකුත් විශේෂ පොලිස් ඒකක විසිනුත් ශිෂ්‍ය ක්‍රියාකාරින් සහශිෂ්‍ය සංවිධානවල නායකයන්ගේ තොරතුරු රැස් කරගෙන සිටි බවට තමන්ට දැන ගන්නට ලැබුණු බව ය. නමුත් පසුගිය 21 වෙනි දින ප්‍රහාරයෙන් පසුව මේ තත්ත්වය දැඩි කෙරී ඇති බවටත්, ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුනු සියළුම ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ තොරතුරු ඉතා සවිස්තරාත්මකව බුද්ධි අංශ විසින් රැස් කරගෙන ඇති බවටත්  ඔහු  කියා සිටියි.

අපරාධකාරයෝ

"තුවාල වෙලා හිටපු අයගේ නම් - ගම් පොලිසියට දිලා තියෙන්නේ රෝහලෙන්මයි කියලයි අපිට තොරතුරු තියෙන්නේ. ඉස්පිරිතාලේට ඇතුල්කරන කොට පුරවන පෝර්ම පත්‍රිකාවේ තියෙන විස්තරවලට අමතරව තවත් විස්තර පොලිසිය හොයාගෙන තියෙනවා. නම්-ගම් විතරක් නෙමෙයි, විභාග තියෙන දවස්, ඉගෙන ගන්නේ මොන විශ්ව විද්‍යාලෙද, මොන පීඨයේද, ආශ්‍රය කරන අය කවුද, බාහිර වැඩ මොනවද මේ හැම දෙයක්ම එකතු කරගෙන තමයි පොලිසිය අපේ ශිෂ්‍යයෝ අල්ලන්න ගම්වලට ගිහින් තියෙන්නේ. අපිට ගෙවල්වලින් කියපු විදිහට සමහර ශිෂ්‍යාවන්ගේ ෆේස්බුක් එකේ දලා තිබුණු පින්තුරත් කොපි කරගෙන අරන් ගිහින් ගෙවල්වලට පෙන්නලා තමයි ප්‍රශ්න කරලා තියෙන්නේ".

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවියන් 24 දෙනෙකු පොලිස් ප්‍රහාරය හේතු කොට ගෙන රෝහල් ගත කිරීමට සිදුවු බව පවසන මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා, එයින් සිව් දෙනෙකු කඩිනමින් අත් අඩංගුවට ගත යුතු අය ලෙස හඳුන්වමින් පොලිස් බුද්ධි අංශ කණ්ඩායම් එම සිසුවියන් පදිංචි ගාල්ල, පානදුර, රත්නපුර ආදී ප්‍රදේශවලට ගොස් ඇති බව ද සඳහන් කරයි.

එපමණක් නොව, සිසු සිසුවියන්ව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් ඔවුන් පදිංචි ප්‍රදේශවලට යෑමෙන් පසුව  පළමුවෙන් ගමේ පන්සලට සහ ග්‍රාම නිලධාරිවරයා හමුවටත් එයින් පසුව ඔවුන්ද සහභාගි කරගෙන  අනෙකුත් සමිති සමාගම් සහ අසල්වාසීන් හමුවටත් ගොස් ඇති බව ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා චෝදනා කර සිටියේය.

"පොලීසිය ගම්වලට ගිහින් ළඟ පාත මිනිස්සුන්ටයි, ග්‍රාම සේවකවරුන්ටයි කියලා තියෙනවා රාජ්‍ය දේපල විනාශ කරලා ගම්වලට පැනලා ඇවිත් ඉන්න කැම්පස් එවුන්ව අල්ල ගන්න උදව් කරන්න කියලා. දැන් අපිට කැම්පස් එකේ ඉන්නත් බෑ, ගෙවල්වලට යන්නත් බෑ. අපිව අපරාධකාරයෝ විදියට ආණ්ඩුව පොලිසිය යොදවමින් ගම්වලට ප්‍රචාරය කරනවා."

විශ්ව විද්‍යාල සිසුන් අපරාධකරුවන් ලෙස හුවා දක්වමින් මේ ආකාරයට අත්අඩංගුවට ගැනීමට උත්සහ දැරීමත්, ඔවුන් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලයේ තොරතුරු සහ පෞද්ගලික තොරතුරු පොලිසිය විසින් ප්‍රසිද්ධ කිරිමත් පිළිබඳව ශිෂ්‍ය සංවිධානයන් විසින් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුවත් කොට හෝ ඔවුන්ට ඒ සම්බන්ධව පැමිණිලි කොට හෝ තිබේ දැයි විමසීමේදි ඔහු සඳහන් කරනු ලැබුවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලබන සිසුවකු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසියෙන් බව පවසමින් පිරිසක් පැමිණි විට එයට අවසර දෙමින් පීඨය තුළට සහ බොරලැස්ගමුවේ පිහිටි නේවාසිකාගාරවලටත් ඔවුන්ට ඇතුලු වීමට අවසර ලබා දී ඇත්තේ විශ්ව විද්‍යාල පරිපාලනය විසින් බව ය.

ලෙනින්ගේ ත්‍රස්තවාදය

කෙසේ නමුත් විශ්ව විද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට සහ එහි දේපලවලට අලාභ හානි සිදුකර ඇති බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම අත්‍යාවශ්‍ය බව බලධාරිහු දැඩිව කියා සිටිති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පසුගිය දිනෙක මාධ්‍ය අමතමින් ඉදිරි දින කිහිපය තුළ දි සිසු සිසුවියන් සිය දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාද වන රාජිත සේනාරත්න, සිසුන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කරන ලද ප්‍රහාරය යුක්ති සහගත කරමින් කියා සිටියේ 'පොලිසිය කරපු දෙයක් නෑ. හැමදේම කෙරුවේ විශේෂ කාර්ය බලකාය. ත්‍රස්තවාදීන්ව පලවා හරින්නේ නැතුව වෙන මොනවද කරන්නේ? ලෙනිනුත් කියලා තියෙන්නේ එහෙමනේ" බව ය.

රාජිත සේනාරත්න ඇමතිවරයා පමණක් නොව, ඇතැම් ජනමාධ්‍යයන් ද, යහපාලන ආණ්ඩුවට පක්ෂපාතී සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නායකයන්ද  සරසවි සිසුන් පිළිබඳ  ආණ්ඩුවේ ස්ථාවරයන් යුක්ති සහගත කරමින් විවිධ ප්‍රකාශයන් නිකුත් කර තිබේ. ඇතැම්හු ඒ වෙනුවෙන්ම මාධ්‍ය සාකච්ඡාවන් තබමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රහාරය යුක්ති සහගත කරති. පොලීසිය සිසුන්ට පහර දුන්නේ සිසුන් විසින් රාජ්‍ය දේපල විනාශ කිරිමට උත්සහ දැරීම නිසා යැයි ඔවුහු පවසති. පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් පවත්වමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති මෙන්ම පුරවැසි බලය සම කැඳවුම්කරුවකු ද වන සමන් රත්නප්‍රිය ඒ සම්බන්ධව  පවසා සිටියේ, සිසු උද්ඝෝෂණ සාධාරණ සීමාවෙන් ඔබ්බට ගොස් ඇති බව ය.

"අපිත් සත්‍යගහ, උපවාස කරලා තියෙනවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක කණුවකටවත් හානියක් කරලා නෑ. මේ විදිහට දේපලවලට හානි කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්. සටන් කළ යුතුයි, අදහස් ප්‍රකාශ කළ යුතුයි. හැබැයි එහෙම තැන්වලට නොයා. එ් නිසා මේ උද්ඝෝෂණය අපි දකින්නේ ඉතා පැහැදිලිවම සටනකට එහා ගිය එකක් හැටියටයි. මේක බලහත්කාරයෙන් අයිතීන් දිනා ගැනීමට යෑමක්. රාජ්‍ය දේපලවලට හානි කිරීමක්".

කෙසේ වෙතත් සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට හෝ එහි දේපලවලට කරන ලද අලාභ හානිය කුමක්දැයි ආණ්ඩුව හෝ වෙනත් වගකිව යුතු පාර්ශවයක් මේ දක්වා නිශ්චිතවම සඳහන් කොට නොමැත.

අරගලවලට එරෙහි රාජ්‍ය මර්දනයක්

නමුත්  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මෙන්ම  ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවා සංගමයේ (CMU) ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි ද අවධාරණය කරනුයේ සිසුන් විසින්  සෞඛ්‍ය අමාත්‍යාංශය ගොඩනැගිල්ලට හානි සිදුකළ බව පැවසීම අසත්‍ය කරුණක් බව ය. සිදුවීම්වල වගකීම රජය භාරගත යුතුව ඇති බවටත්, මේ ආකාරයෙන් සිසුන් මර්දනය කරන පාලකයන් සිය ඉල්ලීම් වෙනුවෙන් වීදි බසින සියල්ලන්ම මර්දනය කිරිමට නොපැකිළෙනු ඇති බවටත් ඔවුහු අවධාරණය කරති.

"මේ ආණ්ඩුව බලයට ආවේ කොහොමද? සුදු වෑන්, හමුදා,පොලිස් බල ඇණි ගෙනල්ලා උද්ඝෝෂණ මර්දනය කරන්නේ නෑ කියලා නෙමෙයිද? ආණ්ඩුව කියන විදිහට ශිෂ්‍යයෝ සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට පහර දෙන්න එතැනට ගියේ නැහැ. ශිෂ්‍යයෝ පැය දෙකහමාරකට වැඩියෙන් එතන බලාගෙන හිටියා. කවුද ආවේ ශිෂ්‍යයන්ට කතා කරලා මේ ප්‍රශ්නය විසඳන්න? මේක ශිෂ්‍යයන්ගේ කළහකාරී හැසිරීමක් නිසා වුණු දෙයක් නෙමෙයි. විශේෂ කාර්ය බලකාය සිසුන්ට පහර දෙන විදිහ අපි දැක්කා. ඒක නෑ කියන්න කාටවත් පුලුවන් කමක් නෑ" යැයි ජෝසප් ස්ටාලින් පවසයි.

එපමණක් නොව, මේ ආකාරයෙන් දිගින් දිගටම සන්නද්ධ පොලිස් බල ඇණි යොදා ගනිමින් සිසුන් මර්දනය කිරීමත්, එයින් පසුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන සිරගත කිරීමත් මඟින් ආණ්ඩුව අනෙකුත් උද්ඝෝෂකයන්ද බිය වැද්දීමටත්, නිහඬ කිරීමටත් කටයුතු කරනු බවට ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා චෝදනා කළේය.

"පාලකයන්ට උවමනා වෙලා තියනවා හොඳින් බැරිනම් නරකින් හරි සයිටම් එක පවත්වාගෙන යන්න. ඒ වෙනුවෙන් කරන්න පුලුවන් ඕනෑම දෙයක් කරන්න ආණ්ඩුව සුදානම් කියලයි මෙවැනි ප්‍රහාරවලින් පෙන්නුම් කරන්නේ. මේ වෙනකොටත් හැම විශ්ව විද්‍යාලයකම ශිෂ්‍ය නායකයෝ අත්අඩංගුවට ගන්න පොලිස් බල ඇණි යොදලා තියෙන බව අපි දන්නවා. මේක තනිකරම මර්දනයක්. වරෙන්තු තොගයක් තියෙන ඥාණසාර හිමි  අත්අඩංගුවට ගන්න පොලිසියට බෑ. නමුත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වීදි බහින සිසුන් අපරාධකාරයෝ විදිහට හංවඩු ගහලා රටපුරා දඩයම් කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි, ආණ්ඩුව සංඥාවක් දෙනවා අනෙකුත් වෘත්තීය සමිති සහ අරගලවල නිරත වෙන අයටත් අපි සලකන්නේ මෙහෙම තමයි කියලා."

සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයෙන් ඉවත් වීමට තිබූ සියළු මං අහුරමින් ආයුධ සන්නද්ධ හමුදාවක් නිරායුධ සිසුන් පිරිසකට වටකර පහර දෙන විට කලහකාරී තත්ත්වයක් ඇති විය හැකි බව ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි පවසයි. ඔහු එසේ පවසා සිටියේ, සිසුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට පහරදීම වෘත්තීය අරගල සහ සටන් සීමාවෙන් ඔබ්බට ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් යැයි ඇතැම් වෘත්තීය සමිති නගන චෝදනාවන් පිළිබඳව දරණ මතය කුමක් දැයි ජේඩීඑස් විසින් විමසා සිටි විට ය.

වෘත්තීය සමිති බුදි

"මේක ශිෂ්‍යයන්ගේ තනි ප්‍රශ්නයක් නෙමෙයි. නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍යය සේවාවන් පිළිබඳ ප්‍රශ්නයක්. ශිෂ්‍යයෝ අරගල කරන්නේ ඒ වෙනුවෙන්. නමුත් ශිෂ්‍යයන්ට චෝදනා කරන සමහර වෘත්තීය සමිති අරගල කරන්නේ මොනවටද? තම සාමාජිකයන්ගේ වැටුප්, බෝනස් වැඩි කරගන්න විතරයි. මේ ප්‍රශ්නයේදි සමහර වෘත්තීය සමිති ඉන්නේ බුදියාගෙන. මේක කම්කරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි කියලයි ඒ අය හිතන්නේ. වැලිකඩ බන්ධනාගාරයේ මොකද වුණේ? නිරායුධ රැඳවියන් පිරිසකට වෙඩි තියලා මරලා දැම්මා. ඒ විදිහටම තමයි එස්ටීඑෆ් එක එදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී  ශිෂ්‍යයන්ව වටකරගෙන හිටියේ. එතකොට කරන්න වෙන්නේ දොරවල් කඩාගෙන එළියට එන එක නෙමෙයිද? ශිෂ්‍යයෝ කෙරුවේ විරෝධය දැක්වීමක්. ඒක ඔවුන්ගේ අයිතියක්" සිල්වෙස්ටර් ජයකොඩි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සයිටම් විරෝධි අරගලය මේ තරම් උග්‍ර වන තෙක් බලා සිටි පාලකයන් එය විසඳීම වෙනුවෙන් කවර නම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නෙ දැයි ප්‍රශ්න කරන ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවා සංගමයේ ලේකම්වරයා අවධාරණය කරනුයේ වරද ඇත්තේ ශිෂ්‍යයන් අත ද, පාලකයන් අත දැයි විමසා බැලිය යුතු බවටයි.

"මේ ප්‍රශ්නය විසඳන්න මේ ආණ්ඩු දෙකෙන්ම මොනවද කෙරුවේ? ප්‍රශ්නය ඇවිලුව එක විතරයි. අන්තිමට ශිෂ්‍යයෝ පාරට බැස්සම කියනවා නීති විරෝධි, විනයක් නැති දෙයක් කියලා. වෘත්තීය අරගල කරන කම්කරුවන්ට පාලකයෝ කියනවා නීති විරෝධීව හැසිරෙන්න එපා කියලයි. හැබැයි පාලකයෝ නිත්‍යානුකූලව හැසිරෙනවද, කටයුතු කරනවද?"

ධූරාවලියේ අර්බුදයක්

ශිෂ්‍ය අරගලයේ සමීප පාර්ශවකරුවකු විය යුතු නමුත් සීමා සහිත සහයක් ලබා දෙන විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සිසුන්ට එල්ල වෙන ප්‍රහාරයන් ගැන දරනුයේ කවර මතයක් දැයි විමසීමේදි එහි ලේකම් මහාචාර්ය අර්ජුන පරාක්‍රම ජේඩීඑස් වෙත පවසනු ලැබුවේ ප්‍රහාරය තම සංවිධානය විසින් හෙළා දුටුවද රාජ්‍ය දේපලවලට කරන ලද හානිය ද කිසිම ආකාරයකට අනුමත නොකරන බවටයි.

"පොලිස් විශේෂ කාර්ය බලකාය යොදලා සිසුන්ට පහරදීම අපි අනුමත කරන්නේ නෑ. ඇත්තෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදීම ඉතාම බරපතල දෙයක්. ශිෂ්‍යයන්ගේ අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ වගේම තමයි රාජ්‍ය දේපලවලට හානි කිරිමත් අපිට අනුමත කරන්න බෑ. ඒක වැරදියි. එයට නීතිය ක්‍රියාත්මක වීමේ වරදක් අපිට දකින්න බෑ."

ඒ නීතිය ක්‍රියාත්මක කෙරෙනුයේ පිළිගත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව බලහත්කාරය පාමීන් නොවේ දැයි විමසීමේදි මහාචාර්ය පරාක්‍රමගේ පිළිතුර වුයේ තමන් ඒ තත්ත්වය පිළි නොගන්නා බවයි.

'දේපොළ හානිය සිදුවූයේ තෙරපීමෙන්' - සාගල රත්නායක

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පසුගිය ජූනි 29 වැනි දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපොළ වලට හානි සිදුව ඇත්තේ සිසුන් විසුරුවා හැරීමට කටයුතු කිරීමේ දී සිදු වූ තෙරපීම් නිසා බව නීතිය සහ සාමය භාර ඇමැතිවරයා විසින් ජූනි 28 වැනි දින ප්‍රකාශ කර ඇති බව ය. මේ දක්වා මෙම ප්‍රකාශය සාගල රත්නායක ඇමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට නැත.

එම ප්‍රකාශය කෙසේ වුව ද ඔහු යටතේ පවතින පොලිසිය සහ බුද්ධි අංශ විසින් තවමත් සිසු දඩයම පවත්වාගෙන යන බව පැහැදිලි ය. සයිටම් අර්බුදය පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයා හෝ වෙනත් වගකිව යුතු බලධාරියෙකු සමග සාකච්ඡාවක් ඉල්ලා සිටිමින් සිසුන් පැය දෙකකට ආසන්න කාලයක් අමාත්‍යාංශ කාර්යාලයේ රැඳී සිටි අතර සිසුන්ට දේපොළ හානිකිරීමේ අවශ්‍යතාව තිබිණි නම් අමාත්‍යාංශ පරිශ්‍ර යට ඇතුළු වූ මොහොතේ සිටම විශාල විනාශයක් කළ හැකිව තිබිණි. එහෙත් සිසුන් ඉල්ලා සිටියේ වසර හයකට ආසන්න කාලයක් තිස්සේ බලධාරින් විසින් හිතාමතා දිග්ගස්සමින් ඇති මේ ප්‍රශ්නය පිළිබඳව ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවකි.

අනෙක් අතට කෝටි ගණනක දේපොළකට හානි සිදුවූයේ යැයි පවසනු ලැබුවද එය පිළිබඳව සවිස්තර ඇගයීමක් තාමත් සිදු කොට නැත. මේ පිළිබඳ පරීක්ෂණයට රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට භාර දී තිබේ ද? රජයේ විගණකාධිපතිවරයාගේ තක්සේරුව කුමක්ද?  මේ කිසිදු වාර්තාවක් නොමැතිව රාජිත සේනාරත්න නීතිය සියතට ගනිමින් සිසු දඩයම දිගටම පවත්වාගෙන යන අතර, ආණ්ඩු හිතැති වෘත්තීය සමිති නායකයන් වන සමන් රත්නප්‍රිය වැන්නන් දේපොළ හානිය පිළිබඳව රජය ගෙන යන ප්‍රචාරය ගිරවුන් මෙන් ප්‍රතිරාවය කරමින් රාජ්‍ය මර්දනය යුක්ති සහගත කරමින් සිටිති. රාජපක්ෂගේ සුදුවෑන් භීෂණයට එරෙහිව යැයි කියමින් වත්මන් 'යහපාලන' ආණ්ඩුව බලයට පත්කළවුන් සිසු දඩයමේ යෙදෙන බුද්ධි අංශ කණ්ඩායම් ගැන නිහඬව සිටිනවා පමණක් නොව, එකී මර්දනය සමාජය හමුවේ සාධාරණීකරණය ද කරති.

කෙසේ වෙතත් මේ වන විටත් රාජ්‍ය මර්දනය විශ්ව විද්‍යාල සිසුන්ගේ ජීවිතවල ඉරණම තීන්දු කරන අදියරකට පැමිණ අවසන් ය. සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා රට පීරන සන්නද්ධ පොලිස් බල ඇණි මෙන්ම බුද්ධි අංශ කණ්ඩායම් නිසා සිසු ජීවිත ඉතාම අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇත්තේ ඒ අනුව ය. මර්දනය සහ බලහත්කාරය පමණක් එකම නීතිය බවට පත්කරගත් පිරිසක් මේ ආකාරයෙන් සිසු දඩයමේ යෙදීම පිළිබඳව බොහෝ දෙනෙකුන් වචනයකින්වත් විරෝධය පළ නොකර සිටීම රාජපක්ෂගේ උරුමයක් යැයි සිතූ රාජ්‍ය ත්‍රස්තවාදයට තවදුරටත් පිටුබල සැපයීමකි.☐  

කිත්සිරි විජේසිංහ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.